Connect with us

විශේෂාංග

මාධ්‍ය හැසිරවීම ගැන ඩලස්ගෙන් නිවේදනයක්

Published

on

වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගවලට අදාළව නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහි සම්පූර්ණ ලිපිය පහත දක්වා ඇත.

සොහොන් ලකුණ, හොල්මන් සහ ආණ්ඩුව.

පැරණි ගැමියන් සොහොන් භූමියක් ළඟින් රාත්‍රී කාලයේ ගමන් කිරීමට දක්වන්නේ අනියත බියකි. “හොල්මන්”, එම බියට මුල් වූ ග්‍රාම්‍ය සංකල්පයයි. සරම මඳක් ඔසවා ශබ්ද නගා කුණුහරුපයක් කියමින් එම සොහොන් භූමියේ සීමාවන් පසු කිරීම එම අභ්‍යන්තර භීතිය සහ චකිතය මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ ආදි ගැමියා ගේ පුරුද්දය.

වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග දෙස බැලීමේදී උක්ත ග්‍රාමීය අභ්‍යාසය නිතැතින්ම අප සිහියට නැගේ. 2024 සැප්තැම්බර් 23 දින සිට ගැනීමේදී ගත වූ දින 107 තුළ ජනමාධ්‍යයට අදාළව එලෙස ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්ම ප්‍රකාශ වූ අවස්ථා, ආණ්ඩුව ගෙවා දමන ලද දින ප්‍රමාණයෙන්, දහයෙන් එකකට, 1/10 වඩා වැඩිය.

ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේද අනෙකෙකු නොව ජනාධිපතිවරයාමය. ඇතැම් මාධ්‍ය නම් කරමින් ඔවුන් වැරදි හදාගත යුතු බවට දැවැන්ත නමුත් අප්‍රකාශිත තර්ජනයක්, ආරම්භක පිතිකරුවා ලෙස මාතර උයන්වත්ත පිටියේ දී ඔහු සමාජයට මුදාහලේය. ඊයේ, 08 පාර්ලිමේන්තුවේදී මාධ්‍ය දෙකක් නම් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමිය ගෙන් ඇසුණේද පැරණි “මාලිගාවත්ත ලී මෝලේ” හඞමය.

හම්බන්තොට වරායේ ගල ගැන, කොළඹ වරාය නගරය වෙනුවෙන් මුහුද ගොඩ කිරීම සඳහා කැඩිය යුතු සීගිරියට වඩා විශාල ගල් ප්‍රමාණය ගැන, උගන්ඩා වේ සඟවා ඇති මුදල් ගැන ආදී වශයෙන්, වර්තමාන ආණ්ඩු නායකයන් එදා කරනු ලැබූ ප්‍රකාශ එලෙසින්ම ප්‍රචාරණය කරනු ලැබුවේ ද චූදිත මාධ්‍ය ප්‍රමුඛ මාධ්‍ය ඇණියම බව අද ඔවුනට අමතකව ඇති සේය. වෙනසකට ඇත්තේ එදා පාලක පක්ෂය, එම ප්‍රවෘත්ති ප්‍රචාරණයෙන් උරණව, එම මාධ්‍ය ආයතන දංගෙඩියට දැක්කීම සඳහා සරම් කැසපට ගසාගත් ගමේ චණ්ඩීන් මෙන් කෑ නොගැසීම පමණි.

මා මතකය නිරවුල් 1970 පසුව බිහිවූ සෑම ආණ්ඩුවක්ම තම පාලනයේ සොහොන් ලකුණ නියම කරවා ගත්තේ මෙලෙස මාධ්‍ය භීතිකාවෙන් ඔත්පලව, ඊට නියම ඖෂධ බවට විශේෂ නාමධාරී හොර වෙදුන් නිර්දේශ කළ ගොඩ බෙහෙත් පානය කිරීමෙනි.

ලැබුණු බලයේ ප්‍රමාණය කොතරම් විශාල වුවද පාලක සිතිවිලි කුඩාවන්නේ නම් දේශපාලන බුන්වත්භාවය, මෙලෙස ස්වයංව ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැකි බව දේශපාලන විද්‍යාවේ එක් ශාස්ත්‍රීය උපකල්පනයක් වේ. නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන්නාගේ ද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම බව නූතන නිර්වචනයයි. එය, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාෂණයේ නිදහස ලෙස තුන්වෙනි පරිච්ඡේදය නමින් අවධාරණය කොට තිබේ.

අසූව දශකයේ අග, පාලකයින්ගේ දින රහිත මරණ සහතික සාක්කුවේ තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් පෑන අතටගත් මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම, ඉතාම කෙටි කාලයක් තුළ හෝ වෘත්තියේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ජන මාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙය මෙලෙසින්ම සටහන් නොකරන්නේ නම් එය, ඉතිහාසයට අකාරුණික වීමක් වනවා නිසැකය. ඒ අනුව, සහෝදරත්වය පෙරදැරිව අප පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ වලදී “හඳ” පෙන්වමින් ජනතාවට දිගු කළ පොරොන්දු වෙනුවට, ඔබගේ “ඇඟිලි” දෙස බැලීමේ උවමනාවක් ජනමාධ්‍යයට නැති වග තේරුම් ගැනීම, ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වන්නට පුළුවන් බව පමණි. එමෙන්ම, “ලබ්බට තැබූ අත පුහුලටද දික්වීම නියතයක්” බව මේ මොහොතේ දබර ඇඟිල්ල එසවී නැති අනෙකුත් මාධ්‍ය ආයතන ද සිහිපත් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කිවමනා නොවේ.

මිත්‍රවරුනි, කලෙක මා මෙන්ම ඔබ ද ගුරු කොටගත් දේශපාලන න්‍යායන් නැවත පීරා බැලීමට කාරුණික වුව මැනවි. එවිට, “න්‍යාය ටොන් එකකට වඩා, භාවිතාව අවුන්සයක් වටිනා බව” ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා දැනුදු ප්‍රමාද නැත.

ඩලස් අලහප්පෙරුම
නායක,
නිදහස ජනතා සභාව.
09.01.24

විශේෂාංග

සුබ උපන්දිනයක්  Wikipedia

Published

on

By

අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව ඇත.

2001 ජනවාරි 15 වැනි දින ජිමී වේල්ස් තම සගයින් පිරිසක් සමඟ විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කලේය.

න් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකට ආසන්නය.

මේ වනවිට විකිපීඩියා යනු ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පසුවන්නකි.

විකිපීඩියා යනු සෑම දෙයකටම විශ්වාසදායක නොවිය හැකි වුවද, විකිපීඩියාව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ සහ ප්‍රවේශ විය හැකි තොරතුරු සහිත දැවැන්ත පුස්තකාලයක් නිර්මාණය කර ඇත.

අද (15) දිනට යෙදෙන විකිපීඩියා දිනයේදී එහි උපන්දිනය සෑම වසරකම විකිපීඩියා දිනයේදී සමරනු ලැබේ!

Continue Reading

විශේෂාංග

රාජ්‍ය සේවක කප්පාදුව ලඟයි

Published

on

By

ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10  දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා  ඉදිරිපත් වී ඇත. රාජ්‍ය සේවයේ සේවක අතිරික්තය, එලදායීත්වය හා නාස්තිය ප්‍රමාණය පිළිබඳ ගැඹුරු සංවාදයක් රට තුල නැත. රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධානයත්, වියදම් පාලනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණු ක්‍රියාවලියකි.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අද වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 කි.  2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත. අද වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.  1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසාය. 

රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවට පවා අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි.  රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය.  2013 වසරට පසු මේ දක්වා ලංකා රාජ්‍ය සේවයේ කාර්‍ය මණ්ඩල සමාලෝචනයක් සිදුකර නැත. සරළව, වසර 12 කින් රාජ්‍ය අංශයේ සේවා ප්‍රසාරණය වීම්, ව්‍යුහාත්මක වෙනස්වීම් අධ්‍යයනය කරමින් රටේ එලදායී කාර්ය සාධනය සඳහා සිටිය යුතු කාර්‍ය මණ්ඩල සමාලෝචන සිදුකර නැත. 

මේ නිසාම, ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයතු කරන   හුලංගමුව මහතා රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු යැයි කියන විට, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ එය ලක්ෂ 10 ක් විය යුතු යැයි දැක්වේ. තවත් පැත්තකින්, රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණයකට යොමු වන්නේ නම්, ලක්ෂ 2 ක රාජ්‍ය සේවාවක් ප්‍රමාණවත් බව ද අදහසක් ඇත.  

සැබවින්ම රාජ්‍ය සේවය කුමන ප්‍රමාණයකට කපා දැමිය යුතුද, නැතිනම් සීමා කළ යුතු ද යන මේ කතා එකකටවත් කිසිදු විද්‍යාත්මක, තාක්ෂණික පදනමක් නැත. එක් එක් පුද්ගලයාගේ හිතට දැනෙන ඉලක්කම් ඔවුහු මයික්‍රෆෝන් ඉදිරිපිට පවසති. 

ඇත්තමට ගැටළු මොනවාද? 

රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. වරින් වර සේවා අවශ්‍යතා මත පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සිදු කරන ඉල්ලීම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් නෑ. මම දකුණු පළාත් ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කරන සමයේ දී, දැනට පළාත් සභාවලට NBT බදු අය කිරීමක් සිදු නොවන නිසා බදු නිලධාරීන් (tax officers) ගේ අවශ්‍යතාවයක් නොමැති බව හදුණාගනු ලැබූවේය. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් වැඩි කරගත යුතුයි. නමුත්, වසර 6 ක් ගතවී ඇතත් බදු නිලධාරී තනතුරු යටපත් කර තක්සේරු තනතුරු ලබා දෙන්නැයි කළ ඉල්ලීමටවත් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉටු වී නැත.  

ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත.  මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු බව කාර්ය මණ්ඩල සමාලෝචනයකින් තහවුරු වනු ඇත.  

අනෙක් අතට රටට අදායම් ලබා ගත හැකි පළාත් පාලන, ඉඩම් ආදී අංශයන් හි අවශ්‍ය සේවක සංඛ්‍යා නැත. රාජ්‍ය සේවය දේශපාලනඥයින් හා බලධාරීන් විසින් රටට බරක් කර ඇත්තේ එලෙසිනි.  

රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලබා දී ඇත. එයට අනුරූපව රාජ්‍ය සේවයේ විශාල ව්‍යුහාත්මක වෙනස්වීම් අවශ්‍ය වනු ඇත.  රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට ලක් කිරීමට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත.  අනෙක් අතට, එහි වාසිය ලබා දැනට සේවයේ සිටින විශාල පිරිසක් වඩාත් එලදායී කටයුතු සඳහා යෙදවිය හැකිය. 

ඉහළ තනතුරු (ලේකම්, දිසාපති) වලට තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා මත පදනම්වූ නිර්ණායක අනුව තෝරා ගැනීම් කළ යුතුයි. අද ඉහත තනතුරු සඳහා පත්වන බහුතරය ජ්‍යෙෂ්ඨත්වය හා දේශපාලන ලැදියාව මත පත්වීම් ලබති.  ලොක්කන් දක්ෂයන් නොවන තැන්වල දෙවන පෙළක් ගොඩ නැගෙන්නේ නැත. 

රාජ්‍ය සේවය දීප ව්‍යාප්ත සේවා ඛාණ්ඩ රැසක ඉහළ තනතුරු රැසක් පුරප්පාඩු වී ඇත. පසුගිය ජනවාරි 1 දින 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ‘පරිපාලන සේවයේ’ නිලධාරියෙකු රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට පත් කරනු ලැබීය. මුද්‍රණ සේවයේ මුල් පිටු 6 ම මේ වන විට පුරප්පාඩු වී ඇත. මුද්‍රණ සේවයේ ඉහළම නිලධාරියා ‘දෙවන සේවයේ’ අයෙකි. නිලධාරීන්ට කලට වේළාවට සේවා උසස්වීම් ලැබෙන්නේ නැත. නැතිනම්, ඒවා ලබාදීම සුක්ෂම ලෙස වලක්වනු ලබයි. රාජ්‍ය සේවයේ ‘කුල’ හෙවත් ‘සේවා’ අතට ගැටුම බරපතල තැනකට පැමිණෙමින් ඇත. 

ජාතික හෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ද මෙලෙසම පරිපාලන සේවයේ නිලධාරියෙකු විසින් දරනු ලබයි. මේ පත්වීම් රැසක්ම සිදු කර ඇත්තේ පුද්ගලික හිතවත්කම් මතය. 

සබරගමුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ආණ්ඩුකාරතුමිය විසින් ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව පරිපාලන සේවය බලහත්කාරී විරෝධයක් පළ කර එම පත්වීම වැලක්වනු ලැබීය. රාජ්‍ය සේවයේ ඉහළ සිට පහලටම ඉංජිනේරු, කෘෂිකර්ම සේවාවන් හි ද මෙවැනි ගැටුම් උත්සන්න වෙමින් ඇත. 

රාජ්‍ය සේවක පිරමිඩයේ ඉහළම කොටසට වඩා, දෙවන කොටස කුඩා වීම සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.  එය වහා නිවැරදි කළ යුතු තත්වයකි. 

රාජ්‍ය සේවයේ, ආයතනයක, අමාත්‍යාංශ සඳහා වරින්වර අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසා රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වී ඇත.  අද එය පිරිමීයක් නොව, ‘කලයක’ නැතිනම් ‘බඩ තඩි මුදලාලි’ රූපයක් (රූපය බලන්න) ගෙන ඇත. මේ සේවක පිරමීඩයේ මැද කොටස ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙන් පිරී ඇත. ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත. රාජ්‍ය සේවයේ සේවක පිරමිඩය ස්ථාපනයකින් තොරව කිසිදු මානව සම්පත් කලමනාකරණයක් යථාර්ථවාදී විය නොහැකිය. 

තමන්ට ලැබෙන රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතා, කුශලතා, දුබලතා හඳුණා ගැනීමක් බොහෝ විට රාජ්‍ය සේවයේ සිදුවන්නේ කලාතුරකිනි. පිහිනන්නට දක්ෂයා, රස්සාවට ගස් නග්ගවන ස්වරූපයක් රාජ්‍ය සේවයේ ඇත. 
මේ වන විට මධ්‍යම රජය සහ පළාත් සභාවල ‘කාර්ය මණ්ඩලය සමාලෝචනයක්’ සිදු කරමින් ඇත. එමගින් සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ සිටිය යුතු සංඛ්‍යාව හා තනතුරු ප්‍රමාණය තීරණය කිරීමට ‘රාජ්‍ය සේවයට’ හැකියාව පැවතිය යුතුය. 

රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවක සංඛ්‍යාව 50% කට  ආසන්නව පහළ දැමීම නම්, අනිවාර්යයෙන්ම වත්මන් රජයට කෙටි කාලීන පීඩනයක් එල්ල විය හැකි නමුත් රටක් ලෙස දිගු කාලීන වාසි අත්කර ගත හැකිය. අනෙක් අතට එවැනි යෝජනාවකට එරෙහිවිය හැකි වෘත්තීය සමිති සියල්ලම වත්මන් රජයට සහාය දක්වන අතර ඒවායේ නායකයින් රජයේ තනතුරු දරමින් සිටී.

 
නිදහසින් පසු පලමුවරට රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමුව තිබීම ප්‍රශංසා කටයුතුය. එයට බාධා නොකර සිටීම විපක්ෂයේ වගකීමකි. 

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

“Clean Sri Lanka” කියන්නේ මොන කොස්සෙන් අතු ගානවටද?

Published

on

By

රථවාහනවල වර්ණ හා අනවසර වෙනස් කිරීම්, අනවශ්‍ය ශබ්ද සහිත නලා හා අමතර කොටස් සවිකර තිබීම, ධාවනයට නුසුදුසු තත්ත්වයේ රථවාහන වැනි මගීන්ට හා අනෙක් වාහන වලට හිරිහැරයක්වන සියල්ල සොයා බැලීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව සෑම දිනකම පැය 03 බැගින් දවසකට දෙවරක් සිදු කළ යුතු යැයි වැ.බ පොලිස්පති වශයෙන් නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඉකුත් ජනවාරි 01 වන දින පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට නිල දැන්වීමක් කර ඇත.

ඊයේ පෙරේදා විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍යවල මාතර වෙරළ පිරිසිදු කිරීමේ “සුපිරි වැඩක්” යැයි තරුණ තරුණියන් කිහිප දෙනෙකු ප්ලාස්ටික් බෝතල්, සිලිසිලි බෑග්, ටින් කෑලි, කඩදාසි කෑලි, අහුලන විඩියෝවක් විකාශනය විය.

තවත් වාර්තාවක් කියුවේ ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල වලද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන් දියත් කළ බවය. ඒ අතර යූටියුබ් නාලිකාවල “අපි කාමරේ ක්ලීන් කරමු – කුස්සිය ක්ලීන් කරමු – එන්න මල්වත්ත ක්ලීන් කරමු” යැයි විනාඩියක දෙකක විඩියෝ පට කිහිපයක් දුටිමි.

ඇත්තටම “ක්ලීන් ශ්‍රී ලංකා” වලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහි නිල වෙබ් අඩවියට අනුව, මූලාරම්භය ඇත්තේ “ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වඩාත් පිරිසිදු, හරිත හා තිරසර බවට උසස් කරලීම අරමුණු කරගත් දීප ව්‍යාප්ත ව්‍යාපෘතියකය”. ඒ අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” සතු පරමාර්ථ 04 කි. 1. සදාචාරාත්මක භාවිත වැඩි දියුණු කිරීම, දූෂණය සඳහා ශුන්‍ය ඉවසීම, මහජන වගවීම සහ “ත්‍යාග විශිෂ්ටත්වය” (???) 2. පාරිසරික වගකීම සහ සමාජ විඥාණය පිළිබඳ චින්තනයක් ඇති කිරීම 3. ස්වාභාවික සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම මගින් පිවිතුරු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ 4. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්‍රව්‍ය කලමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම වන්නේ ය.

මේවා ඉංග්‍රීසියෙන් සිතා ඉංග්‍රීසියෙන් ලියූ ජනාධිපති අනුර කුමාර ගේ කොළඹ ඉහළ මැදපංතික විශේෂඥ උපදේශකයින්ගේ කතා බැව් නිල වෙබ් අඩවිය කියවූ විට පැහැදිලි වන්නකි. පසුව අවුල් සහගත, තේරුම් ගැනීමට අපහසු සිංහලයකට පරිවර්තනය කෙරුවකි. අංක 01 හි “ත්‍යාග විශිෂ්ටත්වය” යැයි කියන්නේ ඉංග්‍රීසියෙන් “rewarding best practices” යැයි කියා තිබෙන්නටය. සිංහලෙන් එය කිව යුත්තේ “…. විශිෂ්ට ක්‍රියාකාරකම් සඳහා ඇගයීම්” යැයි කියා ය. අංක 02 ලෙස සිංහලෙන් ලියා ඇති “….සමාජ විඥාණය පිළිබඳ චින්තනයක් ඇති කිරීම” යන්න ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ “සමාජ සවිඥාණකත්වයක් ඇති මානසිකත්වයක් පෝෂණය කිරීම” (Foster a mindset of social consciousness) යනුවෙනි. එවැනි අපබ්‍රංස සිංහල යෙදීම් වලට හේතුව මෙය “පිවිතුරු ශ්‍රී ලංකා” යැයි නොකියා, සිංහල එෆ්.එම් නාලිකාවල භාවිත කෙරෙන සිංග්ලිෂ් වලින් “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි “Brand” කිරීමෙන්ද පැහැදිලි කෙරෙන්නෙකි.

කෙසේ නමුත් මෙය “අපේ පමණක් නොව, ඔබේත් වගකීමක්” යැයි ජනාධිපති සමග ආණ්ඩුවේ නායකයින් ජනතාව මත සියලු වගකීම් පටවමින්, “ස්වේච්ඡා ක්‍රියාකාරීන්” යැයි තරුණ පිරිස් ගොනු කර ගැනීමෙන් සහ අන්තර්ජාලය හරහා දානපතියන්ගෙන් අරමුදල් එකතු කිරීම් කල් තියා කියන්නේ මෙහි ප්‍රදර්ශනාත්මක හා ප්‍රචාරාත්මක අන්තර්ගතයක් මිස වෙනකක් නොමැති බවය.

PIC 1 @ whatsapp

මෙහි ඇති කිසිවකට ස්වේච්ඡා ක්‍රියාධරයින් මගින් විසඳුම් දිය නොහැකිය. වෙරළ අපිරිසිදු කිරීමට එරෙහිව තරුණ කණ්ඩායම් ඔවැනි රොඩු-බොඩු එකතු කිරීමේ “ශ්‍රමදාන” පසුගිය දසකයකට වැඩි කාලයේ අප්‍රමාණව ක්‍රියාවට දමා ඇත. වෙරළ සම්බන්ධව ඇති ප්‍රධානම හා බරපතලම ප්‍රශ්නය වන්නේ ඔවැනි රොඩු-බොඩු මගින් වෙරළ අපවිත්‍රවීම නොවේ. බරපතලම ප්‍රශ්නය වන්නේ කෙළවරක් නැතිව කිලෝමීටර ගණන් එක දිගට, ඉදිකර ඇති අනවසර ගොඩනැගිලිය. ඒවාට වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ලබා දී ඇති අවසර පත් ය. ඉඳහිට වෙරළේ රොඩු-බොඩු ඉවත් කළ පමණින් වෙරළ කාදනයට හා පරිසර විනාශයට හේතුවන අනවසර ඉදිකිරීම් ඉවත් වන්නේ නැත.

පොලීසිය විසින් මගී බස් රථවල අනවශ්‍ය ශබ්ද සහිත නලා හා ත්‍රීරෝද රථවල අමතර කොටස් සවිකර තිබීම මීට පෙර කිහිපවර තහනම් කර තිබිණ. මගීනට අවහිර වන ආකාරයේ වාහන ධාවනයට දඩුවම්කර ඇත. වසරකට වරක් හෝ දෙකක් පාසල්වල රජයේ කාර්යාලවල ශ්‍රමදාන මගින් පිරිසිදු කිරීම් කෙරෙන්නේය. මේ කිසිත් අලුත් නැත. මේවාද කාලයක් පුරා අප අවට සිදුවූ තාවකාලික වැඩ ය. මෙහි අලුත් බවක් ඇත්තේ මෙවර ජනාධිපති විසින් ඒ සියල්ල “රටම පිරිසිදු කිරීමේ” ජාතික වැඩපිළිවෙලක් ලෙස ජනවාරි පළමු දින දිගු කතාවක් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙහි පමණි.

“ක්ලීන් ශ්‍රී ලංකා” සිව් වැදෑරුම් පරමාර්ථ ඉටුකර ගැනීමේ “මෙහෙවර” ලෙස සඳහන් වන්නේ “ජාතික වශයෙන් වන පාරිසරික, සමාජීය සහ (ආණ්ඩු) පාලන මූලාරම්භ වෙනස්කම්, අන්තර්ග්‍රහණ සහ හවුල්වීම් මගින් අලුතින් ස්ථානගත කිරීම” යනුවෙනි (සිංහල වෙබ් අඩවියෙහි ඇති පරිවර්තන අවුල නිසා මෙය ඉංග්‍රීසි අඩවියෙන් ගත්තකි). එවැනි නව ස්ථානගත කිරීම් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තත් ඒවා “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ලෙස ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරීන් මගින් කළ හැකි නොවේ.

අද අවශ්‍ය වන්නේ දේශපාලන බලපෑමෙන් තොර, සමාජ වගකීම් ස්වාධීනව, කාර්යක්ෂමව හා දූෂණයෙන් තොරව ඉටු කරන්නාවූ රාජ්‍ය සේවාවකි. ඒ වෙනුවෙන් වන දුර දිග යන ප්‍රතිසංස්කරණ සහිත ව්‍යුහාත්මක ප්‍රතිසංවිධනයකි. වෙරළ සංරක්ෂණ නීති කොන්දේසි උල්ලංඝණය කර ඉදිකර ඇති නීති විරෝධී ගොඩනැගිලි ඉවත් කිරීමේ ස්වාධීන තීන්දු ගත හැකි කාර්යක්ෂම රාජ්‍ය සේවාවකි. දේශපාලන හා මුදල් බලය මත අනවසර කැලෑ කැපීම් නතර කළ හැකි ස්වාධීන, කාර්යක්ෂම රාජ්‍ය සේවාවකි. දේශපාලනයෙන් තොර සාධාරණව, යුක්ති සහගත ලෙස “අස්වැසුම” ක්‍රියාත්මක කරන්නාවූ රාජ්‍ය සේවාවකි. වාහන වර්ණ හා අනවසර වෙනස් කිරීම්, අනවශ්‍ය ශබ්ද සහිත නලා හා අමතර කොටස් සවිකර තිබීම, ධාවනයට සුදුසු තත්ත්වයේ රථවාහන තිබේද යන කාරණා පිරික්සීමෙන් පසු වාර්ෂික ආදායම් බල පත්‍ර නිකුත් කරන්නාවූ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන ය. අද අත්‍යාවශ්‍ය වන්නේ එවැනි දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. ස්වේච්ඡා ක්‍රියාධරයින් නිත්‍ය රාජ්‍ය සේවාවකට ආදේශකයින් නොවන්නේ එනිසා ය.

එවැනි නව ස්ථානගත කිරීම් සඳහා වන ශක්‍යතාවක් ඇති රාජ්‍ය සේවාවක් වෙනුවෙන් පළමු හා ඉතාම වැදගත් දේශපාලන අවශ්‍යතාව වන්නේ ආණ්ඩුව සතු වැඩපිළිවෙල ය. ආණ්ඩුව එය සමාජ කතිකාවකට තබන්නේද නැද්ද යන්න, ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කවරක්ද යන්න තීන්දු කරන්නකි. ඒ අර්ථයෙන් ගත් විට මේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය සිල්ලර සෙල්ලමකි. මෙවැනි කොස්සකින් අතු ගා ශ්‍රී ලංකාව “ක්ලීන්” කළ නොහැක. මාලිමා ආණ්ඩුව අගට ගෙන ඇති මේ කොස්ස තව මාසයකින් හමාරකින් පැත්තකට දමන්නට සිදු වන්නකි.

කණගාටුවට කරුණ නම්, මෙයට හවුල්වන තරුණ ස්වේච්ඡා ක්‍රියාධරයින් ඉන්පසු සමාජයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ය.

– කුසල් පෙරේරා 
2025 ජනවාරි 04

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved