පුවත්

Arrow Lanka වංචාව; ලොක්කො අල්ලන්න පොලිසිය පස්ස ගහයි !

Published

on

චීනයේ නිෂ්පාදනය කරනු ලබන “ලීමා” නාමයෙන් වෙළඳ පොළේ ඇති ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ලබාදෙන බවට ගොවියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගනිමින් වංචාවක් සිදුකරන ලද ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගමට එරෙහිව ගොවියන් විසින් පොලියිට පැමිණිලි රාශියක් කර තිබුණද පොලිසිය එම කිසිදු පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වේ.

මේ වංචාව රුපියල් මිලියන 450කට වඩා වැඩි බව වාර්තා වේ.

එසේම මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට වරින් වර ගොවීන් විසින් පැමිණිලි කර ඇති අතර ඒවාත් එහි පල්වෙමින් තිබෙන බව පැවසේ.

කෙසේවුවද, ඇරෝ ලංකා ගොවීන්ට සොහොයුරන් දෙදෙනෙකු අතර පවතින ව්‍යාපාරික ගැටුමක් සම්බන්ධයෙන් වානිජ අධිකරණයේ පවරා ඇති නඩුවක් පෙන්වාදෙමින් නැවත මුදල් ලබාදීම හෝ වී කොටන මැෂින් ලබාදීම දිනෙන් දින පැහැර හරිමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් හට හෙළිකර ගැනීමට හැකි විය.

ඊට අදාළ නඩුව ඊයේ (25) කොළඹ වානිජ අධිකරණයේදී විභායට ගෙන ඇති අතර, මෙම මුදල් වංචාව සම්බන්ධ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගමේ ප්‍රධාන නීතීඥවරයා එම නඩුවට පෙනී නොසිටීම නිසා එය ලබන අප්‍රේල් 04 වැනිදා දක්වා කල් ගොස් තිබේ.

මේ නඩුව පවතින්නේ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් මාර්ක්ස්පෙන් සමුහයට වී කොටන මැෂින් 145 ක් ලබා ගැනීමට රුපියල් මිලියන 199 ක් ලබාදී එම මැෂින් ලබා නොදීම සම්බන්ධයෙනි.

කෙසේවුවද, ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් රට වටෙම ගොවියන්ට වී කොටන මැෂින් ලබාදෙන බව පවසමින් එක් ගොවියකුගෙන් රුපියල් ලක්ෂ 14- 18 අතර ප්‍රමාණයකින් ගොවීන් 300කගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර, මෙසේ මුදල් ලබාදී ඇති කිහිපදෙනෙකු නැවත මුදල් ඉල්ලා සිදු කළ බලවත් ඉල්ලීම් හා බලපෑම් මත කිහිපදෙනෙකුට ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම මුදල් ගෙවා ඇති බවද වාර්තා වේ.

එසේ මුදල් ගෙවන ලද අයකුට ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම ලබාදුන් චෙක් පතක් පහත දැක්වේ.

මාර්ක්ස්පෙන් සමුහය හා ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම මීට පෙර පැවැතී ඇත්තේ එක් සමාගමක් ලෙසිනි.

මේවන විට, ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම විකුම් ගල්අංග හා මහේෂ් කුමාර ජයරත්න නැමැති දෙදෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මහේෂ් කුමාර ජයරත්න නැමැත්තා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද ඔහුට ලැබෙන ඇමතුම් පටිගත කිරීමේ යන්ත්‍රයක් වෙත යොමුකර ඇති බැවින් එය අසාර්ථක විය.

මේ සම්බන්ධ තවත් තොරතුරු අප ඉදිරියේදී හෙළිකරන්නෙමු.

Trending

Exit mobile version