Videos

“ධර්මසේනට විදෙස් ගමන් තහනමක් ගන්න” මහ බැංකුවට පැමිණිල්ලක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු කරනු ලබන්නේ මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් මහබැංකු අධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ආයතනය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ දෙවන වගන්තියේ විධි විධාන උල්ලංඝනය කරමින් ජනතාව නොමග යවා මුදල් තැන්පතු බාරගන්නා බවත්, මුහුණු පොත සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරණය කරන බවත් බවසමින් මේ පැමිණිල්ල ගොනුකර තිබේ.

මෙම ආයතනය ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම අඛණ්ඩව සිදු කරගෙන යන බවත්, මෙම ආයතනය සමග ගනුදෙනු කරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව අරඹා තිබෙන විමර්ශන කඩිනම් කරන ලෙසත් අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ධර්මසේන මුදල් අරන් පැනයා හැකියි..

මේ අතර කුමාර ධර්මසේම අදාළ ජනතා මුදල් රැගෙන පැනයාමට හැකි බැවින් ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනමක් ගන්නා ලෙසද අදාල පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

විශාල පොලී අනුපාතයක් ලබාදෙන බව පවසමින් අගාවුඩ්, වැනිලා, අඹ, තේක්ක ආදී විවිධ ශාක වර්ග වගා කිරීමේ විවිධ ව්‍යාපෘති සඳහා මහජනතාවගෙන් මුදල් ආයෝජන ලබාගැනීම නීති විරෝධී බවත්, එම විවිධ ආයෝජන සමාගම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහ බැංකුව පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මහ බැංකුව විසින් භාවිතා කරන අනුපාතවලට විරුද්ධව ගොස් මහජනතාවගෙන් තැන්පතු බාරගැනීම අපරාධමය වරදක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර එහිදී සඳහන් කළේය.

තැන්පතු බාරගැනීමට නීතිමය අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් ආයතනවලට පමණක් බවත්, ඒ අනුව බැංකු පනත යටතේ බැංකු ආයතනවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය ආයතනවලට තැන්පතු බාරගැනීමට අවසරය ඇති බවත්, ඒ හැර වෙනත් ආයතනවලට තැන්පතු බාරගැනීමට අවසරයක් නොමැති බවද සහකාර අධිපතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධවද තොරතුරු සොයා බලන බව මහ බැංකුව මෙහිදී අනාවරණය කළේය.

Trending

Exit mobile version