Connect with us

විශේෂාංග

රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි

Published

on

“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා. එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht : An Improvisation – Book by George Tabori, 1967).

අද අප ඉන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඒ ප්‍රශ්න කිරීමත් විහිළුවක් නොවන, විකාර රූපි දේශපාලන සමාජයක ය. අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන මේ නායකයින් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ. ඒවා ඡන්දදායකයින්ගේ ගාලගෝට්ටි නොවේ. මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයින් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයින්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නටද නැත.

ඡන්දදායකයින් වශයෙන්ද හවුල් නොවන, තීන්දු කෙරුණු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේද නොවන මේ ගාලගෝට්ටි, විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තුනක නායකයින්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ විරෝධය දඩමීමා කර ගනිමින් කොළඹට පාක්ෂික හිතවතුන් කැඳවා ගන්නා විරෝධතා පමණි. මේවා සමාජයේ වර්ධනය වන පොදු ආණ්ඩු විරෝධයේ ප්‍රකාශන ය. ඔවුන් ඒ ආණ්ඩු විරෝධය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි පළාත් පාලන මැතිවරණයෙන් ඔප්පු කිරීමට ය. මහ මැතිවරණයකින් පත් කෙරෙන පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටු වන්නට ලබා දෙන ජනවරම, ආණ්ඩු මාරු සඳහා කිසිදු සම්බන්ධයක් නැති පළාත් පාලන මැතිවරණයකින් අහෝසි නොවන බව මේ දේශපාලන නායකයින් දැන සිටිය යුතුය. ඒ සරළ කාරණාව හෝ නොදන්නා සේ පළාත් සභා මැතිවරණ අහෝසි කර, පළාත් සභා ඡන්දෙන් ආණ්ඩු පිහිටුවන ජන වරම් ගැන කතා කරන ඔවුන්ට ආණ්ඩු බාරදීම අතිශය භයානක යැයි මම කියමි.

පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා දෙන ජන වරම එසේ තිබියදී ආණ්ඩු විරෝධයක් ගොනු වන්නේ දෛනික ජීවිතයේ බහුතර ජනතාවට බලපාන්නාවූ සාධාරණ හේතු ගණනාවක් සමග ය. එහෙත් ඒ කිසිවක් මැතිවරණයක් ඉල්ලා මොර දෙන ප්‍රජාතන්ත්‍රවාදය හා සෘජු සම්බන්ධයක් නැත. ඒ සියල්ල සෘජුව සම්බන්ධ වන්නේ ජීවත්වීමේ ආර්ථික අසීරුකම් සමග ය. සමහර අමන දේශපාලනඥයින් “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?” කියා අසන්නේ ඒ කාරණා අතර ඇති එක වර නොපෙනෙන සහසම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි බැවින්ය.

ජීවත්වීමේ අසීරුව බරපතල වූයේ දසක ගණනාවක් පුරා අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රමානුකූලව ගොඩ ගැසුණු විදේශ ණය කන්දරාව පසුගිය වසර ආරම්භ වන ආසන්නයේදී නාය යෑමට වූයෙනි. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තරමට භාණ්ඩ හිඟවීමත් භාණ්ඩ මිල ඉහළ යාමත් සමගය. විදේශ ණය සමග කඩා වැටුණු ආර්ථිකයෙහි ජනතාව ගිලෙන විටය. අවුරුදු 40 ක් පුරා රට දියුණු කළේ යැයි සිතා සිටි විවෘත වෙළඳපල ආර්ථිකයෙහි කිලෝමීටර ගණන් දිග ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලීම්වල දින ගණන් හාමතේ ඉන්නට සිදුවූයෙන් කැකෑරුණු ආණ්ඩු විරෝධයෙහිය.

එවැනි ආණ්ඩු විරෝධයක් හමුවේ දේශපාලන පක්ෂ වලට පමණක් නොව, ඕනෑම පුරවැසියෙකුට, පුරවැසි සංවිධානයකට හෝ හවුලකට වහා මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇත. ඒ ඉල්ලීම කෙතරම් සමාජගත වන්නේද යන්න මත ආණ්ඩුවට මැතිවරණයක් ලබා දෙන්නේද නොදෙන්නේද යන්න තීන්දු කළ හැක. ඒ සඳහා 2001 දෙසැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණය ඉතාම නිරවුල් අත්දැකීම වන්නේය. ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විසින් 2000 ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වූ පසු පෙරමුණක් ලෙස ඇයට ලැබුණු ආසන 107 න් ස්ථාවර ආණ්ඩුවක් හැදීමට නොහැකි වූයෙන් ඇය ජ.වි.පෙ සමග ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 10 දෙනා හවුල්කර ගැනීමට මංගල සමරවීර ඇමති හරහා සාකච්ඡා කළාය.

මේ අතර, උතුරු-නැගෙනහිර යුද්ධයෙන් ඒ-9 පාර මාන්කුලම් සිට අලිමංකඩ පසුකර මුහමලේ දක්වා රජයේ හමුදාවන්ට අහිමි විය. ඒ යුධ අහිමිවීම් සමග දකුණේද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. ආර්ථික වශයෙන්ද දකුණේ ජනතාවට අසීරුකම් මෝදු වන්නට විය. ඒ පසුබිමෙහි ජීවන මිල පහත හෙළීමත් දෙමළ ජාතික ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමත් ඉදිරිපත් කරමින් මෙතෙක් ඉතිහාසයේ නොවූ එ.ජා.පය ප්‍රධාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වමේ එක්සත් පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය සහ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයද හවුල් වූ ජාතික පෙරමුණකින් වහා මැතිවරණයක් ඉල්ලා 2001 සැප්තැම්බරයේදී “ජන බල මෙහෙයුම” යැයි කොළඹ නගරය සිව් දෙසින් වැටලූහ. කලින් දින කොළඹ නගරයට ඇතුළුවීම තහනම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බ. කුමාරතුංග විරෝධයේ ශක්තිය හමුවේ පසුබා පාර්ලිමේන්තුව විසුරු හැර මැතිවරණයක් පැවැත්වීමට එකඟ වූවාය. අවුරුද්දක් යත්ම 2001 දෙසැම්බර නැවත මැතිවරණයක් පැවැත්වූයේ ඒ හේතුවෙනි. ඒ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.

එනමුත් අද ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් සඳහා එවැනි මැතිවරණයක් නොවේ. ආර්ථික අර්බුදය සඳහා මේ ආණ්ඩුවට විසඳුම් නැතැයි හා මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවේ යැයි කියන්නේ නම්, ඉල්ලා සිටිය යුත්තේ පළාත් පාලන මැතිවරණය නොව, 2001 දී මෙන් මහ මැතිවරණයකි. එහෙත් ගාලුමුවදොර විරෝධතා විසින් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට, කොළඹ මැදපංතිකයින්ගේ අවුල්වූ ජීවන රටා වැඩි මිලකට හෝ නැවත යථාවත් වෙමින් තිබීම නිසා ඔවුන්ට දැන් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නැත. එනිසා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කළ විට, සැවොම ඒ සමග ගොනු වූහ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ගණන් හැදිල්ලේ ඇති රාජකීය අවුල සමග පළාත් පාලන මැතිවරණය ඈතට තල්ලු කිරීමෙන් ඔහු කොළඹ රාජපක්ෂ විරෝධී මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වලට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොනු කරන්නට වේදිකාවක් ඇටවූයේය.

දැන් මේ විපක්ෂ කණ්ඩායම් සටන්පාඨය බවට පත්කර ගෙන ඇත්තේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හඬ නැගීම නොව, මේ ආණ්ඩුවට ජන වරමක් නැතැයි ඔප්පු කිරීමට පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම සහ ඊළග ආණ්ඩුව වෙනුවෙන් තමන්ටද අයිතියක් ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද බලයක් ගොනුකර පෙන්වීම ය. ඒ වෙනුවෙන් හෝ ඔවුන්ට වික්‍රමසිංහගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික මූලෝපායෙන් වෙන්වන, වෙනස්වන ආර්ථික වැඩපිළිවෙලක් ගැන අදහසක් නැත. එනිසා වික්‍රමසිංහට විසඳුම් නොමැති කිසිවකට ඔවුන්ටද පැහැදිලි විසඳුම් නැත.  

සැවොම තමන්ගේ විසඳුම් ලෙස කතා කරන්නේ සියලු අපරාධ, සමාජ ව්‍යසන සමගවන මේ බංකොලොත් විවෘත වෙළඳපල ආර්ථිකය යළි පිළිසකර කිරීමක් ගැනය. ජාතික ජන බලවේගය ලෙස පෙනී සිටින ජ.වි.පෙ ඒ ගැන කතා කරන්නේ ඔවුන්ට සුපුරුදු තර්ක ක්‍රමයට “වඳුරො ගැන නෙවෙයි අපි කියන්නේ….අපි කියන්නෙ රිලව් ගැන” වැනි කතාවකි. ස.ජ.බ ආර්ථික විශේෂඥයින් ඊට වඩා තරමක් ශිෂ්ට ය. එනිසා ඔවුහු ඉතා ප්‍රවේසමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම අනිවාර්ය යැයි කියන අතර, විවෘත වෙළඳපල ආර්ථිකය අර්ථ දැක්වීමට උත්සාහ කරන්නේ “සමාජ වෙළඳපල” ආර්ථිකයක් යැයි කියා ය. එහෙත් ඔවුන්ගේ යෝජනා අතර “සමාජ වෙළඳපල” ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන “සමාජ සම්මුතිය” සඳහාවන යෝජනා නැත.

මේ රටේ ජනතාවට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව අවජාතක යැයි කීමටවත් විපක්ෂයේ ඡන්ද බලය පෙන්වීමටවත් නොවේ. මේ රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ නීිතියට අනුව මැතිවරණ පැවැත් විය යුතු නිසාද නොවේ. නීතියේ සඳහන්වන හෙයින් මැතිවරණ පැවැත්වීමෙන් තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. නීතියට අනුව මැතිවරණ පැවැත්වීම යනු “පටිපාටමය” ප්‍රජාතන්ත්‍රවාදයක් මිස ජනතාවගේ පාලන බලයක් තහවුරු කෙරෙන “සක්‍රීය” ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එනිසා ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ තමන්ගේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සක්‍රීය ලෙස පත්කර ගැනීමටය. තමන් වරිපනම් බදු ගෙවන පළාත් පාලන ආයතනයෙන් නෛතිකව ඒ වෙත පවරා ඇති වගකීම් නොපරිහෙළා කාර්යක්ෂමව ඉටුකරවා ගැනීමේ තමන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයින් තෝරා පත්කර ගැනීමටය.

එවැනි සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් බුක්ති විඳින්නට තරම් දැනුවත් දියුණු ඡන්දදායකයින් මේ රටේ සියවසකට ආසන්න කාලයක සිට බිහිව නැත. එවැනි දැනුවත් සංවාද කතිකා මේ රටේ පැවතියේද නැත. එබැවින් 1930 ඩොනොමො කොමිසම් වාර්තාවෙහි හඳුනාගෙන තිබූ කුලය, ජාතිය, ආගමට වගේම පසු කාලීනව විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අති පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය භාවිත කරන ආත්මාර්ථකාමී ඡන්දදායකයින් සමග මැතිවරණ සතු ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වන්නේ නැත. පළාත් පාලන ආයතනද දූෂිත, අකාර්යක්ෂම හා ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් වැදගත් කිසිවක් නොකරන මහජන ආයතන බවට පත්ව ඇත්තේ එබැවින්ය.

මේ ඉන්නා ඡන්දදායකයින් විසින් රටක වැදගත් ආණ්ඩු පාලනයක් සඳහා පාර්ලිමේන්තු පත් නොකෙරෙන්නේද එබැවින්මය. ඔවුන් තෝරා පත්කරන පාර්ලිමේන්තු හැසිරෙන්නේ ඔවුන්ගෙන් ඉල්ලා සිටින ආත්මාර්ථය සඳහා පමණි. එබැවින් ඊළග ආණ්ඩු මාරුවත් කුලවාදී, ජාතිවාදී සහ ආත්මාර්ථකාමී  ඡන්දදායකයින්ගේ බාල, දූෂිත නියෝජනයක්ම වනු ඇත.   

අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් ජනතාවකි. මා අලුත් යැයි කියන්නේ “තරුණ” යැයි කියන්නාවූ අර්ථයෙන් නොවේ. බර්ටොල් බ්‍රෙෂ්ට් කියූ ආණ්ඩුව විසින් ඔවුන් ගැන විශ්වාසයක් ඇති අලුත් ජනතාවක් හදා ගැනීමද නොවේ. මා අලුත් ජනතාවක් හදා ගැනීමට අවශ්‍ය යැයි කියන්නේ අනාගතය සඳහා අලුත් වගකීම් බාර ගැනීමට සූදානම් හා ඊට සරිළන විනයක් ඇති ඡන්දදායකයෙකු අවශ්‍ය යැයි යන අර්ථයෙනි. තමන්ගේ සමාජ වගකීම් ගැන අවබෝධයක් ඇති, ඡන්දය භාවිත කිරීම සතු සමාජ වගකීම ගැන තේරුම් ඇති, තමන් ඡන්දය ලබා දී තෝරා පත් කරන මන්ත්‍රීවරයා, සභිකයා පළාත් පාලන ආයතනයෙහි වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ඉටු කරන්නාවූ සේවය කුමක්දැයි ප්‍රශ්න කිරීමට සූදානම් අලුත් ඡන්දදායකු අවශ්‍ය යැයි වන අර්ථයෙනි.     

ඒ වෙනුවෙන් මේ මොහොතේ අත පෙවිය යුත්තේ කවර පක්ෂයක, කවර ස්වාධීන කණ්ඩායමක වූවත් තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග විවෘත කර ගන්නා කතිකාවක, ඔවුන් තරග කරන්නේ කුමක් සඳහාදැයි වන ප්‍රශ්න කිරීම සමගින්ය. ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන ඡන්දදායකයා සමග ආරම්භ කරන සමාජ සංවාදයක් තුල පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැළසුමක් සකසා ගැනීමට එකඟ කරවා ගැනීම සමගින්ය. අනතුරුව, ඒ වෙනුවෙන් අත්සන් තබන අපේක්ෂකයින්ගේ එකතුවක් ලෙස මැතිවරණය ඉල්ලා සිටින ජනතා ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කිරීමට ය.

අලුත් ඡන්දදායකයෙකු හැදෙන්නේ එවැනි සමාජ සංවාද සමග පමණි. එවැනි අලුත් ඡන්දදායකයෙකුගෙන් මිස ආණ්ඩු මාරු වන්නේ නැත. මේ ඉන්නා ඡන්දදායකයින්ගෙන් සිදුවන්නේ තිබෙන පාර්ලිමේන්තුව, තිබෙන ආණ්ඩු පාලනය තවත් පිරිසකට බාර දීම පමණි. මේ දේශපාලන පක්ෂ නායකයින් ඉල්ලන්නේද එවැන්නක් පමණි. ඔවුන්ටද මා කියන ආකාරයේ අලුත් ඡන්දදායකයෙකු අවශ්‍ය නැත. එනිසා තීන්දුව ඇත්තේ ජනතාව අත මිස පක්ෂ නායකයින් සතුව නොවේ.

– කුසල් පෙරේරා
2023 පෙබරවාරි 27

විශේෂාංග

ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක!

Published

on

By

අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන කතා නැතිව ය. ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක. අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේද ඡන්දදායකයින්ගේ සමාජයෙන්ම වන හෙයිනි. එනිසා ඡන්දදායකයින් ඔවුන්ගේ ඡන්ද අපේක්ෂකයින්ට ලබා දෙන්නේ කුමන හේතුවකටදැයි ඡන්දදායකයින්ගෙන්ම ඇසිය යුතු ය. මේ ඒ සඳහා වන ප්‍රශ්න කිහිපයකි.

01. ඡන්දය දෙන්නේ ඇයි? නැතිනම්, ඡන්දය දිය යුත්තේ ඇයි?

ඡන්දය සතුව ඇත්තේ පුරවැසියෙකු, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ සමාජයේ සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු සතු අත් හළ නොහැකි සමාජ වගකීමකි. එහි වෙනත් පෞද්ගලික කිසිවක් නැත. ඒ සමාජ වගකීම වන්නේ, මේ රටේ සමස්ථ ජනතාවගේම අනාගත අභිවෘද්ධිය, දියුණුව, දිවි පැවැත්මේ ගුණාත්මක තත්ත්වය, නිදහස් හා සාමකාමී, ස්ථාවර සමාජයක වර්ධනය කර ගැනීම වෙනුවෙන් පිළිගත හැකි වැඩ සැළැස්මක් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක් ආණ්ඩු පාලනයට පත්කර ගැනීමේ වගකීම ය. එනිසා ඡන්දය දිය යුත්තේ ඒ වෙනුවෙන් පමණි.

02. ඒ වගකීම ඉටු කිරීමට නම් පක්ෂ හෝ අපේක්ෂකයින් රටට ඉදිරිපත් කරන ඔවුන්ගේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් තිබිය යුතුය. සංවර්ධන වැඩපිළිවෙල යනු සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ප්‍රකාශ නොවේ. රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන සැළසුමකි. ඔබ අතට එය පත් විය යුතුය. එය ඔබ කියවා තිබිය යුතුය. ප්‍රශ්නය, මෙතෙක් කිසිදු මැතිවරණයකදී ඔබගේ ප්‍රදේශයේ පක්ෂ නියෝජිතයෙකුගෙන් එවැනි සංවර්ධන සැළසුමක් ඔබ ඉල්ලා තිබේද? පක්ෂ නියෝජිතයෙකු එවැන්නක් ඔබට ලබා දී තිබේද?

වෙළඳ සන්නාහ නාම වැනි නම් යෙදූ මැතිවරණ පොරොන්දු ප්‍රකාශන නොවන සැබෑ “සංවර්ධන” සැළසුම් සැළකූ විට, ඒ ප්‍රශ්න දෙකටම, නිසැකයෙන්ම දිය හැකි පිළිතුර නම්, “නැත” යන්න ය. මේ සමාජයේ තවමත් පක්ෂ වෙතින් හෝ අපේක්ෂකයින්ගෙන් එවැනි ජාතික සංවර්ධන සැළසුම් කිසිවකුට ලැබී නැත. ඡන්දදායකයින් ඉල්ලා ඇත්තේද නැත. එනිසා එවැනි දේශපාලන සංස්කෘතියක් මේ සමාජයේ ගොඩ නැගී ඇත්තේද නැත.  

03. දැනට ප්‍රධාන වශයෙන් කතා වන්නේ ආර්ථික බංකොලොත් බවෙන් රට ගොඩ දැමීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කොන්දේසි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ඒ සම්බන්ධ ඔබට ගැටළු තිබේද? ඔබේ ඒ ගැටළු ඔබ අපේක්ෂකයින් වෙත යොමු කර තිබේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල සහ ආණ්ඩුව විසින් අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැතැයි කියවුනත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ලොකු ඉල්ලීමක් නැත. පාර්ශව කිහිපයක් සමග ආණ්ඩුව එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි ගැන ඇසීමක්ද නැත.  ඒ සියල්ල සිංහල සහ දෙමළ භාෂා වලින් ප්‍රසිද්ධ කරන මෙන් පළමුව ඉල්ලා සිටිය යුතු වූවත් මේ සමාජයේ ඡන්දදායකයින් කිසිවකු එවැනි වගකීම් ගැන නොසිතන හෙයින් මේ රටේ ඡන්දදායකයින්ට ඒ කිසිත් ප්‍රශ්න නොවන්නේ යැයි පක්ෂ නායකයින් තීන්දු කිරීමේ වරදක් ඇත්තේද නැත.

04. අවුරුදු දෙකක පමණ කාලයක් ප්‍රධාන මාතෘකාව කරගෙන ඇති ආර්ථික අර්බුදය හැරුණු විට, මේ සමාජයේ ජීවත් වන්නකු ලෙස ඔබට වහා විසඳුම් ලැබිය යුතු වෙනත් බරපතල ප්‍රශ්න මේ සමාජයේ නොමැතිද?

කිසිදු මැතිවරණ වේදිකාවක, සමාජ ව්‍යසන හා සමාජීය විනය පිරිහීම ගැන වගකීමක් ඇතිව කෙරෙන කතා ඇසෙන්නේ නැත. සීඝ්‍රයෙන් වැඩිවන ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය කිරීම, ළමා අපචාර හා ලිංගික හිංසන, ලමුන්ට කුරිරු ලෙස සැළකීම හා ශාරීරිකව පහරදීම, කප්පම් ගැනීම, කොන්ත්‍රාත් මිනී මැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි කිසිවක් පාලනය කරන්නේ හා වළකා ගන්නේ කෙසේදැයි කතා කරනු අසන්නට නැත. පාසල් හා උසස් අධ්‍යාපනයේ වාව ගත නොහැකි පිරිහීම, සෞඛ්‍ය සේවාවේ හැම අංශයක්ම අඩාලවීම, පොදු මගී සේවා ගැන කිසිදු අවධානයක් ඡන්ද ව්‍යාපාරයෙහි නොමැත. එවැනි කිසිවක් වෙත දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ අවධානයක් නොමැති වීමට ප්‍රධානම හේතුව නම්, ඒ කිසිවක් ගැන ඡන්දදායකයාගේ උනන්දුවක් නොමැතිවීමය. ඡන්දය දෙන්නේ ඒ කිසිවක් විසඳා ගැනීමට නොවන බව එබැවින් පැහැදිලි ය.

05. එවැනි කිසිවක් ගැන උනන්දුවක් ඔබට නොමැති නම්, එවැනි සමාජීය අර්බුද විසඳ ගැනීමට පිළිගත හැකි සාර්ථක වැඩපිළිවෙලක් ඉල්ලා සිටින්නට තරම් වුවමනාවක් ඔබට නොමැති නම්, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද?

එයට කිසිදු ඡන්දදායකයෙකු ප්‍රසිද්ධියේ පිළිතුරු නොදෙනු ඇත. එයටද හේතු ඇත. මෙතෙක් ඉතිහාසයේ ඡන්දයක ඇති සමාජ වගකීම ගැන මේ සමාජයේ කතා කර නැති හෙයින් සමාජ වගකීමක් ගැන නොදන්නා ඡන්දදායකයා තම පෞද්ගලික කාරණා විසඳා ගැනීමට ඡන්දය හිලව් කිරීමට පෙළඹී ඇත. එය ප්‍රසිද්ධියේ කතා කළ යුතු කාරණාවක් නොවන්නේ යැයි ඒ ගැන කිසිවකු කතා නොකළත් එය ප්‍රසිද්ධ කතාවකි. 

මේ රටේ බරපතලම අර්බදුය ඇත්තේ එතැනය. කිසිදු ඡන්දදායකයෙකු තමන්ගේ ඒ සමාජ වගකීම ඉටු කිරීම වෙනුවෙන්, සර්වජන ඡන්දය පළමු වරට භාවිත කිරීමේ අයිතිය ලැබුණු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට මෙතෙක් අවුරුදු 93 ක් කිසිදු මැතිවරණයක භාවිත කර නැත. මෙවර භාවිත වන්නේද ඒ වෙනුවෙන් නොවේ.

කුසල් පෙරේරා

2024 අගෝස්තු 26

Continue Reading

විශේෂාංග

කටකතා භීෂණය

Published

on

By

ලංකාවේ දේශපාලනය පුදුමාකාරය දේශපාලන කතිකාවද පුදුමාකාරය. විවිධ දේශපාලන ධාරාවන්ගේ මතවාදයන් සහ දේශපාලකයන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ස්වභාවය සම්බන්ධයෙන්  ගෙන ආයුතු සාකච්ඡාව අභිබවමින් වෙනත් ඕපාදූපවලට සහ විකෘති කර ගොඩනගන කටකතාවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නට බොහෝ දේශපාලන පක්ෂ හා සම්බන්ධ ලියන්නෝ උත්සාහ කරමින් සිටිති.

මේ විකෘති දේශපාලන සංවාදයේ ප්‍රධාන වින්දිතයෙක් වන්නේ මාලිමාවයි. උදාහරණයක් ලෙස මාලිමාව බලයට පත්වුවහොත් පශ්චාත් මැතිවරණ භීෂණයක් ඇතිවිය හැකි බවට බංග්ලාදේශය ඇසුරෙන් ගෙන එන ව්‍යාජ මතය දැක්විය හැකිය. පශ්චාත් මැතිවරණ භීෂණය ගැන  මෙතරම් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළම පළපුරුද්ද ඇති කණ්ඩායම් වීම දෛවයේ  සරදමකි.

1977 එජාප රජය පත්වූ වහාම ඇතිවූ දේශපාලන පලිගැනීම් විවිධාකාරය. එය විරුද්ධ පාක්ෂිකයාගේ දේපල විනාශය, මංකොල්ලයේ සිට රජයේ සේවකයන් ප්‍රතිවිරුද්ධ දේශපාලනය කල වරදට ලැබූ, දඬුවම් ස්ථාන මාරු දක්වා විහිදුනේය.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි කල්පනාවකින් ගොඩ නැඟුණු කපුගේ ගායකයාණන් ගයන   ” මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රි දේවි නොවුනේ” ගීතය එජාප සමයේ දේශපාලන පලිගැනීමකට දුෂ්කර ප්‍රදේශයකට ස්ථාන මාරු  ලැබීම සම්බන්ධයෙන් නිර්මාණය වූ ගීතයකි. එකල සිදු වූ දේශපාලන පලිගැනීම්වල කෲරත්වය සහ එයින් පීඩාවට පත්වූ පීඩිතයන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට  මෙවැනි ගීත සාහිත්‍යයක් නිර්මාණය වීමම ප්‍රමාණවත් ය.

ජේ ආර්ගේ දේශපාලන පලිගැනීම්වල අග්‍රඵලය වන්නේ අසූවේ ජූලි වර්ජකයන්ගේ රැකියා අහිමි කිරීමයි.  වැඩි වූ බඩු මිලට සරිලන ලෙස වැටුප වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් ගත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ජේආර් කුඩුපට්ටම් කර දමනු ලැබුවේ දහස් ගණනක රැකියා අහිමි කරමිනි.

දාහත් වසරක එජාප පාළනය අවසානයේ බලයට පත් චන්ද්‍රිකා රජය දේශපාලන පලිගැනීම්  කොමිසමක්  පත් කරනු ලැබූවේ දාහත්වසරක එජාප පාලනයෙන් බැටකෑ වින්දිතයන්ට සහන සැලසීමටය. මේ ආකාරයට ගෝඨාබය පාලනය තෙක් සෑම ආණ්ඩු පෙරලියකදීම බලයට පත් නව රජයන් දේශපාලන පලිගැනීම් විභාග කිරීමට ආයතන ස්ථාපිත කළේය. ඒවායේ නිර්දේශ අනුව වින්දිතයන් කියා ගන්නා අයට වන්දි ගෙව්වේය, රැකියාවල උසස්වීම් ලබා දුන්නේය, වෙනත් වරදාන ප්‍රධනය කළේය.  

එනයින් බලනකල රාජ්‍ය බලය අවභාවිතා කරමින් සිදු වූ  දේශපාලන පලිගැනීම් එජාපයේ සහ ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයන් හි මූලයටම බැසගත් සම්ප්‍රදායක් ලෙස කිව හැකිය.  අද මාලිමා පාලනයක් සම්බන්ධයෙන් තේ කෝප්පයේ කිඹුලන් දකින ඊනියා නිදහස් මතධාරීන් මාලිමා පාලනයක දේශපාලන පලිගැනීම් ගැන සමාජයට විස අදහසක් නිකුත් කරන්නේ දේශපාලන පලිගැනීම ඔවුන්ගේ ශබ්දකෝෂයේ සහ විෂය පථය තුල ඇති සංකල්පයක් නිසාය.  විරුද්ධ දේශපාලනයක් කල පමණින් අනෙකා දඬුකඳේ ගැසීමට තරම් මාලිමාව චූල මතයක් ඇති  දේශපාලන ව්‍යාපාරයක් නොවන අතර විවේචනයෙහි සහ විසම්මුතියෙහි අගය  රාජ්‍යයක පාලනයේදී අත්‍යාවශ්‍ය අංගයක් බව මාලිමාව දන්නේය.

අද වනවිට මාලිමාවෙහි නායකත්වයට එල්ල කරන්නට චෝදනා නැත, කලහැකි එකම දෙයනම්  කටකතාවලින් භීතියක් සමාජගත කිරීමයි, රටෙහි ජනතාවට මේ පාලනය සහ පාලකයන් ගැන අදහසක් ඇත, අදහසක් නැත්නම් පොඩි පරීක්ෂණයකින් අදහස ලබා ගත හැකිය. ඔබ  ඡන්දය දුන් අවසාන මැතිවරණයේ ඡන්දය ලබා දුන් දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයන් මතක් කරන්න, ඔවුන් දැන් සිටගෙන ඇති ස්ථානය ඔබ බලාපොරොත්තු වූ ස්ථානයදැයි සිතන්න.

උපුල් කුමරප්පෙරුම

Continue Reading

විශේෂාංග

ජීවන රඟමඩලෙන් සමුගත් සම්මානිත නිළිය

Published

on

By

ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත නිළියක වන  Gena Rowlands  , දශක හතකට ආසන්න කාලයක් සිය තිර දිවිය අවසන් කරමින්, අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 94 වන වියේ පසු වූවාය.

ඇගේ පළමු සැමියා වන අධ්‍යක්ෂ ජෝන් කැසවෙට්ස් සමඟ මුල්කාලීන ස්වාධීන සිනමාවේ ඇය කළ රඟපෑම් නිසා ජනප්‍රියත්වයට පත් රෝලන්ඩ්ස්, පසුකාලීනව 1998 දී සැන්ඩ්‍රා බ්ලොක් සමඟ කළ  “Hope Floats”   සහ 2004 දී තිරගත වූ “ද නෝට්බුක්” නිසා කා අතරත් කතාබහට ලක්වූවාය.

1974 හි  “A Woman Under the Influence සහ 1980 “Gloria”     සඳහා ඇකඩමි සම්මාන දෙකක් සඳහා නම්  වූ ඇය 2015 දී ගෞරව ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved