විශේෂාංග
“මහ පොළොවේ තරු” දෙමාපිය බලහත්කාරය වෙනුවෙන් තරග විභාගවල දිලෙන්නේ නැත
Published
2 months agoon
By
editor
“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න…. මොන බම්බුවටද…… දරුවන් හදන්නේ?”
( තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්) )
තාරේ සමීන් පාර් චිත්‍රපටයේ රාම් ශන්ක නිඛුම්භ් ගුරුවරයා, ඒ බරපතල ප්‍රකාශය කෙරුවේ පංතියේ ළමුන්ට නොවේ. ඒ බරපතල ප්‍රකාශය සමග වන තනි රූප රාමුව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස ආමීර් කාන් ප්‍රබල ප්‍රක්ෂේපණයක් ලෙස තිරයට ගෙනෙන්නේ සිනමා තිරය ඉදිරියේ අසුන් ගන්නා වැඩිහිටි පිරිසට ය. ඔවුන් කර පින්නාගෙන ඉන්නා ආකල්ප ස්වයං ප්‍රශ්න කිරීමකට හසුකර තැබීමට ය.
ඉකුත් මාර්තු 02 වන ඉරිදා රාත්‍රී 11 ට ආසන්නව ‘ද ලීඩර්’ වෙබ් අඩවියෙහි “තාරේ සමීන් පාර්” චිත්‍රපටයේ රූප රාමුවකට අදාල ඉහත විස්තරකරණය පළකර තිබූයේ මගේ ඉතාම කෙටි සටහන වූ “ඉතිරිය, හැකිවුනොත් තව දින කිහිපයකින්” යන්නද සමග ය.
“හැකිවුනොත් තව දින කිහිපයකින්” යැයි කියූ “ඉතිරිය” ඊට ලැබුණු ප්‍රතිචාර විසින් ඉක්මන් කළ යුතු වූවත් එසේ නොවුනි. මේ කාලයේ හැම තැන නිදැල්ලේ හමා යන වයිරසයක් හෝ බැක්ටීරියාවක් විසින් සති 04 ට ආසන්න කාලයක් මා නිශ්ක්‍රීය කර තැබූවෙන් “මහ පොළොවේ තරු” සම්බන්ධ “ඉතිරිය” සම්පූර්ණ කරන්නට මා නැවත අත ගැසුවේ ඊයේ සවස් කාලයේ ය.
කතාව මුල සිට

තරග දිනන්න නම් හැදිය යුත්තේ අශ්වයින් මිස ළමුන් නොවේ යැයි වන “තාරේ සමීන් පාර්” චිත්‍රපටයෙන් ගත් උපුටනය ආමීර් කාන් ඔහුගේ චිත්‍රපටයෙහි දිග හරින කතාවට එක එල්ලේ සම්බන්ධ නොවුනත් අධ්‍යාපනය සම්බන්ධ කතාවක එය මග හැරිය නොහැක්කකි. කුඩා කල සිට දෙමාපියන් ළමුන්ව තල්ලු කරන “තරගකාරිත්වය” සමාජ ආකල්පයක් වශයෙන් දරුවන්ගේ ස්වාධීන පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යයට අතිශය අහිතකර ලෙස බලපාන හෙයිනි. ආමීර් කාන් ගේ කතා සන්දර්භයත් චරිතත් ඉන්දියාවේ වූවත් එය ලංකාව ඇතුළුව ආසියානු කලාපයේ හැම රටකටම වාගේ පොදු කතාවකි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පිරිමි දරුවා ඔහුගේ දෙමාපියන් විසින්, විශේෂයෙන් පියා විසින් බලහත්කාරී ලෙස අධ්‍යාපන තරගයට තල්ලු කිරීමත් ඊට මුහුණ දීමට දරුවාට ඇති නොහැකියාවත් අතර පවතින ගැටුම, කතාවේ එන දරුවාගේ මානසික අව-වර්ධනය ගැන දෙමාපියන්ගේ ඇති නොදැනුවත්කම ඉස්මතු කෙරෙන්නකි. දෙමාපියන් සහ ගුරුවර ගුරුවරියන් ළමුන්ගේ අව-වර්ධන හරියාකාරව හඳුනා නොගැනීම නිසා එවන් දරුවන් අති බහුතරයක් පාසලේදී හා නිවසේදී “කම්මැලියා, තක්කඩියා, හිතුවක්කාරයා” වැනි ලේබල් ඇලවුනු, ජීවිතයේ අතරමං වූවන් ය.
ප්‍රධාන වශයෙන් එවැනි මානසික අව-වර්ධන දෙකෙක් ඇත. ඉන් බහුතරයකට අංකවල, අක්ෂරවල හැඩ රුව හඳුනා ගැනීමට නොහැකිය. අක්ෂර සතු ආවේනික උච්චාරණ ශබ්ද මතකයේ තබා ගැනීමටද නොහැකි ය. එනිසා ඔවුන්ට ලියන්නට ඉගෙන ගත නොහැක. තවත් කෙනෙකු කියන්නේ මොනවාදැයි තේරුම් ගැනීමත් අපහසුය. ඒ සියල්ල නිවසේදී සහ පාසලේදී ලඝු කෙරෙන්නේ, ඉගෙන ගැනීමට දරුවාගේ ඇති අකමැත්ත, ඔහුගේ තක්කඩිකම, හිතුවක්කාරකම ලෙසිනි. දෙමාපියන් ඊට ප්‍රතිචාර දක්වන්නේ වඩ වඩාත් බරපතල ලෙස දඩුවම් කිරීමෙනි. පංතියේදී සිදු වන්නේ ගුරුවර ගුරුවරියන් විසින් දරුවා අතහැර දැමීම ය. දරුවන්ගේ මෙම අව-වර්ධනය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ “දුර්අක්ෂරතාව” (Dyslexia) යනුවෙනි.
දෙවැන්න සඳහන් වන්නේ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” (Autism Spectrum Disorder) යනුවෙනි. එවැනි දරුවකුට අනෙකුන් සමග තිබිය යුතු ගනුදෙනුව තේරුම් ගත නොහැකි ය. සන්නිවේදනයේ ඇති අවුල වගේම එකම කාරණාවක් ගැන දක්වන නිමක් නැති අත් නොහරින උනන්දුව සහ ක්ෂණිකව කේන්ති ගැනීමේ ලක්ෂණද වන්නේ ය. ළමුන්ගේ එවැනි හැසිරීම් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් මුල් අවදියේම තේරුම් නොගැනීම හා එවැනි ළමුන් දඩුවම්කර විනයගත කළ හැකි යැයි වන විශ්වාසය නිසා දරුවාගේ වර්ධනය තව දුරටත් අඩාල වන්නේය. කිසිවකුගේ කාරුණික අවධානයක් නොලබා පාසල් අධ්‍යාපනය පමණක් නොව, සිය අනාගතයම අහිමි වුනු එවන් දරුවන් ඇත. තවත් එවන් දරුවන්ට පාලනය කරගත නොහැකි කෝපය, දැඩි වෛරයක් බවට පත්ව දෙමාපියන්ට ශාරීරිකව බරපතල හිංසා කළ අවස්ථාද එමට ය.
නොදන්නාකමටත් ඉඩක් ඇත

මේ ළමුන් හරියාකාරව හඳුනා නොගැනීම ගැන මම දෙමාපියන්ට හෝ ගුරුවර ගුරුවරියන්ට දොස් නොකියමි. අති බහුතරයක් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් ළමුන් අතර එවැනි අව-වර්ධන රෝගී තත්ත්වයන් ඇතැයි දන්නේ නැත. එය සමාජයෙහි ඇති නොදැනුවත්කමකි. “දුර්අක්ෂරතාව” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැන පාසල් ඉලක්ක කෙරෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් කෙරෙන කිසිදු වැදගත් වැඩසටහනක් ගැන අසන්නට නැත. එවන් නොදැනුවත් සමාජයක දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් හැම ළමයෙකුම අනෙක් ළමයින් හා සමානව සැළකීම ඔවුන්ගේ වරදක් නොවේ.
දැනට ජාත්‍යන්තර “දුර්අක්ෂරතා” සංවිධානය සතුව ඇති දත්ත අනුව ගෝලීය වශයෙන් සියයට 15 ත් 20 ත් අතර දරුවන් කිසියම් ආකාරයක “දුර්අක්ෂරතා” ළමුන් ය. මෙය පිරිමි ළමුන්ට විශේෂ යැයි කියනු ලැබේ. එවගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 වසර අවසනායේ, සෑම ළමුන් 100 කින් 01 දරුවෙකු “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවෙකු ය. මේ තත්ත්වය දැන් ගෝලීය වශයෙන් නරක අතට වර්ධනය වන්නේ යැයි මෑත අධ්‍යයනයකින් පෙන්වන්නේ ය. පසුගිය වසර වන විට ළමුන් 44 කින් 01 ළමයෙකු ඉන් පෙළුණි.
මේ දත්ත අනුව අපගේ පාසල් ළමුන් අතර අවම ලක්ෂ 06 ට ආසන්න ළමුන් සංඛ්‍යාවක් “දුර්අක්ෂරතා” ළමුන් ය. තවත් ළමුන් ලක්ෂයකට (01) ආසන්න සංඛ්‍යාවක් “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවන් ය. සෑම වසරකම ලක්ෂ 03 ට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පළමු වසරට ඇතුළුකර ගනු ලබන බවද අමතක නොකළ යුත්තකි. පාසලකට ළමුන් ඇතුළු කරගනු ලැබීමේදී දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් රජයේ පාසල් තබා පෞද්ගලික පාසල් සඳහාවත් ඉල්ලන්නේ නැත. අපේ රටේ වෛද්‍ය වාර්තා ඉල්ලා සිටින අවස්ථා වලදී පවා “දුර්අක්ෂරතා” හා “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ කිසි තොරතුරක් සඳහන් කෙරෙන්නේද නැත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ දත්ත, තොරතුරු හා විස්තර සියල්ල දැන සිටිය යුතුය.
අවුල් ලිහන්න ආණ්ඩු නැති විට

ආණ්ඩුව අතහැර ඇති මේ වගකීමට කැළණිය විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ මානව දුබලතා අධ්‍යයන දෙපාර්තමේන්තුව (Department of Disability Studies) සමග මහ පරිමාන සමාගම් කිහිපයක් උර දී ඇත. ඊට පෙර 2016 සැප්තැම්බරයේදී ඔවුන් “අයාති” (සංස්කෘත බසින් ‘අපේක්ෂා’) ජාතික කේන්ද්‍රය පිහිටුවනු ලැබ තිබිණ. මානව දුබලතා සහිත ළමුන්ට නොමිලේ සේවා සැපයීමට හා සමාජය දැනුවත් කිරීමට යැයි එවැනි තවත් රාජ්‍ය නොවන සත්කාරක ආයතන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන්නාහ.
ඒ සියල්ලට ආවේනික මහා ඛේදවාචකය වන්නේ, ඉහළ මැදපංතික සමාජය ප්‍රධාන වන කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක දෙකට පිටතින් දුබලතා පිරි ලෝකයක් ඇති බව, මේ ඉහළ මැදපංතික සමාජ ක්‍රියාකාරීන් නොදැන සිටීම ය. එබැවින් විශාල මුදල් වැය කෙරෙන ඔවුන්ගේ වැඩසටහන් නිර්මාණය වන්නේ ඉහළ මැදපංතික ඉංග්‍රීසි සමාජයට ය. ඔවුන්ගේ අනුග්‍රාහකයින් හා සේවාලාභීන් අති බහුතරය ඉහළ මැදපංතික සමාජයට සීමා වීම එනිසා අරුමයක් නොවන්නේ ය.
කවදත් කවුරුත් අතහරින “ගමේ තරු” සඳහා….

“දුබලතා සහිත දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් සුවිශේෂි ලෙස වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහාය” සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇත්තේ බහුතර දුප්පත් ග්‍රාමීය සමාජයට ය. දිළිඳු බව හා නොදැනුවත්කම හේතුවෙන් නෙක දුබලතා සහිත දරුවන්ගේ අනාගතය විනාශ වන්නේ ග්‍රාමීය සමාජයෙහි ය.
ජනතා යහපත වෙනුවෙන් සියල්ල වෙනස් කරන්නට පොරොන්දුවී ආණ්ඩු බලයට පැමිණි ජා.ජ. බලවේගයට, තවමත් කෙරෙන අතීත කතා නතර කර, අනාගතය වෙනුවෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා මැදිහත් වන්නේ නම්, එය කිව නොහැකි තරමේ පුණ්‍යකර්මයක් වනු ඇත.
මේ වසරේ “දුර්අක්ෂරතා” සතිය නම්කර ඇත්තේ ඔක්තෝම්බර මස 06 වන දා සිට 13 දක්වා සතිය ලෙස ය. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධව “දුර්අක්ෂරතාව” සමග “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධව දෙමාපියන්, කලාපීය අධ්‍යාපන බලධාරීන් හා ගුරු- විදුහල්පති සේවා දැනුවත් කිරීමේ 06 මසක ප්‍රාරම්භක වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා ආණ්ඩුවට වහා ඇමති මණ්ඩල තීන්දුවක් ගත හැකිය. ඔක්තෝම්බර මස 13 වන දිනයෙන් පසු, “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ පාසල් ආශ්‍රිත අඛණ්ඩ ජාතික වැඩ සටහනක් ප්‍රකාශයට පත් කිරීමද අතිශය වැදගත් ය.
මේ සමස්ථ වැඩපිළිවෙලෙහි අනිවාර්යෙන් තිබිය යුතු මූලික අරමුණු හා කොන්දේසි කිහිපයකි ඃ-
ළමුන් පාසලට ඇතුළත්කර ගැනීමේදී “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැනද සඳහනක් ඇතුළත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම
ගුරුවරයෙකුට හසුරුවා ගත හැකි ප්‍රමාණයේ කුඩා පංති හැදීම
එවැනි කුඩා පංතියක සෑම දරුවෙකු සම්බන්ධයෙන්ම ගුරුවරිය/ගුරුවරයා නිරන්තර නිරීක්ෂණයක යෙදීම
සෑම අධ්‍යාපන කලාපයකම, විශේෂයෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා විද්‍යාත්මක දැනුමක් හා පුහුණුවක් ලැබූ ගුරු මණ්ඩලයක් සහිත විශේෂ ඒකකයක් ආබාධිත ළමුන් සඳහාවන විශේෂ පාසලක ස්ථාපිත කිරීම
“දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ දරුවෙකු ගැන යම් අවිනිශ්චිතයක් ගුරුවරියකට/ගුරුවරයෙකුට ඇති වුවහොත් වහා දෙමාපියන් දැනුවත්කර වෛද්‍ය උපදේශන සඳහා දරුවා යොමු කරවීම
ළමුන්ට ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම සහමුලින් නතර කර, ළමයා කළ වරද සම්බන්ධව ඔහුව දැනුවත් කිරීමේ පෞද්ගලික පිළිවෙතක් සකසා ගැනීම
ඒ සමග නැවත මතක් කළ යුත්තේ “ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න…. මොන බම්බුවටද…… දරුවන් හදන්නේ?” යැයි තාරේ සමීන් පාර් චිත්‍රපටයේ ගුරු රාම් ශන්ක නිඛුම්භ් ඇසූ ප්‍රශ්න යයි. ඔහු හෙලා දුටු “තරගකාරිත්වය” පිළිබඳ සමාජ ආකල්පය වෙනස් නොකර සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් දියුණු දරුවකු සමාජයට ලබා දිය නොහැකි හෙයින් ය.
කුසල් පෙරේරා
2025 මාර්තු 27 වන දින

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.
ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.
පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.
පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.
නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.
පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.
එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.
රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.
ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.
මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.
පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්‍රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.
මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.
මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු
මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.
මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.
ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.
ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.
පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.
2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.
නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.
පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.
පරිපාලන හා නියාමන සේවා
මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.
මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- මහ නගර සභා අඥා පනත (1947)
- නගර සභා අඥා පනත (1939)
- ප්‍රාදේශීය සභා පනත (1987)
මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.
පුංචි ආණ්ඩුවක බලය
ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.
සමන්ති වීරසේකර
– දිවයින –

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ.
ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය.
ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.
ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්‍රවෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.
මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි.
RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.
ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.
නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.
ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

ජාතික තරුණ දිනයේ සමාරම්භය සටහන් කරමින් අද ඇරඹෙන “යූත් ක්ලබ්”

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

විදෙස් සිසුන්ට හාවර්ඩ් විශ්වවිද්‍යාල දොරටු වැසේ
Trending
-
පුවත්5 days ago
IMF තීන්දුව, ලෝක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි?
-
පුවත්4 days ago
තෙල් සංස්ථාවේ “අයිෆෝන්” බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවා – MD
-
පුවත්7 days ago
රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක්
-
පුවත්2 days ago
සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමූ රූපවාහිනී සංස්ථා ලොක්කෝ (වීඩියෝ)
-
පුවත්6 days ago
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ