විශේෂාංග
මාධ්‍ය නියාමනය තීන්දු කළ යුත්තේ ජනතාවයි
Published
2 years agoon
By
editor
මේ දිනවල ආණ්ඩුව සම්මත කිරීමට උත්සාහ කරන “විකාශන නියාමන කොමිසමක් පිහිටුවීමේ පනත” සම්බන්ධව මේ සමාජයේ එතරම් උනන්දුවක් දැකිය නොහැක. ඊට ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධව දැක්වූ උනන්දුව හෝ නැත. ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත පැත්තකින් තැබුවේ ඔරොත්තු දිය නොහැකි සමාජ විරෝධයක් හමුවේ නොවේ. යුරෝපා ජී.එස්.පී අධිසහන දීර්ග කිරීම සඳහාවන ඇගයුමට සුදානම්වීමේදී ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් දැක්වූ විරෝධය හේතුවෙනි. මේ විකාශන නියාමන කොමිසම පිහිටුවීමේ පනතට එවැනි විරෝධයක් නැත.
මාධ්‍යයේ පිරිහීම සහ ප්‍රේක්ෂකාගාරය
ආණ්ඩුවේ විකාශන නියාමන කොමිසම් පනතට වැදගත් සමාජ අවධානයක් නොමැත්තේ ඇයිද යන්න, පනත ගැන කතා කිරීමට පෙර ඇසිය යුත්තකි. ඊට සරළ උත්තරය වන්නේ අපේ ජනමාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් වැදගත් පිළිගැනුමක් මේ සමාජයේ තව දුරටත් ඉතිරිව නොමැති වීමය. අපේ ජනමාධ්‍ය අන්තයට පිරිහුණු ජනමාධ්‍යයක් යැයි සමාජ මතයක් පසුගිය දසකයකට දෙකකට වැඩි කාලයක සිට වර්ධනය වූවකි. ඊට ප්‍රධානම හේතුව වූයේ විද්‍යුත් මාධ්‍ය භාවිතාව ය.
පුස්සන් සමග වූවත් විද්‍යුත් මාධ්‍ය මගින් සමාජ මත සැකසීමේදී කරන්නාවූ බලපෑම මුද්‍රිත මාධ්‍යයට වඩා වැඩි ය. ඒවායේ එක පෙළට විකාශනය කෙරුණු ජ්‍යෝතිශ හා මිථ්‍යා විශ්වාස, වටරවුම් තොරතුරු අටපට්ටම් කිරීම, ගෝසාකාරී බොල් “රියැලිටි” සංදර්ශන වාගේම “කුකුල් පොර” දේශපාලන සාකච්ඡා සහ අති බාල හරසුන් ටෙලි නාට්‍ය සමග විචාරයක් නැති නිවෙස්ගත ප්‍රේක්ෂකාගාරයක් ඔවුහු හදා ගත්හ. ඒ සමග වැදගත් ප්‍රවෘත්ති සහ තොරතුරු බලාපොරොත්තු වූ නාගරික මැද පංතික පිරිස් ඉන් ඉවත් වූහ. ඔවුන්ගෙන් ඇතැමුන් විදෙස් රූපවාහිනි නාලිකා වලටත් තවත් අය අන්තර්ජාල තොරතුරු හා ප්‍රවෘත්ති භාවිතයටත් ඇබ්බැහි වූහ.
මාධ්‍ය විසින්ම හැදූ මේ නිවෙස්ගත නොදියුණු බාල ප්‍රේක්ෂකාගාරය ආණ්ඩුව ඉදිරිපත් කරන අණ පනත් ගැන උනන්දු වන්නේ නැත. සමාජ බහුතරයද ඔවුන්ය. මාධ්‍ය මගින් කවරක් ඉදිරිපත් කළද ඔවුන්ට වැදගත් වන්නේ ඒවායේ ගුණාත්මක තත්ත්වය නොව, හිනාවෙන්නට විසිල් ගසන්නට ඒවායේ ඇති අවස්ථා පමණි. අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ජීවත්වන්නට තරග වැද නිවසට පැමිණෙන බහුතරය දවසේ මහන්සිය සරළ විනෝදයකින් මුදා හැරීමේ අවස්ථාවන්ගෙන් සෑහීමට පත් වන්නේය.
මේ සමාජයේ තවත් කොටසක්, විශේෂයෙන් ආණ්ඩු පාලනයේ පීඩනය හේතුවෙන් මාධ්‍ය ඔස්සේ රටේ තොටේ තොරතුරු සොයන්නාවූ මැදපංතික පිරිස් මාධ්‍ය පිරිහීම හමුවේ එය අනිවාර්යෙන් නියාමනය කළ යුතු යැයි සිතන්නාහ. මෙවැනි මාධ්‍යයකින් වැදගත් කිසිවක් නොලැබෙන විට, එය පාලනය කිරීමෙන් අඩුම තරමින් “මාධ්‍ය විකාර” නතරවනු ඇතැයි ඔවුහු සිතන්නාහ. ආණ්ඩුව ඔවුන්ගේ යෝජිත විකාශන නියාමන පනත සඳහා සහාය ලබා ගන්නේ මේ බලාපොරොත්තු සුන්වූ පිරිසගෙනි.
අනෙක් නාගරික මැදපංතිකයින්, විශේෂයෙන් ද්විභාෂා වෘත්තිකයින් විදේශ මාධ්‍ය හා ගැට ගැසී ඇති හෙයින් ඔවුන් දේශීය මාධ්‍ය ගැන උනන්දුවක් නැත. එවගේම මේ වනවිට ඔවුන්ගේ මැදංපතික ජීවන රටා වැඩි මිලකට හෝ යථා තත්ත්වයට පත්ව ඇති හෙයින් ආණ්ඩුවේ අණ පනත් ගැනද ඔවුන්ගේ උනන්දුවක් නැත. ඔවුන්ගේ සමාජීය දුරස්ථ වීමට තවත් හේතුවක් වන්නේ, මේ පනතට එරෙහිවීමෙන් ආණ්ඩු විරෝධයකට ඇති අවකාශය පුළුල්වන්නේ යැයි වන ගණන් හැදීමය. මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට නම්, ආණ්ඩු විරෝධයකට ඉඩ නොතැබිය යුතුයැයි වන අදහස ය. එහි ඇති අවාසිය වන්නේ ඕනෑම සමාජයක, සමාජ මතයක් නිර්මාණයකර තහවුරු කෙරෙන්නේ එවැනි නාගරික මැදංපතික පිරිස් විසින් වීමෙහි ය.
මාධ්‍ය ක්‍රියාකාරීන් සොයන්නේ නම්……
මේ අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස, මාධ්‍ය ස්වාධීනත්වය, ආචාර ධර්ම, වෘත්තීය මාධ්‍යවේදය වැනි කාරණා ගැන පසුගිය කාලයේ විවිධ කතා කියූ, විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළ, විරෝධතා සංවිධානය කළ ක්‍රියාකාරීන් හා සංවිධාන මේ යෝජිත “විකාශන නියාමන කොමිසම් පනත” ගැන දක්වන ප්‍රතිචාර “අපිත් තරගයේ දිව්වා” වැනි යන එන ගමන් කෙරෙන වැඩ ය.
එයට හේතු දෙක තුනකි. එකක් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදෙන පාරිභෝගික සමාජය, ආත්මාර්ථකාමී ගමන් යන, පුද්ගලවාදී තරගයක හතිලන සමාජයකි. එහි “සාමුහිකත්වය” ක්‍රමානුකූලව අහෝසි වූවකි. විවෘත වෙළඳපල ආර්ථිකය විසින් ලබා දෙන නව තාක්ෂණික මෙවලම් සියල්ලද මේ පුද්ගලවාදී පැවැත්ම තහවුරු කෙරෙන කුඩා ජංගම දුරකතනයකට සීමා වන්නකි. ඒවායේ කණ්ඩායම් හැදීමද දුරස්ථ ක්‍රියාවකි. ඒවායෙන් හදන කණ්ඩායම්ද “අතථ්‍ය” (Virtual) කණ්ඩායම්ය. කිසි දිනක හමුනොවන නමුත් තාක්ෂණික මෙවලමක ඉන්නා කණ්ඩායම් ය.
එළෙසින් පරමානුගතවූ සමාජයේ සියලු සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන දැන් අත ගසන්නේ අන්තර්ජාල ක්‍රියාකාරකම් සමග “අතථ්‍ය” කණ්ඩායම් යොදා ගනිමින් විරෝධතා ගොනු කිරීමටය. සමාජ මාධ්‍ය ජාලවල, විශේෂයෙන් ෆේස්බුක් ගිණුම්වල සම්මුති විරහිත විරෝධතා සටහන් කරන, විද්‍යුත් පෙත්සම් අත්සන් කරන විරෝධතා වලටය. එළෙසින් ගොනු කරන විරෝධතා ඒ මොහොතට සීමාවී ලිහී යෑම එබැවින් සාමාන්‍ය තත්ත්වයකි.
අනෙක් කාරණාව වන්නේ ඉදිරි දේශපාලන පෙළ ගැසීම් කියවා ගැනීමට ඇති නොහැකියාව ය. සක්‍රීය සාමාජිකත්වයක් නොමැති සංවිධානවල දැනුම හා තොරතුරු අලුත් නොවන පසු තලයක, තාක්ෂණය අලුත් වූවත් බහුතරයක් තවමත් 60 – 70 දසකයෙන් මෙපිටට පැමිණ නැත. ඉදිරි කාලයේ මර්දනකාරි ආණ්ඩු පාලන, සමාජයේ තෝරාගත් ක්ෂේත්‍ර වලට සීමා නොවන බැව්ද කියවා ගත යුතු නමුත් එවැන කියවීමක්ද බහුතරයකට නැත. එනිසා පැරණි සම්මතයට ගොනු කළ ක්ෂේත්‍රගත විරෝධතා අද වලංගු නොවන බවද තේරුම් නොගන්නකි.
ඉදිරිය නිවැරදිව කියවා ගත් විට මේ පනතට, මේ ආණ්ඩුවේ මර්දනකාරී තීන්දු තීරණ වලට එරෙහිවී ඒවා අහෝසිකර ගැනීම, මාධ්‍ය නිවේදන, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් ඉටුකර ගත නොහැකි බව අවබෝධ වන්නකි. මේ ආණ්ඩුව සමග එවැනි කාරණා කේවල් කළ හැක්කේ සියලු සමාජ පාර්ශවයන්ගේ හවුලක් ලෙස ගොනුවන සමාජ ව්‍යාපාරයකින් පමණක් බව තේරුම් යන්නකි.
කවුරුන් පිළිගත්තත් නොගත්තත් මාධ්‍ය ක්ෂේත්‍රයේ එවැන්නකට මුල පුරන්නට හැකි සාමාජිකත්වයක් සහිත සංවිධාන නැත. මාධ්‍යවේදීන්ගේ සංවිධාන ලෙස පෙනී සිටින කුඩා හවුල් සියල්ල පාහේ මාධ්‍ය ආයතනවල සේවකයින්ගෙන් සැදුම්ලත් සංවිධාන නොවන්නේය. එවැනි සාමාජිකත්වයන් ඇති සංවිධාන ඇත්තේ රජයේ මාධ්‍ය ආයතනවල පමණි. ඒවායේ ඇති ගැටළුව නම්, ඔවුන් හැම විටම වාගේ ආණ්ඩු බලයේ ඉන්නා දේශපාලනය සමග ඥාති සම්බන්ධකම් පැවැත්වීම ය.
බහුතරයක් මාධ්‍ය ආයතන පෞද්ගලික සමාගම්ය. විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරන ගුවන් විදුලි නාලිකා 25 ට ආසන්න සංඛ්‍යාවක් සහ රූපවාහිනි නාලිකා 07 ක් පමණ පෞද්ගලික මාධ්‍ය සමාගම්ය. ඒවායේ ආයෝජකයින් විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදුන වැඩුන ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ය. එබැවින් ඔවුන්ගේ මාධ්‍ය ආයතන සියල්ලෙහි නිසියාකාර පත්වීම් නැත. සැළකිය යුතු සංඛ්‍යාවක් නිශ්චිත වැඩසටහන් සඳහා සේවයේ යොදා ගන්නවුන්ය. ඒ ආයතනවල කිසිවකුට වෘත්තීය සමිති අයිතිය නැත. රැකියාවේ වගකීම් පැහැදිලිව ලිඛිතව ලබා දෙන්නේද නැත. සැමට පොදු වැටුප් ක්‍රම ඇත්තේද නැත.
එහෙත් ඒ කිසිවකු ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මෙතෙක් පෙනී සිට නැත. කතා කර නැත. අවම තරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14.1(ඈ) වගන්තියෙන් තහවුරුකර ඇති සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 සහ 98 සම්මුතීන් විසින් නියමානුකරණය කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකමක් වන වෘත්තීය සමිති අයිතිය හෝ ඉල්ලන්නේ නැත. මාධ්‍ය සංවිධාන වශයෙන් කටයුතු කරන සංවිධානද ඒ මූලික අයිතිය ගැන කතා කරන්නේ නැත.
වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ මූලික අයිතිය අහෝසිකර ඇතිවාට අමතරව එය ඉතා කීකරුව බාර ගන්නා සේවකයින්ට වෘත්තිකයින් සතු ස්වාධීන පෞරුෂයක් පවත්වා ගත නොහැක. අපේ රටේ මාධ්‍යවේදීන් වෘත්තිකයින් නොවන්නේ එබැවිනි. ඒ වෙනුවට අද ඉන්නේ ගුවන් විදුලි හා රූපවාහිනි අයිතිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නාලිකා, ප්‍රේක්ෂක අසන්නන්ට අලෙවි කරන්නාවූ කටකාර, හැඩකාර අලෙවි නියෝජිතයින් සමූහයක් පමණි.
සංඛ්‍යාත සහ කඩදාසි අතර වෙනස
අනෙක් බරපතල කාරණාව නම්, ඔවුන් භාවිත කරන, ඔවුන්ගේ මාධ්‍ය ආයතනයට බලපත්‍රයක් මගින් වසරකට හෝ දෙකකට ලබා දී ඇති විද්‍යුත් සංඛ්‍යාතවල හිමිකාරිත්වය ඇත්තේ සමාජයට බව නොදැන සිටීමය. එය දැන සිටියත් ඒ හා ඊළගට ගැට ගැසෙන වගකීම් හා සීමා ගැන නොදන්නා බව ඔවුන් කැමරා හා මයික් ඉදිරියේ හැසිරෙන ආකාරයෙන් ඔප්පු වන්නකි. පසුගිය දිනක නීතිය හදාරා ඇතැයි කියන්නාවූ පත්තර පිටු කියවන්නකු කැමරාව ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ආයාචනා කරනු ඇසුවේ පුදුමාකාර අපුලක් සමගින්ය.
එවැනි මාධ්‍ය ඇම්බැට්ටයෝ ඔවුන් භාවිත කරන්නේ මහජන දේපළක් වන සංඛ්‍යාත ගොනුවක් බව කොහෙත්ම නොදනිති. විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රණ මාධ්‍ය අතර ඇති වැදගත්ම වෙනස ඇත්තේද සංඛ්‍යාත සමාජගත පොදු දේපළක් වීමෙහිය. එබැවින් ආණ්ඩුවකට විද්‍යුත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ඇත්තේ කොන්දේසිගත භාරකාරත්වයක් පමණි. සංඛ්‍යාත රිසිසේ බෙදා හැරීමට හෝ අලෙවි කරන්නට ආණ්ඩුවකට අයිතියක් නැත. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අවුරුදු පතා අලුත් කිරීමේ පදනමින් සංඛ්‍යාත ලබා දීමට මේ ආණ්ඩුව යෝජනා කිරීම මාධ්‍ය ආයතන අස්ථාවර කිරීමක් හා ඒවායේ සේවකයින්ගේ රැකියා අනාරක්ෂිත කිරීමක් යැයි බෙරිහන් දුන්නේ, සංඛ්‍යාත භාවිතය ගැන කිසිදු දැනුමක් නොමැති බව ප්‍රදර්ශනය කරමින්ය.
ජාත්‍යන්තර සම්මතයන්ට අනුව, විකාශනය සඳහා සංඛ්‍යාත පැවරෙන්නේ කෙටි කාලීනව පමණි. එසේ බලපත්‍රයක් ලබා දීමේදී මාධ්‍ය ආයතනය වෙත සමාජ වගකීම් හා මාධ්‍ය සදාචාරය අවධාරණය කෙරෙන කොන්දේසි ගණනාවක් පැනවිය යුතු වන්නේය. එවගේම ඒ සියල්ල ප්‍රසිද්ධ කළ යුතුද වන්නේය. එකී කොන්දේසි උල්ලංඝණය කෙරෙන්නේ නම් ඕනෑම පුරවැසියකුට තමන්ගේ සංඛ්‍යාත අවභාවිත කිරීම පිළිබඳව මාධ්‍ය සමාගමට සහ සේවකයාට එරෙහිව පැමිණිලි කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක්ද තහවුරුකර තිබිය යුතුය. මාධ්‍ය සමාගමේ ස්ථාවරත්වය හා මාධ්‍ය රැකියා සතු සුරක්ෂාව ඇත්තේ එම කොන්දේසි රැකීමෙහිය. එයද එක් කොන්දේසියකි.
එවැනි කොන්දේසි මුද්‍රිත මාධ්‍යයන්ට නැත. මුද්‍රිත මාධ්‍ය සමාජ දේපළ කිසිවක් භාවිත නොකරණ හෙයිනි. තම ප්‍රවෘත්ති, තොරතුරු, විශේෂාංග ආදිය සමාජයට සන්නිවේදනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය භාවිත කරන්නේ ඔවුන් මිලට ගන්නා කඩදාසි ය. ඒ අනුව මුද්‍රිත මාධ්‍යයන්හි සියල්ල පෞද්ගලික ආයෝජන වන අතර, ඔවුන්ට පැවරෙන කොන්දේසි වන්නේ මාධ්‍ය සදාචාරය හා ආචාර ධර්ම පිළිපැදීමය. විද්‍යුත් විකාශන සඳහා කෙතරම් දියුණු තාක්ෂණ උපකරණ සහිත කෙතරම් උසස් තත්ත්වයේ ශබ්දාගාර, පටිගත කිරීමේ හා සංස්කරණය කිරීමේ කුටි ඉදි කළත් අවසානයේ විකාශනය සිදුවන්නේ මහජනතාවට අයිති සංඛ්‍යාත භාවිත කිරීමෙන් පමණි.
එනිසාම, මුද්‍රිත මාධ්‍ය වෙත පැනවෙන සමාජීය සදාචාරාත්මක කොන්දේසි වලට අමතරව විද්‍යුත් සංඛ්‍යාත භාවිත කරන්නාවූ විකාශන සඳහා මහජන වගකීම සම්බන්ධ කොන්දේසිද ඇත. එහෙත් දූෂිත ආයතන හා දූෂිත දේශපාලනයක එවැනි කොන්දේසි කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. එබැවින් දැනට විකාශන සේවා පවත්වා ගෙන යන මාධ්‍ය සමාගම් සතු සංඛ්‍යාත ගොනු කවරේද කොපමණද යන්න සහ ඒවා සමග පැවරුන කොන්දේසි මොනවාද යන්න දන්නා කෙනෙකු නැත. එයම ආණ්ඩු හා රාජ්‍ය ආයතන විසින් ජනතා අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. මාධ්‍යවේදී සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් එවැනි උල්ලංඝණ බාර ගන්නේ කෙසේද යන්න අතිශය වැදගත් දේශපාලන කාරණාවකි.
ඉතිරි අතළොස්සේ කාර්ය
මේ පනත ගැන කතා කරන්නට සිදුව ඇත්තේ එවැනි ඉතා අවාසි සහගත පසුබිමකය. ඒ වෙනුවෙන් කතා කිරීමට සහ] වැදගත් සමාජ මතයක් අප්‍රමාදව හැදීමේ වගකීම බාර ගැනීමට සිදුවන්නේ ඉතිරිව ඉන්නා නාගරික අතළොස්සකට ය. ඔවුන්ද එතරම් සංවිධානාත්මක පිරිසක් නොවීම තවත් අවාසියකි. ඒ සියලු අවාසි අතර යම් ආරම්භයකට යොදා ගත හැකි කරුණු කාරණා කිහිපයක් සැකෙවින් මෙලෙස සටහන් කරමි.
මේ යෝජිත පනත සම්බන්ධව විරුද්ධ විය යුතු වගන්ති ගණනාවක් ඇත. ඉතා සැකෙවින් කිවහොත් කොමිසම සඳහා සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීමේ සිට මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කළ හැකි විෂයන් හා ඒවායේ දිග පළල තීන්දු කිරීමත්, මාධ්‍ය ආයතන වැටලීමේ සිට පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම දක්වාත් වන බොහෝ ප්‍රතිපාදන, තව දුරටත් ප්‍රති ත්‍රස්ත පනතක අවශ්‍යතාවක් පෙන්වන්නේ නැත. එබැවින් මේ යෝජිත නියාමන පනත පිළිබඳව මතු කළ යුත්තේ මූලික ප්‍රතිපත්තිමය කාරණාවකි.
මේ විද්‍යුත් මාධ්‍ය අනිවාර්යෙන් නියාමනය කළ යුතුය. එහෙත් එය ආණ්ඩුවක දේශපාලන කාර්යක් නොවේ. මාධ්‍ය පවතින්නේ එහි සේවා සැපයුම්කාර පිරිස මත නොවේ. විද්‍යුත් මාධ්‍ය පවතින්නේ මූලිකවම අසන්නන් හා නරඹන්නන් සමගය. සමාජය සමග ය. එබැවින් සංඛ්‍යාත හිමි එම සමාජය විසින් විකාශන නියාමනය කිරීමේ කොන්දේසි තීන්දු කළ යුතුය. ඒවා නීතිගත කළ යුත්තේ සමාජ අනුමැතියට යටත්ව පමණි.
එබැවින් මේ මොහොතේ සිදුවිය යුත්තේ ආණ්ඩුව යෝජනාකර ඇති පනතේ වගන්ති මත කෙරෙන විවාද නොවේ. ඒ පනත මුළුමනින් ප්‍රතික්ෂේප කරමින් විද්‍යුත් විකාශන නියාමනය පිළිබඳ වැදගත් සමාජ සංවාදයක් ආරම්භ කිරීමය. නියාමන වගකීම ජනතාව අතට ගැනීමය.
කුසල් පෙරේරා
2023 ජුනි 11

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.
මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .
1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.
නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.
දයාබර පත්තර මල්ලි වෙත
අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා.
ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්.
මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.
ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්.
ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.
අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා.
කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.
හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.
ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු .
එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති.
නුවන් ජූඩ් ලියනගේ .
ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .








“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…
ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.
අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”
මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.
ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.
78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.
ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.
ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.
1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.
ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.
ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.
මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන
ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.
ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.
“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.
‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’
බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.
1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම
බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.
ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.
සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.
පයිලට් ප්‍රේම්නාත්
ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.
එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.
මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය
පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.
‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.
මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන
ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.
- 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
- 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
- 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
- රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
- ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014
ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.
ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.
ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.
“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.
“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”
“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.
“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”
“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.
මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය – BBC

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්
