Connect with us

විශේෂාංග

තකිකෝ යොෂිඩා : ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය සැමරේ

Published

on

ශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය වූ තකිකෝ යොෂිඩා මැතිණියගේ 23වැනි ගුණසමරුව අදයි (28).

1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු  ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ හෝ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ පැවති උනන්දුව ඉතාම අල්පය.එකල මෙරට පෙරපාසල් අධ්‍යාපනයට යොමු වී සිටියේ 5% තරම් සුළු සංඛ්‍යාවකි. එසේම එය මෙරට නාගරික ප්‍රභූ පංතියේ පංතිමය විලාසිතාවක් මිස අධ්‍යාපන මෙවලමක් ලෙස සැලකුනේ නැත..එසේම එකල මෙරට රජයන් ද මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය යන්න ජාතික  අධ්‍යාපනයේ ප්‍රධාන පදනම ලෙස හෝ ළමයෙකුගේ අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්  ලෙස නොසැලකූ සාධකයක් විය.විශේෂයෙන් එකල මෙරට පෙරපාසල් බහුතරයක් ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙරට සාමාන්‍ය පංතියේ දරුවන්ට හා දෙමව්පියන්ට  පෙරපාසල් අධ්‍යාපනය බොහෝ දුරින් පිහිටි ඉසව්වක් විය.

මෙවැනි වටාපිටාවක් තුළය බානගල උපතිස්ස හිමියෝ ජපානයේ තකිකෝ යොෂිඩා මැතිණියගේ පූර්ණ අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපානයේ පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල 1979 ජුනි 26 දා සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙරපාසල නමින් ස්ථාපිත කරන්නේ. එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය විය.එතැනින් පටන් ගත් මෙරට පෙර පාසල් අධ්‍යාපන විප්ලවය අද වනවිට මේ රටේ 90% දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට සහ පෙර පාසල් අධ්‍යාපනය දරුවෙකුට අනිවාර්ය අධ්‍යාපන සාධකයක් ලෙස දෙමව්පියන් තුළ තහවුරු කර හමාරය.

කවුද මේ

ඔකාසාන් (අම්මා) හෙවත් තකිකෝ යොෂිඩා මැතිණිය වර්ෂ 1908 අගෝස්තු  මස 16 වන දින ජපානයේ කි‍යුෂු (Kuyshu) ප්‍රාන්තයේ  ප්‍රභූ පවුලක උපත ලැබූ ඇය පසු කලෙක ජපානයේ තෝකියෝ නුවර අතිශය ප්‍රකට විසල් මහ රෝහලක් වන යොෂිඩා පෞද්ගලික රෝහලේ  හිමිකාරිය බවට පත්වූවාය.එය පිහිටුවනු ලැබූයේ ඇයගේ සැමියා වෛද්‍ය කිෂි යොෂිඩා (Dr.Kishi yoshida) මහතාය. ඇයගේ පුතුන් දෙදෙනකු ද වෛද්‍යවරු වෘත්තිකයෝ වෙති.

තමන් උපයන ධනස්කන්ධය ගොඩ ගසා ගනිමින්  සතුටු වන මේ ලෝකයේ මිනිසුන් අතරේ , යොෂිඩා මැතිණිය ඇයගේ ධනය අප රටේ බෞද්ධ  ජනතාවගේ සහ දරුවන්ගේ යහපත සඳහා යෙදවීමට සහ  තමන්ගේ පිහිට පිළිසරණ අවශ්‍ය තැනට නොමසුරුව යොමු කිරීමට පෙරමුණ   ගත් මහා බෞද්ධ කතකි.. ජපන් මහායානික බෞද්ධ කාන්තාවක් වූ ඇය බොහෝ දුරට බැතිබර වූයේ  ථෙරවාදී බුදු දහමටය.ඇය ථෙරවාදී බුදුදහම හදුනා ගත්තේ හැඩිගල්ලේ නා හිමියන්ගෙන් සහ බානගල උපතිස්ස හිමියන් ගෙනි. බානගල උපතිස්ස හිමියන් හා ඇයගේ ඇසුරට පදනම සැකසෙන්නෙ ඉන්දියාවේ  සාංචි නුවර දී ඇයට හමුවන බානගල උපතිස්ස හිමියන් පුංචි තේ කෝප්පයකින් කළ සංග්‍රහයක් ඔස්සේය. යොෂිඩා  මැතිනිය හා බානගල උපතිස්ස හිමියන් අතර ගොඩනැගෙන මව් පුත් වැනි  මහා සෙනෙහේ සමාගමක් නිසා,යොෂිඩා මැතිණිය  බානගල හිමියන්ව පලමුව ජපානයේ තම නිවසේ තබාගෙන ද  පසුව ඔහුට වෙනම නිවසක් ලබා දී උන්වහන්සේගේ  උසස් අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නීය.

එහි දී බානගල හිමියන් උසස් අධ්‍යාපනයට තෝරාගන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෙවත් පූර්ව ළමාවිය සංවර්ධන විෂයය.ජපානයේ පෙර පාසල් අධ්‍යාපනයට  එරට අධ්‍යාපනයේ  ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම ජපාන  රාජ්‍ය ප්‍රතිපත්තියයි.සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව මව්බිමට පැමිණෙන බානගල හිමියන් හා බැඳුණු යොෂිඩා මැතිණියගේ සබඳතාවය බිඳී ගියේ නැත.ඒ අනුව 1977 මෙරටට පැමිණෙන ඇය   බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීම පරිදිය,  සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙර පාසල දරුවන් 17 ගෙන් එම පුදබිමේ බෝ රුක සෙවනේ අරඹන්නේ.  එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය වූ අතර. අබේසේකරාරාමයේ යොෂිඩා පෙර පාසල ආරම්භ කිරීමෙන් පසු එහි ව්‍යුහය සහ එහි දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රවර්ධනය දුටු දෙමව්පියන් යොෂිඩා පෙර පාසලට තමන්ගේ දරුවන් ඇතුලත් කිරීමට මහත් තරඟකාරී උනන්දුවක් දැක්වූ  බව සත්‍යයකි.එම තරගකාරීත්වය අදත් නොඅඩුව පවතී. අද මෙම යොෂීඩා  පෙරපාසලේ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් ද  පෙරපාසලේම  එහි දිගුවක් වන යොෂීඩා ජාත්‍යන්තර පාසලේ දහසකට   ආසන්න දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබති. 

එදා මෙම  පෙර පාසල් අධ්‍යාපන වැඩසටහනේ අගය  වටහා ගත්  එකල අග්‍රාමාත්‍ය පසු කලෙක මේ රටේ ජනාධිපති වූ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් බානගල උපතිස්ස හිමියන්ට එම කටයුතු කරගෙන යාමට අතිශය ප්‍රබල සහයෝගයක් හා අනුග්‍රහයක් ලබා දුන්නේය .එසේම හේමා ප්‍රේමදාස  මැතිනිය ද නිරන්තරයෙන් යොෂිඩා පෙර පාසලට පැමිණෙමින් එහි  කටයුතු සොයා බැලූ බව බානගල හිමියෝ පවසති.

ඉන්පසු  යොෂිඩා මැතිනියගේ සහ ජපානයේ දානපතියන්ගේ ආධාර උපකාර ඇතුව රට පුරා විවිධ ප්‍රදේශවල යොෂිඩා පෙර පාසල් ආරම්භ කිරීම සිදුවිය.විශේෂයෙන්රණසිංහ ප්‍රේමදාස  මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි රද්දොළුගම, රන්පොකුණගම, මත්තෙගොඩ ආදී දැවැන්ත නිවාස යෝජනා ක්‍රම ආශ්‍රිතව යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය.හොරණ,නුවරඑළිය,බානගල,මරදානමාලිගාකන්ද,පොළොන්නරුව,මහනුවර,දඹදෙණිය,දිවුලපිටිය,මාතර,බද්දේගම,නාවුල,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේ යන ප්‍රදේශවල ද පසුව මෙම යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය

ඒ සඳහා ගුරුවරියන් ජපානයට යවා සුවිශේෂී පුහුණුවක් ලබාදීම ද බානගල හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණ.නමුත් ජපානයට ගුරුවරියන් යැවීම  අධික වියදම් සහිත කාරණයක් බැවින්  ජපානයේ පෙරපාසල්  විශේෂඥයන් මෙරටට ගෙන්වා,පෙරපාසල් ගුරු  පුහුණු ආයතනයක් අබේසේකරාරාමයේ ආරම්භ කරනු ලැබීය. ඒ තුළින් මෙරට විධිමත් පෙර පාසල් ගුරු පුහුණුව ලැබූ ගුරුවරියන් දහස් ගණනක් බිහි කරනු ලැබීය.ඒ සඳහා ශක්තිය ලැබුණේ ද යොෂිඩා මැතිණියගෙන්ය. අප රටේ  පෙර පාසල් පිළිබඳ දෙමවුපියන් තුළ  උනන්දුවක් ඇතිවීම ආරම්භ වන්නේ යොෂිඩා පෙර පාසල් පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම සහ ඊට  අනුබද්ධිතව ජපන් පෙර  පාසල්  අධ්‍යාපන සම්ප්‍රදායේ පූර්ව ලමාවිය සංවර්ධන පෙර පාසල් රට පුරා ස්ථාපිත කිරීමත් සමගය. ඒ් අනුව  රට පුරා හතු පිපෙන්නාක් මෙන්  පෙරපාසල් බිහිවීම ඇරඹෙන්නේ යොෂිඩා පෙර පාසල බිහිවීමේන් ඇති වූ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රබෝධයත් සමඟය. රට පුරාම මෙම පෙරපාසල් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒවාට අවශ්‍ය නිවැරදි පෙරපාසල් අධ්‍යාපනයේ මග පෙන්වීමට බානගල හිමියන්ගේ මැදිහත් වීමෙන් අධ්‍යාපන විශේෂඥයන්ගේ සහයෝගයෙන් එකල ප්‍රථම වතාවට පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ විෂය නිර්දේශය සංග්‍රහයක් සම්පාදනය කිරීම ද සිදු කෙරිණ.ඒ් සදහා ජපන් අධ්‍යාපනඥයන්ගේ සහය ලබා දෙමින් මෙරට අධ්‍යාපනයේ ඒ් මහා  විප්ලවීය වෙනසට කර උර දුන්නේ ජපානයේ තකිකෝ යොෂිඩා  මැතිනිය බව අපි කෘතවේදීව සිහිපත් කළ යුතු වෙමු.

ඇය අප රටට කළ මේ මහා මෙහෙවර සලකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින්  තකිකෝ යොෂිඩා  මැතිනියට 1991 දී ශ්‍රී ලංකා රංජන ගෞරව ප්‍රසාද නාමය පිරිනමනු ලැබීය.ජනාධිපති ගෞරව ප්‍රසාද නාමයක් විදේශිකයෙකුට පිරිනමනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ. වසර 2000 පෙබරවාරි 28 දින යොෂිඩා මැතිණිය (92)  අප අතරින් සමුගත්තාය. ඉන්පසු වර්ෂ 2008 දී ඇයගේ ජන්ම ශත සංවත්සර දිනයේ දී ඇය නමින් මුද්දරයක් සහ මුල්දින කවරයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබීය.ජපාන ජාතිකයෙකු වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් අප රටේ නිකුත් කළ ප්‍රථම අවස්ථාව වන්නේ ද එයයි.ඉන්පසු සපුගස්කන්දේ සිට බියගම නිදහස් වෙළෙඳ කලාපය දක්වා දිවෙන දැවැන්ත මාර්ගය තකිකෝ යොෂිඩා  මාවත ලෙස නම් කරනු ලැබුවේ ද ඇය මේ රටට කළ මහා මෙහෙවරට කෘතවේදීත්වය පළ කිරීමටය. යොෂිඩා මැතිනිය  නමින් මේ රටේ ප්‍රදේශ කීපයකම මෙවැනි මාර්ග නම් කිරීම සිදුකර ඇතැයි ද බානගල හිමියෝ පවසති.

යොෂිඩා මැතිණිය අප රටට පෙන්වා දුන් වඩා නිවැරදි ළදරු අධ්‍යාපන මාවත ඔස්සේ  ඉදිරියට ගිය මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මේ වන විට රාජ්‍ය අමාත්‍යාංශයක් ද අදාල රාජ්‍ය ආයතන කිහිපයක් ද නීතිරීති ද රෙගුලාසි ද අද වනවිට  ස්ථාපිත කර ඇත. 

යොෂිඩා පෙර පාසල තවදුරටත් ඉදිරියට යමින් මේ වන විට යොෂිඩා ජාත්‍යන්තර පාසල ද සපුගස්කන්දේ අබේසේකරාරාම භූමියේ ස්ථාපිත වී ඇත. සපුගස්කන්දේ යොෂිඩා පෙර පාසල් මේ වන විට සිංහල සහ ඉංග්‍රීසි ද්විමාධ්‍ය  පෙරපාසල් ලෙස   ක්‍රියාත්මකව වේ.

පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ මේ ලෝකයට කළ හැකි සේවය කොතෙක් දැයි අපට ගණනය කළ නොහැක.එසේ ගණනය කළ නොහැකි ,කළ සේවයේ වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් මහා සේවයක් කළ මහා පුණ්‍යවන්ත චරිතයකි ජපන් ජාතික  තකිකෝ යොෂිඩා මැතිණිය. ඇය උපන් බිම වූ ජපානයටත් වඩා ඇයගේ සේවය ලබා දුන්නේ අප රටටය. ලංකාවටය.

බුදු දහමේ පදනම වූ පරෝපකාරය තමන්ගේ ජීවිතයේ පදනම කරගත් යොෂිඩා මැතිණිය අප රටට ඉටු කළ මේ මහ දැවැන්ත සේවය වෙනුවෙන් ඇයගේ විසි තුන්වන මෙම  ගුණසමරු මොහොතේ අපි සියලු දෙනාම අයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.

– උපුල් ජනක ජයසිංහ 
සභාපති – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved