කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්‍රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ.
ඒ මිලියන දෙකකට වැඩි පිරිසක් නැරඹූ, ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු සිය වීඩියෝවක් පිළිබඳ පැහැදිලි කරමිනි.
දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ ඇය විසින් පළ කර තිබූ එම වීඩියෝවෙන් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් බෙදාගන්නා ලෙස. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තමන් දන්නා වඩාත් ආන්දෝලනාත්මක අන්දමේ කතා බෙදා ගන්නා ලෙසය.
කෙසේ වෙතත් එයට ප්‍රතිචාර ලෙස විශාල පිරිසක් ප්‍රකට පුද්ගලයන් පිළිබඳ බරපතල චෝදනා ඇතුළත් ප්‍රතිචාර දක්වා තිබුණි.
මේ පිළිබඳ කලාත්මා නිකුත් කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,
“මම කලාත්මා- ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප ගැන අන්තර්ජාලයේ වයිරල් ගිය තරුණිය මම.
මෙම සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මම දැක්කා. ඒ නිසා මට මගේ අදහස බෙදාගන්න ඕනෑ. මම ඉතාම සතුටු වෙනවා, ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්.
මම මුලින්ම මේ වීඩියෝව පළ කළ වෙලාවේ, මම ඕපාදූප ඇහුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය ටික්ටොක් ප්‍රවණතාවක් අනුව තමන් නොසිතූ ලෙස තමන්ට මුණගැහුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙක් මාව කොත්තු කඩයක මුණගැසුණු කතාවකුත් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති, විනෝදබර දෙයක් වුණා.
එහෙත්, වීඩියෝවට අවධානය ලැබෙන විට තත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරියක ලෙස මට වගකීමක් තිබෙනවා, හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීමට. මම මුලින්ම එහෙම කළා. එහෙත්, වීඩියෝවට අවදානය වැඩි වී 20,000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා.
කෙසේවෙතත් මම පුද්ගලිකව මෙයින් බලපෑමට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලුවා. මම මට කළ හැකි දේ කළා. එහෙත්, අන්තර්ජාලය තුළ පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකියි.
බොහෝ අය විමසන පැනය වන්නේ මම සියලුම ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත්, එහි ඇති ඇතැම් චෝදනා සත්‍ය නම්? ඇතැම්විට සැබෑ වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම්? තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම්?
එය කියන අතර, ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්වය සමඟ මා සිටගන්නේ නෑ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්නේ, තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”