“ආදරය කියන්නේ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිරගෙදරට එන්න. නිදහස් වෙන්න” මේ වැකිය අභිෂේකා විමලවීර නම් ගායන ශිල්පිනියගේ මහනුවර පැවති ‘අභී – ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටයකින් උපුටා ගැනුණකි.
‘නිදහස් වෙන්න හිරගෙදරට එන්න’ යන යෙදුම අතිශයින් උත්ප්‍රාසාත්මක ය. ඒ, අභිෂේකා නිදහස් වීමට පැමිණෙන ලෙස කී ස්ථානය අඳුරු අතීතයකට උරුමකම් කියන ඓතිහාසික ස්ථානයක් වීම නිසා ය.
ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමෙන් පසු ඇයගේ දේහය ගොඩ ගැසූ ස්ථානය එය යි. වරදකරුවන් 500 දෙනෙකුට අධික පිරිසක් එල්ලා මරා දමා ඇති ස්ථානය එය යි.
එවන් අඳුරු අතීතයකට උරුමකම් කියන බෝගම්බර බන්ධනාගාර භූමිය රසිකයින් පිනවන, ඔවුන්ට නිදහස සපයන කලාගාරයක් බවට පත් කිරීමට පසුගිය මාර්තු 04 වන දා ගායන ශිල්පී අභිෂේකා විමලවීරට හැකි විය.
“මම පළවෙනි කොන්සර්ට් එක කළා කොළඹ නෙළුම් පොකුණේ. ඒක ලංකාවේ හොඳ ම තැන කියලනෙ කියන්නේ. ඉතින් මගේ මහනුවර කොන්සර්ට් එක තියන්න ඊට වඩා හොඳ තැනක් ඕන වුණා. නෙළුම් පොකුණේ තාක්ෂණික තත්ත්වයට තරගයක් දිය හැකි ස්ථානයක් මට මහනුවරින් හොයා ගන්න ලැබුණේ නෑ. ඒ නිසා මට හිතුණා මේ වැඩේට ආධ්‍යාත්මික වැදගත්කමක් තියෙන තැනක් හොයා ගන්න ඕන කියලා. ඒකට සුදුසු තැනක් හොය හොය නුවර වටේ යද්දී අපි මේ ස්ථානය දැක්කා,” සිය සංගීත ප්‍රසංගය සඳහා බෝගම්බර බන්ධනාගාරය තෝරා ගැනීමට හේතු වූ කරුණු ගැන අභිෂේකා බීබීසී සිංහල සේවයට එලෙස පැහැදිලි කළා ය.
“මහනුවර මැද තියෙන නිධානයක් වගේ ඉඩමක් මේක. ඒක අවුරුදු ගණනක් තිස්සේ සම්පූර්ණයෙන් ම වහලා. ඇයි මේක නාස්ති කරන්නේ? මේක හැම දා ම මුස්පේන්තු බිමක් විදිහට තියෙන්න ඕන ද? නැත්නම් නුවරට මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා ද? කියන එක බලන්න තමයි මට ඕන වුණේ. ලංකාව නිධානයක් නේ. නිධානයක් උඩ වාඩි වෙලානේ මේ අපි හිඟා කන්නේ. ඒ වගේ තැනක් තමයි බෝගම්බර බන්ධනාගාරය. ඒක වෙනස් විදිහකට සංචාරක ආකර්ෂණය වැඩි වෙන ආකාරයට වෙනස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න පළමු පියවර විදිහට තමයි මම එතන තෝර ගත්තේ,” ඇය පැවසීය.
“විදුලියවත් තිබුණේ නෑ”
“අපිට මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය කිව්වා විදුලිය ඇතුළු කිසි ම දෙයක් මෙතන නෑ කියලා. හැම දේ ම පිටින් ගන්න වෙයි කිව්වා. මං කිව්වා බන්ධනාගාරයේ පසුබිම විතරක් මට දෙන්න කියලා. ඊට පස්සේ මේ ප්‍රසංගය සංවිධානය කරන්න මාසයක් විතර කාලයක් සැලසුම් කළා,” අභිෂේකා විමලවීර පැවසීය.
ඇය පැවසුවේ, විදුලිය ඇතුළු සියලු සේවා පිටතින් සපයා ගනිමින් මෙම ප්‍රසංගය පැවැත්වූ බව ය.
මෙම ප්‍රසංගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර 2000 ම දින දෙකක් තුළදී අලෙවි වී අවසන් වූ බව ඇය පැවසුවා ය.
ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර
වෙනස් ආරම්භයක්
පසුගිය මාර්තු 04 වන දා අභී – ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය ආරම්භ කෙරුණේ, වෙනස් මුහුණුවරකිනි.
එහිදී, ප්‍රසංගය ආරම්භයට පෙර එම ස්ථානයේ එල්ලා මරා දැමූ සිරකරුවන් සහ ඇහැලේපොළ කුමාරිහාමි සිහි කිරීමක් සිදු කෙරිණි.
“ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය ගොඩ ගැසූ තැනට අඩි කිහිපයක් දුරින් තමයි මේ ප්‍රසංගය පැවැත්වුණේ. අපි ආරම්භයේදී ඇහැලේපොළ කුමාරිහාමිට ගෞරව දක්වලා සියලු දෙනා නැගිටලා ඒ භූමියෙන් අවසර ගත්තා. ඊට අමතරව එතන එල්ලා මැරීමට ලක්වූ 546 දෙනා මතක් කරලා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරලා තමයි මේ ප්‍රසංගය ආරම්භ කළේ. ඒ නිසා ඒක මහනුවර ජනතාවට ලේවලට ම දැනෙන අත්දැකීමක් වුණා.”
“ලාංකික කලාවේ ඒකාධිපතිත්වය බිඳ දැමීමත් මගේ අරමුණක් වුණා”
“අපේ කලාවේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, ඒකාධිපතිත්වය. හැම තිස්සෙ ම කලාව කියන එක හුවමාරු වෙන්නෙ අතේ ඇඟිලි ගාණට සමාන කීප දෙනෙක් මත. ඉන්ටර්වීව් එකක් ගත්තොත් හැම දා ම එක ම දහ දෙනා. හැම දා ම එක ම ලොකේෂන්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගත්තත් කීප දෙනෙකුට විතරයි අවස්ථාව දෙන්නේ. ඒ දේ වෙනස් කළොත් අපේ කලාව දියුණු වෙයි. රට ත් දියුණු වෙයි. මට ඒ ඒකාධිපතිත්වය බිඳින්න ඕන වුණා,” අභිෂේකා විමලවීර ප්‍රකාශ කළා ය.
ප්‍රසංගය නැරඹීමට බෝගම්බර බන්ධනාගාර භූමියට පැමිණ සිටි රසික පිරිස
“අන්ධකාර ගුහාව ආලෝකවත් කරන්න අභිෂේකාට හැකි වුණා” – මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
අන්ධකාර අතීතයක ගිලී තිබූ බෝගම්බර බන්ධනාගාරයට ආලෝකයක් රැගෙන ඒමට අභිෂේකා විමලවීර ගත් උත්සහයට ජනතාවගේ ප්‍රසංශාව හිමි විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.
“ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතය අභියෝගයට ගැටලුවකට ලක්වෙලා තියෙන වෙලාවක්. අපේ ඉතිහාසයේ අන්ධකාර අතීතයක් ඇති බෝගම්බර බන්ධනාගාරය වගේ තැනක සංස්කෘතිකමය වශයෙන් කලා කටයුත්තක් ආස්වාදනීය දෙයක් සිද්ධ වුණා කියලා දැන ගන්නට ලැබීම සතුටක්. අභිෂේකා විමලවීර ගායන ශිල්පිනිය ලොකු උත්සහයක් දරලා තියෙනවා, මේ අන්ධකාර ගුහාව නැත්නම් අන්ධකාර ස්ථානය ආලෝකවත් කරන්නට, ප්‍රභාෂ්වර ආලෝකයක් ගෙනෙන්නට සංගීත නාදයෙන් සහ ගායනයෙන්. ඇය නිවැරදිව ශ්‍රැති, ස්වර, තාල පිහිටලා ගයන කෙනෙක්. එය මං හිතන්නේ ජනාස්වාදයට වගේ ම ජනාකර්ෂණයට වගේ ම ජනයාගේ ප්‍රසංශාවට ලක් විය යුත්තක්. දැනට ම ත් එය වෙමින් පවතිනවා. මෙතනින් එහාට දිගින් දිගට ම ඔය ස්ථානය එබඳු කටයුතුවලින් ආලෝකයෙන් සතුටින් පිරේවායි පතනවා,” මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය.
බෝගම්බර බන්ධනාගාරයේ අතීතය
බෝගම්බර බන්ධනාගාරය ඉංග්‍රීසි පාලන සමයේ එනම් 1876 වසරේදී මෙරට ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සෝන්ඩර්ස්ගේ අධීක්ෂණය යටතේ ඉදිවූ බව පැවසේ.
එක ම තනි පදනමක් මත ආසියාවේ ඉදිවූ දිග ම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වූ අතර, මෙහි සිරමැදිරි 328ක් පැවතිණි.
එක ම තනි පදනමක් මත ආසියාවේ ඉදිවූ දිග ම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වූ අතර, මෙහි සිරමැදිරි 328ක් පැවතිණි.
ශ්‍රී ලංකාවේ පළමු වරට එල්ලුම් ගසක් ඉදිකර ඇත්තේ ද මෙම බන්ධනාගාරය තුළ ය. එහි එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි ආකාරයට ස්ථිර ලෙස ඉදිකර තිබේ.
1876 වසරේ සිට මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් 500කට අධික සංඛ්‍යාවක් (මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය පවසන පරිදි 546ක් එල්ලා මරා දමා ඇති අතර එය 524ක් ලෙස ඇතැම් වාර්තාවල දැක්වේ) එල්ලා මරා දමා ඇත.
මෙම එල්ලුම්ගසේ අවසන් වරට එල්ලා මරා ඇත්තේ, එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්. ඩී. රිචඩ් හා ටී. එම්. ජයවර්ධන යන වරදකරුවන් ය. ඒ, 1975 නොවැම්බර් 21 හා 22 යන දෙදින තුළ ය.
ඊට අමතරව, බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා පසුව එම මළ සිරුර ගොඩ ගත් ස්ථානය ලෙස සැලකෙන්නේ ද බෝගම්බර බන්ධනාගාරය තුළ ඇති ස්ථානයකි. එසේ ම උතුවන්කන්දේ සරදියෙල් සහ මරු සිරා වැනි විශේෂ සිරකරුවන් ද මෙහි රඳවා සිට ඇත.
BBC NEWS
සිංහල