පුවත්

සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් හි ආයෝජන සම්බන්ධ ගැටලුවක්!

Published

on

සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් එකට (Ceylon Dollar Bond Fund) පුද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Account (PFC) සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිනුම් (Business Foreign Currency Account (BFCA) වලින් ඩොලර් යොමු කර ආයෝජන කළ ‍නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

මේ සම්බන්ධයෙන් බැංකු දැනුවත් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ (Securities and Exchange Commission) ලිංයාපදිංචි වී ඇති සිලෝන් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම (Ceylon Asset Management Co. Ltd) විසින් පවත්වාගෙන යනු ලබන සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් (Ceylon Dollar Bond Fund) සඳහා සමාජ මාධ්‍ය තුළ දැන්වීම් යොදමින් සිදුකරන ප්‍රචාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය ආයතන ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ට මහ බැංකුවෙන් හිමිව ඇති එකම අවසරය වන්නේ ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීමට ලබාදී ඇති අවසරය බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව එසේ කියා සිටියද, සිලෝන් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම (Ceylon Asset Management Co. Ltd) සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ පුද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Account (PFC) වලින් ඩොලර් ආයෝජන සිදු කළ හැකි බවයි.

එසේම, ඔවුන්ගේ සමාජ මාධ්‍ය දැන්වීම් තුළින් එහි ඩොලර් ආයෝජන සඳහා 24%ක පමණ ලාභ අපේක්ෂා හැකි බව ද පෙන්වා දී තිබේ.

මේ අතර, ආර්ථික ප්‍රවීනයන් පෙන්වාදෙන්නේ ඔවුන් මේ මුදල් ආයෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර තුළ නම් එවැනි ලාභයක් ලැබීම අපේක්ෂා කිරීම තරමක් ගැටලු සහගත බවයි.

මේ සම්බන්ධයෙන් අප සිලෝන් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම (Ceylon Asset Management Co. Ltd) කළමනාකාර අධ්‍යක්ෂ දුලින්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් ද විමසුමක් කළ අතර, ඔහු කෙටි පිළිතුරක් ලබාදෙමින් කියා සිටියේ මහ බැංකුවෙන්  මෙසේ විදෙස් මුදල් සිය ගිනුම්වලට හුවමාරු කිරීමට තම සමාගමට අවසර ලබාදී ඇති බවත්, ඇතැම් බැංකු එසේ මුදල් හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවට ද තොරතුරු ඇති බවයි.

කෙසේවුවද, වැඩි තොරතුරු සඳහා ඊමේල් පනිවුඩයක් යොමු කරන ලෙසද ඔහු කියා සිටියේය.

Trending

Exit mobile version