විශේෂාංග
අපි තමයි “ලංකා විසම්මුතිය”
Published
2 years agoon
By
editor
දැන් අපි මේ ඉන්නේ විසම්මුති එතරම් නැති, “ආණ්ඩු විරෝධය” උත්සන්නවන යුගයක. ඒ නිසා මේ යුගයේ ආණ්ඩු විරෝධි ප්‍රකාශන වැඩිමනත් හමුවෙන්නේ සමාජ මාධ්‍ය ජාලවල, යූටියුබ් කතාවල සහ විවිධාකාරයෙන් හා තොග ගණනින් පළ කෙරෙන වෙබ් පුවත් පිටුවල. ඒ නිසා දැන් ආණ්ඩුව පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ වැඩි වුවමනාවක් පෙන්වන ප්‍රකාශ කෙරෙනවා.
තොරතුරු තාක්ෂණයේ සන්නිවේදන විවිධත්වය දැන් අතිශය සරළ භාවිත සඳහා වර්ධනය කෙරෙන්නේ කුඩා ස්මාට් ෆෝන් වලටත් අදාලවයි. ස්මාට් ෆෝන් සාමාන්‍ය ජංගම දුරකතන බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා විරෝධතා, හෙළා දැකීම්, හෙළිදරුව් කිරීම් කෙළවරක් නැතිව පළ කෙරෙන්නේ ෆේස්බුක්, ට්විට, ඉන්ස්ටග්‍රම්, ටික්ටොක්, වගේ අන්තර්ජාල මෙවලම් යොදා ගෙනයි. ඒවයේ නිර්නාමිකව හෝ ව්‍යාජ අනන්‍යතා සමග පෙනී සිටිය හැකි නිසා වගේම තමන්ගේ පුද්ගල ප්‍රකාශ සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය තුල වැඩි ඉඩක් නොමැති නිසා පුද්ගල ප්‍රකාශකයින් බහුතරයක් ගොඩ වෙන්නේ එවැනි අන්තර්ජාල සන්නිවේදන වේදිකා වලටයි.
මම මේ කතා කරන්න යන්නේ එවැනි බොහෝ දේ නොදන්නා, නොතිබුණ යුගයක, ආණ්ඩු විරෝධය සමග විසම්මුතියත් ප්‍රධාන කතාවක් කරගත් අත්දැකීමක් ගැනයි.
මේ හරියටම අවුරුදු 16 ට කලින් ආරම්භ වුන කතාවක්. මම දිනය මතක තියාගෙන ඉන්නේ 07.07.07 හැටියට. එදා තමයි Lanka Dissent (ලංකා ඩිසෙන්ට්) වෙබ් පුවත් අඩවිය අන්තර්ජාලයේ පළ කෙරුවේ. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල සහ ජනප්‍රිය රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල හමු නොවන ප්‍රවෘත්ති පළ කරන, යම් ආණ්ඩු විරෝධයක් සහිත වෙබ් පුවත් අඩවියක් ආරම්භ කිරීමේ අදහස, යහපාලන ආණ්ඩුව කාලයේ ඉතා දරුණු මාධ්‍ය සත්වයෙක් හැටියට පුවත් පතක “වෙබ් අඩවි ගොඩ් ෆාදර්” කියලා නම පටබැඳුව රුවන් ෆර්ඩිනැන්ඩස්ගෙ අදහසක්. නමුත් ඒ අදහසට දේශපාලන අර්ථයක් ඇතිව දිසානිතිය තීන්දු වුනේ දීප්ති ගුණරත්නගේ මැදිහත්වීමෙන්. වෙබ් පුවත් අඩවියට Lanka Dissent කියන නම දුන්නෙත් දීප්ති. ඉතිරි සංවිධානාත්මක වැඩ, සම්පත් ගොනු කිරීමේ වගකීම, වැඩි කතා බහක් නැතිව උදේ හවස කෙරුණේ රුවන්ගෙන්.
මම හවුල් වෙන්නේ රුවන්ගේ ඉල්ලීමට අමතරව, එවැනි මාධ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවක් මටත් දැනුණ නිසයි. ආරම්භයේදී කර්තෘ වශයෙන් වගකීම් භාර ගත්තේ ගාමිණි වියන්ගොඩ. මට මතක හැටියට, ආරම්භක මාධ්‍යවේදීන් කිහිපදෙනා වුනේ ඉන්දික, කැළුම්, තාරක, සහ ශානි. ඒ අතරින් සාම්ප්‍රදායික මාධ්‍ය අත්දැකීමක් තිබුණේ ලක්බිම පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වාර්තා කළ කැළුම්ටයි. උපාධිය සම්පූර්ණ කර පැමිණි ශානි, එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවක අර්ධකාලීනව සේවය ආරම්භකර තිබූ ලා බාල තරුණියක්. තාරක මට මතක විදියට සිරස ආයතනයේ ඉංග්‍රීසි පරිවර්තන වැඩ කළ කෙනෙක්. ඉන්දික ඇත්තටම දේශපාලන සත්වයෙක්.
ඊට අමතරව ප්‍රවෘත්ති ලබා දෙන බාහිර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් හිටියා. ඒ අය වැඩියෙන් ගනුදෙනු කෙරුවේ රුවන් හරහායි. වෙබ් අඩවියේ තාක්ෂණික කටයුතුත් රුවන්ගේ සම්බන්ධකම් මත තමයි කෙරුණේ. ඒ කාලයේ අපිට ඕනේ විදියට වෙබ් පිටු සැළසුම් කරන්න, වෙනත් පිටු අමුණන්න, පරණ පුවත් නැවත කියවිය හැකි ලෙස සංරක්ෂණය කරන්න, ඡායාරූප ඇතුළත් කරන්න තාක්ෂණය දන්නා මාධ්‍යවේදීන් අපට හිටියේ නැහැ. තාක්ෂණ ශීල්පීන්ගේ සහාය ඒ නිසා බාහිරින් ලබා ගත්තක්. නමුත් පාඨකයින් රඳවා ගන්න වෙබ් පිටු ආකර්ශනීය ලෙස සැළසුම් කිරීමේ අත්හදා බැලීම් කරන්න Lanka Dissent අපි බය වුනේ නැහැ.
මාසයකට විතර පසු බොරැල්ලෙන් පොල්හේන්ගොඩට කාර්යාලය මාරුවෙලා මාසයක් දෙකක් යනකොට ගාමිණි ඉවත් වුනා. ඒ නිසා කර්තෘ වගකීම් සියල්ලට උර දුන්නේ මම. ඒ වන විට, අපි සිංහල සහ ඉංග්‍රීසි වෙබ් පුවත් පතක් හැටියට යම් අවධානයක් ලබා ගෙන තිබුණේ. ඊට හේතු තිබුණා. එකක් වෙබ් පුවත් අඩවි තිබුණේ කිහිපයයි. ඒවායේ සාමාන්‍ය පුවත් පත් වලට වඩා වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම ඒවා යහළු යෙහෙළි පිටු, ජනප්‍රිය පුද්ගලයින්ගේ ඕපා දූප වගේ තොරතුරු සමගින් පැවතුනු පුවත් අඩවි. අනෙක අපි සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ අමාත්‍යාංශවල, දේශපාලකයින්ගේ ප්‍රවෘත්ති පළ කරන්න උනන්දු නොවීම. ඒ වගේම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වැදගත් භාෂා භාවිතයක් තහවුරු කිරීම සහ උතුරු-නැගෙනහිර යුද්ධය සම්බන්ධව වෙනත් මාධ්‍ය පළ නොකරන පුවත් නිවැරදිව හා නොපමාව පළ කිරීම. වැදගත් වූයේ වැඩි කලක් නොගොසින් අපි ඉතා වගකීමෙන් ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවියක් කියන පාඨක විශ්වාසය දිනා ගැනීමට සමත් වීමයි. ඒ වගේම ඉතා ඉක්මණින් දෙමළ බසින්ද වෙබ් පිටුවක් ආරම්භ කිරීම හේතුවක් කියලා මම හිතනවා. ඇත්තටම 2007 තුන්වන කාර්තුව වනවිට, වෙනත් ජනප්‍රිය අංග නොමැති, පුවත් සඳහාම වෙන්වූ පළමු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවිය වූයේ Lanka Dissent කියලා මගේ විශ්වාසයයි.
රුවන්ට ලැබුණු තොරතුරු එයා මාගල් වගේ අතින් ලියා සටහන් කරගෙන කැළුම්ට හරි ශානිට හරි දුන්නම වාර්තාව සකස් කරන්න කියලා, ඒගොල්ලො ටයිප්සෙට් කරන වාර්තාව මම දෙකෙන් පංගුවට කපනවා. හෙඩිං වෙනස් කරනවා. මට තාම මතකයි දවසක් කැළුම් කිව්වා, “අයියෝ කුසල් අයියා, මගේ මහන්සිය අපරාදේ” කියලා. නමුත් වෙබ් අඩවි වලට ප්‍රවෘත්ති බලන්න ගොඩවන අය හෑලි කියවන්නෙ නැහැ කියන මතයේ මං හිටියේ.
ඒ වගේම විසම්මුතික අදහස් ඉදිරිපත් කිරීමේ කලාවක් හැටියට Lanka Dissent වල කොළඹ, මහනුවර වගේ නගරවල සංවාද සාකච්ඡා පැවැත්වෙන විට ඒවායේ ප්‍රවෘත්ති පළ කිරීමටත් ලොකු උත්සාහයක් ගත්තා. විශේෂයෙන් උතුරු-නැගෙනහිර අර්බුදයට යුද්ධයද නැත්තනම් සාකච්ඡාද කියන මතවාදයට අදාල අයුරින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයට නාගරික සමාජයේ යම් අවධානයක් ලැබුණා. එනිසා කොළඹ තානාපති කාර්යාල කිහිපයක් අපත් එක්ක සම්බන්ධකම් පැවැත් වූවා. ඒ වනවිට, රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනය උත්සන්න වෙමින් පැවතුනේ. කොළඹ ප්‍රධාන තානාපති කාර්යාල කිහිපයක් මාධ්‍ය මර්දනය ගැන දැඩි කණස්සල්ලෙන් හිටියේ. අපි ආර්ථික වශයෙන් ඉතා අමාරුවෙන්, රුවන්ගේ උත්සාහ මත යැපුනු නිසා, තානාපති කාර්යාල දෙක තුනකින් අපට ආධාර කරන්නත් මාත් සමග සාකච්ඡා කළා. නමුත් අපේ ස්වාධීනත්වය ඇතිව එවැනි ආධාර ලබා ගැනීමේ පරස්පරය සමග ඒවා අත හැරුනා.
යුද්ධය ටික ටික උත්සන්නවීමත් Lanka Dissent වෙත වැඩි පාඨක අවධානයක් ලැබීමත් සමගාමීව සිදුවුනේ. දෙමළ ඩයස්පෝරාව වගේම, සිංහල-බෞද්ධ ඩයස්පෝරාවත් ඒ අතර හිටියා. ඒ වනවිට අපි නැවතත් කාර්යාල ස්ථාන මාරුවක් කර තිබුණා. 2008 වන විට අපි වැඩ කෙරුවේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටයි. ඒ අතර, Lanka Dissent මාධ්‍ය භාවිතය රාජපක්ෂලාගේ අවධානයට හසුව තිබුණා. ඔවුන්ගේ ආරක්ෂක අංශ අපේ ප්‍රවෘත්ති දැඩි විමසිල්ලකට ලක් කර තිබූ බව මා දැන ගත්තේ නිල නොවන ආරක්ෂක ක්ෂේත්‍රයේ බ්ලොග් අඩවියක මා ගැන තිබූ සඳහන් කිරීම් වලින්. ඒ වගේම ඉන්දික ඔහුගේ දේශපාලනය නිසා අත්අඩංගුවට පත්වීමේ තර්ජනයට ලක්ව හිටියේ. 2008 දෙවන භාගයේ ඔහු ස්වේච්ඡායෙන් අතුරුදහන් වුනා. ඔහුට ඒ දිනවලම ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලැබුණා.
ඉඳහිට අපි පොඩි අඩියකට හවසට ගොඩවන හෝටලයක දවසක් හවස මං කැළුම් සමග අල්ලාප සල්ලාපයේ ඉන්නකොට අපිත් සමග හිතවත්ව සිටි සේවකයෙක් හෙමිහිට ඇවිත් කිව්වා, තවත් මේසයක අපි දෙන්නා ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් ඉන්නවා, ඒ නිසා හෙමීට දැන්ම පිටත් වුනොත් හොඳයි කියලා. ඒ පණිවිඩයෙන් පස්සේ අපි දෙන්නා වෙන වෙනම මාරු උනා. ඇත්තට එදා බිල ගෙවන්නවත් උනේ නැහැ. ටික කලකට අපි ආයේ එතනට ගියේ නැහැ.
ආපසු හැරී බලනවිට, අද වගේ අන්තර්ජාල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්තව පුළුල්ව නොතිබුණු යුගයක, රාජ්‍ය මර්දනයද තියුණුවන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් කොළඹට වඩා යාපනයෙන් වාර්තා වුනු අවධියක, වෙබ් පුවත් මාධ්‍යකරණයේ මාස 18 ක අත්දැකීම් ඉතා සංකීර්ණ හා අභියෝගාත්මක අත්දැකීම් වුනා. ඒ අභියෝගයේ එක් අසීරු කඩුල්ලක් වුනේ, සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාව දෙවන හෝ තෙවන පාර්ශවයකින් විමසා බැලීමේ අවස්ථාවක් වෙබ් පුවත් මාධ්‍යකරණයෙහි නොලැබීමයි. වෙබ් මාධ්‍යකරණය කියන්නේ කාලය අපතේ නොහැර, හැකි ඉක්මණින් නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීමයි. ඒ නිසා බොහෝ ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව තීන්දු කරන්න සිදුවෙන්නේ තොරතුරු ලබා දෙන්නා ගැන තබන විශ්වාසය මත. දෙවැන්න එවැනි සිදුවීමකට ඇති සම්භාවිතාව ගැන මාධ්‍යවේදියාගේ කියවීමයි. එනිසා ප්‍රවෘත්තිය පළ කිරීමේදී වෙබ් පුවත් අඩවිවල යම් අවදානමක් තියෙනවා. හැකි නම් තවත් පාර්ශවයකින් එය සොයා බැලීම වටිනවා. නමුත් මූලික සාධකය වෙන්නේ කෙතරම් විශ්වාසවන්ත අවංක තොරතුරු සැපයීමේ සම්බන්ධතා වර්ධනය කර ගන්නවාද කියන එකයි.
බැලුවම ඒ මාස 18 නොසෑහෙන දිගු කාලයක්. එතනින් ඒ මාධ්‍යකරණය අවසන් වුනේ 2009 ජනවාරි 08 වන දින සන්ඩේ ලීඩ පුවත් පතේ ප්‍රධාන කර්තෘ අපේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. එවැනි අවදානමක් සමග Lanka Dissent මාධ්‍යකරණය පවත්වාගෙන යා නොහැකි යැයි මම ගණන් හැදුව නිසා පසුදින අපි Lanka Dissent වෙබ් පුවත් අඩවිය, මං ඉතාම කෙටියෙන් ලියුව විසම්මුතික ප්‍රකාශයක් සමග අවසන් කෙරුවා.
එදා අපිත් එක්ක හවුල් වුන අයගෙන් දැන් වෙබ් මාධ්‍යකරණයේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් හැටියට ඉන්නේ කැළුම් සහ ශානි විතරයි මං හිතන්නේ. නමුත් රුවන් නම් තාම “වෙබ් අඩවි ගොඩ් ෆාදර්ම” තමයි.
– කුසල් පෙරේරා
2023 ජුලි 07

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.
ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.
පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.
පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.
නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.
පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.
එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.
රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.
ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.
මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.
පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්‍රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.
මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.
මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු
මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.
මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.
ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.
ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.
පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.
2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.
නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.
පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.
පරිපාලන හා නියාමන සේවා
මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.
මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- මහ නගර සභා අඥා පනත (1947)
- නගර සභා අඥා පනත (1939)
- ප්‍රාදේශීය සභා පනත (1987)
මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.
පුංචි ආණ්ඩුවක බලය
ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.
සමන්ති වීරසේකර
– දිවයින –

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ.
ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය.
ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.
ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්‍රවෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.
මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි.
RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.
ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.
නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.
ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

ලුණු තොගය දිවයිනට එන්න දින කිහිපයක් ප්‍රමාද විය හැකියි (UPDATE)

ලක්මාලිට ලොකු තනතුරක්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්
Trending
-
පුවත්5 days ago
IMF තීන්දුව, ලෝක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි?
-
පුවත්4 days ago
තෙල් සංස්ථාවේ “අයිෆෝන්” බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවා – MD
-
පුවත්7 days ago
රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක්
-
පුවත්2 days ago
සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමූ රූපවාහිනී සංස්ථා ලොක්කෝ (වීඩියෝ)
-
පුවත්6 days ago
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ