Connect with us

කලා

පියුමිගේ ගිනුම් ඇති බැංකු 8ක ගිනුම් 19ක් පරීක්ෂා කරන්න CIDයට අවසර!

Published

on

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

අංක 15, නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ, මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හෙයින්, ඇය නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයාගත්තේද? යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 780කට මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM – 1949 දරන රෙන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අදාළ ජීප් රථයේ පෙර හිමිකරු වන වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නාවල පදිංචි හේවා තොන්ඩිලගේ ජනක ජයදිනුම් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය දන්වා සිටියේය.

තම ඥාතියකු වන මදුර වික්‍රමරත්න යන අය දැනට වසර 35ක් 40ක් පමණ කාලයක සිට යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත්, එම කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් පියුමි හංසමාලි මිලදී ගත් ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත්, එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා තිබියදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රේන්ජ් රෝවර් ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා 2020 වසරේදී ලබාදුන් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.

නැවත 2021 වසරේදී එම ජීප් රථය ලබාදීමෙන් පසුව තම වාහන අංගනයේ විකිණීම සඳහා තබා තිබූ බවත්, ඒ සඳහා ikman.lk හා Hit add යන වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලි හා ප්‍රගීත් යන අය සමග 2023 මාර්තු 7 දින ජීප් රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 5ක මුදල් අත්තිකාරමක් හා රුපියල් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඉතිරි මුදල් තමාගේ ගිණුමට වරින් වර තැන්පත් කළ බවත්, රුපියල් ලක්ෂ 480ක් සඳහා ලීසිං සමාගමකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට මෙම ජීප් රථය පියුමි හංසමාලි විසින් මිලදී ගත් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම රේන්ජ් රෝවර් ජීප් රථය මිලදී ගැනීම සඳහා පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් පහසුකමක් ලබාගත් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරි එළුබාබලගේ ගිහාන් බුද්ධික යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ජීප් රථය සඳහා ජාතික හැඳුනුම්පත් අංක 199282700335 හිමි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය විසින් අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවත්, එහි ඇපකරුවන් ලෙස අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් අත්සන් තබා ඇති බවත්, ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබාදෙමින් පවසා තිබේ.

පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු 7 වන දින රුපියල් ලක්ෂ 400ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ තම ආයතනය ලබාගත් බවත්, අදාළ රථයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක් බවත්, අදාළ ෆිනෑන්ස් පහසුකම මේ වන විටත් සක්‍රිය තත්ත්වයේ පවතින බවත් සෑම මසකම වාරික මුදල ගෙවීමට ඇති දිනට පෙර ආයතනය මගින් පියුමි හංසමාලිට දුරකථන ඇමැතුමක් දී දැනුවත් කිරීමේදී ගෙවීමට ඇති මුදලට වඩා වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් ණය චෙක්පත් ලබාදෙන බවත්, අවස්ථා කිහිපයකදීම ඇයගේ කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පිහිටි නිවස වෙතද ගොස් චෙක්පත් අත්සන් කර පැමිණ තිබෙන බවත් ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටිද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148කට මිලදී ගෙන අති බවට කරුණු අනාවරණය වූ හෙයින් ප්‍රයිම් ගෘෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින්ද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 23 වැනි තට්ටුවේ නිවසක් මිලදී ගෙන ඇති බවත්, එම නිවස සියලු ගෘහ භාණ්ඩ සහිතව වර්ග අඩි 1440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 148ක් බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 50 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල බහා තබනු ලැබීය.

සබැඳි පුවත්
පියුමි හංසමාලිට මුල්‍ය විශුද්ධිකරණ චෝදනා

කලා

කලාත්මා නිවේදනයක් නිකුත් කරයි

Published

on

By

කලාත්මා හිටිහාමිගේ යන නමින්, අන්තර්ජාලයේ ප්‍රකටව සිටින තරුණිය තමන්ගේ ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනයක් පිළිබඳ පැහැදිලි කරමින් නිවේදනයක් පළ කර තිබේ.

ඒ මිලියන දෙකකට වැඩි පිරිසක් නැරඹූ, ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණු සිය වීඩියෝවක් පිළිබඳ පැහැදිලි කරමිනි.

දින කිහිපයකට පෙර ඡායාරූපයක් සමඟ ඇය විසින් පළ කර තිබූ එම වීඩියෝවෙන් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් බෙදාගන්නා ලෙස. කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තමන් දන්නා වඩාත් ආන්දෝලනාත්මක අන්දමේ කතා බෙදා ගන්නා ලෙසය.

කෙසේ වෙතත් එයට ප්‍රතිචාර ලෙස විශාල පිරිසක් ප්‍රකට පුද්ගලයන් පිළිබඳ බරපතල චෝදනා ඇතුළත් ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ පිළිබඳ කලාත්මා නිකුත් කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,

“මම කලාත්මා- ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප ගැන අන්තර්ජාලයේ වයිරල් ගිය තරුණිය මම.

මෙම සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මම දැක්කා. ඒ නිසා මට මගේ අදහස බෙදාගන්න ඕනෑ. මම ඉතාම සතුටු වෙනවා, ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්.

මම මුලින්ම මේ වීඩියෝව පළ කළ වෙලාවේ, මම ඕපාදූප ඇහුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය ටික්ටොක් ප්‍රවණතාවක් අනුව තමන් නොසිතූ ලෙස තමන්ට මුණගැහුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙක් මාව කොත්තු කඩයක මුණගැසුණු කතාවකුත් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති, විනෝදබර දෙයක් වුණා.

එහෙත්, වීඩියෝවට අවධානය ලැබෙන විට තත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරියක ලෙස මට වගකීමක් තිබෙනවා, හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීමට. මම මුලින්ම එහෙම කළා. එහෙත්, වීඩියෝවට අවදානය වැඩි වී 20,000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා.

කෙසේවෙතත් මම පුද්ගලිකව මෙයින් බලපෑමට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලුවා. මම මට කළ හැකි දේ කළා. එහෙත්, අන්තර්ජාලය තුළ පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකියි.

බොහෝ අය විමසන පැනය වන්නේ මම සියලුම ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත්, එහි ඇති ඇතැම් චෝදනා සත්‍ය නම්? ඇතැම්විට සැබෑ වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම්? තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම්?

එය කියන අතර, ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්වය සමඟ මා සිටගන්නේ නෑ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්නේ, තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”

Continue Reading

කලා

බැට් මෑන් සමුගනී

Published

on

By

සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ.

නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය.

1959 දෙසැම්බර් 31 වන දින Val Kilmer ලෙස උපත ලැබූ කිල්මර්, ලොස් ඇන්ජලීස් හි මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු අයෙකි.

වයස අවුරුදු 17 දී, ඔහු ලොව වඩාත්ම කීර්තිමත් නාට්‍ය සංරක්ෂණාගාරවලින් එකක් වන නිව්යෝර්ක්හි ජුලියර්ඩ් පාසලට ඇතුළත් වූ එවකට ලාබාලතම ශිෂ්‍යයා බවට පත්වෙමිනි.

Top Gun සහ Batman Forever යන චිත්‍රපටි තුළින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

Continue Reading

කලා

‘Wild Cookbook’ ග්‍රාහකයින් මිලියන 10 පසුකරයි

Published

on

By

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවිය.

2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.

චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් විය.

මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙනි.

YouTube ග්‍රාහකයින් සංඛ්‍යාව අනුව ඒ ඒ කඩඉම්වලදී එය සංකේතවත් කරමින් විවිධ Play Button ලබා දේ.

පළමු ප්‍රේක්ෂක ලක්ෂයට Silver ලෙසත්, පළමු මිලියනයට Gold Play ලෙසත්, පළමු මිලියන 10ට Diamond ලෙසත් එම Play Button ලබාදීම සිදුකෙරේ.

ඒ අනුව චරිත් යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතුය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved