විශේෂාංග
පවුල් ජීවිත අවුල් කරන අසීමාන්තික මව-පුතු බැඳීම
Published
1 year agoon
By
editor
බොහෝ යුවතියන් මෙන් රොෂෙල් ද යුග දිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ය. නමුත්, විවාහ වී වසරකුත් ගත වීමට ප්‍රථම ඇය මැවූ සිහින බිඳ වැටුණේ ඇය ද නොසිතු අයුරිනි.
මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන රොෂෙල් දික්කසාද නඩුවක පැමිණිලිකාර පාර්ශවය වී අවසන් ය. තම රැකියාවෙන් උපයා ගන්නා මුදල් නීති කටයුතු සඳහා වැය කිරීමට දැන් ඇයට සිදුවී ඇත.
රොෂෙල් යනු, මෙම ලිපියේ කතා නායිකාවගේ සත්‍ය නාමය වෙනුවට ඇයගේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි.
ඉකුත් මාසයේ මෙරට මාධ්‍ය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2020 වසරේ සිට “ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්” දක්නට ලැබෙන බව ය.
රොෂෙල් විශ්වාස කරන පරිදි තම විවාහය දෙදරා යාමට බලපෑ ප්‍රධානතම සාධකය, තම ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව අතර පැවති “පමණ ඉක්මවූ බැඳීම” ය. ඔවුන් වෙන්ව වෙනත් නිවසක වාසය කළ ද එය ඔවුන්ගේ පවුල් ජීවිතයට දිගින් දිගට ම බලපෑම් එල්ල කළ බව ඇගේ මතය යි.
අවස්ථා ගණනාවකදී ම රොෂෙල් තම විවාහය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරුවා ය. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වූ තැන ඇයට සිදු වූයේ නීතියේ පිහිට පැතීම ය.
දරුවන් නොලැබීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ
සමාජ විද්‍යාත්මකව බැලූ කල, සමාජ ව්‍යුහයේ කුඩා ම සංවිධානාත්මක ඒකකය පවුල ය. පවුල කුඩා ම සමාජ ඒකකය වුවත් එයට සමාජය තුළ හිමි වන්නේ, ඉතා වැදගත් ස්ථානයක් යන්න සමාජ විද්‍යඥයින්ගේ මතයයි. ඊට හේතුව පුද්ගලයින්ගේ කායික, මානසික, සමාජයීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට පවුල දායක වන බැවින් යැයි ඔවුහු පෙන්වා දෙති.
“ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස,” එක්තරා සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය.
රොෂෙල් පමණක් නොව, එවැනි ආකාරයේ අර්බුදවලට මැදි වූ තරුණ කතුන් බොහෝ දෙනෙකුගේ ගැටලු සමාජ මාධ්‍ය පිරික්සීමේදී සොයා ගැනීම අපහසු නොවේ.
නයෝමි [සැබෑ නම නොවේ] ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තම පෙම්වතා සහ ඔහුගේ මව අතර ඇති අසීමාන්තික බැඳීම නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින තරුණියකි.
මෙරට ඇතැම් මාධ්‍ය විසින් ද “අම්මා එක, බිරිඳ දෙක,” යන සංකල්පය උත්කර්ෂයට නංවන අයුරු පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.
ඒ අනුව, “පවුල් සංස්ථා බිඳ දමන සමාජයේ ඔඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇති” මෙම මව-පුතු බැඳීම වටා ඇති ප්‍රශ්න සඳහා සාධනීය පිළිතුරක් සෙවීමේ අභිප්‍රායෙන් බීබීසී සිංහල, උපදේශන මනෝ විද්‍යාඥවරියක වන ආචාර්ය භාග්‍යා අබේසිංහ සමග සහ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සමග සංවාදයක යෙදුනෙමු.
මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි.
‘මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි…’
මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධ කථිකාචාර්යවරියක ද වන පෞද්ගලික රෝහල් රැසක උපදේශන මනෝ විද්‍යාඥවරියක ලෙස ද සායනික කටයුතුවලට සම්බන්ධ වන ආචාර්ය භාග්‍යා අබේසිංහ මෙම සංවාදයට මුල පිරුවේ මෙලෙසිනි.
“පුතෙක් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ, ඒ විවාහ ජීවිතය ඇතුළේ එයාගේ සර්කල් එකේ ඉන්න පුළුවන් තමන්ගේ බිරිඳ පමණයි. ඒ කියන්නේ, මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ.”
ඇය පැහැදිලි කළේ, දෙවම්පියන් ඇතුළත් විය යුත්තේ, දෙවන පිරිසට බව ය. ඉන්, මව හෝ පියා නොසලකා හැරීමක් අදහස් නොකරන බව ඇය පෙන්වා දුන්නා ය.
විවාහ ජීවිතයකට ඇතුළු වූ පසු තම සහකරු හෝ සහකාරිය සමග යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගෙනයාමේ වගකීම දෙපාර්ශවයට ම පැවරෙන බව ඇය අවධාරණය කළා ය.
“අන්න එතැනදී පුතාලා දැන ගන්න ඕනේ, අම්මා කියන්නේ අම්මට, බිරිඳ කියන්නේ බිරිඳට. බිරිඳට අම්මා වෙන්නත් බැහැ, අම්මාට බිරිඳ වෙන්නත් බැහැ. මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් සහ බිරිඳ ඉන්න ඕනේ තැන බිරිඳට දීලා, අම්මා ඉන්න ඕනේ තැන අම්මාට දුන්නා නම්, ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ,” ඇය පැවසුවා ය.
මවත් පිරිමි දරුවත් අතර පවතින බැඳීම එම දරුවා වැඩිහිටි වියට පත්වීමත් සමග යම් ආකාරයකින් වෙනස් විය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ ය.
‘මගේ පුතා, මගේ පුතා, මගේ පුතා…’
ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ, සායනවලදී තමන් ලද අත්දැකීම් අනුව, බිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව ය.
“බිරිඳ කෙතරම් සමබරව හිටියත්, අම්මලා ඉන්නවා මගේ පුතා, මගේ පුතා, මගේ පුතා කියලා කියාගෙන. ඇත්ත, පුතා තමයි, නමුත්, පුතා කසාද බැන්දට පස්සේ, පුතාගේ පවුල් ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන විදිහට ම කටයුතු කරන අම්මලත් ඉන්නවා,” ඇය පැවසුවා ය.
විවාහ වන වයසේ පුතෙකු සිටින මවක යනු, බොහෝ විට මැදිවියේ පසුවන කාන්තාවක බව ඇය සඳහන් කළා ය. එවැනි කාන්තාවන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ වෙනස් කිරීම අපහසු බව ඇය පෙන්වා දුන්නා ය.
එවැනි අවස්ථාවක, තම මවගේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනුව පුරුෂයෙකු කටයුතු කළ යුතු බව ඇය පැහැදිලි කළා ය.
ඇය අවධාරණය කළේ, විවාහ දිවියට එළඹීමෙන් පසු හෝ දරුවන් ලැබුණු පසු එවැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනු ඇතැයි සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය.
තම විවාහයට ප්‍රථම එවැනි අත්දැකීම් රොෂෙල් ලබා තිබුණ ද ඒවා වර්තමානයේ තමන් සිටින තත්ත්වය දක්වා උග්‍රවනු ඇතැයි ඇය නොසිතුවා ය.
ආචාර්ය භාග්‍යා අබේසිංහ සඳහන් කළේ, තම සායනවලදී එලෙස පීඩාවට පත් වුණු කාන්තාවන් සැලකිය යුතු ගණනක් තමන්ට හමු වී ඇති බව ය.

‘ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ…’
දෙමව්පියන් කෙරෙහි ඇති ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව ආචාර්යවරියගේ මතය යි. නමුත් අනවශ්‍ය ලෙස මව, පියා, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් තම පවුල තුළට එකතු කර ගැනීම එතරම් සුබදායී නොවන බව ඇය පැහැදිලි කළා ය.
“ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ. පුතා අම්මගේ හැටිත් දන්නවා බිරිඳගේ හැටිත් දන්නවා. හැබැයි, ‘නෑ… ඕක දෙන්න එකට ඉන්නකොට හරි යාවි,’ කියලා දෙන්නත් එක්ක එක ගෙදරක ඉන්නවා,” ඇය තම අත්දැකීම් ඇසුරින් සඳහන් කළා ය.
“ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නය, දැන් අද හවස ඇවිළුණොත්, අද රෑට රණ්ඩු වෙලා නිදාගෙන, හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උදේ නැගිට්ටට පස්සේ, අම්මා පුතාට තියෙන ආදරේ හින්දා, අම්මා එතැනින් දවස පටන් ගන්න පුළුවන්. ‘ඊයේ රෑ මගේ එකාට කන්නත් නැහැ, ඊයේ රෑ දෙන්න හොඳට ම රණ්ඩු වුණා,’ මෙහෙමයි කියලා. ඔන්න එතකොට අම්මලාගේ ස්වභාවය එළියට එන්න පුළුවන්.”
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය.
“අපි දකිනවා සමහර වෙලාවට මේ පවුල් ජීවිතවල ගැටලු ඇති වෙනවා විවාහයෙන් පස්සේ. ඒ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවාට වඩා, අර මවගේ ආදරය නිරන්තරයෙන් ලබා ගන්න, ඒ නිවසට ම වෙලා ඉන්න, සහ මවගෙන් සුළු වේලාවකට හරි වෙන්ව සිටීමට දක්වන අකමැත්ත නිසා භාර්යාව සමග හොඳ බැඳීමක් ඇති කර ගන්න නොහැකි වෙන අවස්ථා,” මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවලදී යහපත් තීරණ ගැනීමට නොහැකි වන බව ත් මව දරුවන්ගේ කටයුතුවලට “ඇඟිලි ගැසීම නිසා” බිරිඳ මව “සතුරෙකු” ලෙස දකින බව ත් ය.
“මවත් දුක් වෙනවා තමන්ට දරුවාගේ ආදරය අහිමි වුණා කියලා. එතකොට මවත් තමන් සමග වැඩි කාලයක් ගත කරන්න කියලා දරුවට බල කරනවා. භාර්යාව සමග ගත කරන කාලය ගැන ඊර්ෂියාසහගතව බලන්න පුළුවන්. පවුල් ජීවිතේ කටයුතුවලට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යනවා. ඒ වගේ දේවල් නිසා පවුල් ඇතුළේ අවුල් ඇති වෙන්න පුළුවන්.” ඔහු පැහැදිලි කළේ ය.
‘මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ?’
විවාහ වී දින කිහිපයකට පසු රොෂෙල් අත්විඳි තවත් සිදුවීමක් විය. ඒ, තම සැමියා රාත්‍රී නිදි යහනට පැමිණෙන විට ජංගම දුරකතනය රැගෙන ඒම ත්, එය ත් සමග වැඩි කාලයක් ගත කිරීමත් ය.
රොෂෙල් පවසන පරිදි තම සැමියා ඔහුගේ මව සමග දුරකතනයෙන් කතා බස් කිරීමට තෝරා ගත්තේ, තමා සමග ගත කිරීමට තිබුණු කාලය යි. එය වරක් දෙවරක් නොව, නොනවත්වා සිදුවීම ඇය කලකිරීමට පත් කරවන්නක් විය.
මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය මුළුමනින් ම පාහේ බිඳ වැටීම පමණක් නොව, ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද ප්‍රබල ලෙස බලපෑම් එල්ල විය.
“දෙන්නා තමන්ගේ නිදා ගන්න ඇඳට ගියා ම, දෙන්නත් එක්ක ලිංගිකව හැසිරෙන්න ම ඕනේ නැහැ. තුරුළු වෙලා ඉන්න, කතා කරන්න, ආගිව්මන්ට් එකක් යන්න, අදහස් හුවමාරුවක් කරන්න, මොනවා හරි දෙයක් ප්ලෑන් කරන්න පුළුවන්. මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ,” ආචාර්ය භාග්‍යා අබේසිංහ පැහැදිලි කළා ය.
ඇය පෙන්වා දුන්නේ, යුවළක් වෙන්ව ජීවත් වීමේදී තම දෙවම්පියන් පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එය නිදි යහනට පැමිණීමට ප්‍රථම සිදු කිරීමට හැකියාවක් පවතින බව ත් ය.
“රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා අම්මා එක්ක කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඊට කලින් පුතා දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. දුව දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. අම්මා ගැන හොයලා බලන්න. හදිසි කෝල් එකකදී ඇරෙන්න.ඇඳට ආවට පස්සේ ම, මම නම් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියන එක තමයි වඩා ත් ම සුදුසු,” ඇය පෙන්වා දුන්නා ය.
‘අම්මා එක්ක කතා කළ ත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා… එතකොට වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා…’
උපදේශන මනෝ විද්‍යාඥවරිය සඳහන් කළේ, බිරින්දෑවරුන් විසින් ගැටලු ඇති කරනු ලබන අවස්ථා ද තම වෘත්තීය ජීවිතයේදී හමුවී ඇති බව ය.
එවැනි අවස්ථාවලදී වැඩි වශයෙන් ස්වාමි පුරුෂයා පීඩාවට පත්වන බව ඇය පෙන්වා දුන්නා ය.
“තවත් සමහර අවස්ථා තියෙනවා. ඕකේ ම අනිත් පැත්ත. අම්මගේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම අම්මා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. අම්මා ඉතින් පුතාට කතා නොකර ඉන්නේ නැහැනේ. කතා කරලා කොහොම ද කින්ද මන්ද කියලා හොයලා බලනවනේ. හැබැයි ඒක දරා ගන්න බැරි බිරින්දෑවරු ඉන්නවා,” යැයි ඇය සඳහන් කළේ තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි.
“එතකොට ඒ වෙලාවට පුතා අසරණ වෙනවා, අම්මා එක්ක කතා කරන්නත් ඕනේ, අම්මව බලන්නත් ඕනේ, හැබැයි අම්මා එක්ක කතා කළත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා. මට එහෙම බිරින්දෑවරුත් මුණගැහිලා තියෙනවා. එතකොට වැඩිපුර ම පීඩාවට පත් වෙලා තියෙන්නේ, වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා,” ඇය තව දුරටත් පැවසුවා ය.
ඇය සඳහන් කළේ, අවස්ථා තුනකදී මෙවැනි ගැටලු ඇති විය හැකි බව ය.
ඉන් එකක් ලෙස ඇය පෙන්වා දුන්නේ, මව සහ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කළමනාකරණය කර ගැනීමට ඇතැම් ස්වාමි පුරුෂයින් අපොහොසත් වීම ය.
අනෙක් අවස්ථාව, මවක තම ලේලියට වෙනස්කම් කිරීම ය.
“අම්මා පුතාට ආදරෙයි, හැබැයි ලේලිව ගණන් ගන්නේ නැහැ. ලේලිට ආදරේ නැහැ. පුතාට මාළු කෑලි දෙකක් බෙදනවා. ලේලිට මාළු හොදි ටිකක් විතරක් බෙදනවා. එහෙම නැත්නම්, කසාද බැඳපු පුතාට, සුදු පුතා, චූටි පුතා, මගේ පුතා කියලා කතා කරනවා. හැබයි බිරිඳට කතා කරන්නේ නම කියලා.”
තුන්වන අවස්ථාව, “බිරින්දෑවරු හිතාගෙන ඉන්නවා, කසාද බැන්දට පස්සේ අම්මා ගැන ඔච්චර හොයන්නේ මොකට ද? මෙයා විතර ද ළමයෙකුට ඉන්නේ? මෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා,” ලෙස ඇය පැහැදිලි කළා ය.
ඇතැම් බිරින්දෑවරුන්ගේ එවැනි හැසිරීම් සඳහා ඔවුන්ගේ පෙර අත්දැකීම් බලපෑ හැකි බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නා ය.
කුඩා කල සිට ම අවධානය යොමු කළ යුතු යි
මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට දෙවම්පියන්ට දරුවන් කුඩා කල සිට ම පියවර ගත හැකි බව ආචාර්යවරියගේ මෙන් ම මනෝවෛද්‍යවරයාගේ ද අදහස විය.
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම වඩා ත් නිරෝගී විය යුතු බව ය. එම බැඳීමේ පවතින ගුණාංග අනුව ඉන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය තීරණය වන බව ඔහු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, “කුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ. නැත්නම් දරුවන් වැඩිහිටි වුණා ම බැඳීම් ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්,” යනුවෙනි.
එසේ නොවන අවස්ථාවලදී දරුවෙකු වැඩිහිටි බවට පත් වූ පසු ඔහු හෝ අයට සබඳතා පිළිබඳ ගැටලු පැන නගින බව මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
නමුත් මවක සහ පිරිමි දරුවෙකු අතර පවතින බැඳීම එම දරුවා නව යොවුන් වියට පත් වීමේදී යම් ආකාරයක වෙනස් වීමකට භාජනය විය යුතු බව ඔහු පැවසීය.
“මවත් පිරිමි දරුවත් අතර බැඳීම ළමා කාලයේදී වැදගත් වුණාට තරුණ කාලය වන විට ඒ බැඳීම්වල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට, පිරිමි දරුවා නව යොවුන් වයසට එනකොට ඔහු වඩා ත් ස්වාධීන වෙන්න උත්සහ ගන්නවා. ඒ උත්සහ ගන්නේ, සමාජයට ගැළපෙන සහ අත්‍යවශ්‍ය වන පෞරුෂත්ව ලක්ෂණ ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න උත්සහ ගන්නවා, අලුත් යහළුවෝ හොයා ගෙන යනවා, අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා, අවදානම් ගන්න පෙළඹෙනවා. මෙන්න මේ වගේ දේවල්වලදී ඔහු ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නවා,” ඔහු සඳහන් කළේ ය.
ආචාර්ය භාග්‍යා අබේසිංහ ද මනෝවිද්‍යාඥවරයෙකු වන එරික් එරික්සන්ගේ ළමා සංවර්ධන අවධි ඇසුරින් ඒ පිළිබඳව පැහැදිලි කළා ය.
“අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යහපත් දෙමව්පියකරණය. අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කරන්න ගිහිල්ලා, දරුවාගේ පෞරුෂයට හානි නොකර ඉන්න එකේ වගකීම තියෙන්නේ අම්මාට තාත්තාට. ඒ වගකීම දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ම තියෙනවා. දරුවා එක එක අවධි පහු කරගෙන යනකොට, ඒ දරුවාට අවශ්‍ය කරන රැකවරණය, සහයෝගය අවබෝධයෙන් යුතුව දෙන්න ඕනේ.”
ඇය පෙන්වා දුන්නේ, දරුවන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් පසුකර යාමේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ය.
“එතැනදී මුල් ළමා විය සංවර්ධනය කියන කාල සීමාව, නව යොවුන් අවධිය කියන කාල සීමාව විශේෂයෙන් ම වැදගත් වෙනවා. මොක ද ඒ අවධීන්වලදී නිසි දැනුවත්භාවය, ඒ සහයෝගය නැති වුණාට පස්සේ තමයි අර දරුවාගේ පෞරුෂය නැති වෙලා යන්නේ. නැත්නම් හීන පෞරුෂයක් ගොඩනැගෙන්නේ. එහෙම දරුවෙකුට කසාද බැන්දත් ඊළඟට කරන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ද නෝන ද කියලා හිතා ගන්න බැහැ. හරි වෙලාවට හරි තීරණයක් ගන්න බැහැ,” ඇය පැවසුවා ය.
රොෂෙල් පැවසූ පරිදි ඇගේ සැමියා ද තීරණ ගැනීමේදී දුර්වලතා පෙන්වා තිබේ. ඔහු පහසුවෙන් අන් අය පවසන දෑ අනුව තම ස්ථාවරය වෙනස් කරන පුද්ගලයකු ලෙස රොෂෙල් හඳුනා ගෙන තිබේ.
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ, සමාජයට ගැළපෙන පෞරුෂයක් නොමැති, සමාජ කුසලතා නොමැති පුද්ගලයෙකු විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ගැටලු ඇති විය හැකි බව ය.
“දරුවෙකුට සහකම්පනය කියන එක දිය යුතු ම යි,” ආචාර්ය භාග්‍යා අබේසිංහ අවධාරණය කළා ය.
“හේතුව සහකම්පනය නැති මිනිස්සු කසාද බැන්දත්, සහකම්පනය නැති මිනිස්සු රස්සාවක් කළත්, සහකම්පනය නැති මනුස්සයෙක් පවුලක හිටියත්, එක හා සමානව දුක සහ වේදනාවක් තමයි අනෙක් වටේ ඉන්න පාර්ශවයන්ට ලැබෙන්නේ.”
රොෂෙල් තම ස්වාමි පුරුෂයා සමග එක්ව ගත කළ කෙටි කාලය තුළ ලද “දරුණුතම” අත්දැකීම ඔහු තුළ සහකම්පනය නොමැති වීම ය.
මේක අපේ සංස්කෘතියේ අවුලක් ද?
අප “යහපත්” සංස්කෘතියක් ඇති රටක ජීවත් වුව ද එහි ඇති ඇතැම් ලක්ෂණ දරුවන්ගේ පෞරුෂයට හානි කරන බව ආචාර්ය භාග්‍යා අබේසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය.
ඇය සඳහන් කළේ, දරුවන්ට තීරණ ගැනීමේ අයිතිය පවා නොදෙන දෙමව්පියන් සිටින බව ය.
“පුතා හොඳට ම දන්නවා, මට ගැළපෙන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ කියලා. හැබැයි වැරදිලාවත් ඒ කෙනාට අම්මා තාත්තා අකමැති වුණොත්, අපේ මේ සංකෘතිය ඇතුළේ තියෙන සමහර කාරණා නිසා, ‘නෑ… නෑ… අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,’ ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා,” ඇය පැහැදිලි කළා ය.
රොෂෙල්ගේ මතය වූයේ, බටහිර සමාජයේ මෙන් විවාහ වීමට ප්‍රථම, යුවළක් එකට වාසය කිරීම (living together) වැනි සංකල්ප සඳහා මෙරට තුළ ඇති තහංචිය කෙනෙකුට වඩා ත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට එක් අතකට අහිතකර බලපාන බව ය.
විසඳුමක්?
ප්‍රයෝගික ගැටලු නොමැති නම්, විවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම සුදුසු යැයි යෝජනා කරන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ ආචාර්යවරියගේ ද එම අදහසට එකඟ වෙමිනි.
යම් හෙයකින් විවාහය සම්බන්ධ ගැටලුවක් පවුල තුළ විසඳා ගැනීමට අපොහොසත් වේ නම්, ඒ සඳහා වෘත්තීයමය පළ පුරුද්දක් ඇති මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ, දෙවම්පියන් සමග පවතින අසීමිත බැඳීම සම්බන්ධ ගැටලු “විවාහයට පෙර ම, ඇති වීමේ ලකුණු තියෙනවා නම්, විවාහය වෙනකම් සිටීමට අවශ්‍ය නැහැ, විවාහට පෙර ම පූර්ව විවාහ උපදේශනය සඳහා යොමු වෙන්න පුළුවන්,” යනුවෙනි.
“ලේලිලාව පීඩනයට පත් කරන අම්මලාගෙන් මං අහන්නේ, ඒ අම්මා කැමති ද ඒ අම්මට දුවෙක් හිටියා නම්, ඒ දුවගේ මහත්තයා ඔය වගේ හැසිරෙනවාට. තමන්ගේ දුවට ඒක වෙනවට කැමති ද? කැමති නෑනේ. එහෙනම් අර දුවටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.
ඊළඟට මම බිරින්දෑවරුන්ගෙන් අහන්නේ, ඔයාට පුතෙක් හිටියා නම්, ඔයා කැමති ද ඔයාගේ ලේලි ඔය වගේ හැසිරෙනවාට?
පුතාලගෙන් මං අහන්නේ, අම්මට අම්මගේ තැන දීලා, බිරිඳට බිරිඳගේ තැන දීලා, හරි විදිහට මධ්‍යස්ථව, තීරණ ගන්න පුළුවන් පෞරුෂයක් තියාගෙන හිටියා නම්, මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙනවා නේ ද?
එහෙම ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට මේක සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා,” ආචාර්යවරිය සඳහන් කළා ය.
“මම ඒ නිසා පොදුවේ කියන්නේ, අම්මා අම්මා ම යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා තමයි අම්මා කෙනෙක් වෙන්නේ. බිරිඳට ඒක දැනෙන්නේ, බිරිඳ අම්මා කෙනෙක් වෙච්ච දවසට.
නමුත් මම යෝජනා කරන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක, විවාහ වුණාට පස්සේ, ප්‍රශ්නයක් වෙලා, නොහොඳ වෙලා වෙන් වෙනවාට වඩා, දෙපාර්ශවයේ ම අම්මලා තාත්තාලට සලකන්න, ආදරය කරන්න, බැඳීම් තියාගන්න, නොසලකා හරින්න එපා. හැබැයි, දෙන්න වෙන ම ඉන්න එක තමයි හොඳ ම,” ඇය අවසන් වශයෙන් පැවසුවා ය.
උපුටා ගැනීම – බීබීසී සිංහල
You may like
-
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
-
ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි
-
ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති
-
පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි
-
කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්
-
72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.
මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .
1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.
නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.
දයාබර පත්තර මල්ලි වෙත
අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා.
ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්.
මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.
ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්.
ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.
අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා.
කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.
හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.
ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු .
එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති.
නුවන් ජූඩ් ලියනගේ .
ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .








“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…
ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.
අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”
මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.
ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.
78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.
ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.
ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.
1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.
ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.
ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.
මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන
ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.
ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.
“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.
‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’
බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.
1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම
බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.
ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.
සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.
පයිලට් ප්‍රේම්නාත්
ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.
එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.
මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය
පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.
‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.
මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන
ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.
- 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
- 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
- 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
- රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
- ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014
ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.
ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.
ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.
“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.
“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”
“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.
“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”
“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.
මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය – BBC

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති
Trending
-
පුවත්1 week ago
2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ
-
පුවත්1 week ago
දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update)
-
පුවත්4 days ago
“පත්තර මල්ලී” හෙටින් ඉවරයි
-
පුවත්4 days ago
NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි
-
ඡායාරූප සටහන1 week ago
නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා)