Connect with us

විශේෂාංග

පොලිසියේ අලුත් ඇප් එක ඔබේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළනවා ද?

Published

on

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව නව වසරේ සිට ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව මාර්ග වැරදි පිළිබඳව පැමිණිලි කිරිමට පොලිසිය විසින් ජංගම දුරකතන යෙදුමක් (Mobile App) හඳුන්වා දෙනු ලැබීය.

තවමත් පොලිස් වෙබ් අඩවියෙන් පමණක් බාගත කළ හැකි eTraffic නම් ඇප් එක මගින් රියදුරන් සිදුකරන රථ වාහන වැරදි ඡායාරූප හෝ වීඩියෝ ගත කර පොලිසිය වෙත ඉදිරිපත් කළ හැකිය.

එසේ ලැබෙන පැමිණිළි විමර්ශන කර අවශ්‍ය නීතිමය කටයුතු කරන බව ඇප් එක හඳුන්වා දෙමින් පොලිසිය නිවේදනය කළේය.

කෙසේ වෙතත් ඇප් එක මගින් පුද්ගලිකත්වයට මෙන්ම පුද්ගලික දත්ත අවදානමකට පත් වන බවට මතබේදාත්මක කතා බහක් සමාජ මාධ්‍ය තුළ පවතින අතර ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විද්වතුන් ද එය මතුකර තිබේ.

සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව උපදෙස් දෙනුයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් මෙන්ම තම පුද්ගලිකත්වය සම්බන්ධව සැලකිලිමත් වන ඕනෑම කෙනෙකු මෙම ඇප් එක බාගත කර නොගැනීම සුදුසු බව ය.

ඉහළ යන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට ඇතිවන බලපෑම ගැන ඔබ දන්නවා ද?

‘සෝෂල් මීඩියා ආරක්ෂා කරගන්න බැරි පොලිසිය දත්ත සුරකිනවා කියනවා’

“දශක කිහිපයක් තිස්සේ ලංකාවේ පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මහජනතාව, ඇතැම් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය නොතකා, නොබලා පුළුවන් තරම් දත්ත අනුසාරයෙන් විශේෂයෙන්ම දෙමළ ප්‍රජාවටත්, නැගෙනහිර ප්‍රජාවටත් මානව අයිතිවාසිකම් හා ඉන්න ප්‍රජාවටත් එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ සන්දර්භය, ඒ ඉතිහාසය තුළ මෙවැනි ඇප් එකක් මගින් තමාගේ පෞද්ගලිකත්වය අඩපන වීමේ අවදානම, හැකියාව, ඉඩ ප්‍රස්ථාව අතිශයින්ම වැඩි වෙනවා මේක බාගත කළ කට්ටියගේ ෆෝන් හා සම්බන්ධයෙන්.”

“අපිට පැහැදිලිවම පේනවා පොලිසියේම සෝෂල් මීඩියා ජාලවල ගිණුම් ඒගොල්ලන්ටම සුරක්ෂිත කරන්න බැහැ කියලා. ඒක මනංකල්පිත ලෝකයක් නෙමෙයි ඒක පැහැදිලි සෘජුවම පේන දෙයක්. ඒ සෝෂල් මීඩියා ගිණුම් සුරක්ෂිත කිරිමේ හැකියාවක් නැති පොලිසියක් තමයි මහජනතාවට කියන්නේ ඒගොලන්ගේ දත්ත සුරක්ෂිත කරනවා කියලා.” යැයි ආචාර්ය සංජන හත්තොටුව බීබීසි සිංහල සේවයට විස්තර කළේය.

මිනිස් ජිවිතයකට හානියක් සිදුවිය හැකි මාරක වේගය කොපමණද ?

රහසින් කරන්න පුලුවන් මොනවාද?

මෙම යෙදුම හරහා පෞද්ගලිකත්වයට හානි විය හැකි ආකාරය ආචාර්ය සංජන හත්තොටුව උදාහරණ සහිතව පැහැදිලි කළේය.

“ට්‍රැෆික් වයලේෂන්වලට හදලා තියෙන දේ උදහරණයක් හැටියට අනාගතයේ දී රහසින්ම ඒ ෆෝන් එකේ ලොකේෂන් එක ට්‍රැක් කරන ඇප් එකක් බවට පත් විය හැකි, පත් කරන්න පුළුවන්.”

eTraffic ඇප් එක නීතියට අනුකූල නැද්ද?

මෙය 2025 මාර්තු මාසයේ සිට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල නොවන බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි.

“ඒ නීතිය හා සම්බන්ධයෙන් මේ ඇප් එක සංසන්දනය කරනකොට සම්පුර්ණයෙන්ම පැහැදිලි වෙනවා පොලිසිය ඒ නීතිය ගැන දන්නේ නෑ කියලා. මොකද ඒ ඇප් එකෙන් අපි ෆෝන් එකෙන් කරන දේවල්, ඒ ඇප් එක ගබඩා කරන දේවල්, ඒ ඇප් එකෙන් ඉල්ලන දේවල්, ඒ ඇප් එකෙන් පොලිසියට යවන දේවල්, පොලිසියෙන් ඊට පස්සේ ඒගොල්ලො ඒවා ගබඩා කරන්නේ කොහොමද, ⁣කොතෙක් දුරට ගබඩා කරනවාද, කොතෙක් කාලෙකට ද, ඒවට මොනවාද පාවිච්චි කරන්නේ ඒ හා සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ ඇප් එක මාර්තු මාසෙන් පස්සේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා.”

දැනටත් 117 දෙනෙක් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසියට මේ ඔස්සේ තොරතුරු ලබා දී තිබේ

‘බලෙන් මේක කාටවත් දාගන්න අවශ්‍යතාවයක් නැහැ’

සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විද්වතුන් ඉදිරිපත් කරන මතයන් හා මතබේදාත්මක තත්ත්වය සම්බන්ධව බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා පොලිසියන් විමසනු ලැබුවා.

“එක එක්කෙනා එක එක ආකාරයට අර්ථකතන දක්වයි. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති නම්. බලෙන් මේක කාටවත් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. කැමැත්ත අනුව ඒක ඩවුන්ලෝඩ් කරගෙන, ඒ තියෙන විද්‍යුත් තැපෑලට එවනවා මාර්ගයේ සිදුකරන වැරදි සම්බන්ධව. මේකෙන් ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිසියත්, මහජනතාවත් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වලා මාර්ගයේ සිදුකරන වැරදි අවම කර ගැනීමට.” යැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.

E- traffic ජංගම දුරකතන යෙදුම ⁣පුද්ගලික ආරක්ෂණ පනතට අනුකූල නැති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රතිචාර දැක්වීය.

“තවම ක්‍රියාත්මක වෙනවා කියන එක දන්නැති වුණාට අනුකූල ද නැද්ද කියන්න දන්නෙත් නෑනේ මාධ්‍යයෙන් කියන කට්ටිය. නීතියානුකූල තත්ත්වයක් තියෙනවාද, නැද්ද දන්නෙත් නෑනේ. මෙවැනි සමහර හොඳ දේවල් කරන්න ගියාම යම් යම් කණ්ඩායම් සමහරවිට ඒවාට විරුද්ධව කටයුතු කරනවා ඇති. මේ සම්බන්ධව 1995 අක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතෙත් පැහැදිලිව තියෙනවා ඡායාරූප සහ විඩියෝ දර්ශන සම්බන්ධව නීතිය.”

‘දැනට 117 දෙනෙක් ඒ සම්බන්ධව තොරතුරු දැනුම් දීලා තියෙනවා’

මාර්ග අනතුරු හරහා සිදුවන ජීවිත හානි වළක්වා ගැනිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බව ද හෙතෙම සඳහන් කළේය.

ජනවාරි 01 වැනිදා සිට මෙම ඇප් එක බාගත කර ගැනිමේ හැකියාව ලබා දී තිබු අතර ජනවාරි 02 වැනිදා සවස් වන විට ඒ හරහා ලැබී තිබු තොරතුරු ගැන ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේය.

“දැන් අද මේ වන විට, දැනට 117 දෙනෙක් ඒ සම්බන්ධව තොරතුරු දැනුම් දීලා තියෙනවා. ඒක හොඳයි නේ. මහජනයා දැනුවත් වෙලා, දැනට තාම මේ හරියට දැනුවත් නොවී. ජනමාධ්‍ය තුළින් තව තවත් දැනුවත් වුණාම විනයක් ඇතිව කටයුතු කරයි.”

‘ඒක නොකරන එක නෙමෙයි මගේ තර්කය’

ලෝකයේ සියලු දෑ ඩිජිටල්කරණය වෙමින් ⁣පවතින යුගයක මෙවැනි ජංගම දුරකතන යෙදුම් ආරක්ෂිත ආකාරයට සකස් කළ හැකි ආකාරය පිළිබඳව ආචාර්ය සංජන හත්තොටුව මෙලෙස විස්තර කළේය.

“මේක කරන්න හරිම පැහැදිලි රාමුවක් ඉදිරිපත් කරලා තියෙනවා PDP (පුද්ගලික දත්ත ආරක්ෂණ පනත) තුළ. PDP එක කියන්නේ නීතිමය රාමුවක් නෙමෙයි, ඩිජිටල්කරණය අහෝසි වෙන්න එහෙම නැතිනම් ඒකට එරෙහිව හදලා තියෙන එකක් නෙමෙයි. PDP හදලා තියෙන්නේ මානව අයිතිවාසිකම් පදනම් කරගෙන, පුද්ගලික දත්ත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන විදියකට තමයි ඒ නීතිය සම්පාදනය කරලා තියෙන්නේ.”

මානව අයිතිවාසිකම් මෙන්ම පුද්ගලික දත්ත ආරක්ෂා කර ගනිමින් මෙවැනි දෑ නිර්මාණය විය යුතු බව ආචාර්යවරයා අවධාරණය කළේය.

“අපේ ජනාධිපතිතුමා කියලා තියෙනවා වගේම ඒ වගේ ඇප් ලංකාවට අත්‍යාවශය යි. ඒක නොකරන එක නෙමෙයි මගේ තර්කය. මේ කරලා තියෙන වැඩේ අතිශ්‍යයින්ම භයානක විදියට තමයි කරලා තියෙන්නේ.”

(බීබීසී සිංහල)

විශේෂාංග

භාතිය නම් (වල්)  අලියා සහ චෙම්මෙනයි හි (පර) දෙමලා

Published

on

By

ශ්‍රී ලංකාව,  ජනගනය අනුව ස්වේච්චාවෙන්  ගෙවීමක් නැතිව  ඇස් සහ ලේ දන් දෙන  රටවල් පෙළේ ඉහලම රටක්. ඇස දන්  දීම ගැන අනිත් රටවල් බොහොමයකට වඩා අපි හුගාක් ඉදියෙන්

දැන් අපි දන් දෙන ඇස් පිටරට අයගෙත් පෙනීම දෙනවා. ජාතියක් හැටියට මොනතරම් දයාවින්ත ගෞරවයක් ද? 

මේ දන් දීම 95% ක් ම කරන්නේ සිංහල බෞද්ධයන්ය.මොකද,

1. දානය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම සියුම් නිසා
2. කුල චින්තනය නිසා ලේ ඇස් දැන් දීම පිලිබඳ ව දෙමල සමාජ සංස්කෘතිය තුල දරුණු බෙදීම් තියෙනවා
3. ශාරික උත්තානය ගැන අදහන නිසා කතෝලිකයන් ඒ පිළිබඳ නිහඬයි
4. අවයව දානය හරාම් නොවුනත් මුස්‌ලිම භක්තිකයන් ඒ ගැන යුහුසුළු වෙන බවට සාක්ෂි නැති තරම්ය

මාක්ස්වාදී-ලෙනින්වාදය සහ ජාතිකවාදය වැනි “ලෞකික ආගම්” විමර්ශනය කිරීමේ දී සක් සුදක් සේ පැහැදිළිවන වෙනස මෙය වනු ඇත එකක පවතිනදේ කඩා දමන්නටත් අනෙක පවතින දුඛ නිවන්නටත් යොමු වීම ආධ්යාමික   හෝ ලෞකික වේවා, සියලුම ලෝක දර්ශනවල චාරිත්‍රානුකූල අංග – නමස්කාරය, භාවනාව, වන්දනා ගමන සහ පූජාව – සහ මූලධර්ම හා  මෙමෙ දානය නම්  කඩ ඉමෙන් වෙන් වෙන බව මගේ පරි කල්පනයයි

ඉතින් ඒ අතින්  සිංහල බෞද්ධයන් ලෝක සමාජයේ සහනුකම්ප්ත තලයේ ලොව උතුම් වූ ජාතියක් ය

නමුත්,
දේශපානය ඉගන ගන්න කෙනෙක් හැටියට මගෙන් පිටරට විද්වතුන් අහන ප්‍රධාන පළමු පෙලේ ප්‍රශ්නයක් තමයි:
ගහ  කොළ
සතා සිව්පා උරගා
ඇල දොළ මලට
ආදරය කරන
නොදන්නා මිනිසුන්ට තමන්ගේ ඇස් දෙක දෙන
මෙච්චර යහපත් සිංහල මිනුසුන්,
ජාන වශයෙන්
සංස්කෘතියෙන්
භාෂාවෙන්
එකම පොළවෙන්
තමන්ට මේ තරම් සමීප
දෙමලුන් පිළිබඳව සංවේදී නොවන්නේ ඇයි?

මේ තරම් ගැඹුරට ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ, යොදවන්නේ කොහොමද කියන එක මට මතක විදියට මහාචාර්ය SJ තම්බිය්යා ඔහුගේ ලෝකප්‍රකට “Buddhism Betrayed ?” (1984) කෘතිය පටන් ගන්නේ මේ ප්‍රශ්නයෙන් නමුත් ඒ පොතම ඒ ප්‍රශ්න කිරීමම මැරෙන තුරාවට ඔහුට ලංකාවට එන්න බැරි කළා ( පොත නිළ වශයෙන් තාමත් තහනම් ද දන්නේ නැහැ) මෙම පරස්පර විරෝධී ස්ථාපිත සුසමාදර්ශ ප්‍රහේලිකාව ( paradoxically confirmed enegmatic paradigm) පසුගිය වසර 300 – 400 තිස්සේ අපේ රාජ්‍ය | සමාජය  නිර්වචනය කරන වැට මාඉමයි.

වසර 1500 කට කලින් මහා විහාරයේ වැඩම කරමින් මහාවංශය ලියු මහානාම හාමුදුරුවෝ සිට අනගාරික උන්නාන්සේ දක්වාත් Dr  ගුණදාස අමරසේකර දක්වාත් ටිකක් හොදින් අධ්‍යනය කලොත් මා අගය කරන මිත්‍ර Thamalu Maliththa Piyadigama  දක්වාත්  මේ  පරස්පරය  නොනවත්වාම ඉතිහාස ගත ( continued historicization)   වන බව  පෙනෙයි.

මෙම  සිංහල ස්වයං උත්කර්ෂයට නැංවීම සහ දෙමලා  අන්‍ය අනෙකා ( the other-ing) කිරීම (අ)සවිඥ්නකවම ආගම සාහිත්‍ය අධ්‍යාපනය හා බල දේශපාලන අරගලයක් සේ සෙමින් එහෙත් ගැඹුරෙන්ම ගලා අනාගතයටත් යන බවයි මට තේරෙන්නේ

නැත්නම්, අර භාතිය නම් වල්  අලියා වෙනුවෙන් හඬන වැළපෙන පිං දෙන බෝධි පුජා ලැහැස්ති කරන iPhone අතැතිව tight jeans, crop top  අඳින මුතුගල ස’ ගේ bio class යන Gen Z අයවත් ,  යාපනේට culture tourism සංවිධානය කරන අයවත් “එප්පඩි සුහම් නල්ල  පුල්ල කියල ” බොරු රැඩිකල් “අමු”කාර සංජීවට පෙන්නේ නැති
A 9 පාරෙන් මීටර  200ක් වත් ඈත නැති චෙම්මනි සමුහ මිනිවලින් හමුවෙන, මහාචාර්ය රාජ් සෝමදේව ට අනුව වයස අවුරුද්දක් වත් නැති ළදරුවන්ගේ ඇට  කටු මතුවීම ගැන ප්‍රශ්ණ නොකරන්නේ  ඇයි?

කවි සින්දු නිසදැස් නොලියන්නේ මන්ද ?

වල් අලියකුට පෙම් බඳින්න සියුම් සමාජයක් කිරිදරුවන් ගේ කෘර ඝාතන ගැන නිහඬව ඉන්නේ කොහොමද ?

May be, Spiritually justified continuedly historicized Cosmion (in)securitization of an otherwise greatly compassionate nation?

තව  බොහෝ දේ ලියන්න තියෙනවාය පුළුවන්ය
මොකද මේ ජුලි මාසයයි

අපි, සිංහලයන් එක්ක එක බත් පත බෙදා ගෙන
එකට ජීවීතේ ගෙවන එහෙත්  structurally other  දෙමලුන්ය

 ✍️Suren Rāghavan 

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

Published

on

By

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස  සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.

ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ  මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.

ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.

2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.

සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.

YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.

Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.

සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.

කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.

නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

Continue Reading

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

By

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved