Connect with us

විශේෂාංග

“මහ පොළොවේ තරු” දෙමාපිය බලහත්කාරය වෙනුවෙන් තරග විභාගවල දිලෙන්නේ නැත

Published

on

( තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්) )

තාරේ සමීන් පාර් චිත්‍රපටයේ රාම් ශන්ක නිඛුම්භ් ගුරුවරයා, ඒ බරපතල ප්‍රකාශය කෙරුවේ පංතියේ ළමුන්ට නොවේ. ඒ බරපතල ප්‍රකාශය සමග වන තනි රූප රාමුව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස ආමීර් කාන් ප්‍රබල ප්‍රක්ෂේපණයක් ලෙස තිරයට ගෙනෙන්නේ සිනමා තිරය ඉදිරියේ අසුන් ගන්නා වැඩිහිටි පිරිසට ය. ඔවුන් කර පින්නාගෙන ඉන්නා ආකල්ප ස්වයං ප්‍රශ්න කිරීමකට හසුකර තැබීමට ය.

ඉකුත් මාර්තු 02 වන ඉරිදා රාත්‍රී 11 ට ආසන්නව ‘ද ලීඩර්’ වෙබ් අඩවියෙහි “තාරේ සමීන් පාර්” චිත්‍රපටයේ රූප රාමුවකට අදාල ඉහත විස්තරකරණය පළකර තිබූයේ මගේ ඉතාම කෙටි සටහන වූ “ඉතිරිය, හැකිවුනොත් තව දින කිහිපයකින්” යන්නද සමග ය.

“හැකිවුනොත් තව දින කිහිපයකින්” යැයි කියූ “ඉතිරිය” ඊට ලැබුණු ප්‍රතිචාර විසින් ඉක්මන් කළ යුතු වූවත් එසේ නොවුනි. මේ කාලයේ හැම තැන නිදැල්ලේ හමා යන වයිරසයක් හෝ බැක්ටීරියාවක් විසින් සති 04 ට ආසන්න කාලයක් මා නිශ්ක්‍රීය කර තැබූවෙන් “මහ පොළොවේ තරු” සම්බන්ධ “ඉතිරිය” සම්පූර්ණ කරන්නට මා නැවත අත ගැසුවේ ඊයේ සවස් කාලයේ ය.

තරග දිනන්න නම් හැදිය යුත්තේ අශ්වයින් මිස ළමුන් නොවේ යැයි වන “තාරේ සමීන් පාර්” චිත්‍රපටයෙන් ගත් උපුටනය ආමීර් කාන් ඔහුගේ චිත්‍රපටයෙහි දිග හරින කතාවට එක එල්ලේ සම්බන්ධ නොවුනත් අධ්‍යාපනය සම්බන්ධ කතාවක එය මග හැරිය නොහැක්කකි. කුඩා කල සිට දෙමාපියන් ළමුන්ව තල්ලු කරන “තරගකාරිත්වය” සමාජ ආකල්පයක් වශයෙන් දරුවන්ගේ ස්වාධීන පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යයට අතිශය අහිතකර ලෙස බලපාන හෙයිනි. ආමීර් කාන් ගේ කතා සන්දර්භයත් චරිතත් ඉන්දියාවේ වූවත් එය ලංකාව ඇතුළුව ආසියානු කලාපයේ හැම රටකටම වාගේ පොදු කතාවකි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පිරිමි දරුවා ඔහුගේ දෙමාපියන් විසින්, විශේෂයෙන් පියා විසින් බලහත්කාරී ලෙස අධ්‍යාපන තරගයට තල්ලු කිරීමත් ඊට මුහුණ දීමට දරුවාට ඇති නොහැකියාවත් අතර පවතින ගැටුම, කතාවේ එන දරුවාගේ මානසික අව-වර්ධනය ගැන දෙමාපියන්ගේ ඇති නොදැනුවත්කම ඉස්මතු කෙරෙන්නකි. දෙමාපියන් සහ ගුරුවර ගුරුවරියන් ළමුන්ගේ අව-වර්ධන හරියාකාරව හඳුනා නොගැනීම නිසා එවන් දරුවන් අති බහුතරයක් පාසලේදී හා නිවසේදී “කම්මැලියා, තක්කඩියා, හිතුවක්කාරයා” වැනි ලේබල් ඇලවුනු, ජීවිතයේ අතරමං වූවන් ය.

ප්‍රධාන වශයෙන් එවැනි මානසික අව-වර්ධන දෙකෙක් ඇත. ඉන් බහුතරයකට අංකවල, අක්ෂරවල හැඩ රුව හඳුනා ගැනීමට නොහැකිය. අක්ෂර සතු ආවේනික උච්චාරණ ශබ්ද මතකයේ තබා ගැනීමටද නොහැකි ය. එනිසා ඔවුන්ට ලියන්නට ඉගෙන ගත නොහැක. තවත් කෙනෙකු කියන්නේ මොනවාදැයි තේරුම් ගැනීමත් අපහසුය. ඒ සියල්ල නිවසේදී සහ පාසලේදී ලඝු කෙරෙන්නේ, ඉගෙන ගැනීමට දරුවාගේ ඇති අකමැත්ත, ඔහුගේ තක්කඩිකම, හිතුවක්කාරකම ලෙසිනි. දෙමාපියන් ඊට ප්‍රතිචාර දක්වන්නේ වඩ වඩාත් බරපතල ලෙස දඩුවම් කිරීමෙනි. පංතියේදී සිදු වන්නේ ගුරුවර ගුරුවරියන් විසින් දරුවා අතහැර දැමීම ය. දරුවන්ගේ මෙම අව-වර්ධනය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ “දුර්අක්ෂරතාව” (Dyslexia) යනුවෙනි.

දෙවැන්න සඳහන් වන්නේ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” (Autism Spectrum Disorder) යනුවෙනි. එවැනි දරුවකුට අනෙකුන් සමග තිබිය යුතු ගනුදෙනුව තේරුම් ගත නොහැකි ය. සන්නිවේදනයේ ඇති අවුල වගේම එකම කාරණාවක් ගැන දක්වන නිමක් නැති අත් නොහරින උනන්දුව සහ ක්ෂණිකව කේන්ති ගැනීමේ ලක්ෂණද වන්නේ ය. ළමුන්ගේ එවැනි හැසිරීම් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් මුල් අවදියේම තේරුම් නොගැනීම හා එවැනි ළමුන් දඩුවම්කර විනයගත කළ හැකි යැයි වන විශ්වාසය නිසා දරුවාගේ වර්ධනය තව දුරටත් අඩාල වන්නේය. කිසිවකුගේ කාරුණික අවධානයක් නොලබා පාසල් අධ්‍යාපනය පමණක් නොව, සිය අනාගතයම අහිමි වුනු එවන් දරුවන් ඇත. තවත් එවන් දරුවන්ට පාලනය කරගත නොහැකි කෝපය, දැඩි වෛරයක් බවට පත්ව දෙමාපියන්ට ශාරීරිකව බරපතල හිංසා කළ අවස්ථාද එමට ය.

මේ ළමුන් හරියාකාරව හඳුනා නොගැනීම ගැන මම දෙමාපියන්ට හෝ ගුරුවර ගුරුවරියන්ට දොස් නොකියමි. අති බහුතරයක් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් ළමුන් අතර එවැනි අව-වර්ධන රෝගී තත්ත්වයන් ඇතැයි දන්නේ නැත. එය සමාජයෙහි ඇති නොදැනුවත්කමකි. “දුර්අක්ෂරතාව” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැන පාසල් ඉලක්ක කෙරෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් කෙරෙන කිසිදු වැදගත් වැඩසටහනක් ගැන අසන්නට නැත. එවන් නොදැනුවත් සමාජයක දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් හැම ළමයෙකුම අනෙක් ළමයින් හා සමානව සැළකීම ඔවුන්ගේ වරදක් නොවේ.

දැනට ජාත්‍යන්තර “දුර්අක්ෂරතා” සංවිධානය සතුව ඇති දත්ත අනුව ගෝලීය වශයෙන් සියයට 15 ත් 20 ත් අතර දරුවන් කිසියම් ආකාරයක “දුර්අක්ෂරතා” ළමුන් ය. මෙය පිරිමි ළමුන්ට විශේෂ යැයි කියනු ලැබේ. එවගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 වසර අවසනායේ, සෑම ළමුන් 100 කින් 01 දරුවෙකු “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවෙකු ය. මේ තත්ත්වය දැන් ගෝලීය වශයෙන් නරක අතට වර්ධනය වන්නේ යැයි මෑත අධ්‍යයනයකින් පෙන්වන්නේ ය. පසුගිය වසර වන විට ළමුන් 44 කින් 01 ළමයෙකු ඉන් පෙළුණි.

මේ දත්ත අනුව අපගේ පාසල් ළමුන් අතර අවම ලක්ෂ 06 ට ආසන්න ළමුන් සංඛ්‍යාවක් “දුර්අක්ෂරතා” ළමුන් ය. තවත් ළමුන් ලක්ෂයකට (01) ආසන්න සංඛ්‍යාවක් “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවන් ය. සෑම වසරකම ලක්ෂ 03 ට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පළමු වසරට ඇතුළුකර ගනු ලබන බවද අමතක නොකළ යුත්තකි. පාසලකට ළමුන් ඇතුළු කරගනු ලැබීමේදී දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් රජයේ පාසල් තබා පෞද්ගලික පාසල් සඳහාවත් ඉල්ලන්නේ නැත. අපේ රටේ වෛද්‍ය වාර්තා ඉල්ලා සිටින අවස්ථා වලදී පවා “දුර්අක්ෂරතා” හා “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ කිසි තොරතුරක් සඳහන් කෙරෙන්නේද නැත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ දත්ත, තොරතුරු හා විස්තර සියල්ල දැන සිටිය යුතුය.

ආණ්ඩුව අතහැර ඇති මේ වගකීමට කැළණිය විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ මානව දුබලතා අධ්‍යයන දෙපාර්තමේන්තුව (Department of Disability Studies) සමග මහ පරිමාන සමාගම් කිහිපයක් උර දී ඇත. ඊට පෙර 2016 සැප්තැම්බරයේදී ඔවුන් “අයාති” (සංස්කෘත බසින් ‘අපේක්ෂා’) ජාතික කේන්ද්‍රය පිහිටුවනු ලැබ තිබිණ. මානව දුබලතා සහිත ළමුන්ට නොමිලේ සේවා සැපයීමට හා සමාජය දැනුවත් කිරීමට යැයි එවැනි තවත් රාජ්‍ය නොවන සත්කාරක ආයතන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන්නාහ.  

ඒ සියල්ලට ආවේනික මහා ඛේදවාචකය වන්නේ, ඉහළ මැදපංතික සමාජය ප්‍රධාන වන කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක දෙකට පිටතින් දුබලතා පිරි ලෝකයක් ඇති බව, මේ ඉහළ මැදපංතික සමාජ ක්‍රියාකාරීන් නොදැන සිටීම ය. එබැවින් විශාල මුදල් වැය කෙරෙන ඔවුන්ගේ වැඩසටහන් නිර්මාණය වන්නේ ඉහළ මැදපංතික ඉංග්‍රීසි සමාජයට ය. ඔවුන්ගේ අනුග්‍රාහකයින් හා සේවාලාභීන් අති බහුතරය ඉහළ මැදපංතික සමාජයට සීමා වීම එනිසා අරුමයක් නොවන්නේ ය.

“දුබලතා සහිත දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් සුවිශේෂි ලෙස වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහාය” සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇත්තේ බහුතර දුප්පත් ග්‍රාමීය සමාජයට ය. දිළිඳු බව හා නොදැනුවත්කම හේතුවෙන් නෙක දුබලතා සහිත දරුවන්ගේ අනාගතය විනාශ වන්නේ ග්‍රාමීය සමාජයෙහි ය. 

ජනතා යහපත වෙනුවෙන් සියල්ල වෙනස් කරන්නට පොරොන්දුවී ආණ්ඩු බලයට පැමිණි ජා.ජ. බලවේගයට, තවමත් කෙරෙන අතීත කතා නතර කර, අනාගතය වෙනුවෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා මැදිහත් වන්නේ නම්, එය කිව නොහැකි තරමේ පුණ්‍යකර්මයක් වනු ඇත.

මේ වසරේ “දුර්අක්ෂරතා” සතිය නම්කර ඇත්තේ ඔක්තෝම්බර මස 06 වන දා සිට 13 දක්වා සතිය ලෙස ය. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධව “දුර්අක්ෂරතාව” සමග “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධව දෙමාපියන්, කලාපීය අධ්‍යාපන බලධාරීන් හා ගුරු- විදුහල්පති සේවා දැනුවත් කිරීමේ 06 මසක ප්‍රාරම්භක වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා ආණ්ඩුවට වහා ඇමති මණ්ඩල තීන්දුවක් ගත හැකිය. ඔක්තෝම්බර මස 13 වන දිනයෙන් පසු, “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ පාසල් ආශ්‍රිත අඛණ්ඩ ජාතික වැඩ සටහනක් ප්‍රකාශයට පත් කිරීමද අතිශය වැදගත් ය.

මේ සමස්ථ වැඩපිළිවෙලෙහි අනිවාර්යෙන් තිබිය යුතු මූලික අරමුණු හා කොන්දේසි කිහිපයකි ඃ-

ළමුන් පාසලට ඇතුළත්කර ගැනීමේදී “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැනද සඳහනක් ඇතුළත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම

ගුරුවරයෙකුට හසුරුවා ගත හැකි ප්‍රමාණයේ කුඩා පංති හැදීම

එවැනි කුඩා පංතියක සෑම දරුවෙකු සම්බන්ධයෙන්ම ගුරුවරිය/ගුරුවරයා නිරන්තර නිරීක්ෂණයක යෙදීම

සෑම අධ්‍යාපන කලාපයකම, විශේෂයෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා විද්‍යාත්මක දැනුමක් හා පුහුණුවක් ලැබූ ගුරු මණ්ඩලයක් සහිත විශේෂ ඒකකයක් ආබාධිත ළමුන් සඳහාවන විශේෂ පාසලක ස්ථාපිත කිරීම

 “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ දරුවෙකු ගැන යම් අවිනිශ්චිතයක් ගුරුවරියකට/ගුරුවරයෙකුට ඇති වුවහොත් වහා දෙමාපියන් දැනුවත්කර වෛද්‍ය උපදේශන සඳහා දරුවා යොමු කරවීම

ළමුන්ට ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම සහමුලින් නතර කර, ළමයා කළ වරද සම්බන්ධව ඔහුව දැනුවත් කිරීමේ පෞද්ගලික පිළිවෙතක් සකසා ගැනීම

ඒ සමග නැවත මතක් කළ යුත්තේ “ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න…. මොන බම්බුවටද…… දරුවන් හදන්නේ?” යැයි තාරේ සමීන් පාර් චිත්‍රපටයේ ගුරු රාම් ශන්ක නිඛුම්භ් ඇසූ ප්‍රශ්න යයි. ඔහු හෙලා දුටු “තරගකාරිත්වය” පිළිබඳ සමාජ ආකල්පය වෙනස් නොකර සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් දියුණු දරුවකු සමාජයට ලබා දිය නොහැකි හෙයින් ය. 

කුසල් පෙරේරා

2025 මාර්තු 27 වන දින

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved