විශේෂාංග
තකිකෝ යොෂිඩා : ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය සැමරේ
Published
2 years agoon
By
editorශ්‍රී ලංකාවේ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ විප්ලවීය චරිතය වූ තකිකෝ යොෂිඩා මැතිණියගේ 23වැනි ගුණසමරුව අදයි (28).
1970 ඇරඹී දශකයේ අග භාගය වනතුරු ලංකාවේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ හෝ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ පැවති උනන්දුව ඉතාම අල්පය.එකල මෙරට පෙරපාසල් අධ්‍යාපනයට යොමු වී සිටියේ 5% තරම් සුළු සංඛ්‍යාවකි. එසේම එය මෙරට නාගරික ප්‍රභූ පංතියේ පංතිමය විලාසිතාවක් මිස අධ්‍යාපන මෙවලමක් ලෙස සැලකුනේ නැත..එසේම එකල මෙරට රජයන් ද මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය යන්න ජාතික අධ්‍යාපනයේ ප්‍රධාන පදනම ලෙස හෝ ළමයෙකුගේ අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස නොසැලකූ සාධකයක් විය.විශේෂයෙන් එකල මෙරට පෙරපාසල් බහුතරයක් ක්‍රියාත්මක වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙරට සාමාන්‍ය පංතියේ දරුවන්ට හා දෙමව්පියන්ට පෙරපාසල් අධ්‍යාපනය බොහෝ දුරින් පිහිටි ඉසව්වක් විය.
මෙවැනි වටාපිටාවක් තුළය බානගල උපතිස්ස හිමියෝ ජපානයේ තකිකෝ යොෂිඩා මැතිණියගේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපානයේ පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙරපාසල 1979 ජුනි 26 දා සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙරපාසල නමින් ස්ථාපිත කරන්නේ. එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය විය.එතැනින් පටන් ගත් මෙරට පෙර පාසල් අධ්‍යාපන විප්ලවය අද වනවිට මේ රටේ 90% දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට සහ පෙර පාසල් අධ්‍යාපනය දරුවෙකුට අනිවාර්ය අධ්‍යාපන සාධකයක් ලෙස දෙමව්පියන් තුළ තහවුරු කර හමාරය.
කවුද මේ
ඔකාසාන් (අම්මා) හෙවත් තකිකෝ යොෂිඩා මැතිණිය වර්ෂ 1908 අගෝස්තු මස 16 වන දින ජපානයේ කියුෂු (Kuyshu) ප්‍රාන්තයේ ප්‍රභූ පවුලක උපත ලැබූ ඇය පසු කලෙක ජපානයේ තෝකියෝ නුවර අතිශය ප්‍රකට විසල් මහ රෝහලක් වන යොෂිඩා පෞද්ගලික රෝහලේ හිමිකාරිය බවට පත්වූවාය.එය පිහිටුවනු ලැබූයේ ඇයගේ සැමියා වෛද්‍ය කිෂි යොෂිඩා (Dr.Kishi yoshida) මහතාය. ඇයගේ පුතුන් දෙදෙනකු ද වෛද්‍යවරු වෘත්තිකයෝ වෙති.
තමන් උපයන ධනස්කන්ධය ගොඩ ගසා ගනිමින් සතුටු වන මේ ලෝකයේ මිනිසුන් අතරේ , යොෂිඩා මැතිණිය ඇයගේ ධනය අප රටේ බෞද්ධ ජනතාවගේ සහ දරුවන්ගේ යහපත සඳහා යෙදවීමට සහ තමන්ගේ පිහිට පිළිසරණ අවශ්‍ය තැනට නොමසුරුව යොමු කිරීමට පෙරමුණ ගත් මහා බෞද්ධ කතකි.. ජපන් මහායානික බෞද්ධ කාන්තාවක් වූ ඇය බොහෝ දුරට බැතිබර වූයේ ථෙරවාදී බුදු දහමටය.ඇය ථෙරවාදී බුදුදහම හදුනා ගත්තේ හැඩිගල්ලේ නා හිමියන්ගෙන් සහ බානගල උපතිස්ස හිමියන් ගෙනි. බානගල උපතිස්ස හිමියන් හා ඇයගේ ඇසුරට පදනම සැකසෙන්නෙ ඉන්දියාවේ සාංචි නුවර දී ඇයට හමුවන බානගල උපතිස්ස හිමියන් පුංචි තේ කෝප්පයකින් කළ සංග්‍රහයක් ඔස්සේය. යොෂිඩා මැතිනිය හා බානගල උපතිස්ස හිමියන් අතර ගොඩනැගෙන මව් පුත් වැනි මහා සෙනෙහේ සමාගමක් නිසා,යොෂිඩා මැතිණිය බානගල හිමියන්ව පලමුව ජපානයේ තම නිවසේ තබාගෙන ද පසුව ඔහුට වෙනම නිවසක් ලබා දී උන්වහන්සේගේ උසස් අධ්‍යාපනය කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නීය.
එහි දී බානගල හිමියන් උසස් අධ්‍යාපනයට තෝරාගන්නේ පෙර පාසල් අධ්‍යාපනය හෙවත් පූර්ව ළමාවිය සංවර්ධන විෂයය.ජපානයේ පෙර පාසල් අධ්‍යාපනයට එරට අධ්‍යාපනයේ ඉහළම ප්‍රමුඛත්වය ලබාදීම ජපාන රාජ්‍ය ප්‍රතිපත්තියයි.සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව මව්බිමට පැමිණෙන බානගල හිමියන් හා බැඳුණු යොෂිඩා මැතිණියගේ සබඳතාවය බිඳී ගියේ නැත.ඒ අනුව 1977 මෙරටට පැමිණෙන ඇය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීම පරිදිය, සපුගස්කන්ද අබේසේකරාරාමයේ යොෂීඩා පෙර පාසල දරුවන් 17 ගෙන් එම පුදබිමේ බෝ රුක සෙවනේ අරඹන්නේ. එය මෙරට ප්‍රථම අංග සම්පූර්ණ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපන ආයතනය වූ අතර. අබේසේකරාරාමයේ යොෂිඩා පෙර පාසල ආරම්භ කිරීමෙන් පසු එහි ව්‍යුහය සහ එහි දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රවර්ධනය දුටු දෙමව්පියන් යොෂිඩා පෙර පාසලට තමන්ගේ දරුවන් ඇතුලත් කිරීමට මහත් තරඟකාරී උනන්දුවක් දැක්වූ බව සත්‍යයකි.එම තරගකාරීත්වය අදත් නොඅඩුව පවතී. අද මෙම යොෂීඩා පෙරපාසලේ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් ද පෙරපාසලේම එහි දිගුවක් වන යොෂීඩා ජාත්‍යන්තර පාසලේ දහසකට ආසන්න දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබති.
එදා මෙම පෙර පාසල් අධ්‍යාපන වැඩසටහනේ අගය වටහා ගත් එකල අග්‍රාමාත්‍ය පසු කලෙක මේ රටේ ජනාධිපති වූ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් බානගල උපතිස්ස හිමියන්ට එම කටයුතු කරගෙන යාමට අතිශය ප්‍රබල සහයෝගයක් හා අනුග්‍රහයක් ලබා දුන්නේය .එසේම හේමා ප්‍රේමදාස මැතිනිය ද නිරන්තරයෙන් යොෂිඩා පෙර පාසලට පැමිණෙමින් එහි කටයුතු සොයා බැලූ බව බානගල හිමියෝ පවසති.
ඉන්පසු යොෂිඩා මැතිනියගේ සහ ජපානයේ දානපතියන්ගේ ආධාර උපකාර ඇතුව රට පුරා විවිධ ප්‍රදේශවල යොෂිඩා පෙර පාසල් ආරම්භ කිරීම සිදුවිය.විශේෂයෙන්රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ඉල්ලීම පරිදි රද්දොළුගම, රන්පොකුණගම, මත්තෙගොඩ ආදී දැවැන්ත නිවාස යෝජනා ක්‍රම ආශ්‍රිතව යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය.හොරණ,නුවරඑළිය,බානගල,මරදානමාලිගාකන්ද,පොළොන්නරුව,මහනුවර,දඹදෙණිය,දිවුලපිටිය,මාතර,බද්දේගම,නාවුල,අගලවත්ත,පොල්ගස්ඕවිට,මාලඹේ යන ප්‍රදේශවල ද පසුව මෙම යොෂිඩා පෙර පාසල් ස්ථාපිත කරනු ලැබීය
ඒ සඳහා ගුරුවරියන් ජපානයට යවා සුවිශේෂී පුහුණුවක් ලබාදීම ද බානගල හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණ.නමුත් ජපානයට ගුරුවරියන් යැවීම අධික වියදම් සහිත කාරණයක් බැවින් ජපානයේ පෙරපාසල් විශේෂඥයන් මෙරටට ගෙන්වා,පෙරපාසල් ගුරු පුහුණු ආයතනයක් අබේසේකරාරාමයේ ආරම්භ කරනු ලැබීය. ඒ තුළින් මෙරට විධිමත් පෙර පාසල් ගුරු පුහුණුව ලැබූ ගුරුවරියන් දහස් ගණනක් බිහි කරනු ලැබීය.ඒ සඳහා ශක්තිය ලැබුණේ ද යොෂිඩා මැතිණියගෙන්ය. අප රටේ පෙර පාසල් පිළිබඳ දෙමවුපියන් තුළ උනන්දුවක් ඇතිවීම ආරම්භ වන්නේ යොෂිඩා පෙර පාසල් පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධිතව ජපන් පෙර පාසල් අධ්‍යාපන සම්ප්‍රදායේ පූර්ව ලමාවිය සංවර්ධන පෙර පාසල් රට පුරා ස්ථාපිත කිරීමත් සමගය. ඒ් අනුව රට පුරා හතු පිපෙන්නාක් මෙන් පෙරපාසල් බිහිවීම ඇරඹෙන්නේ යොෂිඩා පෙර පාසල බිහිවීමේන් ඇති වූ පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ විප්ලවීය ප්‍රබෝධයත් සමඟය. රට පුරාම මෙම පෙරපාසල් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පැවති නිසා ඒවාට අවශ්‍ය නිවැරදි පෙරපාසල් අධ්‍යාපනයේ මග පෙන්වීමට බානගල හිමියන්ගේ මැදිහත් වීමෙන් අධ්‍යාපන විශේෂඥයන්ගේ සහයෝගයෙන් එකල ප්‍රථම වතාවට පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ විෂය නිර්දේශය සංග්‍රහයක් සම්පාදනය කිරීම ද සිදු කෙරිණ.ඒ් සදහා ජපන් අධ්‍යාපනඥයන්ගේ සහය ලබා දෙමින් මෙරට අධ්‍යාපනයේ ඒ් මහා විප්ලවීය වෙනසට කර උර දුන්නේ ජපානයේ තකිකෝ යොෂිඩා මැතිනිය බව අපි කෘතවේදීව සිහිපත් කළ යුතු වෙමු.
ඇය අප රටට කළ මේ මහා මෙහෙවර සලකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් තකිකෝ යොෂිඩා මැතිනියට 1991 දී ශ්‍රී ලංකා රංජන ගෞරව ප්‍රසාද නාමය පිරිනමනු ලැබීය.ජනාධිපති ගෞරව ප්‍රසාද නාමයක් විදේශිකයෙකුට පිරිනමනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ. වසර 2000 පෙබරවාරි 28 දින යොෂිඩා මැතිණිය (92) අප අතරින් සමුගත්තාය. ඉන්පසු වර්ෂ 2008 දී ඇයගේ ජන්ම ශත සංවත්සර දිනයේ දී ඇය නමින් මුද්දරයක් සහ මුල්දින කවරයක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබීය.ජපාන ජාතිකයෙකු වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් අප රටේ නිකුත් කළ ප්‍රථම අවස්ථාව වන්නේ ද එයයි.ඉන්පසු සපුගස්කන්දේ සිට බියගම නිදහස් වෙළෙඳ කලාපය දක්වා දිවෙන දැවැන්ත මාර්ගය තකිකෝ යොෂිඩා මාවත ලෙස නම් කරනු ලැබුවේ ද ඇය මේ රටට කළ මහා මෙහෙවරට කෘතවේදීත්වය පළ කිරීමටය. යොෂිඩා මැතිනිය නමින් මේ රටේ ප්‍රදේශ කීපයකම මෙවැනි මාර්ග නම් කිරීම සිදුකර ඇතැයි ද බානගල හිමියෝ පවසති.
යොෂිඩා මැතිණිය අප රටට පෙන්වා දුන් වඩා නිවැරදි ළදරු අධ්‍යාපන මාවත ඔස්සේ ඉදිරියට ගිය මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මේ වන විට රාජ්‍ය අමාත්‍යාංශයක් ද අදාල රාජ්‍ය ආයතන කිහිපයක් ද නීතිරීති ද රෙගුලාසි ද අද වනවිට ස්ථාපිත කර ඇත.
යොෂිඩා පෙර පාසල තවදුරටත් ඉදිරියට යමින් මේ වන විට යොෂිඩා ජාත්‍යන්තර පාසල ද සපුගස්කන්දේ අබේසේකරාරාම භූමියේ ස්ථාපිත වී ඇත. සපුගස්කන්දේ යොෂිඩා පෙර පාසල් මේ වන විට සිංහල සහ ඉංග්‍රීසි ද්විමාධ්‍ය පෙරපාසල් ලෙස ක්‍රියාත්මකව වේ.
පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ මේ ලෝකයට කළ හැකි සේවය කොතෙක් දැයි අපට ගණනය කළ නොහැක.එසේ ගණනය කළ නොහැකි ,කළ සේවයේ වටිනාකම මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම් මහා සේවයක් කළ මහා පුණ්‍යවන්ත චරිතයකි ජපන් ජාතික තකිකෝ යොෂිඩා මැතිණිය. ඇය උපන් බිම වූ ජපානයටත් වඩා ඇයගේ සේවය ලබා දුන්නේ අප රටටය. ලංකාවටය.
බුදු දහමේ පදනම වූ පරෝපකාරය තමන්ගේ ජීවිතයේ පදනම කරගත් යොෂිඩා මැතිණිය අප රටට ඉටු කළ මේ මහ දැවැන්ත සේවය වෙනුවෙන් ඇයගේ විසි තුන්වන මෙම ගුණසමරු මොහොතේ අපි සියලු දෙනාම අයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.
– උපුල් ජනක ජයසිංහ
සභාපති – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ‘ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක. වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4) දක්වා වගන්ති කුණු කූඩයට දැමිය හැකිය. චන්ද්‍රිකාට, මෛත්‍රී, රනිල් ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ට ද එයම කළ හැකිය.
‘නිල නිවාස’ යනු රටේම නිල නිවාස ය.
ඇමති නිල නිවාස වසා දමා පුස්කන්නට හැර ඇත. ඒ නිසා, මේ රටේ දිසාපති, ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී පමණක් නොව රටේ සියළු රාජ්‍ය නිලධාරීන්ට හා වෙනත් අයට දනිල නිවාස අවැසි නැත. ඕනම නම්, “මහින්ද විජේරාම තියරියට” අනුව, ‘නිල නිවාස’ රජයේ තක්සේරුවට ලක් කරලා, ඔවුන්ටත් ‘තක්සේරුව අනුව’ වැටුපෙන් කැපීම ඇරඹිය හැකිය.
මහින්ද රාජපක්ෂගේ නිවසේ අල්ලපු වැටේ තියෙන ‘නීතිපති නිල නිවසට වගේම මහ බැංකු අධිපති, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ අනෙකුත් නිලධාරීන්ටත් ඒකම කරන්න පුළුවන්.
මම දකුණ, මධ්‍යම සහ ඌව පළාත් ආණ්ඩුකාර නිල නිවාසවල රාත්‍රීය ගත කර ඇත්තෙමි. මහින්ද රාජපක්ෂ ගේ නිල නිවාසය තක්සේරු කළ විදිහට බැලුවොත්, ඒ හැම නිල නිවාසයක්ම රු. අවම වශයෙන් ලක්ෂ දෙකක වත් මාසික කුලියකට යටත් කළ යුතුයි. (ආණ්ඩුකාරවර මාසේ පඩිය රු. 85,000 බව සලකන්න)
පොළොන්නරුව සහ මාතර දිසාපති මැදුරු දෙක අවම වශයෙන් වර්ග අඩි 7,500ට වඩා වැඩිය. කෑගල්ල, මාතලේ ද දැවැන්ත දිසාපති මැදුරු ඇත. අලුත් තක්සේරුවක් කරන්නේ නම්, දිසාපති වැටුපට වඩා නිවාස කුලියක් ගෙවිය යුතු වන්නේමය. (අනුරාධපුර දිසාපතිට නම් ප්‍රශ්නයක් නැත. වාරිමාර්ග නිල නිවාසයක් පාවිච්චි කරන නිසා එච්චර තක්සේරුවක් නොලැබෙනු ඇත.)
හිටපු ජනපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, දිසාපති, අගවිනිසුරු, ලේකම්වරු, මහ බැංකු අධිපති, නීතිපති, විගණකාධිපති ආදී වශයෙන් වන නිලධාරීන් තම තම මුල්‍ය හැකියාව මත කොළඹ කැමති තැනකින් ගෙයක්, කාමරයක් කුලියට ගෙන වේළාව නොවරදවා සේවයට වාර්තා කර, ටයි දමාගෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ පාරවල් අතුගාන්නට නොවරදවාම පැමිණිය යුතුය. වෛද්‍යවරු, කාර්ය භාර නිලධාරීන්ගේ නිල නිවාස ද, එලෙසම තක්සේරු කර ඒ මුදල වැටුපෙන් කපාගත යුතුය. වර්ජන තර්ජනවලට බිය නොවිය යුතුය.
මිත්‍රවරුනි, සමහර විහිළු තියෙනවා, ඒවා කියලා තේරෙන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලාම බලලා, ප්‍රත්‍යාවබෝධය ලැබිය යුතුය!
ආණ්ඩුව හතර අතේ දිවුරා කියන්නේ ‘නිල වාහන හෝ මන්ත්‍රී වාහන බලපත්‍ර ලබා නොදෙන’ බව ය.
රටේ ජනාධිපතිට, අගමැති ට වත් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොලැබෙන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට එතැනින් පහලට කිසිවෙකුට වාහන බලපත්‍ර ලබාදීමේ අවශ්‍යතාවයක් හෝ යුක්තියක් නැත. වෛද්‍ය, ඉංජිනේරු සියළු දෙනාට ද, ගණකාධිකාරී, ඇතුළු අවශේෂ ජනයාට ද එය අදාලය. කතානායකට නැති ‘තීරුබදු රහිත වාහනයක්’ විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරුන්ට එවැන්නක් ලබාදීමේ කිසිදු සදාචාරයක් රාජ්‍යයට පැවතිය නොහැක්කේය.
මම වැඩිපුරම කැමති කොළඹ රාජකීය, සිරිමාවෝ, විශාකා, තර්ස්ටන්, ආනන්ද පාසල්වල විදුහල්පතිවරුන්ගේ නිල නිවාසවල තක්සේරු වාර්තා දකින්නට ය. ඉඩමේ වටිනාකමත් සමඟ ගාන හැදුවත් ‘සුබෝධිනී කමිටුවේ වැටුප් වාර්තාවෙන් ඉතිරි 2/3 අය වැයෙන් ලැබේ නම් පමණක්, ඔවුන්ගේ වැටුපට වඩා නිල නිවාස කුලිය ඉහළ නොයනු ඇත.
කොළඹට වැඩමවා වදාලන විට සැතපෙන්නට, රැස්වීම් පවත්වන්නට විවේක ගන්නට සකසා ඇති ‘මහානායක හිමිවරුන්ගේ නිල නිවාසයේ නිවාස කුළිය තීරණය කිරීම ද රජයේ තක්සේරුකරුටම පැවරිය යුතුය.
සමහර විහිළු කතා කියනා විට, වම් කනින් අසා අනෙක් කණින් පිට කළ යුතුය.
දැන් මන්ත්‍රීවරුන් බහුතරය පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහනයේ යැයි කියනු ඇසේ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නට කරන්නට බැරි වන්නට හේතුවක් නැත. විශේෂයෙන්ම චීනයෙන් නව බස් රථ ලැබෙන නිසා එය කිසි ලෙසකින් හෝ අසීරු හෝ අපහසු වැඩක් නොවේ.
සමහර විහිළු තියෙනවා, ඒවා වේදිකාවල කියන කොට හිනා යන්නේ නැත. එක පාරක් දෙපාරක් කරලා බලලාම හිනා විය යුතුය.
ඊයේ ජනාධිපතිතුමන් කියන්නේ තමන්ට විශ්‍රාම වැටුප එපා යැයි ලියලා දෙන්නට සුදානම් බවකි. මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප අහෝසි කරනවා යැයි කියා ඇත. 2024 දී රජය විශ්‍රාම වැටුප් සඳහා රු. බිලියන 386 ක් වෙන් කළේය. රටේ ජනාධිපතිවරයාට නොදෙන විශ්‍රාම වැටුප, ජනතාවට මොකටද? — ආණ්ඩුව ඊලඟ පලාත් සභා මැතිවරණ ව්‍යාපාරයේ දී වත් කල්පනා කර බලනු ඇත.
කරනවා නම් තවත් නියම වැඩක් තියෙනවා! මන්ත්‍රීවරුන් 159 කගේ වැටුප දැන් යන්නේ බොරැල්ලේ බැංකු ගිණුමකටය. රටේම රාජ්‍ය සේවකයින්ගේ වැටුප මහා භාණ්ඩාගාර ගිණුමටම නැවත හරවා, මාදිවල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයට ලබා දි ඇති ආකාරයටම, සෑම නිවසකට ගෑස් ටැංකියක්, ගෑස් ලිපක්, ශීතකරණයක්, ඇඳ-පුටු- මේස ……………………………….
සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
(මහගම සේකර)
සුබ උදෑසනක් වේවා! මේ, දුරුත්තේ සීතල තමයි. ඉක්මනට නැගිටලා වැඩට යමු.
කාර්යාලයේ පුටුව මේසය තියෙනවා නම් දවසම හිනාවෙලා සතුටෙන් ඉන්න. සුබ දවසක් වේවා!!
– රජිත් කීර්ති තෙන්නකෝන් –
”ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත.
ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිඛෙන්නේ දිළිඳු තත්ත්වයක ය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම් ය. සෘජු හෝ අනියම් ලෙස අයථා ලාභ ලැබීම, සුලභ ලක්ෂණයක්ව පවතී. ජනමාධ්‍ය හිමිකරුවන් අන්තර්ගතයට ඇඟිළි ගසනවා පමණක් නොව, අන්තර්ගතය අවසාන වශයෙන් තීන්දු කරන්නන් ලෙසද ක්‍රියා කරති. සංලේඛ්‍ය නිදහස ගැන ජනමාධ්‍යවේදීන්ට බලවත් හැඟීමක් ඇත්තේම නැති තරම් ය.”
(අයාලේ යන ජනමාධ්‍ය – 1 වන පරිච්ඡේදය ඃ පිටු 10 / වික්ටර් අයිවන්)
”රාවය” පුවත් පත වික්ටර් අයිවන්ගේ පුරෝගාමී කර්තෘත්වය සමග, ඔහු ඉහතින් සඳහන් කළ සියලූ අර්ථ දැක්වීම් වලට හසු නොවුනු මාධ්‍ය භාවිතයක් තිබූ පුවත් පතක් විය. වසර 30 ක් ඇතුළත මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි ”රාවය” පුවත් පත තැබූ වෙනස්වූ මුද්‍රාව ගැන කියන්නට වන්නේ වික්ටර් අයිවන් නොමැතිව ”රාවය” පත්තරයක් නැත. ”රාවය” පත්තරය නැතිව, වික්ටර් අයිවන් කෙනෙකු නැත යැයි කියා ය.
එනිසා 2015 ජුනි මාසයේ සිට පූර්ණකාලීන මාධ්‍යවේදයෙන් ඉවත්ව, රාවය පුවත් පතේ උපදේශක කර්තෘ වශයෙන් වසරක් දෙකක් කටයුතු කරන්නට වික්ටර් තීන්දු කළ විට, ඔහුට එළෙස නිකම්ම රාවය පුවත් පතේ කර්තෘ ධූරයෙන් ඉවත්ව යාමට ඉඩ දීම, ”රාවය” හා ඉතා ලෙන්ගතු බැඳීමක් තිබූ මා වැනි කිහිප දෙනෙකුට හැඟීම් බර ප්‍රශ්නයක් විය.
එහි ප්‍රතිපලයක් වශයෙන් රාවය පුවත් පත හා දිගු කාලීන සම්බන්ධයක් තිබූ සුසිල් සිරිවර්ධන, විජයානන්ද ජයවීර, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, සුනේත්‍රා රාජකරුණානයක වැනි විද්වතුන්, වෘත්තිකයින් හා ලේඛකයින් දොළොස් දෙනෙකු විසින් ”රාවය හා වික්ටර්” සම්බන්ධ ඔවුන්ගේ කියැවීම ඇතුළත් ලිපි එකතුවක් මසක පමණ ඉතාම කෙටි කලෙකින් 2015 ජුලි මාසයේ මගේ සංස්කරණයෙන් ”වික්ටර් අයිවන් – අභියෝගාත්මක මුද්‍රාව” මැයෙන් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එළි දක්වනු ලැබුවේය.
වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භාවිතය ගැන මගේ පෞද්ගලික දැක්ම ලෙස එකී ලිපි එකතුවෙහි වන මගේ සටහනෙහි තැබූ එක් කියවීමක් වූයේ, ඔහු රාවය පුවත් පත සඳහා සකස් කර ගනු ලැබූ ආයතනික ව්‍යුහය, ලාභය වෙනුවෙන් යොමු කෙරුණක් නොවුනු අතර, කර්තෘ මණ්ඩලයේ නිදහසට හරස් වූවක්ද නොවූ, ලංකාවේ ප්‍රථම වරට සේවකයින්ටද අයිතියක් දෙනු ලැබූ මාධ්‍ය ආයතනයක් වූ බවය.
රාවය ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට එරෙහි, මානව හිමිකම් වෙනුවෙන් සහ යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුවත් පතක් ලෙස තීන්දු කෙරුණකි. එහි සංලේඛ්‍ය ප්‍රතිපත්තිය වූයේ ඒ පදනමය. එහෙයින් එහි හිමිකාරිත්වයෙහි වූ සේවක නියෝජනය එය වාණිජමය ඉලක්ක වෙනුවෙන් සකස් නොකෙරුණු පුවත් පතක් වන්නට ප්‍රධාන සාධකයක් වූවකි.
අනෙක් අතට ”රාවය” පුවත් පතේ සාර්ථකත්වය ඔවුන්ගේ පැවැත්ම තීන්දු කළ හෙයින් එය වැදගත් අලෙවියක් ඇති පුවත් පතක් වශයෙන් පවත්වා ගැනීමේ වගකීමද ඔවුන්ට තිබිණ. එනමුත් එහි වෙළඳ දැන්වීම් පළ වූයේ අතළොස්සකි. රාවය බාරගත් වෙළඳ දැන්වීම්ද පුවත් පතේ දේශපාලනය හා ගැලපිය හැකි දැන්වීම් විය.
වික්ටර්ගේ මේ අත්හදා බැලීමෙහි අඩු පාඩු නොවුනා නොවේ. ඔහු එකවර පාලකයාද, සේවකායද, කලමනාකරුද, මාධ්‍යවේදියාද වන්නට වූයෙන් එහි වික්ටර්ගේ ආධිපත්‍ය ”සංලේඛ්‍ය නිදහස” අභිබවා නොගියාද නොවේ. එහෙත් ඔහුගේ ”සංලේඛ්‍ය ආධිපත්‍ය” සම්මතයට එරෙහි, සම්මතය ප්‍රශ්න කරන්නක් වූයෙන් ”රාවය” මුද්‍රාව, විකල්ප මුද්‍රාවක් නොවුනත් විරෝධාකල්පිත හිතුවක්කාර මාධ්‍ය භාවිතයකට ඉඩ තැබූවක් විය.
වික්ටර්ගේ දැඩි මතධාරී මාධ්‍ය භාවිතය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූ එක් කාරණාවක් වූයේ, ඔහු නීතිපති සරත් එන් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අග විනිසුරු ලෙස පත් කිරීමට එරෙහි වීමය. එතැනින්ද නතර නොවුනු වික්ටර්, අගවිනිසුරු සරත් එන් ද සිල්වා ගේ වෘත්තීය පැවැත්ම දැඩි විවේචනයට ලක් කරන්නට වූයේ අධිකරණයට අපහාස කිරීම යන කාරණාවද නොතකමින්ය. ඔහුගේ තර්කය වූයේ, අධිකරණය රටේ දේශපාලනයෙන් ස්වාධීන විය යුතු වාගේම, එය පිරිසිදු වන්නටද අවශ්‍ය බවය.
ඔහුගේ දැඩි ස්ථාවරය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු ගණනාවක් පැවරුණද, ඒ කිසිවකින් වික්ටර් අයිවන් මෙල්ල කළ නොහැකි විය. මා දන්නා තරමින්, මාධ්‍යවේදියෙකු ලෙස තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඒ සඳහා වාසිදායි තීන්දුවක් ලැබූ අපේ රටේ එකම මාධ්‍යවේදියාද වික්ටර් අයිවන් ය.
මාධ්‍යයට පය ගසන්නට පෙර ඔහුගේ යෞවනයෙහි ඔහු ”පොඩි අතුල” ලෙස තෝරා ගත් සන්නද්ධ කැරළිකාර දේශපාලනය අසාර්ථක බැව් පසක් වූ පසු, ඔහු ’71 කැරැල්ලෙහි රෝහණ විජේවීරගේ නායකත්වයෙන් වෙන්වීය. එය හුදෙක් පෞද්ගලික හා සංවිධානාත්මක වෙන්වීමක් පමණක් නොවුනු හික්මුනු දේශපාලන තීරණයක් බැව් ප්‍රදර්ශනය කරන්නට වූයේ 1986 දී ”රාවය” මාසික සඟරාව ඔස්සේ මාධ්‍යයට රැගෙන ආ ඔහුගේ එම විරෝධාකල්පිත හිතුවක්කාර භාවිතයෙනි.
එහෙත් ”රාවය” මාසික සඟරාව මගින් ඔහුගේ අපේක්ෂාවන්ට ගැලපෙන ආකාරයේ විරෝධාකල්පිත හිතුවක්කාර සමාජ කතිකාවක් මුදා හැරිය නොහැකි වූයෙන්, රාවය සඟරාව සති පතා ‘ටැබ්ලොයිඩ්’ පුවත් පතක් බවට පරිවර්තනය කෙරුණි. පසුව එය දැන් සැමට මතක තිඛෙන්නාවූ ”ෆුල් ඩිමයි” පුවත් පතක් බවට පත් කෙරිණ. එහි විශේෂය වූයේ, සියල්ල සමනල වර්ණයෙන් තොරම්බල් කෙරෙන සමාජයක් බවට පරිවර්තනය වන අතර, ”රාවය” පුවත් පත කලූ-සුදු මුද්‍රණයෙන් පාඨකයා වෙත ගෙන යාමට වික්ටර් ගත් තීරණය වන්නේය. එයද වික්ටර් සතුවූ විරෝධාකල්පිත හිතුවක්කාර ප්‍රකාශනයෙහි ලක්ෂණයක් විය.
ජාතිවාදයට එරෙහි ඔහුගේ මාධ්‍ය භාවිතය ඒ වනවිට සුළු වාර්ගික පිරිස් අතර පැසසුමට ලක් වූවක් විය. ඒ සඳහාවන වැදගත්ම සාක්ෂිය වන්නේ 2002 වික්‍රමසිංහ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊය සමග ආරම්භ කළ සාම සාකච්ඡා ආවරණය සඳහා ලොව දැවැන්තම මාධ්‍ය ආයතනවල ප්‍රසිද්ධ ප්‍රවීන මාධ්‍යවේදීන් දුසිම් ගණන් පැමිණ සිටියදී ඔවුන් කිසිවෙකුට නොලැබුණු අවස්ථාවක් ඔස්ලෝ නුවර සාකච්ඡා අතර වාරයේ වික්ටර්ටත් මටත් ලැබීමය.
එම සාකච්ඡා ඉතා දැඩි ආරක්ෂක පියවර සමග සංවිධානයකර තිබූයේ නිල වශයෙන් නෝර්වේජියානු ආණ්ඩුවේ මැදිහත්වීමෙනි. එබැවින් එල්.ටී.ටී.ඊ නියෝජිතයින් කිහිප දෙන අතරින් ප්‍රධානියා වූ ආචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ කණ්ඩායම හමුවන්නට කිසිවකුට අවසර නොලැබුණි. සාකච්ඡා ආරම්භයේදී සහ අවසානයේදී නෝර්වේජියානු ඇමති එරික් සොල්හයිම් විසින් මෙහෙයවූ සහ පාලනය කළ මාධ්‍ය හමුවේදී පමණක් ඔවුන් දැක ගත හැකි විය. කිහිප දෙනෙකුට එහිදී ප්‍රශ්නයක් දෙකක් ඇසිය හැකි විය.
එවැනි මාධ්‍ය හමුවකදී වික්ටර් විසින් බාලසිංහම් වෙත යොමු කෙරුණු කුඩා තුණ්ඩු කැබැල්ලකින් ඔහුව හමුවන්නට හැකිදැයි අසා යැවූ පසු, අප කිසිදු බලාපොරොත්තුවක් නොතැබූ බාලසිංහම් සමග හමුවක් එදිනම සවස් වරුවේ ඔහුගේ හෝටලයේදී අප දෙදෙනට ලැබිණ. ඒ හමුව ඓතිහාසික හමුවීමක් විය.
බාලසිංහම් ඔහුගේ කොළඹ ජීවිතයේ තිබූ සුන්දර මතක, ඔහු හා නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ අතිජාත මිත්‍රතත්වය ගැන විස්තර බාලසිංහම් අප සමග කීවේ, නැවත එවැනි සාමකාමී සුන්දර අනාගතයක් වෙනුවෙන් ඔවුන් ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීමට තීන්දුකර ඇතැයිද කියමින්ය. එදින ඔහුගේ හමුවීමෙන් පසු අප පිටත්වන විට බාලසිංහම් අපෙන් එක ඉල්ලීමක් කළේය. ඒ සුගතපාල ද සිල්වාගේ අභාවය ගැන ඔහුගේ බලවත් සෝකය, සුගත් ගේ බිරිඳට දන්වන මෙන් කළ ඉල්ලීමය.
එවැනි වූ වික්ටර්, 2006 න් පසු ජනාධිපති රාජපක්ෂ සමයේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටියේ, එල්.ටී.ටී.ඊය ඉවත් කිරීමෙන් මිස සාකච්ඡා මගින් දෙමළ දේශපාලන ගැටළුවට විසඳුම් ලබා දිය නොහැක යන ස්ථාවරය සමගින් ය. එහෙත් ඔහු කිසි විටෙක, ඔහුගේ ස්ථාවරයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම රාවය පුවත් පතෙහි නතර නොකළේය. ඔහු එය සංවාදයක් ලෙස ගෙන යාමේ නිදහසට ඉඩ තැබුවේය. නව ලිබරල් දේශපාලනය හා විවෘත වෙළඳපල ආර්ථීකය සම්බන්ධයෙන්ද එවැනිම දිගු සංවාදයක් ඔහු රාවය පුවත් පතෙන් වරක් ආරම්භ කළේය. ඔහු විරුද්ධ මත වසා දමන කර්තෘවරයෙකු නොවන බැව්, එසේ භාවිතයෙන්ම ඔප්පු කෙරුවෙකි.
වික්ටර්ගේ මා දකින වඩාත්ම වැදගත් හා ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඔහු වගා කරගත් සමාජ සම්බන්ධතා ජාලය වන්නේය. මා දන්නා කිසිදු පුවත් පත් කර්තෘවරයෙකු නඩත්තු නොකර ගත් ආකාරයේ සමාජ සම්බන්ධතා ජාලයක් ඔහු ගොඩ නගා ගෙන තිබිණ. එහි පූජකයින්, දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, වෘත්තිකයින්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් වැනි විවිධ චරිත විය.
එවගේම, වික්ටර් මෙන් විවිධ විෂයන් ගැන ඉතා හරවත් කරුණු සාකච්ඡා කළ කෘතීන් ලියූ අපේ රටේ වෙනත් පුවත් පත් කර්තෘවරයෙකු ගැන මා අසා නැත. ඔහුගේ අත්දැකීම් සමග ’71 කැරැල්ලේ සිට, දෙමළ අභියෝගය, 88-90 ජ.වි.පෙ ත්‍රස්තවාදයේ ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය, ප්‍රභාකරන් පරාජය කිරීම, දේශපාලනයේ කුල ඛෙදීම සහ ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය සම්බන්ධ මාතෘකා අළලා කෘතීන් 22 ට වඩා ඔහු ලියා ඇත. ඒ අතර විශේෂය වන්නේ චෙස් ක්‍රීඩාව සම්බන්ධව සිංහලෙන් ඉතා අගනා හැඳින්වීමක් සහිතව යෞවනයින් සඳහා ඔහු ලියූ කෘතිය වන්නේය.
අවසන් වශයෙන් කිව යුත්තේ වික්ටර් අපෙන් සමු ගන්නේ දැවැන්ත අභියෝග වලට මුහුණ දෙමින් තම ජීවිතයේ අභිමතාර්ථ ජය ගත්තෙකු වශයෙනි. වික්ටර් ගේ ඒ ජයග්‍රාහී ජීවිත ගමනට මේ මගේ ගෞරවාන්විත සටහන වන්නේ ය.
– කුසල් පෙරේරා –
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
විශේෂාංග
පොඩි අතුල, රාවය සහ අයිවන්; දේශපාලන සන්නිවේදන ඇසකින් බැලූ විට..
Published
2 days agoon
January 21, 2025By
editorඑකල අපගේ වීරයා වූයේ වික්ටර් අයිවන් නොව සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ දෙදෙනා ම විකල්ප පත්තර සංස්කාරකවරුන් වුවද වැඩ කළේ දේශපාලන චලනයන් දෙකක ය. මේ කියන්නේ, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය ගැන ය. (දේශපාලන කාටූන් ශිල්පියාගේ හොඳම කාලය රටේ නරකම කාලය කියා කියමනක් ඇත. ඒ ලෙසින්ම, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය, ලංකාවේ දේශපාලනයේ ලෝකඩමය යුගයක් විය) ඉතින්; විප්ලවය, ආදරය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංකේතය ‘සුනිල් අයියා’ මිසක වික්ටර් අයිවන් නොවීය.
කෙසේ වෙතත්, වික්ටර් අයිවන් යනු 71 පොඩි අතුල ය යන තොරතුර, අප ගැටවර මනසට එකල කුතූහලය දනවන්නක් වූයේය. “මිනිහා ඒ කාලෙ පක්ෂෙ නායකයෙක් ලු. බෝම්බ හදන්න ගිහින්ලු අත ආබාධිත වුණේ. සටනට බාධාවක් නම් තමා මරා දමන ලෙසත් ඔහු කීවේලු” යන පුවත විසින්, රාවයේ වික්ටර් අයිවන් කෙරෙහි නොව 71 පොඩි අතුල කෙරෙහි යම් ආදරයක් උපදවන ලදී. සන්නද්ධ අරගලය සම්බන්ධ යෞවන ප්‍රහර්ෂය තුල, ඒ දේශපාලන ප්‍රවාදයන්ගේ, වීරත්වය ගැබ්ව තිබිණි. අනෙක් අතට, සහෝදරයා යන ආමන්ත්‍රණය නැතත්, ‘මිනිහා’ යන යෙදුම තුල, එකී ගෞරවාදරය අයත් වන්නේ අතීතයට පමණ ය යන හැඟවුම ද විය.
‘ඇත්ත’ පත්තරයෙන් ඉස්මතු වූ මෙරට විකල්ප පුවත්පත් කලාව, ජනතා විමුක්ති පෙරමුණේ සේයාව මත යළි ගොඩ නැගෙන්නට පටන් ගත්තේ රාවය හරහා ය. ජවිපෙ අතීත නායකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් ප්‍රධාන සංස්කාරකත්වය දැරූ රාවය, (මිතුරු හෝ පසමිතුරු අර්ථයෙන්) ජවිපෙ සේයාව මත උපන්නේය. එය සඟරාවේ සිට පත්තරය දක්වා එන විට, (අත් අකුරින් නිමැවුණ) එහි ලෝගෝව පවා නියෝජනය කළේ ජවිපෙ ප්‍රචාරක සංස්කෘතිය මිස අන් යමක් නොවේ. එහෙත් එය කිසිදා ජවිපෙ ප්‍රකාශනයක් වූයේ නැත. යටිබිම්ගත ජවිපෙ කේඩරයට විටින් විට මඳක් ළං වී ඈත් වූවා පමණි.
අත්තනෝමතික ජේ ආර්ගෙන් අනුප්‍රාප්තිකව ප්‍රේමදාස පාලනයට විරුද්ධ ස්ථාවරයක රාවය සිටිය ද, ප්‍රේමදාස පරදවා (ජේ ආර් ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යව සිටි) ලලිත් ඇතුලත්මුදලි පාලනයකට රාවය සූදානම් වෙමින් සිටියේ ය. එහෙත් එවකට පැවති ඝාතන සංස්කෘතිය විසින් රාවය අවසානයේදී ගෙනැවිත් නතර කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පය පාමුල ය. 94 අගෝස්තුවේ මැතිවරණය මුව විට වන විට, අත ඔසවා ආචාර කරන චන්ද්‍රිකා රාවයේ මුල් පිටුවටම පැමිණියාය.
රාජ්‍ය මර්දනය හේතු කොටගෙන ජවිපෙ පසුබැස ගිය වකවානුවේ වික්ටර් අයිවන් මාධ්‍ය භූමිකාව, ජවිපෙට එතරම් සතුරු නොවන විවේචනාත්මක ආස්ථානයක රැඳුණද, ජවිපෙ නැග ආ හැම මොහොතකම වික්ටර් අයිවන් ඊට විරුද්ධ ආස්ථානයක සිටියේය. ඔහුගේ ලේඛනවල, රූපිකව පවා ජවිපෙ උත්කර්ෂයට නොනැඟීය. නිදසුනක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ හෝ ජවිපෙ යන නාමකරණය වෙනුවට වික්ටර් අයිවන් යොදාගත්තේ, ජවිපෙරමුණ යන පදයයි. ඒ පදය, දේශපාලන ව්‍යාපාරයේ පෞරුෂය විදහා නොදක්වයි. එවැනි දේ හරහා වික්ටර් අයිවන් අතිශය සවිඥානික ලෙස ජවිපෙට එරෙහිව භාෂාව යොදාගත් බව, ලියුම්කරුගේ නිරීක්ෂණයයි.
එජාප ශ්‍රීලනිප පක්ෂ දෙකට සෘජුව සහයෝගය නොදක්වන, ජවිපෙ විවේචනය කරන සියලු කොටස් රාවයේ සෙවන යටට එක යුගයක ගෙන එන්නට වික්ටර් අයිවන් සමත් විය. එතෙකින් නොනැවතී, ඉතා සියුම් ලෙස, ඒ පක්ෂ දෙක කරා, ඔවුන්ව, වරින් වර, ක්‍රමානුකූලව රැගෙන යන්නට ද වික්ටර් අයිවන් සමත් විය. ඊට අවශ්‍ය න්‍යායික හා මතවාදී පසුබිම වික්ටර් අයිවන් මනා ලෙස ගොඩ නැගුවේ ය. (ඒ මධ්‍යම පාන්තික ලේඛක පාඨක වළල්ල රාවයේ පැවැත්ම වෙනුවෙන් රාවයේ අවසානය දක්වාම රැඳී සිටියේ ය.)
ඒ ක්‍රියාදාමය මැද, සංශෝධනවාදී මාධ්‍ය අරගලයන් වෙත රාවය පෙරළිකාර ලෙස නායකත්වය දුන්නේ ය. එවකට එජාප ආණ්ඩුවේ ඒකාධිපතීත්වයට එරෙහිව රාවය පළමු පිටුවේ යෝධ අකුරින්, ‘කැතයි ලැජ්ජයි නින්දිතයි!’ යනුවෙන් සටහන් විය. අධිකරණ ස්වාධීනත්වයේ ඉරණම කියා පෑම උදෙසා, චන්ද්‍රිකා ආණ්ඩුවේ අග විනිසුරු පත් කිරීමේ ඡායාරූපය ඔළුවෙන් හිටෙව්වේ වික්ටර් අයිවන්ය. ඒවා, ශ්‍රී ලංකාවේ පත්තර කලාවේ දෘෂ්‍ය දේශපාලනයේ දැවැන්ත විරෝධතාවන්ය. අධිකරණ ස්වාධීනත්වය, ප්‍රභූ තන්ත්‍රයේ චෞරත්වය පිටු දැකීම ආදී කලාපවල, තමන්ගේම සීමාවන්ට යටත්ව වුව වික්ටර් අයිවන් මුළු වෙර යොදා පොර බැදුවේ ය. ඒ පොරබැදීම් විසින්, විකල්ප පත්තර කලාවේ මෙන්ම විකල්ප දේශපාලනයේ ද තීරණාත්මක මායිම් සලකුණු කරන ලදී. ඒවා ඉවත් කර ඉතිහාසය ලිවිය නොහේ. ජාතික හා විකල්ප යන පුවත්පත් ධාරා දෙකටම රාවය බලපෑවේය. විශේෂයෙන්ම කලා සංස්කෘතික විචාරයේදී රාවයේ භූමිකාව ප්‍රශස්ත එකකි. ජවිපෙ ආභාසය සහිත විකල්ප පත්තර කලාවද එයින් පෝෂණය නොවූයේ යැයි කිව නොහැකි ය.
කාලය ඉගිලෙයි. යුග වෙනස්කම් සිදු වෙයි. විකල්ප පත්තර, මාක්ස්වාදයේ එන අභාවයාගේ අභාවයට නිදසුනක් වී ඇත. නව මාධ්‍ය – සමාජ මාධ්‍ය පැමිණ ඇත. වික්ටර් අයිවන් විසින් සිය භාෂාවෙන් පවා පසුපසට ඇද දමනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ, නව ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගෙන ඇත. වික්ටර් අයිවන් යෝජනා කළ දේශපාලන බලවේග පරාජය වී තිබේ. එහෙත් මේ ජයග්‍රහණ පිටුපස ‘පොඩි අතුල’ලාගේ කැපකිරීම් ද ස්ථිරවම තිබේ. ඉතිහාසය, සියල්ලන්ට හිමි ගෞරවය නිසි මාත්‍රාවෙන් බෙදා දෙනු ඇත.
– විමල් කැටිපෙආරච්චි –
(පින්තූරය ලෙස ඇත්තේ, වික්ටර් අයිවන් මහතාගේ අභාවයට ශෝකය පළ කරමින් සංජය ඈපා සෙනෙවිරත්න සොයුරා අතින් නිමවූ අතිශය අධ්‍යාපනික සංකේතාත්මක නිර්මාණයයි)
‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)
අනුර යාපාට ඇප
පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිල ඉහළට ( Update )
Trending
-
පුවත්5 days ago
රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක්!
-
පුවත්6 days ago
මත්තල ගුවන්තොට ඉන්දියානු හා රුසියානු සමාගම්වලට දුන් තීන්දුව රිවර්ස්වන ලකුණු!
-
පුවත්5 days ago
ඇපැල් උසාවියේ සභාපති කලින් විශ්‍රාම යාමට සැරසෙයි!
-
ව්‍යාපාර1 week ago
සිමෙන්ති මිල අඩු වෙයි ද?
-
පුවත්1 week ago
“රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි”