Connect with us

පුවත්

වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩ

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 25,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

පසුගිය 17 වැනිදා නීතීඥ දනුෂ්ක වීරසිංහ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් චූදිතයන් වන අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් බලය ලත් නියෝජිත කැලුම් ගිමෙන්ත්‍ර ජයසූරිය යන අය පෙනී සිටිමින් අදාළ නඩුවේ සියලු චෝදනා පිළිගැනීමෙන් පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මේ දඩය නියම කළේය.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ගොනුකර තිබූ මේ නඩුවේ විත්තකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිස නම් කර තිබිණි.

සිය මවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ආසිරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබාදුන් ඖෂධ 11කට නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ පදිංචි සනත් කුමාර අතුකෝරාළ යන අය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2023 දෙසැම්බර් 15 වැනිදා ආසිරි පෞද්ගලික රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා විත්තිකරුවන් ලෙස නම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

ආසිරි රෝහල විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා රෝගියකුට ඖෂධ අලෙවි කිරීම මගින් අදාළ රෝහල සහ අධ්‍යක්ෂ මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව සඳහන් කරමින් චෝදනා 11ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ඇතුළු 7 දෙනෙකු නම් කර තිබූ අතර නඩුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආසිරි රෝහල විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන ලද ඖෂධවලට අදාළ බිල්පත් සහ වෛද්‍ය වාර්තා පිළිබඳවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය නඩු පවරන අවස්ථාවේදී අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

මෙම නඩුව 2023 දෙසැම්බර් 15 වැනිදා සලකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, එම පෞද්ගලික රෝහලට සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුදෙනාම, 2024 ජනවාරි 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කළාය. 

ඒ අනුව මෙම නඩුව ඉකුත් 23 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබූ බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු සිය නීතිඥවරු සමඟ පැමිණිලිකරුද අධිකරණය වෙත පැමිණ සිටියහ.

එහිදී ඔවුන්ට අධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ අදාළ නඩුව ජනවාරි 17 වැනිදා කැඳවූ බවයි.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධනුෂ්ක වීරසිංහ විසින් ගොනු කරන ලද මෝසමකට අනුව නඩුව කැඳවා තිබෙන බවත්, වැඩබලන මහෙස්ත්‍රාත් ඉදිරියේ සියලු චෝදනාවන්ට වරද පිළිගෙන ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට සහ පැමිණිලි පාර්ශ්වයට දැන ගැනීමට ලැබී තිබේ.

අදාළ පෞද්ගලික රෝහලේ සියලුම විත්තිකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් ඔවුන්ගේ බලයලත් නියෝජිත කැලුම් ගිමේන්ත්‍ර ජයසූරිය අධිකරණය හමුවේ එදින පෙනී සිට තිබේ.

ඒ අනුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉදිරියේ විත්තිකාර අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නගා තිබූ චෝදනා කියවා දීමෙන් අනතුරුව, එම චෝදනා සියල්ලටම වරද පිළිගෙන තිබේ.

අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් විත්තිකරුවන්ට අදාළ චෝදනා සියල්ලටම දඩ නියම කර ඇත.

ඒ අනුව විත්තිකරුවන් වරද පිළිගත් චෝදනා 11ට අදාළ රුපියල් 25,000 දඩ මුදල මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙවා තිබේ.

* මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති තින්දුව පහත දැක්වේ.

* ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටීමට කැලුම් ගිමෙන්ත්‍ර ජයසූරිය යන අයට බලය පවැරූ ලියවිල්ල.

*වැඩිමිලට විකුණන ලබ ඖෂධ ලයිස්තුව.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved