Connect with us

විශේෂාංග

අපි තමයි “ලංකා විසම්මුතිය”

Published

on

දැන් අපි මේ ඉන්නේ විසම්මුති එතරම් නැති, “ආණ්ඩු විරෝධය” උත්සන්නවන යුගයක. ඒ නිසා මේ යුගයේ ආණ්ඩු විරෝධි ප්‍රකාශන වැඩිමනත් හමුවෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල, යූටියුබ් කතාවල සහ විවිධාකාරයෙන් හා තොග ගණනින් පළ කෙරෙන වෙබ් පුවත් පිටුවල. ඒ නිසා දැන් ආණ්ඩුව පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ වැඩි වුවමනාවක් පෙන්වන ප්‍රකාශ කෙරෙනවා.

තොරතුරු තාක්ෂණයේ සන්නිවේදන විවිධත්වය දැන් අතිශය සරළ භාවිත සඳහා වර්ධනය කෙරෙන්නේ කුඩා ස්මාට් ෆෝන් වලටත් අදාලවයි. ස්මාට් ෆෝන් සාමාන්‍ය ජංගම දුරකතන බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා විරෝධතා, හෙළා දැකීම්, හෙළිදරුව් කිරීම් කෙළවරක් නැතිව පළ කෙරෙන්නේ ෆේස්බුක්, ට්විට, ඉන්ස්ටග්‍රම්, ටික්ටොක්, වගේ අන්තර්ජාල මෙවලම් යොදා ගෙනයි. ඒවයේ නිර්නාමිකව හෝ ව්‍යාජ අනන්‍යතා සමග පෙනී සිටිය හැකි නිසා වගේම තමන්ගේ පුද්ගල ප්‍රකාශ සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය තුල වැඩි ඉඩක් නොමැති නිසා පුද්ගල ප්‍රකාශකයින් බහුතරයක් ගොඩ වෙන්නේ එවැනි අන්තර්ජාල සන්නිවේදන වේදිකා වලටයි.

මම මේ කතා කරන්න යන්නේ එවැනි බොහෝ දේ නොදන්නා, නොතිබුණ යුගයක, ආණ්ඩු විරෝධය සමග විසම්මුතියත් ප්‍රධාන කතාවක් කරගත් අත්දැකීමක් ගැනයි.

මේ හරියටම අවුරුදු 16 ට කලින් ආරම්භ වුන කතාවක්. මම දිනය මතක තියාගෙන ඉන්නේ 07.07.07 හැටියට. එදා තමයි Lanka Dissent (ලංකා ඩිසෙන්ට්) වෙබ් පුවත් අඩවිය අන්තර්ජාලයේ පළ කෙරුවේ. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල සහ ජනප්‍රිය රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල හමු නොවන ප්‍රවෘත්ති පළ කරන, යම් ආණ්ඩු විරෝධයක් සහිත වෙබ් පුවත් අඩවියක් ආරම්භ කිරීමේ අදහස, යහපාලන ආණ්ඩුව කාලයේ ඉතා දරුණු මාධ්‍ය සත්වයෙක් හැටියට පුවත් පතක “වෙබ් අඩවි ගොඩ් ෆාදර්” කියලා නම පටබැඳුව රුවන් ෆර්ඩිනැන්ඩස්ගෙ අදහසක්. නමුත් ඒ අදහසට දේශපාලන අර්ථයක් ඇතිව දිසානිතිය තීන්දු වුනේ දීප්ති ගුණරත්නගේ මැදිහත්වීමෙන්. වෙබ් පුවත් අඩවියට Lanka Dissent කියන නම දුන්නෙත් දීප්ති. ඉතිරි සංවිධානාත්මක වැඩ, සම්පත් ගොනු කිරීමේ වගකීම, වැඩි කතා බහක් නැතිව උදේ හවස කෙරුණේ රුවන්ගෙන්.

මම හවුල් වෙන්නේ රුවන්ගේ ඉල්ලීමට අමතරව, එවැනි මාධ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවක් මටත් දැනුණ නිසයි. ආරම්භයේදී කර්තෘ වශයෙන් වගකීම් භාර ගත්තේ ගාමිණි වියන්ගොඩ. මට මතක හැටියට, ආරම්භක මාධ්‍යවේදීන් කිහිපදෙනා වුනේ ඉන්දික, කැළුම්, තාරක, සහ ශානි. ඒ අතරින් සාම්ප්‍රදායික මාධ්‍ය අත්දැකීමක් තිබුණේ ලක්බිම පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වාර්තා කළ කැළුම්ටයි. උපාධිය සම්පූර්ණ කර පැමිණි ශානි, එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවක අර්ධකාලීනව සේවය ආරම්භකර තිබූ ලා බාල තරුණියක්. තාරක මට මතක විදියට සිරස ආයතනයේ ඉංග්‍රීසි පරිවර්තන වැඩ කළ කෙනෙක්. ඉන්දික ඇත්තටම දේශපාලන සත්වයෙක්.

ඊට අමතරව ප්‍රවෘත්ති ලබා දෙන බාහිර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් හිටියා. ඒ අය වැඩියෙන් ගනුදෙනු කෙරුවේ රුවන් හරහායි. වෙබ් අඩවියේ තාක්ෂණික කටයුතුත් රුවන්ගේ සම්බන්ධකම් මත තමයි කෙරුණේ. ඒ කාලයේ අපිට ඕනේ විදියට වෙබ් පිටු සැළසුම් කරන්න, වෙනත් පිටු අමුණන්න, පරණ පුවත් නැවත කියවිය හැකි ලෙස සංරක්ෂණය කරන්න, ඡායාරූප ඇතුළත් කරන්න තාක්ෂණය දන්නා මාධ්‍යවේදීන් අපට හිටියේ නැහැ. තාක්ෂණ ශීල්පීන්ගේ සහාය ඒ නිසා බාහිරින් ලබා ගත්තක්. නමුත් පාඨකයින් රඳවා ගන්න වෙබ් පිටු ආකර්ශනීය ලෙස සැළසුම් කිරීමේ අත්හදා බැලීම් කරන්න Lanka Dissent අපි බය වුනේ නැහැ.  

මාසයකට විතර පසු බොරැල්ලෙන් පොල්හේන්ගොඩට කාර්යාලය මාරුවෙලා මාසයක් දෙකක් යනකොට ගාමිණි ඉවත් වුනා. ඒ නිසා කර්තෘ වගකීම් සියල්ලට උර දුන්නේ මම. ඒ වන විට, අපි සිංහල සහ ඉංග්‍රීසි වෙබ් පුවත් පතක් හැටියට යම් අවධානයක් ලබා ගෙන තිබුණේ. ඊට හේතු තිබුණා. එකක් වෙබ් පුවත් අඩවි තිබුණේ කිහිපයයි. ඒවායේ සාමාන්‍ය පුවත් පත් වලට වඩා වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම ඒවා යහළු යෙහෙළි පිටු, ජනප්‍රිය පුද්ගලයින්ගේ ඕපා දූප වගේ තොරතුරු සමගින් පැවතුනු පුවත් අඩවි. අනෙක අපි සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ අමාත්‍යාංශවල, දේශපාලකයින්ගේ ප්‍රවෘත්ති පළ කරන්න උනන්දු නොවීම. ඒ වගේම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වැදගත් භාෂා භාවිතයක් තහවුරු කිරීම සහ උතුරු-නැගෙනහිර යුද්ධය සම්බන්ධව වෙනත් මාධ්‍ය පළ නොකරන පුවත් නිවැරදිව හා නොපමාව පළ කිරීම. වැදගත් වූයේ වැඩි කලක් නොගොසින් අපි ඉතා වගකීමෙන් ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවියක් කියන පාඨක විශ්වාසය දිනා ගැනීමට සමත් වීමයි. ඒ වගේම ඉතා ඉක්මණින් දෙමළ බසින්ද වෙබ් පිටුවක් ආරම්භ කිරීම හේතුවක් කියලා මම හිතනවා. ඇත්තටම 2007 තුන්වන කාර්තුව වනවිට, වෙනත් ජනප්‍රිය අංග නොමැති, පුවත් සඳහාම වෙන්වූ පළමු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවිය වූයේ Lanka Dissent කියලා මගේ විශ්වාසයයි.

රුවන්ට ලැබුණු තොරතුරු එයා මාගල් වගේ අතින් ලියා සටහන් කරගෙන කැළුම්ට හරි ශානිට හරි දුන්නම වාර්තාව සකස් කරන්න කියලා, ඒගොල්ලො ටයිප්සෙට් කරන වාර්තාව මම දෙකෙන් පංගුවට කපනවා. හෙඩිං වෙනස් කරනවා. මට තාම මතකයි දවසක් කැළුම් කිව්වා, “අයියෝ කුසල් අයියා, මගේ මහන්සිය අපරාදේ” කියලා. නමුත් වෙබ් අඩවි වලට ප්‍රවෘත්ති බලන්න ගොඩවන අය හෑලි කියවන්නෙ නැහැ කියන මතයේ මං හිටියේ.

ඒ වගේම විසම්මුතික අදහස් ඉදිරිපත් කිරීමේ කලාවක් හැටියට Lanka Dissent වල කොළඹ, මහනුවර වගේ නගරවල සංවාද සාකච්ඡා පැවැත්වෙන විට ඒවායේ ප්‍රවෘත්ති පළ කිරීමටත් ලොකු උත්සාහයක් ගත්තා. විශේෂයෙන් උතුරු-නැගෙනහිර අර්බුදයට යුද්ධයද නැත්තනම් සාකච්ඡාද කියන මතවාදයට අදාල අයුරින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයට නාගරික සමාජයේ යම් අවධානයක් ලැබුණා. එනිසා කොළඹ තානාපති කාර්යාල කිහිපයක් අපත් එක්ක සම්බන්ධකම් පැවැත් වූවා. ඒ වනවිට, රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනය උත්සන්න වෙමින් පැවතුනේ. කොළඹ ප්‍රධාන තානාපති කාර්යාල කිහිපයක් මාධ්‍ය මර්දනය ගැන දැඩි කණස්සල්ලෙන් හිටියේ. අපි ආර්ථික වශයෙන් ඉතා අමාරුවෙන්, රුවන්ගේ උත්සාහ මත යැපුනු නිසා, තානාපති කාර්යාල දෙක තුනකින් අපට ආධාර කරන්නත් මාත් සමග සාකච්ඡා කළා. නමුත් අපේ ස්වාධීනත්වය ඇතිව එවැනි ආධාර ලබා ගැනීමේ පරස්පරය සමග ඒවා අත හැරුනා.

යුද්ධය ටික ටික උත්සන්නවීමත් Lanka Dissent වෙත වැඩි පාඨක අවධානයක් ලැබීමත් සමගාමීව සිදුවුනේ. දෙමළ ඩයස්පෝරාව වගේම, සිංහල-බෞද්ධ ඩයස්පෝරාවත් ඒ අතර හිටියා. ඒ වනවිට අපි නැවතත් කාර්යාල ස්ථාන මාරුවක් කර තිබුණා. 2008 වන විට අපි වැඩ කෙරුවේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටයි. ඒ අතර, Lanka Dissent මාධ්‍ය භාවිතය රාජපක්ෂලාගේ අවධානයට හසුව තිබුණා. ඔවුන්ගේ ආරක්ෂක අංශ අපේ ප්‍රවෘත්ති දැඩි විමසිල්ලකට ලක් කර තිබූ බව මා දැන ගත්තේ නිල නොවන ආරක්ෂක ක්ෂේත්‍රයේ බ්ලොග් අඩවියක මා ගැන තිබූ සඳහන් කිරීම් වලින්. ඒ වගේම ඉන්දික ඔහුගේ දේශපාලනය නිසා අත්අඩංගුවට පත්වීමේ තර්ජනයට ලක්ව හිටියේ. 2008 දෙවන භාගයේ ඔහු ස්වේච්ඡායෙන් අතුරුදහන් වුනා. ඔහුට ඒ දිනවලම ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලැබුණා.

ඉඳහිට අපි පොඩි අඩියකට හවසට ගොඩවන හෝටලයක දවසක් හවස මං කැළුම් සමග අල්ලාප සල්ලාපයේ ඉන්නකොට අපිත් සමග හිතවත්ව සිටි සේවකයෙක් හෙමිහිට ඇවිත් කිව්වා, තවත් මේසයක අපි දෙන්නා ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් ඉන්නවා, ඒ නිසා හෙමීට දැන්ම පිටත් වුනොත් හොඳයි කියලා. ඒ පණිවිඩයෙන් පස්සේ අපි දෙන්නා වෙන වෙනම මාරු උනා. ඇත්තට එදා බිල ගෙවන්නවත් උනේ නැහැ. ටික කලකට අපි ආයේ එතනට ගියේ නැහැ.

ආපසු හැරී බලනවිට, අද වගේ අන්තර්ජාල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්තව පුළුල්ව නොතිබුණු යුගයක, රාජ්‍ය මර්දනයද තියුණුවන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් කොළඹට වඩා යාපනයෙන් වාර්තා වුනු අවධියක, වෙබ් පුවත් මාධ්‍යකරණයේ මාස 18 ක අත්දැකීම් ඉතා සංකීර්ණ හා අභියෝගාත්මක අත්දැකීම් වුනා. ඒ අභියෝගයේ එක් අසීරු කඩුල්ලක් වුනේ, සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාව දෙවන හෝ තෙවන පාර්ශවයකින් විමසා බැලීමේ අවස්ථාවක් වෙබ් පුවත් මාධ්‍යකරණයෙහි නොලැබීමයි. වෙබ් මාධ්‍යකරණය කියන්නේ කාලය අපතේ නොහැර, හැකි ඉක්මණින් නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීමයි. ඒ නිසා බොහෝ ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව තීන්දු කරන්න සිදුවෙන්නේ තොරතුරු ලබා දෙන්නා ගැන තබන විශ්වාසය මත. දෙවැන්න එවැනි සිදුවීමකට ඇති සම්භාවිතාව ගැන මාධ්‍යවේදියාගේ කියවීමයි. එනිසා ප්‍රවෘත්තිය පළ කිරීමේදී වෙබ් පුවත් අඩවිවල යම් අවදානමක් තියෙනවා. හැකි නම් තවත් පාර්ශවයකින් එය සොයා බැලීම වටිනවා. නමුත් මූලික සාධකය වෙන්නේ කෙතරම් විශ්වාසවන්ත අවංක තොරතුරු සැපයීමේ සම්බන්ධතා වර්ධනය කර ගන්නවාද කියන එකයි.

බැලුවම ඒ මාස 18 නොසෑහෙන දිගු කාලයක්. එතනින් ඒ මාධ්‍යකරණය අවසන් වුනේ 2009 ජනවාරි 08 වන දින සන්ඩේ ලීඩ පුවත් පතේ ප්‍රධාන කර්තෘ අපේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. එවැනි අවදානමක් සමග Lanka Dissent මාධ්‍යකරණය පවත්වාගෙන යා නොහැකි යැයි මම ගණන් හැදුව නිසා පසුදින අපි Lanka Dissent වෙබ් පුවත් අඩවිය, මං ඉතාම කෙටියෙන් ලියුව විසම්මුතික ප්‍රකාශයක් සමග අවසන් කෙරුවා.

එදා අපිත් එක්ක හවුල් වුන අයගෙන් දැන් වෙබ් මාධ්‍යකරණයේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් හැටියට ඉන්නේ කැළුම් සහ ශානි විතරයි මං හිතන්නේ. නමුත් රුවන් නම් තාම “වෙබ් අඩවි ගොඩ් ෆාදර්ම” තමයි.  

– කුසල් පෙරේරා
2023 ජුලි 07    

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved