විශේෂාංග
රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි
Published
2 years agoon
By
editor
“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා. එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht : An Improvisation – Book by George Tabori, 1967).
අද අප ඉන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඒ ප්‍රශ්න කිරීමත් විහිළුවක් නොවන, විකාර රූපි දේශපාලන සමාජයක ය. අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන මේ නායකයින් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ. ඒවා ඡන්දදායකයින්ගේ ගාලගෝට්ටි නොවේ. මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයින්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නටද නැත.
ඡන්දදායකයින් වශයෙන්ද හවුල් නොවන, තීන්දු කෙරුණු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේද නොවන මේ ගාලගෝට්ටි, විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තුනක නායකයින්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ විරෝධය දඩමීමා කර ගනිමින් කොළඹට පාක්ෂික හිතවතුන් කැඳවා ගන්නා විරෝධතා පමණි. මේවා සමාජයේ වර්ධනය වන පොදු ආණ්ඩු විරෝධයේ ප්‍රකාශන ය. ඔවුන් ඒ ආණ්ඩු විරෝධය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි පළාත් පාලන මැතිවරණයෙන් ඔප්පු කිරීමට ය. මහ මැතිවරණයකින් පත් කෙරෙන පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටු වන්නට ලබා දෙන ජනවරම, ආණ්ඩු මාරු සඳහා කිසිදු සම්බන්ධයක් නැති පළාත් පාලන මැතිවරණයකින් අහෝසි නොවන බව මේ දේශපාලන නායකයින් දැන සිටිය යුතුය. ඒ සරළ කාරණාව හෝ නොදන්නා සේ පළාත් සභා මැතිවරණ අහෝසි කර, පළාත් සභා ඡන්දෙන් ආණ්ඩු පිහිටුවන ජන වරම් ගැන කතා කරන ඔවුන්ට ආණ්ඩු බාරදීම අතිශය භයානක යැයි මම කියමි.
පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා දෙන ජන වරම එසේ තිබියදී ආණ්ඩු විරෝධයක් ගොනු වන්නේ දෛනික ජීවිතයේ බහුතර ජනතාවට බලපාන්නාවූ සාධාරණ හේතු ගණනාවක් සමග ය. එහෙත් ඒ කිසිවක් මැතිවරණයක් ඉල්ලා මොර දෙන ප්‍රජාතන්ත්‍රවාදය හා සෘජු සම්බන්ධයක් නැත. ඒ සියල්ල සෘජුව සම්බන්ධ වන්නේ ජීවත්වීමේ ආර්ථික අසීරුකම් සමග ය. සමහර අමන දේශපාලනඥයින් “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?” කියා අසන්නේ ඒ කාරණා අතර ඇති එක වර නොපෙනෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි බැවින්ය.
ජීවත්වීමේ අසීරුව බරපතල වූයේ දසක ගණනාවක් පුරා අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රමානුකූලව ගොඩ ගැසුණු විදේශ ණය කන්දරාව පසුගිය වසර ආරම්භ වන ආසන්නයේදී නාය යෑමට වූයෙනි. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තරමට භාණ්ඩ හිඟවීමත් භාණ්ඩ මිල ඉහළ යාමත් සමගය. විදේශ ණය සමග කඩා වැටුණු ආර්ථිකයෙහි ජනතාව ගිලෙන විටය. අවුරුදු 40 ක් පුරා රට දියුණු කළේ යැයි සිතා සිටි විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිලෝමීටර ගණන් දිග ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලීම්වල දින ගණන් හාමතේ ඉන්නට සිදුවූයෙන් කැකෑරුණු ආණ්ඩු විරෝධයෙහිය.
එවැනි ආණ්ඩු විරෝධයක් හමුවේ දේශපාලන පක්ෂ වලට පමණක් නොව, ඕනෑම පුරවැසියෙකුට, පුරවැසි සංවිධානයකට හෝ හවුලකට වහා මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇත. ඒ ඉල්ලීම කෙතරම් සමාජගත වන්නේද යන්න මත ආණ්ඩුවට මැතිවරණයක් ලබා දෙන්නේද නොදෙන්නේද යන්න තීන්දු කළ හැක. ඒ සඳහා 2001 දෙසැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණය ඉතාම නිරවුල් අත්දැකීම වන්නේය. ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විසින් 2000 ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වූ පසු පෙරමුණක් ලෙස ඇයට ලැබුණු ආසන 107 න් ස්ථාවර ආණ්ඩුවක් හැදීමට නොහැකි වූයෙන් ඇය ජ.වි.පෙ සමග ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 10 දෙනා හවුල්කර ගැනීමට මංගල සමරවීර ඇමති හරහා සාකච්ඡා කළාය.
මේ අතර, උතුරු-නැගෙනහිර යුද්ධයෙන් ඒ-9 පාර මාන්කුලම් සිට අලිමංකඩ පසුකර මුහමලේ දක්වා රජයේ හමුදාවන්ට අහිමි විය. ඒ යුධ අහිමිවීම් සමග දකුණේද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. ආර්ථික වශයෙන්ද දකුණේ ජනතාවට අසීරුකම් මෝදු වන්නට විය. ඒ පසුබිමෙහි ජීවන මිල පහත හෙළීමත් දෙමළ ජාතික ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමත් ඉදිරිපත් කරමින් මෙතෙක් ඉතිහාසයේ නොවූ එ.ජා.පය ප්‍රධාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වමේ එක්සත් පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය සහ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයද හවුල් වූ ජාතික පෙරමුණකින් වහා මැතිවරණයක් ඉල්ලා 2001 සැප්තැම්බරයේදී “ජන බල මෙහෙයුම” යැයි කොළඹ නගරය සිව් දෙසින් වැටලූහ. කලින් දින කොළඹ නගරයට ඇතුළුවීම තහනම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විරෝධයේ ශක්තිය හමුවේ පසුබා පාර්ලිමේන්තුව විසුරු හැර මැතිවරණයක් පැවැත්වීමට එකඟ වූවාය. අවුරුද්දක් යත්ම 2001 දෙසැම්බර නැවත මැතිවරණයක් පැවැත්වූයේ ඒ හේතුවෙනි. ඒ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.
එනමුත් අද ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් සඳහා එවැනි මැතිවරණයක් නොවේ. ආර්ථික අර්බුදය සඳහා මේ ආණ්ඩුවට විසඳුම් නැතැයි හා මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවේ යැයි කියන්නේ නම්, ඉල්ලා සිටිය යුත්තේ පළාත් පාලන මැතිවරණය නොව, 2001 දී මෙන් මහ මැතිවරණයකි. එහෙත් ගාලුමුවදොර විරෝධතා විසින් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට, කොළඹ මැදපංතිකයින්ගේ අවුල්වූ ජීවන රටා වැඩි මිලකට හෝ නැවත යථාවත් වෙමින් තිබීම නිසා ඔවුන්ට දැන් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නැත. එනිසා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කළ විට, සැවොම ඒ සමග ගොනු වූහ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ගණන් හැදිල්ලේ ඇති රාජකීය අවුල සමග පළාත් පාලන මැතිවරණය ඈතට තල්ලු කිරීමෙන් ඔහු කොළඹ රාජපක්ෂ විරෝධී මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වලට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොනු කරන්නට වේදිකාවක් ඇටවූයේය.
දැන් මේ විපක්ෂ කණ්ඩායම් සටන්පාඨය බවට පත්කර ගෙන ඇත්තේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හඬ නැගීම නොව, මේ ආණ්ඩුවට ජන වරමක් නැතැයි ඔප්පු කිරීමට පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම සහ ඊළග ආණ්ඩුව වෙනුවෙන් තමන්ටද අයිතියක් ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද බලයක් ගොනුකර පෙන්වීම ය. ඒ වෙනුවෙන් හෝ ඔවුන්ට වික්‍රමසිංහගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික මූලෝපායෙන් වෙන්වන, වෙනස්වන ආර්ථික වැඩපිළිවෙලක් ගැන අදහසක් නැත. එනිසා වික්‍රමසිංහට විසඳුම් නොමැති කිසිවකට ඔවුන්ටද පැහැදිලි විසඳුම් නැත.
සැවොම තමන්ගේ විසඳුම් ලෙස කතා කරන්නේ සියලු අපරාධ, සමාජ ව්‍යසන සමගවන මේ බංකොලොත් විවෘත වෙළඳපල ආර්ථිකය යළි පිළිසකර කිරීමක් ගැනය. ජාතික ජන බලවේගය ලෙස පෙනී සිටින ජ.වි.පෙ ඒ ගැන කතා කරන්නේ ඔවුන්ට සුපුරුදු තර්ක ක්‍රමයට “වඳුරො ගැන නෙවෙයි අපි කියන්නේ….අපි කියන්නෙ රිලව් ගැන” වැනි කතාවකි. ස.ජ.බ ආර්ථික විශේෂඥයින් ඊට වඩා තරමක් ශිෂ්ට ය. එනිසා ඔවුහු ඉතා ප්‍රවේසමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම අනිවාර්ය යැයි කියන අතර, විවෘත වෙළඳපල ආර්ථිකය අර්ථ දැක්වීමට උත්සාහ කරන්නේ “සමාජ වෙළඳපල” ආර්ථිකයක් යැයි කියා ය. එහෙත් ඔවුන්ගේ යෝජනා අතර “සමාජ වෙළඳපල” ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන “සමාජ සම්මුතිය” සඳහාවන යෝජනා නැත.
මේ රටේ ජනතාවට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව අවජාතක යැයි කීමටවත් විපක්ෂයේ ඡන්ද බලය පෙන්වීමටවත් නොවේ. මේ රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ නීිතියට අනුව මැතිවරණ පැවැත් විය යුතු නිසාද නොවේ. නීතියේ සඳහන්වන හෙයින් මැතිවරණ පැවැත්වීමෙන් තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. නීතියට අනුව මැතිවරණ පැවැත්වීම යනු “පටිපාටමය” ප්‍රජාතන්ත්‍රවාදයක් මිස ජනතාවගේ පාලන බලයක් තහවුරු කෙරෙන “සක්‍රීය” ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එනිසා ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ තමන්ගේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සක්‍රීය ලෙස පත්කර ගැනීමටය. තමන් වරිපනම් බදු ගෙවන පළාත් පාලන ආයතනයෙන් නෛතිකව ඒ වෙත පවරා ඇති වගකීම් නොපරිහෙළා කාර්යක්ෂමව ඉටුකරවා ගැනීමේ තමන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයින් තෝරා පත්කර ගැනීමටය.
එවැනි සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් බුක්ති විඳින්නට තරම් දැනුවත් දියුණු ඡන්දදායකයින් මේ රටේ සියවසකට ආසන්න කාලයක සිට බිහිව නැත. එවැනි දැනුවත් සංවාද කතිකා මේ රටේ පැවතියේද නැත. එබැවින් 1930 ඩොනොමො කොමිසම් වාර්තාවෙහි හඳුනාගෙන තිබූ කුලය, ජාතිය, ආගමට වගේම පසු කාලීනව විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අති පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය භාවිත කරන ආත්මාර්ථකාමී ඡන්දදායකයින් සමග මැතිවරණ සතු ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වන්නේ නැත. පළාත් පාලන ආයතනද දූෂිත, අකාර්යක්ෂම හා ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් වැදගත් කිසිවක් නොකරන මහජන ආයතන බවට පත්ව ඇත්තේ එබැවින්ය.
මේ ඉන්නා ඡන්දදායකයින් විසින් රටක වැදගත් ආණ්ඩු පාලනයක් සඳහා පාර්ලිමේන්තු පත් නොකෙරෙන්නේද එබැවින්මය. ඔවුන් තෝරා පත්කරන පාර්ලිමේන්තු හැසිරෙන්නේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින ආත්මාර්ථය සඳහා පමණි. එබැවින් ඊළග ආණ්ඩු මාරුවත් කුලවාදී, ජාතිවාදී සහ ආත්මාර්ථකාමී ඡන්දදායකයින්ගේ බාල, දූෂිත නියෝජනයක්ම වනු ඇත.
අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් ජනතාවකි. මා අලුත් යැයි කියන්නේ “තරුණ” යැයි කියන්නාවූ අර්ථයෙන් නොවේ. බර්ටොල් බ්‍රෙෂ්ට් කියූ ආණ්ඩුව විසින් ඔවුන් ගැන විශ්වාසයක් ඇති අලුත් ජනතාවක් හදා ගැනීමද නොවේ. මා අලුත් ජනතාවක් හදා ගැනීමට අවශ්‍ය යැයි කියන්නේ අනාගතය සඳහා අලුත් වගකීම් බාර ගැනීමට සූදානම් හා ඊට සරිළන විනයක් ඇති ඡන්දදායකයෙකු අවශ්‍ය යැයි යන අර්ථයෙනි. තමන්ගේ සමාජ වගකීම් ගැන අවබෝධයක් ඇති, ඡන්දය භාවිත කිරීම සතු සමාජ වගකීම ගැන තේරුම් ඇති, තමන් ඡන්දය ලබා දී තෝරා පත් කරන මන්ත්‍රීවරයා, සභිකයා පළාත් පාලන ආයතනයෙහි වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ඉටු කරන්නාවූ සේවය කුමක්දැයි ප්‍රශ්න කිරීමට සූදානම් අලුත් ඡන්දදායකු අවශ්‍ය යැයි වන අර්ථයෙනි.
ඒ වෙනුවෙන් මේ මොහොතේ අත පෙවිය යුත්තේ කවර පක්ෂයක, කවර ස්වාධීන කණ්ඩායමක වූවත් තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග විවෘත කර ගන්නා කතිකාවක, ඔවුන් තරග කරන්නේ කුමක් සඳහාදැයි වන ප්‍රශ්න කිරීම සමගින්ය. ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන ඡන්දදායකයා සමග ආරම්භ කරන සමාජ සංවාදයක් තුල පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැළසුමක් සකසා ගැනීමට එකඟ කරවා ගැනීම සමගින්ය. අනතුරුව, ඒ වෙනුවෙන් අත්සන් තබන අපේක්ෂකයින්ගේ එකතුවක් ලෙස මැතිවරණය ඉල්ලා සිටින ජනතා ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කිරීමට ය.
අලුත් ඡන්දදායකයෙකු හැදෙන්නේ එවැනි සමාජ සංවාද සමග පමණි. එවැනි අලුත් ඡන්දදායකයෙකුගෙන් මිස ආණ්ඩු මාරු වන්නේ නැත. මේ ඉන්නා ඡන්දදායකයින්ගෙන් සිදුවන්නේ තිබෙන පාර්ලිමේන්තුව, තිබෙන ආණ්ඩු පාලනය තවත් පිරිසකට බාර දීම පමණි. මේ දේශපාලන පක්ෂ නායකයින් ඉල්ලන්නේද එවැන්නක් පමණි. ඔවුන්ටද මා කියන ආකාරයේ අලුත් ඡන්දදායකයෙකු අවශ්‍ය නැත. එනිසා තීන්දුව ඇත්තේ ජනතාව අත මිස පක්ෂ නායකයින් සතුව නොවේ.
– කුසල් පෙරේරා
2023 පෙබරවාරි 27

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.
තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.
ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.
නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.
මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.
සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.
ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.
සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.
2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.
2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.
සමාජ මාධ්‍යයන්හි අරමුණු
සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.
සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.
S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.
තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.
L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.
YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.
I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.
Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.
එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.
M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.
සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.
කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.
සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.
නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.
අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.
එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය
Published
1 week agoon
June 23, 2025By
editor
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා නෑ ලූ. ව්‍යාපෘතිය අසාර්ථකයි.
දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.
හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.
අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.
පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා. හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!
මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.
මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු 8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි) ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු) ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.
ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි. නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා. ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.
ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා. අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.
ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.
රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!
රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.
විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.
‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි. ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!
රජිත් කීර්ති තෙන්නකෝන්


මිග්රේන් රෝගීන්ගේ වැඩිවීමක්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
Trending
-
පුවත්5 days ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්4 days ago
මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
-
පුවත්1 week ago
පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට
-
පුවත්1 week ago
‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ
-
පුවත්2 days ago
ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා