”ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත.
ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිඛෙන්නේ දිළිඳු තත්ත්වයක ය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම් ය. සෘජු හෝ අනියම් ලෙස අයථා ලාභ ලැබීම, සුලභ ලක්ෂණයක්ව පවතී. ජනමාධ්‍ය හිමිකරුවන් අන්තර්ගතයට ඇඟිළි ගසනවා පමණක් නොව, අන්තර්ගතය අවසාන වශයෙන් තීන්දු කරන්නන් ලෙසද ක්‍රියා කරති. සංලේඛ්‍ය නිදහස ගැන ජනමාධ්‍යවේදීන්ට බලවත් හැඟීමක් ඇත්තේම නැති තරම් ය.”
(අයාලේ යන ජනමාධ්‍ය – 1 වන පරිච්ඡේදය ඃ පිටු 10 / වික්ටර් අයිවන්)
”රාවය” පුවත් පත වික්ටර් අයිවන්ගේ පුරෝගාමී කර්තෘත්වය සමග, ඔහු ඉහතින් සඳහන් කළ සියලූ අර්ථ දැක්වීම් වලට හසු නොවුනු මාධ්‍ය භාවිතයක් තිබූ පුවත් පතක් විය. වසර 30 ක් ඇතුළත මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි ”රාවය” පුවත් පත තැබූ වෙනස්වූ මුද්‍රාව ගැන කියන්නට වන්නේ වික්ටර් අයිවන් නොමැතිව ”රාවය” පත්තරයක් නැත. ”රාවය” පත්තරය නැතිව, වික්ටර් අයිවන් කෙනෙකු නැත යැයි කියා ය.
එනිසා 2015 ජුනි මාසයේ සිට පූර්ණකාලීන මාධ්‍යවේදයෙන් ඉවත්ව, රාවය පුවත් පතේ උපදේශක කර්තෘ වශයෙන් වසරක් දෙකක් කටයුතු කරන්නට වික්ටර් තීන්දු කළ විට, ඔහුට එළෙස නිකම්ම රාවය පුවත් පතේ කර්තෘ ධූරයෙන් ඉවත්ව යාමට ඉඩ දීම, ”රාවය” හා ඉතා ලෙන්ගතු බැඳීමක් තිබූ මා වැනි කිහිප දෙනෙකුට හැඟීම් බර ප්‍රශ්නයක් විය.
එහි ප්‍රතිපලයක් වශයෙන් රාවය පුවත් පත හා දිගු කාලීන සම්බන්ධයක් තිබූ සුසිල් සිරිවර්ධන, විජයානන්ද ජයවීර, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, සුනේත්‍රා රාජකරුණානයක වැනි විද්වතුන්, වෘත්තිකයින් හා ලේඛකයින් දොළොස් දෙනෙකු විසින් ”රාවය හා වික්ටර්” සම්බන්ධ ඔවුන්ගේ කියැවීම ඇතුළත් ලිපි එකතුවක් මසක පමණ ඉතාම කෙටි කලෙකින් 2015 ජුලි මාසයේ මගේ සංස්කරණයෙන් ”වික්ටර් අයිවන් – අභියෝගාත්මක මුද්‍රාව” මැයෙන් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එළි දක්වනු ලැබුවේය.
වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භාවිතය ගැන මගේ පෞද්ගලික දැක්ම ලෙස එකී ලිපි එකතුවෙහි වන මගේ සටහනෙහි තැබූ එක් කියවීමක් වූයේ, ඔහු රාවය පුවත් පත සඳහා සකස් කර ගනු ලැබූ ආයතනික ව්‍යුහය, ලාභය වෙනුවෙන් යොමු කෙරුණක් නොවුනු අතර, කර්තෘ මණ්ඩලයේ නිදහසට හරස් වූවක්ද නොවූ, ලංකාවේ ප්‍රථම වරට සේවකයින්ටද අයිතියක් දෙනු ලැබූ මාධ්‍ය ආයතනයක් වූ බවය.
රාවය ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට එරෙහි, මානව හිමිකම් වෙනුවෙන් සහ යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුවත් පතක් ලෙස තීන්දු කෙරුණකි. එහි සංලේඛ්‍ය ප්‍රතිපත්තිය වූයේ ඒ පදනමය. එහෙයින් එහි හිමිකාරිත්වයෙහි වූ සේවක නියෝජනය එය වාණිජමය ඉලක්ක වෙනුවෙන් සකස් නොකෙරුණු පුවත් පතක් වන්නට ප්‍රධාන සාධකයක් වූවකි.
අනෙක් අතට ”රාවය” පුවත් පතේ සාර්ථකත්වය ඔවුන්ගේ පැවැත්ම තීන්දු කළ හෙයින් එය වැදගත් අලෙවියක් ඇති පුවත් පතක් වශයෙන් පවත්වා ගැනීමේ වගකීමද ඔවුන්ට තිබිණ. එනමුත් එහි වෙළඳ දැන්වීම් පළ වූයේ අතළොස්සකි. රාවය බාරගත් වෙළඳ දැන්වීම්ද පුවත් පතේ දේශපාලනය හා ගැලපිය හැකි දැන්වීම් විය.
වික්ටර්ගේ මේ අත්හදා බැලීමෙහි අඩු පාඩු නොවුනා නොවේ. ඔහු එකවර පාලකයාද, සේවකායද, කලමනාකරුද, මාධ්‍යවේදියාද වන්නට වූයෙන් එහි වික්ටර්ගේ ආධිපත්‍ය ”සංලේඛ්‍ය නිදහස” අභිබවා නොගියාද නොවේ. එහෙත් ඔහුගේ ”සංලේඛ්‍ය ආධිපත්‍ය” සම්මතයට එරෙහි, සම්මතය ප්‍රශ්න කරන්නක් වූයෙන් ”රාවය” මුද්‍රාව, විකල්ප මුද්‍රාවක් නොවුනත් විරෝධාකල්පිත හිතුවක්කාර මාධ්‍ය භාවිතයකට ඉඩ තැබූවක් විය.
වික්ටර්ගේ දැඩි මතධාරී මාධ්‍ය භාවිතය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූ එක් කාරණාවක් වූයේ, ඔහු නීතිපති සරත් එන් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අග විනිසුරු ලෙස පත් කිරීමට එරෙහි වීමය. එතැනින්ද නතර නොවුනු වික්ටර්, අගවිනිසුරු සරත් එන් ද සිල්වා ගේ වෘත්තීය පැවැත්ම දැඩි විවේචනයට ලක් කරන්නට වූයේ අධිකරණයට අපහාස කිරීම යන කාරණාවද නොතකමින්ය. ඔහුගේ තර්කය වූයේ, අධිකරණය රටේ දේශපාලනයෙන් ස්වාධීන විය යුතු වාගේම, එය පිරිසිදු වන්නටද අවශ්‍ය බවය.
ඔහුගේ දැඩි ස්ථාවරය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු ගණනාවක් පැවරුණද, ඒ කිසිවකින් වික්ටර් අයිවන් මෙල්ල කළ නොහැකි විය. මා දන්නා තරමින්, මාධ්‍යවේදියෙකු ලෙස තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඒ සඳහා වාසිදායි තීන්දුවක් ලැබූ අපේ රටේ එකම මාධ්‍යවේදියාද වික්ටර් අයිවන් ය.
මාධ්‍යයට පය ගසන්නට පෙර ඔහුගේ යෞවනයෙහි ඔහු ”පොඩි අතුල” ලෙස තෝරා ගත් සන්නද්ධ කැරළිකාර දේශපාලනය අසාර්ථක බැව් පසක් වූ පසු, ඔහු ’71 කැරැල්ලෙහි රෝහණ විජේවීරගේ නායකත්වයෙන් වෙන්වීය. එය හුදෙක් පෞද්ගලික හා සංවිධානාත්මක වෙන්වීමක් පමණක් නොවුනු හික්මුනු දේශපාලන තීරණයක් බැව් ප්‍රදර්ශනය කරන්නට වූයේ 1986 දී ”රාවය” මාසික සඟරාව ඔස්සේ මාධ්‍යයට රැගෙන ආ ඔහුගේ එම විරෝධාකල්පිත හිතුවක්කාර භාවිතයෙනි.
එහෙත් ”රාවය” මාසික සඟරාව මගින් ඔහුගේ අපේක්ෂාවන්ට ගැලපෙන ආකාරයේ විරෝධාකල්පිත හිතුවක්කාර සමාජ කතිකාවක් මුදා හැරිය නොහැකි වූයෙන්, රාවය සඟරාව සති පතා ‘ටැබ්ලොයිඩ්’ පුවත් පතක් බවට පරිවර්තනය කෙරුණි. පසුව එය දැන් සැමට මතක තිඛෙන්නාවූ ”ෆුල් ඩිමයි” පුවත් පතක් බවට පත් කෙරිණ. එහි විශේෂය වූයේ, සියල්ල සමනල වර්ණයෙන් තොරම්බල් කෙරෙන සමාජයක් බවට පරිවර්තනය වන අතර, ”රාවය” පුවත් පත කලූ-සුදු මුද්‍රණයෙන් පාඨකයා වෙත ගෙන යාමට වික්ටර් ගත් තීරණය වන්නේය. එයද වික්ටර් සතුවූ විරෝධාකල්පිත හිතුවක්කාර ප්‍රකාශනයෙහි ලක්ෂණයක් විය.
ජාතිවාදයට එරෙහි ඔහුගේ මාධ්‍ය භාවිතය ඒ වනවිට සුළු වාර්ගික පිරිස් අතර පැසසුමට ලක් වූවක් විය. ඒ සඳහාවන වැදගත්ම සාක්ෂිය වන්නේ 2002 වික්‍රමසිංහ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊය සමග ආරම්භ කළ සාම සාකච්ඡා ආවරණය සඳහා ලොව දැවැන්තම මාධ්‍ය ආයතනවල ප්‍රසිද්ධ ප්‍රවීන මාධ්‍යවේදීන් දුසිම් ගණන් පැමිණ සිටියදී ඔවුන් කිසිවෙකුට නොලැබුණු අවස්ථාවක් ඔස්ලෝ නුවර සාකච්ඡා අතර වාරයේ වික්ටර්ටත් මටත් ලැබීමය.
එම සාකච්ඡා ඉතා දැඩි ආරක්ෂක පියවර සමග සංවිධානයකර තිබූයේ නිල වශයෙන් නෝර්වේජියානු ආණ්ඩුවේ මැදිහත්වීමෙනි. එබැවින් එල්.ටී.ටී.ඊ නියෝජිතයින් කිහිප දෙන අතරින් ප්‍රධානියා වූ ආචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ කණ්ඩායම හමුවන්නට කිසිවකුට අවසර නොලැබුණි. සාකච්ඡා ආරම්භයේදී සහ අවසානයේදී නෝර්වේජියානු ඇමති එරික් සොල්හයිම් විසින් මෙහෙයවූ සහ පාලනය කළ මාධ්‍ය හමුවේදී පමණක් ඔවුන් දැක ගත හැකි විය. කිහිප දෙනෙකුට එහිදී ප්‍රශ්නයක් දෙකක් ඇසිය හැකි විය.
එවැනි මාධ්‍ය හමුවකදී වික්ටර් විසින් බාලසිංහම් වෙත යොමු කෙරුණු කුඩා තුණ්ඩු කැබැල්ලකින් ඔහුව හමුවන්නට හැකිදැයි අසා යැවූ පසු, අප කිසිදු බලාපොරොත්තුවක් නොතැබූ බාලසිංහම් සමග හමුවක් එදිනම සවස් වරුවේ ඔහුගේ හෝටලයේදී අප දෙදෙනට ලැබිණ. ඒ හමුව ඓතිහාසික හමුවීමක් විය.
බාලසිංහම් ඔහුගේ කොළඹ ජීවිතයේ තිබූ සුන්දර මතක, ඔහු හා නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ අතිජාත මිත්‍රතත්වය ගැන විස්තර බාලසිංහම් අප සමග කීවේ, නැවත එවැනි සාමකාමී සුන්දර අනාගතයක් වෙනුවෙන් ඔවුන් ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීමට තීන්දුකර ඇතැයිද කියමින්ය. එදින ඔහුගේ හමුවීමෙන් පසු අප පිටත්වන විට බාලසිංහම් අපෙන් එක ඉල්ලීමක් කළේය. ඒ සුගතපාල ද සිල්වාගේ අභාවය ගැන ඔහුගේ බලවත් සෝකය, සුගත් ගේ බිරිඳට දන්වන මෙන් කළ ඉල්ලීමය.
එවැනි වූ වික්ටර්, 2006 න් පසු ජනාධිපති රාජපක්ෂ සමයේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටියේ, එල්.ටී.ටී.ඊය ඉවත් කිරීමෙන් මිස සාකච්ඡා මගින් දෙමළ දේශපාලන ගැටළුවට විසඳුම් ලබා දිය නොහැක යන ස්ථාවරය සමගින් ය. එහෙත් ඔහු කිසි විටෙක, ඔහුගේ ස්ථාවරයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම රාවය පුවත් පතෙහි නතර නොකළේය. ඔහු එය සංවාදයක් ලෙස ගෙන යාමේ නිදහසට ඉඩ තැබුවේය. නව ලිබරල් දේශපාලනය හා විවෘත වෙළඳපල ආර්ථීකය සම්බන්ධයෙන්ද එවැනිම දිගු සංවාදයක් ඔහු රාවය පුවත් පතෙන් වරක් ආරම්භ කළේය. ඔහු විරුද්ධ මත වසා දමන කර්තෘවරයෙකු නොවන බැව්, එසේ භාවිතයෙන්ම ඔප්පු කෙරුවෙකි.
වික්ටර්ගේ මා දකින වඩාත්ම වැදගත් හා ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඔහු වගා කරගත් සමාජ සම්බන්ධතා ජාලය වන්නේය. මා දන්නා කිසිදු පුවත් පත් කර්තෘවරයෙකු නඩත්තු නොකර ගත් ආකාරයේ සමාජ සම්බන්ධතා ජාලයක් ඔහු ගොඩ නගා ගෙන තිබිණ. එහි පූජකයින්, දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, වෘත්තිකයින්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් වැනි විවිධ චරිත විය.
එවගේම, වික්ටර් මෙන් විවිධ විෂයන් ගැන ඉතා හරවත් කරුණු සාකච්ඡා කළ කෘතීන් ලියූ අපේ රටේ වෙනත් පුවත් පත් කර්තෘවරයෙකු ගැන මා අසා නැත. ඔහුගේ අත්දැකීම් සමග ’71 කැරැල්ලේ සිට, දෙමළ අභියෝගය, 88-90 ජ.වි.පෙ ත්‍රස්තවාදයේ ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය, ප්‍රභාකරන් පරාජය කිරීම, දේශපාලනයේ කුල ඛෙදීම සහ ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය සම්බන්ධ මාතෘකා අළලා කෘතීන් 22 ට වඩා ඔහු ලියා ඇත. ඒ අතර විශේෂය වන්නේ චෙස් ක්‍රීඩාව සම්බන්ධව සිංහලෙන් ඉතා අගනා හැඳින්වීමක් සහිතව යෞවනයින් සඳහා ඔහු ලියූ කෘතිය වන්නේය.
අවසන් වශයෙන් කිව යුත්තේ වික්ටර් අපෙන් සමු ගන්නේ දැවැන්ත අභියෝග වලට මුහුණ දෙමින් තම ජීවිතයේ අභිමතාර්ථ ජය ගත්තෙකු වශයෙනි. වික්ටර් ගේ ඒ ජයග්‍රාහී ජීවිත ගමනට මේ මගේ ගෞරවාන්විත සටහන වන්නේ ය.
– කුසල් පෙරේරා –
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී