Connect with us

විශේෂාංග

ජාත්‍යන්තර කාන්තා දිනය යනු කුමක් ද?

Published

on

ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය.

නමුත් මෙම දිනය කුමක් සඳහා ද? එය යෙදී ඇත්තේ කවදා ද? එය සැමරීමක් ද? විරෝධතාවක් ද? ඊට සමාන ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද? මෙම වසරේ සිදුවන දෑ මොනවා ද? 

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින ජනතාව මාර්තු 8 දා කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස සලකනු ලබයි.

ඒ ඇයිදැ යි දැනගන්න, කියවන්න.

එය ආරම්භ වූයේ කෙසේ ද?

කෙටියෙන් IWD ලෙස ද හඳුන්වනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ (UN) පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා වර්ධනය වූයේ කම්කරු ව්‍යාපාරය හරහා ය.

තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසට ත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසට ත්, ඡන්ද අයිතිය දෙන ලෙසට ත් ඉල්ලමින් කාන්තාවන් 15 000ක් නිව්යෝර්ක් නගරයේ සිදු කළ පාගමනක ප්‍රතිඵලයක් වශයෙන් 1908 වසරේ දී එහි මූලාරම්භය සිදු විය. ඉන් වසරකට පසුව, ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය. 

එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කිරීමේ අදහස පැමිණියේ කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවගෙනි. 1910 වසරේ දී කෝපන්හේගන්හි වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සමුළුවක දී ඇය මෙම අදහස යෝජනා කළා ය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වී සිටි අතර, ඔවුහු ඇගේ යෝජනාවට ඒකමතිකව එකඟවූහ.

1911 වසරේ දී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල එය මුලින් ම සමරනු ලැබිණි. එහි ශතක පූර්ණ සංවත්සරය සමරනු ලැබුවේ 2011 වසරේ දී ය. 

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමත් සමග එය නිල වශයෙන් පිළිගනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය (1996 වසරේ දී) විසින් ඊට යොදා ගන්නා ලද පළමු තේමා පාඨය වූයේ “අතීතය සමරමින්, අනාගතය සැලසුම් කිරීම” යන්න ය. 

ජාත්‍යන්තර කාන්තා දිනය සමාජයීය වශයෙන්, දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ ඇති ද යන්න සැමරීමේ දිනයක් බවට පත්ව තිබුණ ද, අද වන විට දේශපාලන මූලයන් අදහස් කරන්නේ එය අඛණ්ඩ අසමානතාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන දිනයක් බව ය.

ඇයි මාර්තු 8?

ජාත්‍යන්තර කාන්තා දිනයක් සඳහා වූ ක්ලාරාගේ අදහසට නිශ්චිත දිනයක් නොතිබිණි.

1917 වසරේ දී රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා සිටි යුදකාලීන වැඩ වර්ජනය පැමිණෙන තෙක් එය විධිමත් නොවිණි. වැඩ වර්ජනය ආරම්භ කර දින හතරක් ගත වන විට සාර්ට රජකම අත්හරින ලෙස බල කෙරුණු අතර, තාවකාලිකව පත්වුණු රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ තිබූ ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනයේ මෙම දිනය මාර්තු 8 වන දා වූ අතර අද එය සමරනු ලබන්නේ ඒ අනුව ය.

මිනිසුන් දම් පාට අඳින්නේ ඇයි?

ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවියට අනුව දම්, කොළ සහ සුදු IWDහි වර්ණ වේ.

“දම් පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරනවා. කොළ පාට සංකේතවත් කරන්නේ බලාපොරොත්තුව. සුදු පාට මතභේදාත්මක සංකල්පයක් වුණත් පාරිශුද්ධත්වය නියෝජනය කරනවා. මේ වර්ණ භාවිතය ආරම්භ වුණේ 1908 වසරේ දී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමයෙන් (WSPU),” ඔවුහු පවසති.

ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?

ඔව්. නොවැම්බර් 19 වන දාට එය යෙදී තිබේ.

නමුත් එය නම්කෙරුනේ 1990 ගණන්වල සිට වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු නොලබයි. එක්සත් රාජධානිය ඇතුළුව ලොව පුරා රටවල් 80කට වැඩි ගණනක ජනතාව එය සමරති.

සංවිධායකයින්ට අනුව මෙම දිනයේ දී “පිරිමි පුද්ගලයින් ලෝකයට, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන්ට ගෙන එන ධනාත්මක වටිනාකම” සමරනු ලබන අතර ආදර්ශයට ගත හැකි ධනාත්මක පිරිමින් ඉස්මතු කිරීම, පිරිමින්ගේ යහපැවැත්ම පිළිබඳ දැනුවත් කිරීම සහ ස්ත්‍රීපුරුෂ සමාජ සම්බන්ධතා යහපත් ලෙස වැඩි දියුණු කිරීම අරමුණු කරයි

කාන්තා දිනය සමරන්නේ කෙසේ ද?

ර්තු 8 වන දිනට ආසන්න දින තුනක හෝ හතරක කාලය තුළ සිට මල් අලෙවිය දෙගුණ වන රුසියාව ඇතුළු බොහෝ රටවල ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් වේ.

චීනයේ රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි, එරට බොහෝ කාන්තාවන්ට මාර්තු 8 වන දින වරුවක් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීමට අවස්ථාව හිමි වේ. 

ඉතාලියේ ‘ලා ෆෙස්ටා දෙලා දෝනා’ (la Festa della Donna) හෙවත් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ මිමෝසා මල් (නිදිකුම්බා වැනි) ලබා දීමෙනි. මෙම සම්ප්‍රදායේ මූලාරම්භය අපැහැදිලි නමුත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

එක්සත් ජනපදයේ මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරනු ලබන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකින් මෙරිකානු කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ අගය කරයි.

2023 ජාත්‍යන්තර කාන්තා දින තේමාව කුමක් ද?

2023 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා එක්සත් ජාතීන්ගේ තේමාව වන්නේ, “ඩිජිට්ඕල්: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් නවෝත්පාදනය සහ තාක්ෂණය” (DigitALL: Innovation and technology for gender equality) යන්න ය. තාක්‍ෂණය සහ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කාන්තාවන් සහ ගැහැණු දරුවන් දක්වන දායකත්වය හඳුනා ගෙන සැමරීම මෙම තේමාවේ අරමුණයි.

මෙම වසරේ, ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අසමානතාව කෙරෙහි ඩිජිටල් ස්ත්‍රීපුරුෂ පරතරයේ බලපෑම ද ගවේශනය කරනු ලබයි. ඒ, පියවරක් නොගන්නේ නම්, 2025 වසර වන විට කාන්තාවන්ට ඔන්ලයින් ලෝකයට ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක පාඩුවක් සිදු වනු ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තුගත කරන පසුබිමක ය.

නමුත් එය වටා වෙනත් තේමා ද තිබේ. “කාන්තාවන් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට වේදිකාවක් සැපයීමට” නිර්මාණය කර ඇති බව පවසන ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවිය “ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිවලට (gender stereotypes) අභියෝග කිරීම, වෙනස්කොට සැලකීමට එරෙහිව හඬ නැගීම, පක්ෂග්‍රාහීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සහ සමානාත්මතාව සොයා යාම” බලාපොරොත්තුවෙන් සංවිධායකයින් සහ උත්සව එක්ව #EmbraceEquity යන්න තේමාව ලෙස තෝරා ගෙන ඇත.

අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

පසුගිය වසර තුළ ඇෆ්ඝනිස්ථානය, ඉරානය, යුක්රේනය සහ එක්සත් ජනපදය වැනි බොහෝ රටවල කාන්තාවෝ සිය රටවල යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් මධ්‍යයේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළහ.

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානයේ පුනර්ජීවනය විසින් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ මානව හිමිකම්වල ප්‍රගතියට බාධා කර ඇති අතර, දැන් ඔවුන්ට උසස් අධ්‍යාපනය, නිවසින් පිටත ඇති රැකියා බොහොමයක නිරතවීම, පිරිමි භාරකරුවෙකු නොමැතිව දිගු දුරක් සංචාරය කිරීම තහනම් කිරීම සහ ප්‍රසිද්ධි ස්ථානවලදී මුහුණු වසා ගැනීමට උපදෙස් දෙනු ලැබ ඇත.

කාන්තාවන් හිජාබය පැළඳිය යුතු බවට වූ ඉරාන දැඩි නීති කඩ කළේයැ යි චෝදනා කරමින් 2022 සැප්තැම්බර් 13 වන දින ටෙහෙරානයේ දී සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි මසා අමිනී නමැති කාන්තාව මියයාම හේතුවෙන් ඉරානයේ විරෝධතා මතු විය.

එතැන් සිට, කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයේ ම සහභාගීත්වයෙන් බොහෝ ඉරාන ජාතිකයින්, කාන්තාවන් සඳහා වඩා හොඳ මානව අයිතිවාසිකම් සහ වත්මන් දේශපාලන නායකත්වයෙන් වෙනසක් ඉල්ලා රට පුරා අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කර තිබේ. “කාන්තාව, ජීවිතය, නිදහස” යන්න විරෝධතාවල සටන් පාඨය යි. බලධාරීහු ඒවා “කැරලි” ලෙස හුවා දක්වමින් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වූහ. 500කට අධික පිරිසක් මියගොස් ඇත.

2022 පෙබරවාරි 24 වන දින රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසුව, යුක්රේනය තුළ සහ ලොව පුරා යුද්ධයෙන් නිසා සිදු වූ මිල ඉහළ දැමීම් සහ හිඟවීම් හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවයේ ස්ත්‍රීපුරුෂ පරතරය, මන්දපෝෂණය, දරිද්‍රතාව සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම නරක අතට හැරී ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි. 

මෙරිකානු කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිය ආරක්ෂා කළ ඓතිහාසික නඩු තීන්දුවක් වන රෝ එදිරිව වේඩ් නඩු තීන්දුව 2022 ජූනි 24 වන දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. එය එක්සත් ජනපදයේ පුළුල්ව පැතිරුණු උද්ඝෝෂණ සහ විරෝධතාවලට තුඩු දුන්නේ ය. 2021 වසරේ දී ඓතිහාසික තීන්දුවක් මගින්, ගබ්සාව අපරාධමය වරදක්යැ යි යන්න මෙක්සිකෝව නොසලකා හරින ලද අතර ගබ්සා කර ගැනීම සඳහා එරට වැසියන්ගෙන් එක්සත් ජනපද කාන්තාවන් ගණනාවක් සහාය බලාපොරොත්තු වී තිබේ.

නමුත් පසුගිය වසර කිහිපය තුළ ප්‍රගතියක් දක්නට ලැබේ.

2022 නොවැම්බරයේ දී, යුරෝපීය පාර්ලිමේන්තුව 2026 ජූලි වන විට පොදු ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය වැඩි කිරීම සහතික කිරීම සඳහා වසර 10ක සටනකින් පසු නීතියක් සම්මත කළේ ය. “ඉහළ රැකියා සඳහා සුදුසුකම් තියෙන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. අපේ නව යුරෝපීය නීතියත් එක්ක, ඒ අයට ඒවා [රැකියා] ලබා ගන්න සැබෑ අවස්ථාවක් ඇති කරනවා කියලා අපි සහතික වෙනවා,” යුරෝපා සංගමය පැවසීය.

මේ අතර, ආර්මේනියාවේ සහ කොලොම්බියාවේ මාපිය නිවාඩු නීති යාවත්කාලීන කරන ලද අතර, ස්පාඤ්ඤය ඔසප් සෞඛ්‍ය නිවාඩු සඳහා සහ ගබ්සාවට ප්‍රවේශ වීමට අවශ්‍ය නීති සම්මත කළේ ය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 45%ක් කාන්තාවන් වූ, වඩාත් ම ස්ත්‍රීපුරුෂ සමාජභාවය සමතුලිත ශීත ඍතු ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2022 වසරේ දී බීජිංහි දී පැවැත්වීය.

2023 වසරේ දී පැවැත්වෙන ෆිෆා කාන්තා ලෝක කුසලානය කණ්ඩායම් 36කට සහභාගි විය හැකි පරිදි අලුතින් පුළුල් කර ඇත. තරගයට පෙර, එක්සත් ජනපද පාපන්දු සම්මේලනය සිය පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට සමානව ගෙවීමට ඓතිහාසික එකඟතාවකට එළැඹි අතර, එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම සමාන පරිදි මුදල් ගෙවීමට පොරොන්දු වූ පාපන්දු ක්‍රීඩා කරන පළමු රට බවට පත් විය. ක්‍රීඩිකාවෝ වසර පහකට වැඩි කාලයක් තර්ක කරමින් සමාන වැටුප් හිමි විය යුතු බවට නඩු ගණනාවක් ගොනු කර තිබූහ.

(BBC NEWS)

සිංහල

තවත් බොහෝ දේ

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

Published

on

By

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස  සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.

ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ  මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.

ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.

2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.

සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.

YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.

Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.

සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.

කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.

නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

Continue Reading

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

By

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය

Published

on

By

කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා.  හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා  නෑ ලූ.  ව්‍යාපෘතිය අසාර්ථකයි.

දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.

හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.

අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.

පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා.  හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!  

මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.  

මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු  8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි)  ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු)  ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.

ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි.   නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා.  ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.

ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා.  අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.  

ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.

ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ‍ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.

රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.  එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!

රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන‍ පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.

විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.

‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි.  ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved