Connect with us

විශේෂාංග

මැතිවරණ ප්‍රචාරණයට ඔබේ ‘දුරකතන අංක විකුණා මිලියන ගණන් සල්ලි හොයන දත්ත ජාවාරමක්’

Published

on

“A දිස්ත්‍රික්කයේ ජනතාවගේ එක ම තේරීම Y…” මේ මාගේ ජංගම දුරකතනය වෙත මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලැබුණු කෙටි පණිවිඩයකි.

ඒ, මෙම කාල සීමාව තුළ මා වෙත ලැබුණු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ කෙටි පණිවිඩ 40කට අධික සංඛ්‍යාවෙන් එකකි.

මැතිවරණ නිහඬ කාල සීමාව ඇරඹී ඇති හෙයින්, අදාළ අපේක්ෂකයන්ගේ තොරතුරු හෙළි නොකරන බව සලකන්න.

නමුත් එවැනි පණිවිඩයක් ලබා ගැනීම සඳහා මා කිසිදු අවස්ථාවක, කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් කර නොමැත. එපමණක් නොව, එය මා පදිංචි දිස්ත්‍රික්කයට වඩා හාත් පසකින් ම වෙනස් දිස්ත්‍රික්කයකි.

කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය.

ඇතැම් පාර්ශව වෙත මෙම ලිපිය පළ වන මොහොත වන විටත් මෙම පණිවිඩ ලැබී තිබිණි.

මෙවැනි කෙටි පණිවිඩ මීට පෙර ද මෙම මහ මැතිවරණ සමයේ පමණක් නොව ඉකුත් ජනාධිපතිවරණ සමයේ ද අපේක්ෂකයින්ගේ නම්වලින් මා වෙත ලැබුණු හෙයින්, එය මා වෙත පමණක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව මම විමසා බැලීමි.

එහිදී අනාවරණය වූයේ, ඇතැම් පාර්ශ වෙත කෙටි පණිවිඩ පමණක් නොව විටෙක දේශපාලන පක්ෂවල ප්‍රචාරක තොරතුරු ඇතුළත් දුරකතන ඇමතුම් පවා ලැබී ඇති බව ය.

ඒ අනුව, මේ දක්වා වත්මන් පාලක පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකින් ම මේ දක්වා මා වෙත මාගේ අනුමැතියකින් තොරව කෙටි පණිවිඩ ලැබී තිබේ.

ප්‍රශ්නය මෙයයි. ඉල්ලීමක් නොකර, අපගේ අවසරයකින් ද තොරව එලෙස අප වෙත කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබෙන්නේ කෙසේ ද? යන්න ය. ඉන් අපගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් එල්ල නොවන්නේ ද? යන්න ය.

කලක් තිස්සේ සිත තුළ කැකෑරෙමින් තිබුණු මෙම ගැටලුවට පිළිතුරු සෙවීම ඇරඹුණේ එලෙසිනි.

කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය

පළමු පියවර: දුරකතන සන්නිවේදන සමාගම ඇමතීම

පළමු පියවර ලෙස මම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ දුරකතන සමාගම විසින් සපයනු ලැබ ඇති දුරකතන අංකය ඔස්සේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු ලෙස එහි නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට සමත්වීමි.

ඇය වෙත මාගේ ප්‍රශ්නය යොමු කළේ, මෙම ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් (subscribe) නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“යම් කිසි ප්‍රදේශයකින්, තෝරාගන්න ඩීටේල්ස්, ඉලෙක්ෂන් යන කට්ටියගේ ඩීටේල්ස් ගද්දි ෆෝන් නම්බර් එකත් ගන්නවා,” ඇය පැවසුවා ය.

“මට පැහැදිලි නැහැ?,” මම පෙරලා ප්‍රශ්න කළෙමි.

“ඡන්දය දාන්න ඩීටේල්ස් ගන්න එනවනේ. එතකොට සර්ගේ නම, NIC නම්බර් එක, දුරකතන අංකය, ගෙදර කී දෙනෙක් ඉන්නවා ද, ඒ ඔක්කොම ගද්දි, එතනින් ඒ ප්‍රදේශයකින් තෝරගෙන, ඒ නම්බර්ස් ටික අරගෙන තමයි සර් සර්ලට ඒ සර්විස් එක ලබා දෙන්නේ,” ඇය තරමක් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා ය.

නමුත් මා ඇය වෙත පිළිතුරු දෙමින් සඳහන් කළේ, එය සේවාවක් නොවන බව ය.

“ඔයාලගේ පැත්තෙන් [ආයතනය මගින්] එහෙම ගිහිල්ලා නැද්ද? මම නැවතත් ප්‍රශ්න කළෙමි. ඊට පෙරලා පිළිතුරු දෙමින් ඇය අවධාරණය කළේ, තම ආයතනය කිසි විටෙකත් පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු එලෙස තවත් පාර්ශවයක් වෙත නොදෙන බව ය.

එලෙස පණිවිඩ ලැබීම “කරදරයක් නම්” ඒවා ලැබීම නතර කිරීමට අවශ්‍ය උපදෙස් අනතුරුව ඇය මා වෙත ලබා දුන්නා ය.

මීට අදාළ පැමිණිල්ලක් ලඝු කර ගැනීමෙන් අනතුරුව එම දුරකතන සංවාදය අවසන් විය.

“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.

දෙවන පියවර: ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම

‘ඩේටා බ්‍රෝකර්’ යන වචනය ඇතැම් විට ඔබට එතරම් හුරුපුරුදු නැතිවා විය හැකි ය. එය පිළිබඳව මා ද යම් අවබෝධයක් ඇති කර ගත්තේ මෙම ලිපිය සඳහා අවශ්‍ය තොරතුරු ගවේෂණ කටයුත්තේ නියැලෙද්දී ය.

මා අවබෝධ කර ගත් ලෙස ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු යනු, අපගේ දුරකතන අංක ඇතුළත් ‘දත්ත පද්ධතියක්’ ඇති සහ ඒවා යම් මිලකට තවත් පාර්ශවයක් වෙත අලෙවි කරන නියෝජිතයෙකි.

එක් එක් පාර්ශවවල අවශ්‍යතාව අනුව ඔවුන්ට එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ දුරකතන අංක ලබා දීමේ හැකියාව පවතී.

ඒ අනුව, දෙවන පියවර වශයෙන් ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම ඇරඹිණි.

“හෙලෝ… [අදාළ පුද්ගලයාගේ නම]…” මම මෙරට දුරකතන සන්නිවේදන සේවා සපයන සමාගමක පුද්ගලයෙකු ඇමතීමි. ඒ, මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙසිනි.

“ගුඩ් ආෆ්ටර්නූන්!” ඔහු මට ආචාර කළේ ය.

“ඔයා [ආයතනයේ නම] නේද?, මම [මගේ නම] කියලා කෙනෙක් කතා කරන්නේ.” මම විමසීමි.

ඔහු එය සනාථ කරමින් මා වෙත පිළිතුරු දුන්නේ ය.

අනතුරුව මම ඍජුව ඔහුගෙන් මට අවශ්‍ය වූ කාරණය පිළිබඳව විමසීමි.

“මට දැනගන්න පුළුවන් ද Bulk SMS යවන එක කොහොම ද කෙරෙන්නේ කියලා දැනගන්න?”

ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් මාගෙන් විමසුවේ, මෙය මැතිවරණය සම්බන්ධ කටයුත්තක් බව ද යන්න ය. ඒ සඳහා පිළිතුරු දුන් පසු ඔහු මා සතුව ‘ඩේටා බේස්’ එකක් තිබේදැයි ප්‍රශ්න කළේ ය.

මම ඔහුට පැහැදිලි කළේ, මේ පිළිබඳව එතරම් අවබෝධයක් මා සතුව නොමැති බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන ලෙසත් ය.

“ඩේටා බේස් එකක් තියෙනවා නම්, ඔයාට ගේට් වේ එකක් [ආයතනයේ නම] ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න පාට්නර් කෙනෙක් එක්ක තමයි කැම්පේන් එක කරන්න වෙන්නේ. [ආයතනයේ නම] එකෙන් ටාගට් කරලා කරන්නේ නැහැ.”

අවශ්‍ය නම් එවැනි නියෝජිතවරයෙකු මා වෙත සම්බන්ධ කර දීමේ හැකියාව ඇති බව ඔහු පැවසීය. අනතුරුව මෙහි කිසියම් නෛතිකමය ගැටලුවක් ඇතිදැයි මම ඔහුගෙන් විමසීමි. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, “එහෙම ගැටලුවක් නැහැ. මේ ටිකේ යනවනේ ගොඩක් ඒවා.”

ඔහු මා වෙත නියෝජිතවරයකුගේ දුරකතන අංකයක් ලබා දුන් අතර, ඒ වන විටත් අපගේ කණ්ඩායමේ සෙසු මාධ්‍යවේදීන්ගේ ද උත්සහයෙන් මා වෙත තවත් නියෝජිතවරුන් දෙදෙනෙකුගේ දුරකතන අංක ලැබී තිබිණි.

“[ආයතනයේ නම] එකෙන් දුන්නේ කියලා ඔයා කතා කරන්නකෝ, මම නම්බර් එකක් එවන්නම්,” එම සංවාදය එලෙස අවසන් විය.

තෙවන පියවර: ‘අපි ගාව තියෙනවා මිලියන දෙකක් විතර නම්බර්ස්’

මම යළිත් මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔවුන් තිදෙනා අතරින් එක් ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු ඇමතීමි.

එහිදී ඔහු මා පිළිබඳව යම් තොරතුරු කිහිපයක් විමසා, මා ප්‍රශ්න කළ පරිදි SMS ප්‍රචාරණ කටයුත්තට අදාළ තොරතුරු පැවසීම ආරම්භ කළේ ය.

“මාස්ක් එකත් එක්ක ද යවන්න ඕනේ?,” ඔහු ප්‍රශ්න කළේ ය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අවබෝධ කර ගැනීම සඳහා මම ඔහුගෙන් “මාස්ක් එකක් කියන්නේ? කවරක් ද යනුවෙන් පෙරලා ප්‍රශ්න කළෙමි.

ඊට පිළිතුරු දෙමින් ඔහු පැහැදිලි කළේ, යම් අයෙකුට යම් නමකින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, ඔහු හෝ ඇය එම පණිවිඩය යැවීමට භාවිත කරන නම “මාස්ක්” එක බව ය.

උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.

ඔහු පෙන්වා දුන්නේ, එය සකස් කර ගැනීම සඳහා රු. 3,000ක පමණ සැකසුම් ගාස්තුවක් අය කෙරෙන බව ත්, ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ත් ය. එසේ නොමැති නම් ‘ජෙනරල් මාස්ක්’ එකක් යටතේ පණිවිඩය යැවිය හැකි ඔහු පැවසීය.

ඔහු එසේ පැවසුවා ද මා මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් සඳහන් කළේ, අදාළ ‘මාස්ක්’ එක ලබා ගත යුත්තේ, “ජංගම දුරකතන ක්‍රියාකරුවන්ගෙන්” බව ය.

“මාස්ක් එක ගන්න ඕනේ ඔපරේටර්ගෙන්. විදුලි සංදේශ සේවාවක් සැපයීම සම්බන්ධයෙන් අපි එහෙම ඍජුව සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. කිසියම් ම වූ විදුලි සංදේශන සේවාවක් අපි ඍජුව සපයන්නේ නැහැ,” මා සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියා අවධාරණයෙන් යුතුව පැවසීය.

උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.

‘ඩේටා බ්‍රෝකර්’ සමග සංවාදය තවදුරටත්…

මා සමග සංවාදයේ නිරතව සිටි ‘ඩේටා බ්‍රෝකර්’ ඔහු සතුව ඇති දුරකතන අංක පිළිබඳව පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

“අපි ගාව දිස්ත්‍රික්ක අනුව ෆිල්ටර් කරපු ලිස්ට් එකක් තියෙනවා. ගාල්ලේ ලක්ෂ 6.5ක වගේ බේස් එකක් ඉන්නවා. මාස්ක් එක වන් ටයිම්. අපිට [රුපියල්] 1.25කට වගේ යවලා දෙන්න පුළුවන් [එක පණිවිඩයක්]. ටැක්ස් හැම දෙයක් එක්ක ම.”

ඔහු පෙන්වා දුන්නේ, දුරකතන අංක මිලියන 2ක් පමණ තිබුණ ද, නිවැරදි ඒවාට පමණක් අදාළ කෙටි පණිවිඩ යවන බව ය.

“අපි ගාව තියෙනවා මිලියන් 2ක් විතර නම්බර්ස්. ඒවා ෆිල්ටර් කරලා, කරලා, ඇකියුරේට් ඒවාට විතරයි අපි යවන්නේ. මිලියන් 2ක් තිබ්බට එක ඔයාලට දෙන්නේ නැහැ. කොළඹ ලක්ෂ 7.40ක් වගේ තමයි තියෙන්නේ. අර රේට් එකට ම තමයි දෙන්නේ,” ඔහු තවදුරටත් පැවසීය.

දිවයිනේ ඕනෑ ම දිස්ත්‍රික්කයකට අදාළ දුරකතන අංක එලෙස තමන් සතුව පවතින බව ඔහු ම හා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව 2024 තුන්වන කාර්තුව වන විට මෙරට ලියාපදිංචි ජංගම දුරකතන ග්‍රාහකයින් ගණන 27,509,473කි.

සෙලියුලර් දුරකතන Voice Call සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව

(2020 – 2024 III කාර්තුව)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව • සටහන: මොබයිල් ඩේටා සඳහා ලියාපදිංචිවීම්වල දත්ත ඇතුළත් කර නැත

අදාළ දුරකතන අංකවල හිමිකරුවන් සිටින ප්‍රදේශය තහවුරු කර ගන්නේ, “ට්‍රාන්ස්පෝට් යූස් කළා ම, සුපර් මාකට් ගිහිල්ලා ඒවාට යූස් කළා ම,” බව අදාළ ‘බ්‍රෝකර්වරයා’ සඳහන් කළේ ය. එමෙන් ම අදාළ තොරතුරු, ජංගම දුරකතන ක්‍රියාකරුවන් ලබා නොදෙන බව ත් එවැනි දත්ත භාවිත කිරීමේ නෛතික ගැටලුවක් නොමැති බව ත් ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් “සමාගමක්” ලෙස මෙම කටයුතු සිදු කරන බව ය.

මීට පෙර සඳහන් කළ ‘ඩේටා බ්‍රෝකර්වරුන්’ තිදෙනා අතරින් මෙවැනි ම ආකාරයට කෙටි පණිවිඩ හරහා ප්‍රචාරණ කටයුතු කරන තවත් ‘බ්‍රෝකර්වරයෙකු” සම්බන්ධ කර ගැනීමට මට හැකි විය. ඒ තවත් මාධ්‍යවේදියෙකුගේ උපකාරයෙනි.

දුරකතනය ඔස්සේ ඔහු සමග ද කෙටි සංවාදයක නිරත වූ අතර එහිදී අනාවරණය වූයේ ඔහු සතුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දුරකතන අංක මිලියන 2ක් පමණ අඩංගු දත්ත පද්ධතියක් පවතින බව ය. අවශ්‍ය ඕනෑ ම දිස්ත්‍රික්කයක සිටින ජනතාව වෙත ඒ ඔස්සේ අපට අවශ්‍ය පණිවිඩය යැවිය හැකි බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, එක් කෙටි පණිවිඩයක් සඳහා සත 55ක මුදලකට ප්‍රචාරණ කටයුත්ත සිදු කර දිය හැකි බව ත් ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියනයකට අධික මුදලක් වැය වන බව ත් ය.

කෙසේ වෙතත්, අදාළ අංක ඇතුළත් දත්ත ලැයිස්තුව අප වෙත ලබා නොදෙන බව ත්, කෙටි පණිවිඩ යැවූ පසු ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

මෙම ‘බ්‍රෝකර්වරයා’ ද පැවසුවේ, නමක් සඳහන් කර කෙටි පණිවිඩයක් යැවීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ය.

නමුත් එම ප්‍රකශය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේ ය.

දුරකතන අංක එළියට යන්නේ කොහොම ද? බරපතළකම මොකක් ද?

මේ දක්වා මෙහි සංවාදයට ලක් වුණු, ‘ඩේටා බ්‍රෝකර්’ යන යෙදුම මා වෙත හඳුන්වා දෙනු ලැබුවේ, සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු මෙන් ම, ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව ද අත්දැකීම් බහුල ආචාර්ය සංජන හත්තොටුව විසිනි.

ඒ, මා ඔහු සමග මෙම ගැටලුව පිළිබඳව සිදු කළ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය. ඉකුත් ජනාධිපතිවරණය පැවති සමයේ මා ඔහු සමග සිදුකළ කතාබහකදී ද ඔහු මෙම ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ඉස්මතු කළේ ය.

ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ, පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මුල් වරට කෙටි පණිවිඩයක් ඔවුන් වෙත යවනු ලැබුවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, 2010 වසරේ නව වසරේදී බව ය.

යම් පක්ෂයකට අයත් පිරිසකට, අදාළ තොරතුරු අවශ්‍ය බව පැවසූ පිරිසකට, එවැනි පණිවිඩයක් ලබා දීම ගැටලුවක් නොවුණ ද එසේ නොවන, රටේ සියලු පුරවැසියන් වෙත එවැනි පණිවිඩයක් යැවීම ගැටලුවක් බව ඔහු අවධාරණය කළේ ය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යවන ලද කෙටි පණිවිඩ පදනම් කරගෙන ආචාර්යවරයා මේ බව පැවසීය.

ඒ පිළිබඳව ඔහු විසින් ‘ලින්ක්ඩ්ඉන්හි’ ලිපියක් ද පළ කරනු ලැබ ඇති අතර ඒ ඔස්සේ, “මේක හැමෝට ම යැවුවා ද? එහෙම නම් එක කොහොම ද යැවුවේ?” යන්න ප්‍රශ්න කළ බව ඔහු මා හා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ මෙය, මේ වන විට පුරුද්දක් බවට පත්ව ඇති බව ය.

මෙය ශ්‍රී ලංකාවේ මේ දක්වා පෞද්ගලිකත්වයට සිදුව ඇති “විශාලතම තර්ජනය” බව ත් ඒ පිළිබඳව දත්ත ආරක්ෂණ අධිකාරියට “හාවක් හූවක් නොමැති” බව ත් ආචාර්යවරයා අවධාරණය කළේ ය.

ගෝලීය වශයෙන් ද මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ත් මේ වන විට ‘ඩේටා බ්‍රෝකර් මාකට්’ නිර්මාණය වී ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

“ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් වගා කරනවා. අපි ඒකට ඉන්ග්ලිෂ්වලින් කියන්නේ ‘හාවස්ට්’ කරනවා කියලා. අපි දෙනවානේ දැන් නම්බර් එක. [ආහාර සහ වෙනත් බඩු බාහිරාදිය ගැනීමට ගිය පසු]. ඒ අයට නීතිමය රාමුවක් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ, කොහෙන් ද මේ නම්බර්ස් ලීක් වෙලා තියෙන්නේ කියලා. [දුරකතන සමගාමක නමක්] කියනවා අපි දීලා නැහැ කියලා. එතකොට මැජික්වලින් නෙමෙයි නේ මේ, ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් හොයා ගන්නේ. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් ඔය නම්බර්ස් ටික ගන්නේ අපි දුන්න තැන්වලින් කියලා.”

එලෙස ලබා ගන්නා අපගේ දුරකතන අංක “කවුද? කොහේ ද? තියෙන්නේ කියලා [අපිට] කිසි ම ඉඟියක් නැහැ. මොනවට පාවිච්චි කරනවා ද කියලවත් අපි දන්නේ නැහැ,” ආචාර්ය සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ අතිශයින් ඉහළ ගොස් ඇති බව ය. මෙලෙස විවිධ පාර්ශව වෙත අපගේ දුරකතන අංක පත්වීම සයිබර් අපරාධකරුවන්ට අතිශය වැදගත් වන බව ද සඳහන් කළේ ය.

“එතකොට අපේ නම්බර් එක අපේ ඩිජිටල් ජීවිතයට විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජීවිතයටත් බලපාලා තියෙන්නේ. නම්බර් එක ගියා කියන්නේ ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ SMS එවන එක ඉඟියක් දෙනවා, ඩේටා බ්‍රෝකර්ස්ලාට කොච්චර බලයක් තියෙනවා ද කියලා,” ඔහු පැවසීය.

මේ සම්බන්ධව මේ වන විට ක්‍රියාත්මක වන නිශ්චිත නීතිමය රාමුවක් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයින් “අසරණභාවයට” පත්ව ඇති බව ආචාර්යවරයා අවධාරණය කළේ ය.

මා විසින් ඉල්ලුම් කරනු ලැබ නැති සේවාවක් අක්‍රිය කිරීම සඳහා මා වෙත දුරකතන සමගාම් උපදෙස් ලබා දීම පිළිබඳව මම ඔහුගෙන් විමසීමි.

“අන්තර්ජාතිකව පෞද්ගලිකත්වයේ මූලධර්මයක් තමයි යම් කිසි දෙයක් ඔප්ට් ඉන් (opt in) වෙන්න ඕනේ. ඔප්ට් අවුට් (opt out) නෙවෙයි. ඔප්ට් අවුට් ප්‍රිවසි (opt out privacy) ගොඩක් රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ලංකාවේ එන ගොඩක් SMS ඔප්ට් අවුට්. සමහර වෙලාවට ඔප්ට් අවුට් (opt out) එක වැඩ කරන්නෙත් නැහැ. සෙන්ට්‍රල් ඔප්ට් අවුට් (central opt out) එකකුත් නැහැනේ, ” ඔහු පෙන්වා දුන්නේ ය.

‘[පෞද්ගලික දත්ත ආරක්ෂාව පනතේ] කෙටි පණිවිඩ ගැන කියන කොටස තාම බලාත්මක වෙලා නැහැ…’ – දත්ත ආරක්ෂණ අධිකාරිය

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික දත්තවල ආරක්ෂාව සඳහා අවශ්‍ය නීතිමය බලය ලබා දී ඇත්තේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත මගිනි.

නමුත් මේ දක්වා එහි ක්‍රියාත්මක වී ඇත්තේ, කොටස් කිහිපයක් පමණි. එහි IV කොටස හැර සෙසු කොටස් සියල්ල 2025 වසරේදී බලාත්මක වේ.

ඒ, මෙසේ ය.

2023 ජූලි මස 21 වන සිකුරාදා නිකුත් කරන ලද අංක 2341/59 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, මෙම පනතේ V වන කොටස 2023 වසරේ ජූලි 17 වන දා සිට ක්‍රියාත්මක වූ අතර එහි VI, VIII, IX සහ X යන කොටස් එම වසරේ ම දෙසැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වූයේ, 2024 ජනවාරි මස 8 වන සඳුදා නිකුත් කළ අංක 2366/08 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ය.

එම අතිවිශේෂ ගැසට් පත්‍රයට ම අනුව, එහි I, II, III සහ VII යන කොටස් 2025 මාර්තු 18 වන දා ක්‍රියාත්මක වීමට නියමිත ය.

නමුත් “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත.

ආචාර්ය සංජන හත්තොටුව සමග සිදු කළ සංවාදයේදී දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත චෝදනා එල්ල වූ බැවින් සහ මෙරට මහ ජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳව ඇති එක ම ආයතනය දත්ත ආරක්ෂණ අධිකාරිය බැවින්, මා ඊළඟ පියවර ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.

එහිදී මා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කෙටි පණිවිඩ සම්බන්ධයෙන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සඳහන් කොටස, එනම්, “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” යන කොටස මෙතෙක් බලාත්මක කර නොමැති බව ය.

යම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත හෙළිදරව් වීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරියේදී පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.

ඒ අනුව, ආචාර්ය සංජන හත්තොටුවගේ ප්‍රකාශය සනාථ කරමින් පැහැදිලි වූයේ, තම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් යම් පුරවැසියෙකුට පැමිණිලි කිරීමට මේ දක්වා නිශ්චිත නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව ය.

කෙසේ වෙතත්, ඊට අදාළ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව දත්ත ආරක්ෂණ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල, මා හා වැඩිදුරටත් පැවසීය.

“ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රතිචාරය

පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මෙලෙස කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබීම වැළැක්වීමට පියවර ගෙන තිබේ ද? නැතහොත පියවර ගන්නේ ද? යන්න සම්බන්ධයෙන්, මේ දක්වා සොයා ගත් තොරතුරු ද ඉදිරිපත් කර මම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළෙමි.

එහිදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තියක් (Operator Self- Governance Policy for Operator Promotional Messages) මීට වසර 5කට පෙර, එනම් 2018 වසරේදී හඳුන්වා දුන් බව ය.

කෙසේ වෙතත්, මේ වනවිට එහි පවතින අඩුපාඩු හඳුනාගෙන ඇති බව ත් කොමිෂන් සභාව “විදුලි සංදේශන පනතේ අංක 43 වගන්තිය යටතේ එය නීතියක් ලෙසට ගැසට් කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව ත්” අදාළ නිලධාරියා පැවසීය.

ඒ අනුව, මම ‘ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ පරිශීලනය කර බැලුවෙමි.

බාහිර පාර්ශව විසින් ජනනය කරන ලද ප්‍රවර්ධන පණිවිඩ (Promotional Messages generated by External Parties) යටතේ දෙවන වගන්තියේ ඉංග්‍රීසි බසින් මෙලෙස සඳහන් විය.

“Each such client shall warrant to Operator that all messages transmitted would be with the consent of sub-set of subscribers registered with the said client.”

එහි දළ සිංහල අදහස නම්, ‘තමන් විසින් යවනු ලබන පණිවිඩ තමන් සමග ලියාපදිංචි වී සිටින ග්‍රාහකයින්ගෙන් අදාළ පණිවිඩය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති ග්‍රාහකයින් වෙත පමණක් යැවීමට සෑම සේවාදායකයා ම [දුරකතන] ක්‍රියාකරු වෙත සහතික විය යුතු යි’ යන්න ය.

කෙසේ වෙතත්, මේ දක්වා ගත වුණු කාලය තුළ බොහෝ පාර්ශව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කරනු ලැබ ඇති ‘ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ අනුව කටයුතු කරන බවක් නිරීක්ෂණය නොවීම කම්පනයට පත්කරවනසුලු කාරණයකි.

මා සොයා ගත් දෑ පිළිබඳව මෙලෙස ම කෙටි පණිවිඩ සහ දුරකතන පණිවිඩ ලද පාරිභෝගිකයෙකු සමග අදහස් හුවමාරු කර ගත්තේ, මෙහි ඇති බැරෑරුම්කම පිළිබඳව ඇයගේ ද අදහස් දැනගැනීමේ අදහසිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “අපේ අංක අපේ අවසරයක් නැතිව අරගෙන, ඒවා විකුණන එක ජාවාරමක් කියලා හිතෙන්නේ. මොකද අපිට මේකෙන් සල්ලි ලැබෙන්නේ නැහැනේ. අනික ඒක අපිට තර්ජනයක්,” යනුවෙනි.

(බීබීසී සිංහල) 

විශේෂාංග

භාතිය නම් (වල්)  අලියා සහ චෙම්මෙනයි හි (පර) දෙමලා

Published

on

By

ශ්‍රී ලංකාව,  ජනගනය අනුව ස්වේච්චාවෙන්  ගෙවීමක් නැතිව  ඇස් සහ ලේ දන් දෙන  රටවල් පෙළේ ඉහලම රටක්. ඇස දන්  දීම ගැන අනිත් රටවල් බොහොමයකට වඩා අපි හුගාක් ඉදියෙන්

දැන් අපි දන් දෙන ඇස් පිටරට අයගෙත් පෙනීම දෙනවා. ජාතියක් හැටියට මොනතරම් දයාවින්ත ගෞරවයක් ද? 

මේ දන් දීම 95% ක් ම කරන්නේ සිංහල බෞද්ධයන්ය.මොකද,

1. දානය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම සියුම් නිසා
2. කුල චින්තනය නිසා ලේ ඇස් දැන් දීම පිලිබඳ ව දෙමල සමාජ සංස්කෘතිය තුල දරුණු බෙදීම් තියෙනවා
3. ශාරික උත්තානය ගැන අදහන නිසා කතෝලිකයන් ඒ පිළිබඳ නිහඬයි
4. අවයව දානය හරාම් නොවුනත් මුස්‌ලිම භක්තිකයන් ඒ ගැන යුහුසුළු වෙන බවට සාක්ෂි නැති තරම්ය

මාක්ස්වාදී-ලෙනින්වාදය සහ ජාතිකවාදය වැනි “ලෞකික ආගම්” විමර්ශනය කිරීමේ දී සක් සුදක් සේ පැහැදිළිවන වෙනස මෙය වනු ඇත එකක පවතිනදේ කඩා දමන්නටත් අනෙක පවතින දුඛ නිවන්නටත් යොමු වීම ආධ්යාමික   හෝ ලෞකික වේවා, සියලුම ලෝක දර්ශනවල චාරිත්‍රානුකූල අංග – නමස්කාරය, භාවනාව, වන්දනා ගමන සහ පූජාව – සහ මූලධර්ම හා  මෙමෙ දානය නම්  කඩ ඉමෙන් වෙන් වෙන බව මගේ පරි කල්පනයයි

ඉතින් ඒ අතින්  සිංහල බෞද්ධයන් ලෝක සමාජයේ සහනුකම්ප්ත තලයේ ලොව උතුම් වූ ජාතියක් ය

නමුත්,
දේශපානය ඉගන ගන්න කෙනෙක් හැටියට මගෙන් පිටරට විද්වතුන් අහන ප්‍රධාන පළමු පෙලේ ප්‍රශ්නයක් තමයි:
ගහ  කොළ
සතා සිව්පා උරගා
ඇල දොළ මලට
ආදරය කරන
නොදන්නා මිනිසුන්ට තමන්ගේ ඇස් දෙක දෙන
මෙච්චර යහපත් සිංහල මිනුසුන්,
ජාන වශයෙන්
සංස්කෘතියෙන්
භාෂාවෙන්
එකම පොළවෙන්
තමන්ට මේ තරම් සමීප
දෙමලුන් පිළිබඳව සංවේදී නොවන්නේ ඇයි?

මේ තරම් ගැඹුරට ප්‍රචණ්ඩත්වය පිළිගන්නේ, යොදවන්නේ කොහොමද කියන එක මට මතක විදියට මහාචාර්ය SJ තම්බිය්යා ඔහුගේ ලෝකප්‍රකට “Buddhism Betrayed ?” (1984) කෘතිය පටන් ගන්නේ මේ ප්‍රශ්නයෙන් නමුත් ඒ පොතම ඒ ප්‍රශ්න කිරීමම මැරෙන තුරාවට ඔහුට ලංකාවට එන්න බැරි කළා ( පොත නිළ වශයෙන් තාමත් තහනම් ද දන්නේ නැහැ) මෙම පරස්පර විරෝධී ස්ථාපිත සුසමාදර්ශ ප්‍රහේලිකාව ( paradoxically confirmed enegmatic paradigm) පසුගිය වසර 300 – 400 තිස්සේ අපේ රාජ්‍ය | සමාජය  නිර්වචනය කරන වැට මාඉමයි.

වසර 1500 කට කලින් මහා විහාරයේ වැඩම කරමින් මහාවංශය ලියු මහානාම හාමුදුරුවෝ සිට අනගාරික උන්නාන්සේ දක්වාත් Dr  ගුණදාස අමරසේකර දක්වාත් ටිකක් හොදින් අධ්‍යනය කලොත් මා අගය කරන මිත්‍ර Thamalu Maliththa Piyadigama  දක්වාත්  මේ  පරස්පරය  නොනවත්වාම ඉතිහාස ගත ( continued historicization)   වන බව  පෙනෙයි.

මෙම  සිංහල ස්වයං උත්කර්ෂයට නැංවීම සහ දෙමලා  අන්‍ය අනෙකා ( the other-ing) කිරීම (අ)සවිඥ්නකවම ආගම සාහිත්‍ය අධ්‍යාපනය හා බල දේශපාලන අරගලයක් සේ සෙමින් එහෙත් ගැඹුරෙන්ම ගලා අනාගතයටත් යන බවයි මට තේරෙන්නේ

නැත්නම්, අර භාතිය නම් වල්  අලියා වෙනුවෙන් හඬන වැළපෙන පිං දෙන බෝධි පුජා ලැහැස්ති කරන iPhone අතැතිව tight jeans, crop top  අඳින මුතුගල ස’ ගේ bio class යන Gen Z අයවත් ,  යාපනේට culture tourism සංවිධානය කරන අයවත් “එප්පඩි සුහම් නල්ල  පුල්ල කියල ” බොරු රැඩිකල් “අමු”කාර සංජීවට පෙන්නේ නැති
A 9 පාරෙන් මීටර  200ක් වත් ඈත නැති චෙම්මනි සමුහ මිනිවලින් හමුවෙන, මහාචාර්ය රාජ් සෝමදේව ට අනුව වයස අවුරුද්දක් වත් නැති ළදරුවන්ගේ ඇට  කටු මතුවීම ගැන ප්‍රශ්ණ නොකරන්නේ  ඇයි?

කවි සින්දු නිසදැස් නොලියන්නේ මන්ද ?

වල් අලියකුට පෙම් බඳින්න සියුම් සමාජයක් කිරිදරුවන් ගේ කෘර ඝාතන ගැන නිහඬව ඉන්නේ කොහොමද ?

May be, Spiritually justified continuedly historicized Cosmion (in)securitization of an otherwise greatly compassionate nation?

තව  බොහෝ දේ ලියන්න තියෙනවාය පුළුවන්ය
මොකද මේ ජුලි මාසයයි

අපි, සිංහලයන් එක්ක එක බත් පත බෙදා ගෙන
එකට ජීවීතේ ගෙවන එහෙත්  structurally other  දෙමලුන්ය

 ✍️Suren Rāghavan 

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

Published

on

By

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස  සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.

ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ  මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.

ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.

2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.

සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.

YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.

Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.

සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.

කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.

නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

Continue Reading

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

By

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved