Connect with us

පුවත්

“L” බෝඩ් අය පාර්ලිමේන්තු එව්වත්, ඒ අය තාම ලයිසන් අරගෙන නැහැ ‍ (වීඩියෝ)

Published

on

ජනතාව දැන් බලාපොරොත්තු වන්නේ නැවුම් පක්ෂයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“ඔබ දිවුරුම් දී පළාත් පාලන ආයතනවල වැඩ බාර ගත යුතුව තිබෙනවා. ඔබ සියලු දෙනාටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමටත් පක්ෂ සංවිධාන කටයුතු ගැනත් පුහුණුවක් ලබා දේවි.
මේ ඡන්දය පැවැත්වුණේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයෙන් පසුවයි. එය විශේෂ ඡන්දයක්. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි. නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා.

මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා. ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා. නමුත් සිදු වුණේ කුමක්ද?

පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා. ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා.සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන. වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්. ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

අනෙක් පක්ෂ වලට සිදුවුණේ කුමක්ද? අප පාර්ලිමේන්තු ඡන්දය තරඟ කළේ පොදු පෙරමුණ සමග එකට එකතු වෙලා. ඒ අනුව අපට ඡන්ද පන්ලක්ෂ හැට හත් දාහක් ලැබුණා. මේ සැරේ පොදු පෙරමුණ වෙනම ගියා. අප අලියා ලකුණෙන් ආවා. CWC කුකුලා ලකුණෙන් ආවා. මේ සියල්ල එකතු කළ විට අපට ඡන්ද නවලක්ෂ හතලිස් හත් දහස් එකසිය පනස් අටක් ලැබී තිබෙනවා.

එසේ නම් අප කණ්ඩායමට අලුතින් ඡන්ද තුන් ලක්ෂ අසූ දහසක් වැඩි වෙලා තිබෙනවා. ඡන්ද වැඩිකර ගත්තා යැයි එක අතකට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. අනෙක් අතින් ඒ ප්‍රමාණය ලක්ෂ දෙකකට සීමා වූ නිසා අපට සෑහීමකට පත්වෙන්න බෑ. එය ඊට වඩා වැඩි වෙන්න තිබුණා.

පොහොට්ටුවට මහ ඡන්දෙදි ලැබුණේ තුන් ලක්ෂ පනස්දහසයි. මේ ඡන්දෙදි නව ලක්ෂ පනස් හතරදාහක් ලැබුණා. ඒ අයට ඡන්ද ලක්ෂ හයකින් වැඩි වුණා.

එමෙන්ම සජබෙට පාර්ලිමේන්තු ඡන්දෙ දී  විසි දෙලක්ෂයක් ලැබුණා. මේ ඡන්දෙදි දහනව ලක්ෂයක් ලැබුණා.

අද තිබෙන තත්ත්වය මේක තමයි. ඒ සභා පුළුවන් තැන්වල එකට එකතු වී බලය පිහිටුවීමට පක්ෂ සියල්ල කතා කරමින් සිටිනවා. අනිත් තැන්වල විපක්ෂය ලෙස ක්‍රියා කරනවා. ඒක ඒ අය කරගෙන යාවි අපෙත් මහලේකම්තුමිය, සභාපතිතුමා, ජාතික සංවිධායකතුමා මෙන්ම උප සභාපතිතුමා මේ ගැන ඒ අය සමග කතා කරගෙන යනවා. පුළුවන් තැන්වල ඒකට එකතු වී අප ඒ වැඩකටයුතු කරනවා.

මෙතන බැලූ විට අලුත් මූහුණු ගොඩක් ඉන්නවා. සජබෙ, පොදු පෙරමුණේ, පොහොට්ටුවේ ගිහින් බැලුවොත් ඔවුන්ගෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා. මාලිමාවෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා.

මේ සැරේ දාලා තියෙන්නේ අලුත් මුහුණු. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා. පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා. එල්බෝඩ් ඉදිරියට එව්වා. නමුත් තාම ඔවුන් ලයිෂන් අරගෙන නැහැ. ඒ සඳහා අලුත් මුහුණු අවශ්‍ය වුණා. හැම තැනම එය සිදුවෙනවා. අලුත් මුහුණු පමණක් නොව අලුත් ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක කළ යුතුයි.

අප පක්ෂය ගොඩ නගද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ අදාළ වැඩ කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා.

ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නෙත් මම නොවේ. මම මේ කොමිටියට එය බාර දෙනවා. එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි. එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා.

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. පනස් හයේදී අප එහෙම අලුත් පක්ෂයක් හැදුවා. හැත්ත හතේදී අප එහෙම හැදුවා. නැවත 2001 ඡන්දෙට අප අලුත් වුණා. ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.

මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි. අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා. ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි. පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි.

නීතිඥයින්, වෘත්තිකයන්, රජයේ සේවකයන් පත් වී ඉන්නවා. ප්‍රතිශතය අනුව සභිකයන් පත් කරන්න අප තීරණය කළා. ඔක්කොම ඉදිරිපත් කරන්නේ කොට්ඨාසයක් දිනන්න. වැඩිම කොට්ඨාස දිනන්න බැරි වුණා නම් අප ප්‍රමුඛත්වය  දෙන්න ඕන වැඩිම ප්‍රතිශතය ගත්ත අයටයි. ප්‍රතිශතය අඩු වුණානම් ආපහු දිනන්න බෑ. ප්‍රතිශතය අඩු නොතේරුණු අයත් සංවිධාන කටයුතුවලට ගන්න අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම ඡන්ද වැඩි වුන අයත් ඉන්නවා. සමහර පරණ අයට මීට ඇතුළු වෙන්න බැරි වුණා. පක්ෂය අලුතින් ගොඩ නගද්දී  ඒ පරණ අයගේ උපදෙස් අප ලබා ගත යුතුයි.

අවුරුදු 18 ළමයට රටේ යුද්ධය මතක නෑ. ඔවුන්ට මතක පාස්කු ඉරිදා බෝම්බය විතරයි. අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති. ඒ ප්‍රදේශවල ටෙලිෆෝන්වත් නෑ. දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා.

අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි. අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු. මා ඒ වගකීම අදාල කොමිටියට බාර දී තිබෙනවා.”

පුවත්

අදින් ඇරඹෙන “ජාතික අනතුරු නිවාරණ සතිය”

Published

on

By

ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) ආරම්භ වේ.

ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 10000- 12000 අතර පිරිසක් මිය යන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම අනතුරු වලින් සිදුවන වාර්ෂික මරණ අතරින්, 7500 – 8000ත් අතර පිරිසක් රෝහල්ගත කිරීමටත් පෙර මියයන බවයි.

මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

Continue Reading

පුවත්

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණි.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණි.

විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ හිමිකර ගත් අයෙකි.

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.

ඒ අනුව ඔහු අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කර ඇත.

Continue Reading

පුවත්

අද බොරැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

අද (07) දිනයේදී බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහොත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවය වෙනුවෙන් මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අද (07) දින සවස 03.00 සිට රාත්‍රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙන, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved