Connect with us

පුවත්

ශ්‍රී ලංකන් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් 6,000කගේ රැකියා අවදානමක! – ඇමති

Published

on

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට  අඛණ්ඩව සිදු කළ නොහැකි බවත්,  ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී  ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

මීට දශක ගණනාවකට පෙර ජාතික ගුවන් සේවාවක් ලෙස ආරම්භ වු ශ්‍රී ලංකන් ගුවන් සේවාව අපටම ආවේණික වූ ගුවන් සේවාවක්. එමිරේට්ස් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාලනය කරන සමයේ රුපියල් මිලියන 30 ලාභයක් ලබා ගැනීමට එය සමත් වුණා. ඒ හැරෙන්නට කිසිදු ලාභයක් උපයා ගැනීමට මෙතක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී නැහැ.

කිසි දිනෙක ගුවන් යානයක් දැක නැති, ගුවන් යානයකට පය තබාවත් නැති පුද්ගලයාගේ සිට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින් තමයි මේ ගුවන් සේවය නඩත්තු වන්නේ. අපටම කියා ජාතික ගුවන් සේවාවක් තිබෙනවා කියන අභිමානයක් තිබෙනවා. නමුත් එම අභිමානයට ගෙවන මුදල සාධාරණ ද කියන ප්‍රශ්නය අද මතු වෙනවා.

අද වන විට ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් ණය වී තිබෙනවා. ජාත්‍යන්තර බැඳුම්කරවලට, කල්බදු ක්‍රමයට ගත් ගුවන් යානා වෙනුවෙන්, දේශීය රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයකට එම හිඟ මුදල් ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වගේම මුදල් ගෙවන්නේ නොමැතිව ලබා ගත් ඉන්ධනවලටත් මුදල් ගෙවන්න වෙලා තිබෙනවා. මේ විදිහට ණය වෙලා ගුවන් සේවාවක් ඉදිරියට පවත්වාගෙන යන්න බැහැ.

රටේ ඇති වූ විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික ගැටලුව නිසා වෙනදා වගේ අලාභ ලබන අවස්ථාවලදී මුදල් ලබා දෙන්න රජයට හැකියාවක් නැහැ. එලෙස ලබාදීම සාධාරණත් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තීරණය කළේ ඒ නිසයි. රජය යටතේ 51%ක කොටස් තබාගෙන තමයි එම ප්‍රතිව්‍යුහගතකරණය  සිදුකරන්නේ. 49%ක් වෙනත් ආයෝජකයකුට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාව මීට මාස හයකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයත් ගොඩබිම් මෙහෙයුම්වලින් සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් නම් යම් ලාභයක් ලබනවා. නමුත් එය ගුවන් සේවයේ අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් නැහැ.

එනිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්  වෙන් වෙන් වශයෙන් විකිණීමට අවශ්‍ය ද කියන කාරණයත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයත් සැලකිල්ලට ගෙන සකස් කළ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය හරහා අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන් වෙත යොමු කර තිබෙනවා. මෙමඟින් අපට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කරනවා.

අඩුම තරමින් ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අනතුරුව සේවක අයිතිවාසිකම් අරක්ෂා වන ආකාරයට කොන්දේසි සහිතව අදාළ ආයෝජකයාට අප එය භාර දෙනවා. පසුව ඒ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩිනමින් මෙම  කටයුත්ත සිදු නොවුණහොත් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතිනවා.

කොවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ පමණක් නොවෙයි, මුළු ලෝකයේම ගුවන් සේවා කඩාවැටුණා. සංචාරකයන් රටවලට පැමිණියේ නැහැ. ලෝකයේ බොහෝ රටවලට තම ගුවන් යානා ගුවන්තොටුපළ තුළ ගාල් කර තැබීමට සිදුවුණා. එවැනි තත්ත්වයක් තුළ කටාර් ගුවන් සේවයේ නියමුවන් හැත්තෑ දෙදෙනකු ඉවත් කිරීම පවා සිදුවුණා. නමුත් අපේ ගුවන් සේවකයන්ට වැටුපෙන් භාගයක් ලබා දීමට රජය කටයුතු කළා. ගුවන් නියමුවන් නිවසේ සිටියත් එම වැටුප් ලබා දුන්නා. එවැනි මානුෂීය හැඟීමකින් යුතුව තමයි රජය කටයුතු කළේ.

කොවිඩ් ව්‍යසනයෙන් පසුව රට තුළ අරගලයක් ඇති වුණා.  සංචාරකයන් ලංකාවට ආවේ නැහැ. නමුත් එම සියලු අභියෝග මැඩපවත්වාගෙන නැවත ශ්‍රි ලංකන් ගුවන් සේවාව හරහා අපේ රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පුළුවන්කම ලැබුණා. ඒ අනුව දිනෙන් දින සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තා.

මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විපක්ෂය හැමදාම කළේ අසත්‍ය ප්‍රචාර ගෙන යාමයි. හරි තොරතුරු දැන ගන්න කලින් පූර්වකථන කරන්න ගිහින් විපක්ෂය අද අනාගෙන තිබෙනවා. බැංකු පද්ධතිය කඩා වැටෙනවා කිව්වා, අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ අහිමි වෙනවා කිව්වා. මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර අරන් ගියා. නමුත් ජනතාවට කිසිදු හානියක් නොවන බව මූල්‍ය කේෂ්ත්‍රයේ විද්වතුන් ප්‍රකාශ කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරනවා.

(ජනාධිපතිමාධ්‍යඅංශය)

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved