Connect with us

විශේෂාංග

බල්සාක් කැෆේ : රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව

Published

on

ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නියමුවා වීම නිසා ය.

තමන්ගේ හිසවටා රැස් ඇතැයි සිතන මිනිසුන් කරකැවෙමින් තිබෙන මෙකී රැස් බැහැගෙන යමින් ඇතැයි තමන්ටම සිතෙන විට විකාරයෙන් දඟලයි. නා නා නැටුම් නටයි. නා නා ගැයුම් ගයයි.

ලෝක කුසලානයක් හිමිකරගත් කණ්ඩායමකට නායකත්වය දුන් මිනිසෙක්ට ඩොලර් ලක්ෂ 8ක් පමණ වැයකරමින් අහස පළාගෙන උසට නැඟෙන කෘත්‍රිම නත්තල් ගසක් වවන්නට සිතෙන්නේ ඇයි? උස පිළිබඳ ප්‍රශ්නයකි. 

අර්ජුන රණතුංග නමින් සිටින වැහැරුණු පෞරුෂය තුළ බැලූ බැල්මට ම වන්නේ සිංහ-බෞද්ධ අධිනිෂ්චයවීමකි. එවැන්නෙක්ට ලෝක ශූරයන් වී විසි වසරක ඇවෑමෙන්, එනම් 2016 වසරේ, නත්තල් ගසක් හදන්නට සිතෙයි. මෙම ආර්ටිෆිෂල් නත්තල් ගස මීටර් 73ක් හෙවත් අඩි 239ක් උස ය. රතු, කොළ, රන්, රිදී පෑ ය තවරා එහි රැන්දූ පයින් කෝන් මිලියනයයකි. විදුලි බුබුළු ලක්ෂ 6කි. මුදුනේ වූ වලිග තරුව පමණක් මීටර් 6ක් උස ය. මාස 4ක් තිස්සේ සිය ගණනක් වරාය කම්කරුවෝ මෙන්ම ස්වේච්ඡා ශ්‍රමිකයෝ නත්තල් ගහ සමඟ ඔට්ටු වෙමින් සිටිය හ.

මිනිස්සු දරිද්‍රතාවයෙන් සිටින සමයක, ‘යහපාලන වේශයෙන්’ බලයට ආ පාලකයන් මේ විකාර නත්තල් ගසට මෙතරම් මුදලක් වැය කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කෙරුවේ වෙන කවුරුත් නොවේ මැල්කම් කාඩිනල් රන්ජිත් අගරදගුරුවරයා ය. නත්තල් ගසට කර ගසා සිටි අර්ජුනයින් වෙනුවෙන් කාඩිනලුන්ට පිළිතුරු බඳින්නට ඉදිරිපත් වූයේ එවක අගමැති වූ රනිලුන් ය. ඔහු කීවේ නත්තල් ගහට පොදු ජනතා මුදල් වැය නොකරන බවත් එය, ස්වර්ග රාජ්‍යයටත්, තව්තිසා දිව්‍ය ලෝකයටත් කුසල් රැස් කරන, පිංවතුන්ගේ පරිත්‍යාගයන් මත සිද්ධ වන බවත් ය.

නත්තල් ගස බාර ඇමතිවරයා වූ අර්ජුන වහා ඉදිරියට පැමිණ තමන්ගේ අදහස ද මාධ්‍යයට කීවේ ය. ඔහුට අනුව එය, ‘එකම රටක් එකම ජාතියක් ලෙස අපට ඉන්නට හැකි බව ලොවට පෙන්වනු පිණිස’ අටවනු ලැබූ නත්තල් ගසකි. අර්ජුන රණතුංග යනු සිංහල බෞද්ධ බහුතරයක් සිටීමෙන් නොනැවතී, සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය අධිනිෂ්චය වූ රටක, ජාතික හා ආගමික සහජීවනය ලොවට පෙන්වන්නට ඩොලර් ලක්ෂ අටක් ද විශාල මිනිස් ශ්‍රමයක්ද වැය කර ඇටවූ නත්තල් ගසකට හැකි බව සිතූ විහිළුකාරයෙකි. මෙවන් විහිළුකාරකම් සහ රැස් වළලු එහෙ මෙහෙ වීම්වල සහසම්බන්දයක් නැද්ද?

මෙම කොලමේ ශීර්ෂය පිණිස යොදා ඇති ‘රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව’ මා 25වසරකට පෙර, එනම් 1998 මැයි 31 ඉරිදා ‘රාවය’ පත්තරයේ ක්‍රිඩා පිටුව පිරෙන්නම ලියූ ලිපියක ශීර්ෂයයි. මා ලිපිය ඇරඹූයේ රොෂාන් මහානාම සහ කුමාර ධර්මසේන ශ්‍රී ලංකා ටෙස්ට් පිලෙන් ඉවත් කර දැමීමට ගත් තීන්දුව තුළ වූ රණතුංග අඩංගුව ප්‍රශ්න කරමිනි.

ලෝක කුසලානය දිනා ගැනීම අරජුනගේ නායකත්ව ප්‍රාතිහාර්යයක් ලෙස ගැනීම ඓතිහාසික වරදකි. 

නා නා කැටයම් පිරි ක්‍රිකට් දැවැන්තයන් රැසක් එකම මොහොතක කණ්ඩායමකට ගොනු වීම ඓතිහාසික විකාශයක ප්‍රතිපළයක් මිස නායකයකුගේ මැජික් එකක් නොවේ.  

නමුත් ලෝක කුසලානය ඔසවාගෙන ක්‍රිකට් බෝඩ් එකට ආ අර්ජුනගේ චර්යාව එතැන් සිට ශුද්ධවූ මමංකාරයෙන් ඔද්දල් වන්නට විය. පසුව, ක්‍රමයෙන්, අර්ජුනගේ පරම හතුරා බවට පත්වුණු, ක්‍රිකට් ඡන්ද කෙරුවාවෙන් අර්ජුනට යන එන මං නැති කළ, තිලංග සුමතිපාල ඔසවාගෙන විත් මණ්ඩලයේ මුල් පුටුවේ වාඩි කෙරෙව්වේ අර්ජුන මිස උණුවන හිත් ඇති ක්‍රිකට් ලෝලීන් නොවේ. අර්ජුන එසේ කළේ කප් එක ගැසූ නායකයාගේ බලපුළුවන්කාරකම් ළෙලවමිනි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ධූරයට තමන්ගේ සොහොයුරු ධම්මික රණතුංග සම්ප්‍රාප්ත වූයේ ද අර්ජුන විසින් අවභාවිත කෙරුණු බලය හින්දා ම ය. අර්ජුන යහපාලන වරාය ඇමති වූ විට යළි ධම්මික තමන් ළඟට ගත්තේ ක්‍රිකට් පාලක මණ්ඩල ඉතිහාසය යළි මෙනෙහි කරලමිනි. එතැන් සිට ඝාතන චෝදනා දක්වා දිග්ගැස්සුණු රණතුංග බල හවුලේ යහපාලන කල්කිරියාව, වරාය ‘ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය’ විසින් ගොනු කෙරුණු කරුණු 20කින් සමන්විත චෝදනා පත්‍රය එකින් එක ලිහා බැලීමෙන් පමණක් වුව තේරුම් ගන්නට බැරිකමක් නැත. මෙකී ‘අර්ජුන සමස්ථය’ ගැන සංවාදය පසෙක තිබියේ වා, මගේ ප්‍රශ්නය මෙයයි.


තමන්ගේ කුප්‍රකට ඉතිහාස භාවිතය අමතක වූවාක් මෙන් අර්ජුන විසින්, ක්‍රිකට් පරිහානියට හේතු මේ මේ යැයි කියමින් නිලධාරින්ට බලධාරීන්ට හා හිටපු ක්‍රිඩකයන්ට තර්ජනාගුලිය දිගු කරනු ලැබීම ඉතිහාසය දන්නා මිනිසුන් ඉවසා සිටින්නේ ඇයි ද යන්නයි.  

1996 ලෝක කුසලානයට පදනම දැම්මේ ඉතිහාසය පුරා ශ්‍රමය වැපිරූ ක්‍රීඩකයන් බර ගණනාවක් වුව වත්මන් ක්‍රිකට් පරිහානියට පදනම දැමන ලද්දේ අර්ජුන රණතුංග විසින් බව ඉතිහාස සාක්ෂරතාවක් නැති සමාජයට මෙනෙහි කරලීම සමාජ දේශාපාලන වගකීමක් ලෙස සලකමි. 

මේ ලියන්නේ එබැවිනි.

අර්ජුන විසින් ගොඩනැවුණු ක්‍රිකට් මාෆියාවට එරෙහිව මා ලී පෙර කී ලිපිය පළවුණු, උණු උණු රාවය පත්තරයත් අතැතිව, 1998 මැයි 29වැනි සිකුරාදා දින, කොළඹ ඛෙත්තාරාම ක්‍රිඩාංගනයේ පැවති නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය නරඹන්නට පැමිණ සිටි, අර්ජුනෑඹෙනිය සමදරාවන්, ස්ත්‍රීන් පිරිසක් වටකරගෙන බහුභානීවැ සිටිනා අයුරු සජීවි තරග විකාශය තුළ විටින් විට පෙන්නන අයුරු තවමත් සජීවි මතකයකි.

මහානාම සහ ධර්මසේන හළා දැමුවා පමණක් නොව මේ වකවානුව වන විට ක්‍රිකට් තේරීම් කමිටුව අරවින්ද ද සිල්වා උපනායක ධූරයෙන් ඉවත් කර සනත් ජයසූරිය එතැනට ඔසවා අනාගත නායකත්වයට පුරුදු පුහුණු කරමින් සිටියේ අර්ජුන අරවින්දට එරෙහිව දියත් කර තිබුණු සීතල යුද්ධය නිසා බව අපට නම් අපැහැදිලි වූයේ නැත. ප්‍රස්තුත නාමකරණය සහිත ලිපියේ මා ඒ ගැන ද  ලියා තිබිණ. ඉක්බිති, අර්ජුන සනුහරයේ අත්තනෝමතික සමාජ – දේශපාලන  භාවිතය පිළිබඳ හෙළිදරව් කිරීම් ගණනාවක් රාවය මගින් අපි දිගින් දිගටම සමාජ ගත කළෙමු.

අර්ජුනගේ මහගෙදර වත්තට වැටෙන්නට ටෙනිස් බෝල ගැසූ කොල්ලන්ට වෙච්ච දේ මෙන්ම, පේරාදෙණිය උද්භිත උද්‍යානයේ කම්කරුවකුට වෙච්ච දේ බඳු ක්ෂුද්‍ර සිදුවීම් පවා අපට නම් තවම මතක ය. ‘කැප්ටන් කූල්’ ලෙසින් නාමකරණය වී සිටි අර්ජුන හා සනුහරයේ ආධිපත්‍යයට එරෙහිව දිගින් දිගටම අප ගැසූ මාධ්‍ය කැරැල්ලට ම අදාලව 1999 ජනවාරි 31 වැනිදා රාවයට, ම විසින් ලියැවුණු ලියවිල්ලේ ශිර්ෂය තැබුණේ ‘කැප්ටන් හොට්’ ලෙසිනි.

එහි ආරම්භක ඡේදය මෙබඳු විය.

‘කැප්ටන් කූල්ගේ ක්‍රිකට් ජීවිතයේ අවසාන කාලය ළඟාවී ඇත. 18 හැවිරිදි ශිෂ්‍යයෙක්ව සිටි අවදියේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ වරම් ලද ඔහු 18 වසරකට අදික කාලයක් තිස්සේ ක්‍රිකට් පිටියේ හොල්මං කරයි. සියල්ලන්ට ම ‘අයියා’ කියමින් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ඔහු දැන් සියල්ලන්ගේ ම සහ සියල්ලේ ම ‘අයියා’ බවට පත්ව සිටියි. කොටින්ම ලාංකික ක්‍රිකට් වපසරියේ එකම පොල්මංකාරයා බවට පත්ව සිටියි. ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ රණතුංගීකරණය පිළිබඳව නිවැරදි ස්ථාවරයක සිටිමින් දිගින් දිගටම විග්‍රහත්මක හෙළිදරව් කිරීම් රැසක නිරත වීමට ‘රාවය’ ක්‍රියා කළේ එබැවිනි. අධිපති මාධ්‍ය සංස්කෘතිය විසින් අර්ජුන ‘විරුවකු’ ලෙස භෞතීස්ම කෙරෙද්දී ‘රාවය’ ක්‍රියා කළේ අර්ජුනගේ ‘ඒකාධිපතීත්වය’ හෙළිදරව් කිරීම වෙනුවෙනි. 

යළි අර්ජුන වීරයකු කරන්නට දතකන ඉතිහාස සාක්ෂරතාව අහිමි සමාජයට අප යෝජනා කරන්නේ මෙයයි.

අර්ජුන මේ නටන්නේ නාඩගමක් නොව අර්ජුන යනු ම නාඩගමකි. ඔහු නටන්නේ ජවුසමක් නොව ඔහු යනු ම ජවුසමකි. හෙ තෙම නටන්නේ කෝලමක් නොව හෙ තෙම ම කෝලමකි. පොළොන්නරු මහපොළොවෙන් මතුවුණු තවත් එක් මෛත්‍රීකාරක මිනිසකු වන රොෂාන් රණසිංහ සමඟ එක්ව, ඇල්වතුරත් නිවා බොන පට්ට නිවුණු චරිතයක් බවට පෙන්වන්නට අර්ජුන රඟමින් සිටින ජවනිකා, ඉතිහාස විචාරයකින් තොරව බාර නො ගන්නා ලෙස සමාජයට යෝජනා කිරීම, ඔහුගේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ ඉතිහාසයක් සහිත අප සතු වගකීමක් වන්නේ ය.  

අර්ජුනගේ චණ්ඩි පාට් අබියස, ‘භූබංබා’වන් ගෙරවිලි සහිත ප්‍රසන්න රණතුංග පුංචි බබෙකි. අර්ජුන දේශපාලන නරා විලම කළඹන දිය රකුසෙක් නම් ප්‍රසන්න එ විල නැඟුණු පොහොට්ටුවක් පමණෙකි.

‘රණතුංගීකරණය’ නම් වචනය මා මුල් වරට ලීවේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් වීමෙන් වීමෙන් පස් මසක ඇවෑමෙනි. එනම්, 1996 අගොස්තු මාසයේ ය. ‘හිරු’ සඟරාවට ම විසින් ලියැවුණු ‘ක්‍රිඩයකාගේ ඍජුකෝණාශ්‍රය’ නම් කොලම තුළ ය‍. ඒ, වරුණ වරාගොඩ නම් විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයාට සිදුවූ සන්තෑසිය ගැන ය.

වෙලෙඳසේවා ක්‍රිකට් ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ අවසන් තරඟය පැවතියේ ‘යූනියන් ඇරෂුවරන්ස්’ සහ ‘හැටන් නැෂනල්’ පිල අතර ය. එහිදී, ලෝක ශූර පතරංග ක්‍රිඩකයන් රැසකගෙන් සමන්විත වූ යූනියන් ඇෂුවරන්ස් පිල පරදා හැටන් නැෂනල් පිල ශූරතාව හිමිකර ගති. වරුණ වරාගොඩගේ නියාමකත්වයෙන් ය. ජය තහවුරු කරගනිමින් විශිෂ්ඨ පිති හරඹයක නිරතවණු වරාගොඩ අවසන් තරගයේ වීරයා ද විය. අසංක ගුරුසිංහගෙන් පසු ඔහුගේ තැන හිමි කරගන්නට තරම් කෞෂල්‍යයකින් හෙබි, වරාගොඩට වළ කැපුවේ ද ගුරුසිංහට ගුරුකං කර පළවා හැරි බලවේගය ම ය.

වරුණ වරාගොඩ පිත්තෙන් පෙළහර පානා මොහොතේ ‘තමුසෙ මෙහෙම ගහලද සිලෝන් ගහන්න හිතන් ඉන්නෙ?’ කියා පිටිය මැදදීම තර්ජනය කළ මිනිසා තමන් කියූ දෙය ම ඉෂ්ට කළේ ය. ලෝක ශූර නායකයාගේ ශුද්ධ වූ මමංකාරය එකෙල මෙකෙල කළ වරුණ වරාගොඩ නාමය ලංකාවේ ක්‍රිකට් තුළ ආගිය අතක් නැතිවිය.

1996 අගොස්තුවේ මා ලියූ ඒ කොලමේ අවසන් වැකිය වූයේ මෙයයි.

‘’අපේ ක්‍රිකට් ක්‍රීඩාව රණතුංගීකරණය වෙමින් තිබේ’’.

ගතවෙමින් පවතින්නේ බලලෝභී  ‘මහසොහොන්නු, රාවන්නු, කුම්භාන්ඩු, මළගිය ප්‍රාණකාර ප්‍රේතාවතාර ’ යළි යළිත් පැටව් ගසනා පුළුටු දුගඳ සමයකි.

ඉදින්, මම මේ ලියවිල්ල හමාර කරන මොහොතේ, මෙසේ, විදර්ශන කන්නංගරට වට්සැප් පණිවුඩයක් යවමි.

‘’සහෝදරයා, ‘අවතාරය’ සඟරාවට මොකද වුණේ’’?’’

සද පළුවේ පලුඅරින්න වාමනයන්ට ගී ගයන 'දියවන්නා කුමාරී' - (මංජුල වෙඩිවර්ධන)

(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී 

(බල්සාක් කැෆේ – අනිද්දා පුවත්පත)

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved