පුවත්

පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන්; තැන්පතු බාර ගැනීම අපරාධමය වරදක්!

Published

on

නීත්‍යානුකූලව තැන්පතු බාර ගැනීමට අවසර ඇත්තේ අවසරය ලත් ආයතනවලට පමණක් බවත්, එම අනපනත් කඩ කරමින් තැන්පතු බාර ගනු ලබනේ නම් එය අපරාධමය වරදක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී. සිරිකුමාර මහතා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම විසින් විවිධ වගාවන් සිදු කිරීමට යැයි කියමින් ඒවායේ ආයෝජනය කරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන විවිධ ප්‍රචාරක ක්‍රම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

තැන්පතු ලබාගත හැක්කේ ප්‍රධාන වශයෙන්ම බැංකු පනත යටතේ බැංකුවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය සමාගම්වලට පමණක් බවද එම පනත් මගින් ඒ හැර වෙනත් ආයතනවලට තැන්පතු බාර ගැනීම තහනම් කර ඇතැයි ද ඒ මහතා කියා සිටී.

තැන්පතුවක් ලෙස නොහඳුවමින් සිදු කරනු ලබන ව්‍යාජයන් උදාහරණයක් ලෙස වගා සඳහා ‍ආයෝජනය කිරීමට යැයි පවසමින් ලබා ගන්නා තැන්පතු ද, වත්කම් සඳහා සිදුකරනු ලබන ආයෝජන ලබා ගැනීමද අදාළ පනත යටතේම වරදක් බව ද ඔහු පැවසීය.

පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගම සම්බන්ධයෙන්ද මේවන විට තොරතුරු සොයමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

මේ අවස්ථාවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගි වී සිටියේය.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් වගාවන් සඳහා ආයෝජනය කරන්නේ නම් 54% ක ප්‍රතිලාභ ලබාදෙන බවට පවසමින් දැන්වීම් දමා ඇතැයිද එම මාධ්‍යවේදියාම කියා සිටියේය. 

ඒ සම්බන්ධයෙන් මහ බැංතුවට පැමිණිලි කරන බවද ඔහු කීය.

මේ අතර, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර ධර්මසේන මහතා ද වාගවන් සම්බන්ධයෙන් ආයෝජන ලබාගන්නා පින්තැන්න ප්ලාන්ටේෂන් නමින් වගා ව්‍යාපෘතියක් පවත්වා‍ගෙන යනු ලබන බවද හෙළිකර ගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා මිරර් සිදුකළ සොයා බැලීමකදී හෙළිවූයේ නොම්බර 65/1,මහ බාගේ පාර, ඇල්පිටිවල, රාගම යන ලිපිනයේ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ප්‍රධාන ශාඛාව ලෙස  පවත්වාගෙන යමින් එහි ශාඛා ලෙස මාතර, ගාල්ල, ඇඹිලිපිටිය, කල්මුණේ, බණ්ඩාරගම, අවිස්සාවේල්ල,ගොඩගම, කුරුණෑගල, මහනුවර, බලංගොඩ, මඩකලපුව, බණ්ඩාරවෙල හා පානදුර යන ප්‍රදේශවලද කාර්යාල පවතින බවයි.

මේ ආයතන සමූහයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ නීතිවේදියකු බව කියනා පී.කේ.ඩී.ජේ.පී. කුලසිංහ නැමැත්තෙකි.

එහි අධ්‍යක්ෂවරුන් ලෙස එස්.ජේ.ඩී. ලුඩ්වික් හා එස්. කුලසිංහ යන දෙදෙනා කටයුතු කරනු ලබයි.

Trending

Exit mobile version