කලා

අජන්තගේ පොත් තුනක් 27දා පාඨක දෝතට

Published

on

ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචිත ග්‍රන්ථ 3ක් එළි දැක්වීම මේ මස 27වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

“අසමමිතික අසම්මතය” සිංහල කාව්‍ය සංග්‍රහය, Naked Peak ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය සහ See-Through Hearts ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහය මෙම ග්‍රන්ථ ත්‍රිත්වයයි.

කොළඹ 7, ග්‍රෙගරි පාරේ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 3ට ආරම්භ වන උත්සවයේ ප්‍රධාන අමුත්තන් වශයෙන් මහාචාර්ය  අන්කූරන් දත්තා මහතාද, ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතාද සහභාගී වීමට නියමිතය.  

එක් පුද්ගලයෙකුගේ සමාජ අත්දකීම් වටා ගෙතුණු කෙටිකතා දහයකින් සමන්විත See-Through Hearts කෘතිය, අප සමාජයේ මිනිසුන්ගේ සංවේදී සිත් ගැන කදිම හෙළිදරව්වක යෙදෙන අතර   මහාචාර්ය ප්‍රනීත් විජේසුන්දර මහතා විසින් එය ඇගයීමට ලක්කෙරේ.

ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ මහතා විසින් Naked Peak කෘතියේ එන ඉංග්‍රීසි කාව්‍යයන් ගැන විචාරාත්මක දේශනයක් පවත්වනු ඇත.

“අසමමිතික අසම්මතය” පොතේ එන කාව්‍ය පිළිබඳව ප්‍රවීන සාහිත්‍යවේදීන් වන තිලකරත්න කුරුවිටබණ්ඩාර, කුලරත්න ආරියවංශ, බන්ධුල නානායක්කාරවසම් සහ බුද්ධදාස ගලප්පත්ති මහතුන් විසින් සාකච්ඡාවක යෙදෙනු ඇත.

නවකතා, කෙටිකතා, කාව්‍ය සහ විමර්ශන ආදී විවිධ ශානර වලට අයත් ග්‍රන්ථ 25කට වැඩි ප්‍රමාණයක් රචනා කොට ඇති අජන්ත සෙනෙවිරත්න කතුවරයාගේ පළමු ඉංග්‍රීසි කෘතිය වූයේ දෙස් විදෙස් ප්‍රචලිත Father for A Buddha නම් වූ සුද්ධෝදන රජතුමා අලළා ලියූ නවකතාවයි. මෙය ප්‍රසිද්ධ ජාත්‍යන්තර වෙබ් අඩවි ඔස්සේ ද මිළදී ගත හැකි අතර ඊ පොතක් හැටියටද තිබේ. ලොව පුරා භාෂා 34කට පමණ පරිවර්තනය වූ ලෝක ප්‍රසිද්ධ Who Moved My Cheese පොත “දිවි මග දිනන මග” යනුවෙන් සිංහලට පරිවර්තනය කළේද ඔහුයි. මෑතකදී ඔහු ලියූ “කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම” කෘතිය, කෘත්‍රිම බුද්ධියේ ගමන් මග ගැනත්, බුදු දහමට ඉන් කෙරෙන බලපෑම ගැනත් කදිම විවරණයක යෙදෙන්නෙකි.

Trending

Exit mobile version