Connect with us

විශේෂාංග

බ්ලූ ෆොටෝ නෙට් එකට දැමූ අයගෙන් වන්දිගත් ලාංකික තරුණිය

Published

on

“මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,” සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.

එවක 27 හැවිරිදි හෙද නිලධාරිනියක වූ මධුවන්ති රත්නායක සිය ඡායාරූප විකෘති කරමින් අන්තර්ඡාලයට මුදාහැරි පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට සමත්වූ ආකාරය මෙවර කාන්තා දිනයේ දී අප හා විස්තර කළා ය.

“මේ සිද්ධිය ගැන මම මුලින්ම දැනගත්තේ මම රාජකාරි කරමින් ඉද්දි එතන හිටපු පහළ නිලයක කෙනෙක්ගෙන්. මම ඒක දැනගත්ත ගමන් සික් ලීව් දාලා ගෙදර ගියා, මොකද මම ඒක දරාගන්න පුළුවන් තැනක හිටියේ නැහැ,” සයිබර් අපරාධකරුවා තම ඡායාරූප විකෘති කරමින්, නොමනා ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු මධුවන්ති මුහුණ පෑ පීඩාව ඇය විස්තර කළා ය.

“ඒ වෙනකොට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මම වැඩ කළේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මම නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත් හැරියා. සමහර ළඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා.”

“ඒ හැමදෙයක්ම මම ශක්තිමත්ව දරා ගත්තේ කොහොමහරි මේකට යුක්තිය ඉෂ්ඨ කරගන්නවා කියලා හිතපු නිසා. ඒ මොනවා වුණේ නැති වුණත් මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලාවකම විශ්වාස කළා. මොකද මේක කරපු කෙනාට ඕන වුණේ මාව විනාශ කරන්න. මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා,” ඇය කියා සිටියා ය.

• “නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම තුළින් කාන්තාව පීඩනයකට ලක්වෙලා”

මෙවැනි සිදුවිම්වලට වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන බව පෙන්වා දෙන මධුවන්ති, ඔවුන්ට ආදර්ශයක් හා ශක්තියක් වීමට යුක්තිය සොයා නීතියේ පිළිසරණ පැතීමට තීරණය කර තිබේ.

“ලංකාවේ ඔය වගේ දේවල්වලට තියෙන නීතිය එච්චර ශක්තිමත් එකක් නෙමෙයි. ඒ වගේ ඔය වගේ සිද්ධිවල දත්ත ගන්න වෙන්නේ ජාත්‍යන්තර වෙබ් සයිට්වලින්. දත්ත රැස් කරගන්න තියෙන අපහසුතා නිසා සහ ලංකාවේ නීතියේ ශක්තිමත් නැති නිසා මට ගොඩක් ගැටලුවලට මුහුණ දෙන්න වුණා.”

සයිබර් අපරාධයෙන් පීඩාවට පත්ව සිටින ඇය නීතියේ අඩුලුහුඬුකම්වලට ද මුහුණ දෙමින් වසරක පමණ ගෙවුන නඩු විභාගයකින් තමන් පීඩාවට පත් කළ අපරාධකරුට දඬුවම් ලබා දී යුක්තිය ඉටු කරවා ගැනීමට සමත් වූවා ය.

ඇයගේ ඡායාරූප නොමනා ලෙස සංස්කරණය කළ සයිබර් අපරාධකරුට 2022 වසරේ දී නඩුවේ තීන්දුව ලබා දෙමින් වසර එක හමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය, සිදුවීමෙන් පීඩාවට පත්වූ මධුවන්ති රත්නායකට ලක්ෂ අටක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළේ ය.

අත්හැර දැමීම හෝ දරා ගැනීම වෙනුවට යුක්තිය සොයා ගොස් එම සටන ජයගත් මධුවන්ති අද වන විට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටියි.

“නියුටිඩි කියන එක සහ බ්ලැක්මේලින් කියන එක සම්බන්ධයෙන් මුහුණ දෙන එකම රට අපි නෙමෙයි. නමුත් ලංකාවේ තියෙන සංස්කෘතිය එක්ක අපිට මේ වගේ දෙයක දී තියෙන සමාජයේ බලපෑම වැඩියි. නමුත් මම හිතන්නේ හැමදේටම විසඳුමක් තියෙනවා. එක්කෝ අපි ඒක විසඳ ගන්නවා, නැතිනම් අතඇරලා දානවා. අපි අපිව විශ්වාස කරගෙන ජිවිතේට මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය හැම ගෑණු ළමයෙක්ටම තියෙන්න ඕනේ.”

මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුවහොත් වෘත්තිය මට්ටමේ උපදෙස් ගත හැකි අයෙකුගෙන් උපකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින මධුවන්ති, “මොකද එහෙම නැතිනම් වෙන වෙන බලපෑම් එන්න පුළුවන්. මටත් එහෙම වෙන්න ගිය වෙලාවල් තිබුණා. නමුත් ඒ දේවල් මඟ ඇරලා මම අවශ්‍ය තැනටම ගියා,”යි කියා සිටියා ය.

මෙවැනි සිදුවීමක දී කිසිවිටකත් සියදිවි නසා ගැනීමට හෝ තමන්ට හානි කර ගැනීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටින ඇය, ඇගේ අත්දැකිම් සහ ඇය එම සිදුවීමට මුහුණ දුන් ආකාරය ආදර්ශයට ගනිමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා ය.

තමන් අයත් ප්‍රදේශයේ පොලිසියට පැමිණිළි කිරීමට අකමැති අයෙකුට කාන්තා හා ළමා කාර්යංශයට මෙවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, අන්තර්ජාලය හරහා සිදුවන පීඩාවක දී කොළඹ අපරාධ විමර්ශන අංශයේ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කිරීම ද ඉතා වැදගත් බව යි ඇය සඳහන් කළාය.

අන්තර්ජාලය හරහා කාන්තාවන් පීඩාවට පත් කරන අපරාධකරුවන්ට එරෙහි නීතිය දැඩි විය යුතුයැ යි පෙන්වා දෙන මධුවන්ති, මෙවැනි අපරාධකරුවන්ට බරපතල දඬුවම් ලබා දීමෙන් නොනැවතී ඔවුන් පුනරුත්ථාපනය කරමින් නිසි මානසිකත්වයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියා ය.

(බීබීසී සිංහල)

විශේෂාංග

පවුල් ජීවිත අවුල් කරන අසීමාන්තික මව-පුතු බැඳීම

Published

on

By

බොහෝ යුවතියන් මෙන් රොෂෙල් ද යුග දිවියට එළඹුණේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ ගෙන ය. නමුත්, විවාහ වී වසරකුත් ගත වීමට ප්‍රථම ඇය මැවූ සිහින බිඳ වැටුණේ ඇය ද නොසිතු අයුරිනි.

මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන රොෂෙල් දික්කසාද නඩුවක පැමිණිලිකාර පාර්ශවය වී අවසන් ය. තම රැකියාවෙන් උපයා ගන්නා මුදල් නීති කටයුතු සඳහා වැය කිරීමට දැන් ඇයට සිදුවී ඇත.

රොෂෙල් යනු, මෙම ලිපියේ කතා නායිකාවගේ සත්‍ය නාමය වෙනුවට ඇයගේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අප විසින් භාවිත කරනු ලබන අන්වර්ථ නාමයකි.

ඉකුත් මාසයේ මෙරට මාධ්‍ය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, 2020 වසරේ සිට “ශ්‍රී ලංකාවේ විවාහ වන්නන් අතර දික්කසාදවල ඉහළ යාමක්” දක්නට ලැබෙන බව ය.

රොෂෙල් විශ්වාස කරන පරිදි තම විවාහය දෙදරා යාමට බලපෑ ප්‍රධානතම සාධකය, තම ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මව අතර පැවති “පමණ ඉක්මවූ බැඳීම” ය. ඔවුන් වෙන්ව වෙනත් නිවසක වාසය කළ ද එය ඔවුන්ගේ පවුල් ජීවිතයට දිගින් දිගට ම බලපෑම් එල්ල කළ බව ඇගේ මතය යි.

අවස්ථා ගණනාවකදී ම රොෂෙල් තම විවාහය රැක ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරුවා ය. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වූ තැන ඇයට සිදු වූයේ නීතියේ පිහිට පැතීම ය.

දරුවන් නොලැබීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ

    සමාජ විද්‍යාත්මකව බැලූ කල, සමාජ ව්‍යුහයේ කුඩා ම සංවිධානාත්මක ඒකකය පවුල ය. පවුල කුඩා ම සමාජ ඒකකය වුවත් එයට සමාජය තුළ හිමි වන්නේ, ඉතා වැදගත් ස්ථානයක් යන්න සමාජ විද්‍යඥයින්ගේ මතයයි. ඊට හේතුව පුද්ගලයින්ගේ කායික, මානසික, සමාජයීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට පවුල දායක වන බැවින් යැයි ඔවුහු පෙන්වා දෙති.

    “ලංකාවේ දික්කසාදවලට හේතුවක් දරුවෝ කසාද බැන්දට පස්සෙවත් ඒ අයව අත් නොහරින කෙහෙල්මල් දරු සෙනෙහස,” එක්තරා සමාජ මාධ්‍ය සටහනක සඳහන් විය.

    රොෂෙල් පමණක් නොව, එවැනි ආකාරයේ අර්බුදවලට මැදි වූ තරුණ කතුන් බොහෝ දෙනෙකුගේ ගැටලු සමාජ මාධ්‍ය පිරික්සීමේදී සොයා ගැනීම අපහසු නොවේ.

    නයෝමි [සැබෑ නම නොවේ] ද විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තම පෙම්වතා සහ ඔහුගේ මව අතර ඇති අසීමාන්තික බැඳීම නිසා උභතෝකෝටික ගැටලුවකට මැදි වී සිටින තරුණියකි.

    මෙරට ඇතැම් මාධ්‍ය විසින් ද “අම්මා එක, බිරිඳ දෙක,” යන සංකල්පය උත්කර්ෂයට නංවන අයුරු පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.

    ඒ අනුව, “පවුල් සංස්ථා බිඳ දමන සමාජයේ ඔඩු දුවන ගැටලුවක් බවට පත්ව ඇති” මෙම මව-පුතු බැඳීම වටා ඇති ප්‍රශ්න සඳහා සාධනීය පිළිතුරක් සෙවීමේ අභිප්‍රායෙන් බීබීසී සිංහල, උපදේශන මනෝ විද්‍යාඥවරියක වන ආචාර්ය භාග්‍යා අබේසිංහ සමග සහ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් සමග සංවාදයක යෙදුනෙමු.

    මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලිපියකි.

    ‘මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි…’

    මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධ කථිකාචාර්යවරියක ද වන පෞද්ගලික රෝහල් රැසක උපදේශන මනෝ විද්‍යාඥවරියක ලෙස ද සායනික කටයුතුවලට සම්බන්ධ වන ආචාර්ය භාග්‍යා අබේසිංහ මෙම සංවාදයට මුල පිරුවේ මෙලෙසිනි.

    “පුතෙක් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ, ඒ විවාහ ජීවිතය ඇතුළේ එයාගේ සර්කල් එකේ ඉන්න පුළුවන් තමන්ගේ බිරිඳ පමණයි. ඒ කියන්නේ, මේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි. දරුවෙක් තමයි ඒ සර්කල් එකට අලුතින් එකතු වෙන්නේ.”

    ඇය පැහැදිලි කළේ, දෙවම්පියන් ඇතුළත් විය යුත්තේ, දෙවන පිරිසට බව ය. ඉන්, මව හෝ පියා නොසලකා හැරීමක් අදහස් නොකරන බව ඇය පෙන්වා දුන්නා ය.

    විවාහ ජීවිතයකට ඇතුළු වූ පසු තම සහකරු හෝ සහකාරිය සමග යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගෙනයාමේ වගකීම දෙපාර්ශවයට ම පැවරෙන බව ඇය අවධාරණය කළා ය.

    “අන්න එතැනදී පුතාලා දැන ගන්න ඕනේ, අම්මා කියන්නේ අම්මට, බිරිඳ කියන්නේ බිරිඳට. බිරිඳට අම්මා වෙන්නත් බැහැ, අම්මාට බිරිඳ වෙන්නත් බැහැ. මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් සහ බිරිඳ ඉන්න ඕනේ තැන බිරිඳට දීලා, අම්මා ඉන්න ඕනේ තැන අම්මාට දුන්නා නම්, ඔය ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ,” ඇය පැවසුවා ය.

    මවත් පිරිමි දරුවත් අතර පවතින බැඳීම එම දරුවා වැඩිහිටි වියට පත්වීමත් සමග යම් ආකාරයකින් වෙනස් විය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ ය.

    ‘මගේ පුතා, මගේ පුතා, මගේ පුතා…’

    ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ, සායනවලදී තමන් ලද අත්දැකීම් අනුව, බිරිඳ කෙතරම් සමබරව සිටිය ද තම පුත්‍රයාගේ පවුල් ජීවිතයට ගැටලු ඇතිවන ලෙස කටයුතු කරන මව්වරුන් සිටින බව ය.

    “බිරිඳ කෙතරම් සමබරව හිටියත්, අම්මලා ඉන්නවා මගේ පුතා, මගේ පුතා, මගේ පුතා කියලා කියාගෙන. ඇත්ත, පුතා තමයි, නමුත්, පුතා කසාද බැන්දට පස්සේ, පුතාගේ පවුල් ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන විදිහට ම කටයුතු කරන අම්මලත් ඉන්නවා,” ඇය පැවසුවා ය.

    විවාහ වන වයසේ පුතෙකු සිටින මවක යනු, බොහෝ විට මැදිවියේ පසුවන කාන්තාවක බව ඇය සඳහන් කළා ය. එවැනි කාන්තාවන්ගේ සිතුම් පැතුම් චර්යාවන් සහ වෙනස් කිරීම අපහසු බව ඇය පෙන්වා දුන්නා ය.

    එවැනි අවස්ථාවක, තම මවගේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනුව පුරුෂයෙකු කටයුතු කළ යුතු බව ඇය පැහැදිලි කළා ය.

    ඇය අවධාරණය කළේ, විවාහ දිවියට එළඹීමෙන් පසු හෝ දරුවන් ලැබුණු පසු එවැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනු ඇතැයි සිතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය.

    තම විවාහයට ප්‍රථම එවැනි අත්දැකීම් රොෂෙල් ලබා තිබුණ ද ඒවා වර්තමානයේ තමන් සිටින තත්ත්වය දක්වා උග්‍රවනු ඇතැයි ඇය නොසිතුවා ය.

    ආචාර්ය භාග්‍යා අබේසිංහ සඳහන් කළේ, තම සායනවලදී එලෙස පීඩාවට පත් වුණු කාන්තාවන් සැලකිය යුතු ගණනක් තමන්ට හමු වී ඇති බව ය.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය

    ‘ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ…’

    දෙමව්පියන් කෙරෙහි ඇති ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බව ආචාර්යවරියගේ මතය යි. නමුත් අනවශ්‍ය ලෙස මව, පියා, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් තම පවුල තුළට එකතු කර ගැනීම එතරම් සුබදායී නොවන බව ඇය පැහැදිලි කළා ය.

    “ගොඩක් වෙලාවට පුතාලා තමයි වැරැද්ද කරන්නේ. පුතා අම්මගේ හැටිත් දන්නවා බිරිඳගේ හැටිත් දන්නවා. හැබැයි, ‘නෑ… ඕක දෙන්න එකට ඉන්නකොට හරි යාවි,’ කියලා දෙන්නත් එක්ක එක ගෙදරක ඉන්නවා,” ඇය තම අත්දැකීම් ඇසුරින් සඳහන් කළා ය.

    “ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර තියෙන ප්‍රශ්නය, දැන් අද හවස ඇවිළුණොත්, අද රෑට රණ්ඩු වෙලා නිදාගෙන, හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි උදේ නැගිට්ටට පස්සේ, අම්මා පුතාට තියෙන ආදරේ හින්දා, අම්මා එතැනින් දවස පටන් ගන්න පුළුවන්. ‘ඊයේ රෑ මගේ එකාට කන්නත් නැහැ, ඊයේ රෑ දෙන්න හොඳට ම රණ්ඩු වුණා,’ මෙහෙමයි කියලා. ඔන්න එතකොට අම්මලාගේ ස්වභාවය එළියට එන්න පුළුවන්.”

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද සඳහන් කළේ, පුතෙකු තම මව කෙරෙහි පවතින ආදරය අඩු නොකළ යුතු බව ය. නමුත් එම ආදරය බාහිර පුද්ගලයින් සමග ජීවත් වීමට බාධාවක් නොකර ගත යුතු බව ඔහු පැවසීය.

    “අපි දකිනවා සමහර වෙලාවට මේ පවුල් ජීවිතවල ගැටලු ඇති වෙනවා විවාහයෙන් පස්සේ. ඒ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න පෙළඹෙනවාට වඩා, අර මවගේ ආදරය නිරන්තරයෙන් ලබා ගන්න, ඒ නිවසට ම වෙලා ඉන්න, සහ මවගෙන් සුළු වේලාවකට හරි වෙන්ව සිටීමට දක්වන අකමැත්ත නිසා භාර්යාව සමග හොඳ බැඳීමක් ඇති කර ගන්න නොහැකි වෙන අවස්ථා,” මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවලදී යහපත් තීරණ ගැනීමට නොහැකි වන බව ත් මව දරුවන්ගේ කටයුතුවලට “ඇඟිලි ගැසීම නිසා” බිරිඳ මව “සතුරෙකු” ලෙස දකින බව ත් ය.

    “මවත් දුක් වෙනවා තමන්ට දරුවාගේ ආදරය අහිමි වුණා කියලා. එතකොට මවත් තමන් සමග වැඩි කාලයක් ගත කරන්න කියලා දරුවට බල කරනවා. භාර්යාව සමග ගත කරන කාලය ගැන ඊර්ෂියාසහගතව බලන්න පුළුවන්. පවුල් ජීවිතේ කටයුතුවලට අනවශ්‍ය විදිහට උපදෙස් දෙන්න යනවා. ඒ වගේ දේවල් නිසා පවුල් ඇතුළේ අවුල් ඇති වෙන්න පුළුවන්.” ඔහු පැහැදිලි කළේ ය.

    ‘මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ?’

    විවාහ වී දින කිහිපයකට පසු රොෂෙල් අත්විඳි තවත් සිදුවීමක් විය. ඒ, තම සැමියා රාත්‍රී නිදි යහනට පැමිණෙන විට ජංගම දුරකතනය රැගෙන ඒම ත්, එය ත් සමග වැඩි කාලයක් ගත කිරීමත් ය.

    රොෂෙල් පවසන පරිදි තම සැමියා ඔහුගේ මව සමග දුරකතනයෙන් කතා බස් කිරීමට තෝරා ගත්තේ, තමා සමග ගත කිරීමට තිබුණු කාලය යි. එය වරක් දෙවරක් නොව, නොනවත්වා සිදුවීම ඇය කලකිරීමට පත් කරවන්නක් විය.

    මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය මුළුමනින් ම පාහේ බිඳ වැටීම පමණක් නොව, ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද ප්‍රබල ලෙස බලපෑම් එල්ල විය.

    “දෙන්නා තමන්ගේ නිදා ගන්න ඇඳට ගියා ම, දෙන්නත් එක්ක ලිංගිකව හැසිරෙන්න ම ඕනේ නැහැ. තුරුළු වෙලා ඉන්න, කතා කරන්න, ආගිව්මන්ට් එකක් යන්න, අදහස් හුවමාරුවක් ක‍රන්න, මොනවා හරි දෙයක් ප්ලෑන් කරන්න පුළුවන්. මොකට ද ඔය ෆෝන් එක ඇඳට අරගෙන යන්නේ? එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ,” ආචාර්ය භාග්‍යා අබේසිංහ පැහැදිලි කළා ය.

    ඇය පෙන්වා දුන්නේ, යුවළක් වෙන්ව ජීවත් වීමේදී තම දෙවම්පියන් පිළිබඳව සොයා බැලිය යුතු බව ත් එය නිදි යහනට පැමිණීමට ප්‍රථම සිදු කිරීමට හැකියාවක් පවතින බව ත් ය.

    “රෑට නිදාගන්න ඇඳට ගිහිල්ලා අම්මා එක්ක කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඊට කලින් පුතා දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. දුව දැනගන්න ඕනේ අම්මට කතා කරන්න. අම්මා ගැන හොයලා බලන්න. හදිසි කෝල් එකකදී ඇරෙන්න.ඇඳට ආවට පස්සේ ම, මම නම් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියන එක තමයි වඩා ත් ම සුදුසු,” ඇය පෙන්වා දුන්නා ය.

    ‘අම්මා එක්ක කතා කළ ත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා… එතකොට වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා…’

    උපදේශන මනෝ විද්‍යාඥවරිය සඳහන් කළේ, බිරින්දෑවරුන් විසින් ගැටලු ඇති කරනු ලබන අවස්ථා ද තම වෘත්තීය ජීවිතයේදී හමුවී ඇති බව ය.

    එවැනි අවස්ථාවලදී වැඩි වශයෙන් ස්වාමි පුරුෂයා පීඩාවට පත්වන බව ඇය පෙන්වා දුන්නා ය.

    “තවත් සමහර අවස්ථා තියෙනවා. ඕකේ ම අනිත් පැත්ත. අම්මගේ කිසි ම වරදක් නැහැ. ඇත්තට ම අම්මා අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නැහැ. අම්මා ඉතින් පුතාට කතා නොකර ඉන්නේ නැහැනේ. කතා කරලා කොහොම ද කින්ද මන්ද කියලා හොයලා බලනවනේ. හැබැයි ඒක දරා ගන්න බැරි බිරින්දෑවරු ඉන්නවා,” යැයි ඇය සඳහන් කළේ තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙනි.

    “එතකොට ඒ වෙලාවට පුතා අසරණ වෙනවා, අම්මා එක්ක කතා කරන්නත් ඕනේ, අම්මව බලන්නත් ඕනේ, හැබැයි අම්මා එක්ක කතා කළත් වැරදි වෙන බිරින්දෑවරු ඉන්නවා. මට එහෙම බිරින්දෑවරුත් මුණගැහිලා තියෙනවා. එතකොට වැඩිපුර ම පීඩාවට පත් වෙලා තියෙන්නේ, වින්දිත පාර්ශවය වෙලා තියෙන්නේ පිරිමියා,” ඇය තව දුරටත් පැවසුවා ය.

    ඇය සඳහන් කළේ, අවස්ථා තුනකදී මෙවැනි ගැටලු ඇති විය හැකි බව ය.

    ඉන් එකක් ලෙස ඇය පෙන්වා දුන්නේ, මව සහ බිරිඳ සමග ඇති සම්බන්ධතාව කළමනාකරණය කර ගැනීමට ඇතැම් ස්වාමි පුරුෂයින් අපොහොසත් වීම ය.

    අනෙක් අවස්ථාව, මවක තම ලේලියට වෙනස්කම් කිරීම ය.

    “අම්මා පුතාට ආදරෙයි, හැබැයි ලේලිව ගණන් ගන්නේ නැහැ. ලේලිට ආදරේ නැහැ. පුතාට මාළු කෑලි දෙකක් බෙදනවා. ලේලිට මාළු හොදි ටිකක් විතරක් බෙදනවා. එහෙම නැත්නම්, කසාද බැඳපු පුතාට, සුදු පුතා, චූටි පුතා, මගේ පුතා කියලා කතා කරනවා. හැබයි බිරිඳට කතා කරන්නේ නම කියලා.”

    තුන්වන අවස්ථාව, “බිරින්දෑවරු හිතාගෙන ඉන්නවා, කසාද බැන්දට පස්සේ අම්මා ගැන ඔච්චර හොයන්නේ මොකට ද? මෙයා විතර ද ළමයෙකුට ඉන්නේ? මෙයාගෙයි අම්මගෙයි තියෙන්නේ පුදුම කතාවක් නේ. මට හොරෙන් මොනවා ද අම්මලා පුතාලට තියෙන කතා,” ලෙස ඇය පැහැදිලි කළා ය.

    ඇතැම් බිරින්දෑවරුන්ගේ එවැනි හැසිරීම් සඳහා ඔවුන්ගේ පෙර අත්දැකීම් බලපෑ හැකි බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නා ය.

    කුඩා කල සිට ම අවධානය යොමු කළ යුතු යි

    මෙවැනි ගැටලු ඇති වීම වළක්වා ගැනීමට දෙවම්පියන්ට දරුවන් කුඩා කල සිට ම පියවර ගත හැකි බව ආචාර්යවරියගේ මෙන් ම මනෝවෛද්‍යවරයාගේ ද අදහස විය.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, දෙමව්පියන් සහ දරුවන් අතර පවතින බැඳීම වඩා ත් නිරෝගී විය යුතු බව ය. එම බැඳීමේ පවතින ගුණාංග අනුව ඉන් ලැබෙන ප්‍රතිඵලවල ස්වභාවය තීරණය වන බව ඔහු පැවසීය.

    ඔහු පෙන්වා දුන්නේ, “කුඩා කාලයේදී දෙවම්පියන් සහ දරුවන් අතර වෙනස් නොවන බැඳීමක් තියෙන්න ඕනේ. නැත්නම් දරුවන් වැඩිහිටි වුණා ම බැඳීම් ගැන අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්,” යනුවෙනි.

    එසේ නොවන අවස්ථාවලදී දරුවෙකු වැඩිහිටි බවට පත් වූ පසු ඔහු හෝ අයට සබඳතා පිළිබඳ ගැටලු පැන නගින බව මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

    නමුත් මවක සහ පිරිමි දරුවෙකු අතර පවතින බැඳීම එම දරුවා නව යොවුන් වියට පත් වීමේදී යම් ආකාරයක වෙනස් වීමකට භාජනය විය යුතු බව ඔහු පැවසීය.

    “මවත් පිරිමි දරුවත් අතර බැඳීම ළමා කාලයේදී වැදගත් වුණාට තරුණ කාලය වන විට ඒ බැඳීම්වල වෙනස්කම් ඇති වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට, පිරිමි දරුවා නව යොවුන් වයසට එනකොට ඔහු වඩා ත් ස්වාධීන වෙන්න උත්සහ ගන්නවා. ඒ උත්සහ ගන්නේ, සමාජයට ගැළපෙන සහ අත්‍යවශ්‍ය වන පෞරුෂත්ව ලක්ෂණ ඉගෙන ගන්න. අලුත් අත්දැකීම් ලබන්න උත්සහ ගන්නවා, අලුත් යහළුවෝ හොයා ගෙන යනවා, අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා, අවදානම් ගන්න පෙළඹෙනවා. මෙන්න මේ වගේ දේවල්වලදී ඔහු ස්වාධීනව වැඩ කරන්න ඉගෙන ගන්නවා,” ඔහු සඳහන් කළේ ය.

    ආචාර්ය භාග්‍යා අබේසිංහ ද මනෝවිද්‍යාඥවරයෙකු වන එරික් එරික්සන්ගේ ළමා සංවර්ධන අවධි ඇසුරින් ඒ පිළිබඳව පැහැදිලි කළා ය.

    “අපි මනෝවිද්‍යාවේදී කතා කරනවා යහපත් දෙමව්පියකරණය. අනවශ්‍ය විදිහට දරුවාට බලපෑම් කරන්න ගිහිල්ලා, දරුවාගේ පෞරුෂයට හානි නොකර ඉන්න එකේ වගකීම තියෙන්නේ අම්මාට තාත්තාට. ඒ වගකීම දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් ම තියෙනවා. දරුවා එක එක අවධි පහු කරගෙන යනකොට, ඒ දරුවාට අවශ්‍ය කරන රැකවරණය, සහයෝගය අවබෝධයෙන් යුතුව දෙන්න ඕනේ.”

    ඇය පෙන්වා දුන්නේ, දරුවන් ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවධීන් පසුකර යාමේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනැගෙන ආකාරයට දෙමව්පියන් කටයුතු කළ යුතු බව ය.

    “එතැනදී මුල් ළමා විය සංවර්ධනය කියන කාල සීමාව, නව යොවුන් අවධිය කියන කාල සීමාව විශේෂයෙන් ම වැදගත් වෙනවා. මොක ද ඒ අවධීන්වලදී නිසි දැනුවත්භාවය, ඒ සහයෝගය නැති වුණාට පස්සේ තමයි අර දරුවාගේ පෞරුෂය නැති වෙලා යන්නේ. නැත්නම් හීන පෞරුෂයක් ගොඩනැගෙන්නේ. එහෙම දරුවෙකුට කසාද බැන්දත් ඊළඟට කරන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැහැ. අම්මා ද නෝන ද කියලා හිතා ගන්න බැහැ. හරි වෙලාවට හරි තීරණයක් ගන්න බැහැ,” ඇය පැවසුවා ය.

    රොෂෙල් පැවසූ පරිදි ඇගේ සැමියා ද තීරණ ගැනීමේදී දුර්වලතා පෙන්වා තිබේ. ඔහු පහසුවෙන් අන් අය පවසන දෑ අනුව තම ස්ථාවරය වෙනස් කරන පුද්ගලයකු ලෙස රොෂෙල් හඳුනා ගෙන තිබේ.

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ, සමාජයට ගැළපෙන පෞරුෂයක් නොමැති, සමාජ කුසලතා නොමැති පුද්ගලයෙකු විවාහ ජීවිතයට ඇතුළු වූ පසු ගැටලු ඇති විය හැකි බව ය.

    “දරුවෙකුට සහකම්පනය කියන එක දිය යුතු ම යි,” ආචාර්ය භාග්‍යා අබේසිංහ අවධාරණය කළා ය.

    “හේතුව සහකම්පනය නැති මිනිස්සු කසාද බැන්දත්, සහකම්පනය නැති මිනිස්සු රස්සාවක් කළත්, සහකම්පනය නැති මනුස්සයෙක් පවුලක හිටියත්, එක හා සමානව දුක සහ වේදනාවක් තමයි අනෙක් වටේ ඉන්න පාර්ශවයන්ට ලැබෙන්නේ.”

    රොෂෙල් තම ස්වාමි පුරුෂයා සමග එක්ව ගත කළ කෙටි කාලය තුළ ලද “දරුණුතම” අත්දැකීම ඔහු තුළ සහකම්පනය නොමැති වීම ය.

    මේක අපේ සංස්කෘතියේ අවුලක් ද?

    අප “යහපත්” සංස්කෘතියක් ඇති රටක ජීවත් වුව ද එහි ඇති ඇතැම් ලක්ෂණ දරුවන්ගේ පෞරුෂයට හානි කරන බව ආචාර්ය භාග්‍යා අබේසිංහ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පැවසුවා ය.

    ඇය සඳහන් කළේ, දරුවන්ට තීරණ ගැනීමේ අයිතිය පවා නොදෙන දෙමව්පියන් සිටින බව ය.

    “පුතා හොඳට ම දන්නවා, මට ගැළපෙන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ කියලා. හැබැයි වැරදිලාවත් ඒ කෙනාට අම්මා තාත්තා අකමැති වුණොත්, අපේ මේ සංකෘතිය ඇතුළේ තියෙන සමහර කාරණා නිසා, ‘නෑ… නෑ… අපි කියන කෙනා තමා බඳින්න ඕනේ. ඔය මගුල කරගත්තොත් අපි නෑ කියලා හිතන්න,’ ඕනේ කියලා ඔන්න අර නොගැළපෙන කෙනෙක්ව අම්මලා තාත්තලා එකතු වෙලා කසාද බන්දලා දෙනවා,” ඇය පැහැදිලි කළා ය.

    රොෂෙල්ගේ මතය වූයේ, බටහිර සමාජයේ මෙන් විවාහ වීමට ප්‍රථම, යුවළක් එකට වාසය කිරීම (living together) වැනි සංකල්ප සඳහා මෙරට තුළ ඇති තහංචිය කෙනෙකුට වඩා ත් සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට එක් අතකට අහිතකර බලපාන බව ය.

    විසඳුමක්?

    ප්‍රයෝගික ගැටලු නොමැති නම්, විවාහයෙන් පසු පවුල් ජීවිතය වෙන ම ස්ථානයක ආරම්භ කිරීම සුදුසු යැයි යෝජනා කරන බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ද පෙන්වා දුන්නේ ආචාර්යවරියගේ ද එම අදහසට එකඟ වෙමිනි.

    යම් හෙයකින් විවාහය සම්බන්ධ ගැටලුවක් පවුල තුළ විසඳා ගැනීමට අපොහොසත් වේ නම්, ඒ සඳහා වෘත්තීයමය පළ පුරුද්දක් ඇති මනෝ උපදේශකවරයෙකු, මනෝ චිකිත්සකවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු බව ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත්, මනෝවෛද්‍ය රූමි රූබන් සඳහන් කළේ, දෙවම්පියන් සමග පවතින අසීමිත බැඳීම සම්බන්ධ ගැටලු “විවාහයට පෙර ම, ඇති වීමේ ලකුණු තියෙනවා නම්, විවාහය වෙනකම් සිටීමට අවශ්‍ය නැහැ, විවාහට පෙර ම පූර්ව විවාහ උපදේශනය සඳහා යොමු වෙන්න පුළුවන්,” යනුවෙනි.

    “ලේලිලාව පීඩනයට පත් ක‍රන අම්මලාගෙන් මං අහන්නේ, ඒ අම්මා කැමති ද ඒ අම්මට දුවෙක් හිටියා නම්, ඒ දුවගේ මහත්තයා ඔය වගේ හැසිරෙනවාට. තමන්ගේ දුවට ඒක වෙනවට කැමති ද? කැමති නෑනේ. එහෙනම් අර දුවටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.

    ඊළඟට මම බිරින්දෑවරුන්ගෙන් අහන්නේ, ඔයාට පුතෙක් හිටියා නම්, ඔයා කැමති ද ඔයාගේ ලේලි ඔය වගේ හැසිරෙනවාට?

    පුතාලගෙන් මං අහන්නේ, අම්මට අම්මගේ තැන දීලා, බිරිඳට බිරිඳගේ තැන දීලා, හරි විදිහට මධ්‍යස්ථව, තීරණ ගන්න පුළුවන් පෞරුෂයක් තියාගෙන හිටියා නම්, මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙනවා නේ ද?

    එහෙම ඇහුවට පස්සේ ගොඩක් වෙලාවට මේක සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා,” ආචාර්යවරිය සඳහන් කළා ය.

    “මම ඒ නිසා පොදුවේ කියන්නේ, අම්මා අම්මා ම යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා තමයි අම්මා කෙනෙක් වෙන්නේ. බිරිඳට ඒක දැනෙන්නේ, බිරිඳ අම්මා කෙනෙක් වෙච්ච දවසට.

    නමුත් මම යෝජනා කරන්නේ, මට තියෙන අත්දැකීම් එක්ක, විවාහ වුණාට පස්සේ, ප්‍රශ්නයක් වෙලා, නොහොඳ වෙලා වෙන් වෙනවාට වඩා, දෙපාර්ශවයේ ම අම්මලා තාත්තාලට සලකන්න, ආදරය කරන්න, බැඳීම් තියාගන්න, නොසලකා හරින්න එපා. හැබැයි, දෙන්න වෙන ම ඉන්න එක තමයි හොඳ ම,” ඇය අවසන් වශයෙන් පැවසුවා ය.

    උපුටා ගැනීම – බීබීසී සිංහල

    Continue Reading

    විශේෂාංග

    ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය!

    Published

    on

    By

    සී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විෂ සහිත කිරි වීදුරුවක් බී සිහිසුන්වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් රැගෙන ගිය නිසාය.

    ඒ වගේම අගමැතිකම බාරගන්න සජිත්, ගෝඨාභයට ඉවත්ව යන්නැයි නොකිව්වා නම් රනිල් කවදාවත් ජනාධිපති වන්නේ නැත. රනිල් අභියෝග බාරගත්තා යැයි යූ.ඇන්.පී.කාරයන් ගහන කයියට කටඋත්තර නැතිවුණේ තමා සජිත්ට අගමැතිකම බාරගන්න එන්න යැයි කී විට සජිත් අරගලයට හිස නමා ඉවත් වෙන්න යැයි ගෝඨාභය සිය පොතින් හෙළිදරව් කළ නිසාය. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මෑතකදී කීවේ සජිත් අගමැතිකම බාරගන්න ගෝඨාභය ඉවත්විය යුතු කාලසටහන ගැන තමන් එක් කාමරයක ගෝඨාගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටියදී අනෙක් කාමරයේ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙන්න සූදානමින් සිටි බවය. ඔහු කිව්වේ රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කරන්න තීරණය කොට සජිත්ව අන්නන්න බොරුවට සජිත්ට අගමැතිකම බාරගන්න කීවා කියාය.

    කොහොම වෙතත් රනිල් අගමැති වුණේත් දහනායක අගමැති වුණා වගේ අහම්බෙනි. දහනායක අගමැති වී ඔහුව අගමැති කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ශ්‍රීලනිප හිටපු නායක බණ්ඩාරනායකගේ පවුලටත් පහර ගසමින් ඔහු නව දේශපාලන ගමනක් යන්න පටන් ගත්තේය.

    පහත දැක්වෙන්නේ දහනායකගේ නව දේශපාලන ගමන ගැන දහනායක ආණ්ඩුවේ හිටපු බණ්ඩාරනායකවාදී ප්‍රබල ඇමැතිවරයෙක් වූ ටී.බී. ඉලංගරත්න කී කතාවය.

    “අවමංගල්‍යයෙන් සති කීපයකට පසු අගමැති නිල නිවාසය වූ අරලියගහ මැඳුරේ ඇමැති මණ්ඩල රැස්වීමකදී දහනායක අගමැති අප අමතා තමා දේශපාලන පක්ෂයක් ගොඩනගන්නට තීරණය කරගත් බව කියා සිටියේය.

    අප විමතියට පත්වීමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අගමැතිවරයා වෙන පක්ෂයක් ගොඩනගන්නට යෑම නිසයි. නව පක්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද්දේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම් ප්‍රතිපත්තිවලට හාත්පසින්ම පටහැනි වැඩපිළිවෙළකි.

    ඇමැති මණ්ඩලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වූ අපේ තත්ත්වය කුමක්දැයි ඇසූ විට පිළිතුරු වශයෙන් ඔහු කීවේ අපටත් ඔහුගේ නව පක්ෂයට බැඳිය හැකි බවත්, එසේ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය හැකි බවත්ය.

    ඔහුගේ එම ගුණමකු අගරු ප්‍රකාශයත් සමගම ඇමැති මණ්ඩල රැස්වීමද ක්ෂණයකින්ම ඊළඟ දිනයට කල්දමා විසුරුවා හැර නැගී ගියේය.

    එදා රෑම 1959 දෙසැම්බර් අටවැනිදා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා ලවා අප පස්දෙනකු ඇමැති ධුරවලින් පහ කළේය. ස්වදේශභාර ඇමැති ටී.බී ඉලංගරත්න – ප්‍රවාහන හා විදුලිබල ඇමැති, මෛත්‍රීපාල සේනානායක – සෞඛ්‍ය ඇමැති, ඒ.පී. ජයසූරිය – සංස්කෘතික හ සමාජසේවා ඇමැති, පී.බී.ජී. කළුගල්ල, කම්කරු ඇමැති – ඇම්.පී. සොයිසාත්ය.
    එසේම දහනායක ප්‍රිය නොකළ නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක්ද තනතුරුවලින් පහකරන ලදහ.

    බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුණ වූ ප්‍රතිගාමීත්වය රජකරවීම ඒ ආකාරයෙන්ම එයින් තවත් සාර්ථක විය.

    ලංකාව පුංචි එංගලන්තයක් කිරීම එකම අරමුණ කරගත් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා දහනායකගේ නියමුවාද, උපදේශකයාද, වධකයාද වූයේය.”

    දහනායක පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා ඉවත් වන බව දැන්වීය. ශ්‍රීලනිපය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කළේය. ඒ තරහට ඔහු බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ඉවත් කොට පස්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඔහුගේ නව පක්ෂයේ නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග වැදුණේ එම පක්ෂයෙනි. රටම මවිතයට පත්කරමින් ඔහුත්, ඔහුගේ පක්ෂයත් මැතිරණයේදී අන්ත පරාජයකට පත්විය. ඔහුගේ පක්ෂයෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැත.
    ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිත් සමග ඇමැති මණ්ඩලයම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය එය විය. ඔහු ඇමැති ධුරවලින් පන්නා දැමූ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ශ්‍රීලනිපයෙන් තරග කොට තේරී පත්විය.

    දහනායකට වගේම ඇමැති මණ්ඩලයක් දහනායක වගේ අගමැති වී පසුව ජනාධිපති වූ රනිල්ට සිටී. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා ඇමැතිවරුන්ට පක්ෂයක් නැත. ඊළඟ මහ ඡන්දයේදී තමන් තරග කරන්නේ මොන පක්ෂයෙන්ද කියා මේ ඇමැතිවරු දන්නේත් නැත. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා සමහරක් වගේම රටේ ජනාධිපතිද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. ඔවුන් ඊළඟට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තුවක් සොයා ගන්නේ කෙසේද කියා ඔවුන්වත් දන්නේ නැත.

    දිනේෂ් ගුණවර්ධනට පක්ෂයක් තිබේ. ඒ, මහජන එක්සත් පෙරමුණය. මහජන එක්සත් පෙරමුණ අවසන් වරට ඡන්දයකට තනිවම තරග කළේ 1994 මහ මැතිවරණයය. 1994 මහ මැතිවරණයට දිනේෂ්, බන්දුල රෝදය ලකුණ යටතේ තරග කළහ. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ අන්ත පරාජයකට පත්විය. දිනේෂ් සහ බන්දුලටත් ඇප නැති විය. චන්ද්‍රිකා කොටි දෙනක් කියා සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සා ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්වූ මහජන එක්සත් පෙරමුණ 2000 මහ ඡන්දයේදී යළි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සන්ධානගත වී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. අද වනවිට මහජන එක්සත් පෙරමුණ කියා පක්ෂයක් තියෙන්නේ නමටය. දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවොත් වෙන්නේ 1994 මහ ඡන්දයේදී වෙච්ච දේමය.

    අනෙක් හැමෝම ඉන්නේ එල්ලෙන්න වැලක් නැතිවය. සමහරු පොහොට්ටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යැයි කියති. තවත් සමහරුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. මේ ඇමැති මණ්ඩලය ගෝඨාභය පත්කර ගත්තේ අරගලයට බයේය. ගෝඨාගේ කලින් ඇමැති මණ්ඩලයේ හිටියේ පොහොට්ටු පතාකයන්ය. අරගලයෙන් ඔවුන්ට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ වෙනකොට ගෝඨාගෙන් ඇමැති ධුරයක් ඉල්ලා එය නොලැබ කෝපයට පත් සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ ගිහින් බඩු මිල වැඩි යැයි කියා ගෝඨාව විවේචනය කළේය. විජයදාස රාජපක්ෂද ගෝඨාගෙන් ඇමැතිකමක් නොලැබී ගෝඨාගේ ආණ්ඩුවට රිදෙන්න ගැහුවේය. කංචන විජේසේකරලා හිටියේ නාමල්ලා එක්කය. ප්‍රසන්න හිටියේ බැසිල්ලා එක්කය. ගෝඨා අරගලයට බයේ පොහොට්ටු පතාකයන්ගේ කැබිනට් මණ්ඩලය අහෝසි කොට ඔහුට බැණ බැණ ගිය අයව එක්කොට ඇමැති මණ්ඩලය හැදුවේ අරගලයෙන් බේරී ජනාධිපතිකම බේරාගන්නටය. ඒ අතර නාමල්ගේ කීමට කංචනවත්, බැසිල්ගේ කීමට ප්‍රසන්නවත් ඇමැති මණ්ඩලයට ගත්තේය. ගෝඨා ඉවත් වූ විට මේ ඇමැති මණ්ඩලය හොල්මන් විය. නායකයෙක් නැති පක්ෂයක් නැති මේ අනාථ වූ අසරණ වූ ඇමැති මණ්ඩලය තියාගන්න රනිල් කැමැති වූයේ රනිල්ටත් තමාගේ පක්ෂයෙන් සිටියේ එක මන්ත්‍රීවරයෙක් වූ නිසාය. මේ ඇමැති මණ්ඩලයම පසුගිය වසර දෙකේම කළේ සිග්නල් කණු මෙන් අත් උස්සන එක විතරය. මේ ඇමැති මණ්ඩලය මුලින් හිතුවේ රනිල් මාර ගේමක් ගහලා තමන්වත් ගොඩ දමයි කියලාය. ඔවුන් හිතාගෙන හිටියේ රනිල් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලලා එජාපයට යළි පණ දුන් පසු එජාප සන්ධානයට එකතු වෙන්නටය. ඒත් දැන් දැන් රනිල් එක්ක ගිහින් තමන්ටත් යනඑන මං නැති වන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා රනිල් දිනවන්න ගිහින් රනිල් පරාජය වුවහොත් මේ හැමෝටම පාර්ලිමේන්තු යෑම හීනයකි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් පාර්ලිමේන්තු යන්න පක්ෂයක් සොයාගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරු වනු ඇත.

    – උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

    Continue Reading

    විශේෂාංග

    මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව

    Published

    on

    By

    තමන්ට යැයි කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නැති නමුත් පුරුද්දක් වශයෙන් මාධ්‍යයෙන් යැපෙන දේශපාලන අයාලයෙකු ඊයේ (අප්‍රේල් 03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත.

    ඔහු කියා තිබූ ආකාරයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නැති ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින, මෑතක් වන තුරු ඔහු ඇබිත්තකම් කළ රාජපක්ෂලා දැන් යම් එකඟතාවකට පැමිණ ඇත. හේතු කාරණා එකතු කරමින් ඔහු කියූ ඒ එකඟතාව වන්නේ ඔවුන් දෙගොල්ලන්ගේම වාසි වෙනුවෙන් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දින පැවැත්වීමය.

    නීතිමය වශයෙන් එයට සෘජු බාධාවන් නැත. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයෙකුට ධුර කාලයෙන් වසර 04 ක් සම්පූර්ණ කළ පසු නැවත ජනාධිපතිවරණයකට යාමේ අවසරය ඇත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ඉන්නා වික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.

    නමුත් පාර්ලිමේන්තුව තේරී පත් කෙරුණු දින සිට මාස 30 ක කාලය ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට ලබාදී ඇති අතර, මන්ත්‍රී බහුතරයක් සම්මත කරන්නාවූ පාර්ලිමේන්තු යෝජනාවක් මගින්ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකිය. එය සිංහල-දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දිනෙක පාර්ලිමේන්තුව කඳවා සම්මත කරගත හැකි යෝජනාවකි. ගැටළුව ඇත්තේ එකම දින ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා සහ මැතිවරණ දින ගලපා ගැනීමෙහිය.

    මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරි සැප්තැම්බර 17 වන දින හෝ ඊට පසු මාසයක් ඇතුළත පැවැත්වෙන බවට වන නියමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළ යුත්තේ මැතිවරණ කොමිසම මගින්ය. එහිදී ජනාධිපති මැතිවරණ පනතට අනුව මැතිවරණ කොමිසම අනිවාර්යෙන් පිළිපැදිය යුතු දින වකවානු සම්බන්ධ කොන්දේසි කිහිපයක් ඇත.

    (1) නාම යෝජනා බාර ගන්නා දිනය පූර්ව නියමය ප්‍රකාශ කළ දිනයේ සිට දින 16 ට පසු සහ දින 21 ක් ඇතුළත දිනයක් ලෙස නියම කළ යුතුය. එය එක් දිනකි. ඒ සමග නාම යෝජනා බාර ගන්නා ස්ථානය සහ වෙලාවන්ද ප්‍රකාශ කළ යුතුය.

    (2) ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියම කළ යුත්තේ නාම යෝජනා බාර ගන්නා දිනයේ සිට සති 04 ට පසු සහ සති 06 ක් අවසන් වීමට පෙරාතු දිනයක ය.

    එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඒ කාල පරාස ඊට බෙහෙවින් වෙනස් ය.

    01. නාම යෝජනා සඳහා දින නියම කළ යුත්තේ ගැසට් පත්‍රිකාවක් මගින් නියම කෙරුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දින සිට දින 10 ට පසු දිනයේ සිට දින 17 ක් කල් ඉකුත්වන දින පස්වරු 12 තෙක් ය. එහි අරුත නම් පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම සතියක කාලයක් පුරා සිදු කෙරෙන බවය.

    02. මැතිවරණ දිනය තීන්දු කළ යුත්තේ නාම යෝජනා බාර ගැනීම අවසන් වූ දින සිට සති 05 ට පසු සහ සති 07 ක් ඉක්ම යෑමට ප්‍රථමයෙනි.  

    මැතිවරණ දෙකක් වෙනුවෙන් වෙනස් දින වකවානු එක කාලසටහනකට ගැලපීම එතරම් පහසු කාරණාවක් නොවේ. ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය හා ජනාධිපතිවරණ දිනය සමග පාර්ලිමේන්තු මැතිවරණය ගැලපීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මැතිවරණ කොමිසම සමග කෙරෙන සාකච්ඡාවකින් පසුව තීන්දු කිරීමට සිදු වන්නකි. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින සැළසුම් කිරීම අනුව පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම හා මැතිවරණ දිනය ගලපා ගත යුතු හෙයිනි. ඉදිරි මාස 04 ක කාලයකදී එළෙසින් කාල සටහන් හැදීමට වඩා පහසු කාර්ය වන්නේ බහුතර මන්ත්‍රී යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සුපුරුදු පරිදි වෙන වෙනම පැවැත්වීමය.

    එසේ නැතිව අයාලයින් මාධ්‍යයට කියන කතා අනුව ජනාධිපති වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ සම්මුතිය මත මේ මැතිවරණ දෙක එකවර පැවැත් විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනුව්‍යවස්ථා 104ආ(1) යටතේ වෙන් වෙන්ව නම්කර ඇති “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම” අතුරින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ එකවර එක් දිනෙක පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මැතිවරණ කොමිසමට බලය පැවරීමෙන් පමණි. ඒ අනුව නාම යෝජනා බාර ගැනීම සහ ඡන්දය පැවැත්වීම සම්බන්ධ ජනාධිපති මැතිවරණ පනතෙහි සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි ප්‍රතිපාදනද සංශෝධනය කළ යුතුය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනත් එසේ සංශෝධනය කළ විට, ඊළගට මතුවන පරස්පරය වනුයේ ජනාධිපතිවරයාට වසර 04 ට පසු නැවත ජනාධිපතිවරණයකට යෑමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට සහ පාර්ලිමේන්තුව සිය ධුර කාලයෙන් මාස 30 ට පසු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් මත විසුරු වන්නට ඇති ප්‍රතිපාදනයට සිදු වන්නේ කුමක්ද යන්නෙහි ය. එවිට එකම දින මැතිවරණ දෙක පැවැත්වීමට එක්කෝ පාර්ලිමේන්තුව කල් තියා විසුරුවන දිනය අනුව ජනාධිපති ධූරය සඳහාද ජනාධිපතිවරණයක් තීන්දු කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හෝ වසර 04 ට පසු ජනාධිපති තම දෙවන ධුර කාලය සඳහා මැතිවරණයක් තීන්දු කළහොත් ඒ සමග පාර්ලිමේන්තුවද විසුරු හැරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබිය යුතුය. එවිට සිදුවිය හැක්කේ ජනාධිපති ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලය අනුව තීන්දු වීම හෝ පාර්ලිමේන්තුව අවුරුදු 04 ක් ඉක්ම වන තෙක් විසුරුවන්නට නොහැකි වීම හා ජනාධිතිවරණය අනුව එය තීන්දු වීමය.

    එබැවින් දුර දිග බැලීමේ නොහැකියාවත් සමාජය වෙනුවෙන් වගවීමකුත් නැති දේශපාලන අයාලයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කියන කතා අනුව රටක මැතිවරණ ක්‍රියාවලි දිග හරින්නට හෝ හකුලන්නට නොහැක. බරපතලම ප්‍රශ්නය එවැනි ඕනෑම වාචාල කතාවක් මාධ්‍යවේදීන් ප්‍රශ්න නොකර ගෙනැවිත් ඒවා වැදගත් ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීමය. මාධ්‍යවේදීන්ටද සමාජ වගකීමක් ඇති බැව් අමතක වීමය.

    – කුසල් පෙරේරා
    2024 අප්‍රේල් 04

    Continue Reading
    Advertisement

    Trending

    Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved