විශේෂාංග
ලිංගික අපචාර චෝදනාවෙන් ධනුෂ්ක නිදොස්කොටම නිදහස්ද?
Published
2 years agoon
By
editor
ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවට ගිය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට සිඩ්නි නුවර අධිකරණයේ විභාගයට ගත් ස්ත්‍රී දූෂණ නඩුවෙන් නිදහස් විය.
දින 327කට පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව දැන් ඔහුට උදා වී තිබේ.
ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවට නිවැරදිකරු බවට අධිකරණයෙන් තීන්දු වීම බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ අමන්දානන්දයට හේතුවකි.
ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය ජාලයේ පළ වුණු කොමෙන්ටුවලින් එය පැහැදිලිය.
එය සතුටට හේතු විය යුත්තේ වරද කුමක් වුව ද ශ්‍රී ලාංකිකයකු විදෙස් භූමියක සිරකරුවකු බවට පත්වීමේ ශෝචනීය තත්ත්වයෙන් බේරීම නිසා පමණි.
මන්ද එසේ නිදහස ලැබූ පමණින් ධනුෂ්ක ගුණතිලක සිදු කළ වරද සාධාරණීකරණය කළ නොහැකි බැවිනි.
වරද වන්නේ මාතෘභූමිය නියෝජනය කරමින් විදෙස් ගත වූ තානාපතිවරයකු බඳු ක්‍රීඩකයකු මෙවැනි දුරාචාරයක නිරතවී මව්බිමේ කීර්තිය හා ගෞරවය කෙළෙසීමය.
අනිත් අතට අපමණ දුක් කන්දරාවක් විඳ දරා ගනිමින් හැදූ වැඩූ මවුපියන් ලජ්ජාවට පත් කිරීමකි.
කුඩා වියේ සිටම අපමණ කැපවීමකින් යුතුව ක්‍රීඩාව කියාදුන් පුහුණුකරුවන්ගේ කීර්තිය අභියෝගයට ලක් කිරීමකි.
වරද වන්නේ ක්‍රීඩාව සමඟ නිතැතින්ම බැඳී පවතින ‘විනය‘ මෙවැනි හැසිරීමකින් හෑල්ලුවට පත් කිරීමය.
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමේ අරමුණින් සිය කණ්ඩායම සමඟ ජාතික කර්ත්‍යවයකට ඔස්ට්‍රේලියාවට ගොස් එසේ අයාලේ යෑම ගැටලු සහගතය.
ගියා මදිවට පොලිස් කූඩුවේ ද සිට ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අවමානයට ලක් කිරීමය.

ලිංගික ඇසුරට ලොල් පුද්ගලයන් සඳහාම වෙන් වු ‘ටින්ඩර්‘ නමැති වෙබ් අඩවියක ආරූඨ නමකින් ගිණුමක් ආරම්භ කළ ධනුෂ්ක එසේ කළේ කුමක් අපේක්ෂාවෙන් දැයි අමුතුවෙන් කිවයුතු ද නැත. අතවරයට ලක් වූ බවට පැමිණිලි කළ 29 හැවිරිදි කාන්තාව ද එම වෙබ් අඩවියේ ගිණුමක හිමිකාරිණියක වීම නිසා ඇගේ පැටිකිරිය ගැනත් විමසීමට දෙයක් නැත.
කාරණාව වන්නේ දෙදෙනා එක්ව කැමැත්තෙන් කළ ‘රාජකාරිය‘ට ධනුෂ්ක එක් වූයේ ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගොස් සිටි අවස්ථාවක වීමය. ඒ වන විට ඔහු ආබාධයකට ලක්ව විවේක ගනිමින් සිටීම නිදහසට කරුණක් ද නොවේ.
සැබැවින්ම ධනුෂ්ක ගුණතිලක යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවකු බවට සැකයක් නැත.
එහෙත් විනය විරෝධී ලෙස හැසිරෙන්නේ නම් එවැනි ක්‍රීඩකයන්ගෙන් ඇති ඵලක් ද නැත.
අනික් අතට ඔහු විනය කඩ කළ අවස්ථා සිදුවීම් කිහිපයක්ම මීට පෙර ද වාර්තා වී තිබේ.
කවුරුත් දන්නා පරිදි ඔහු එංගලන්ත සංචාරයක් අතරතුර එවකට ක්‍රීඩකයන්ට පනවා තිබූ ජෛව බුබුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමඟ ලන්ඩන් නුවර වීදි පුරා අයාලයේ යෑමෙන් වසරක ක්‍රිකට් තහනමකට ලක් වූ ක්‍රීඩකයෙකි.
එම දඬුවම පසුව ලිහිල් කිරීම වෙනම කතාවකි.
වැඩි දෙනකු නොදන්නා පරිදි දකුණු පළාතේ එක්තරා හෝටලයක පැවැති විවාහ උත්සවයක් අතරතුර බීමත්ව බලහත්කාරයෙන් තරුණියකගේ අතින් ඇදීමේ සිදුවීමක් නිසා ගැටුමකට ද මුල් වූ බවට තොරතුරු වාර්තා වී තිබුණු අතර, කොළඹ එක්තරා ප්‍රසිද්ධ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ශ්‍රී ලාංකික පුද්ගලයකු නෝර්වේජියානු තරුණියක් අපයෝජනයට ලක් කිරීමට උත්සාහ ගැනීමේ සිදුවීමක ද ඔහුගේ නම ගෑවි තිබිණි.
එබැවින් ඔහුගේ පැටිකිරිය ගැන ආයේ අමුතුවෙන් කිවැයුතු ද නැත.
ධනුෂ්ක නඩුවෙන් නිදහස් වීම ඇතැමුන් සිතන්නේ ජයග්‍රහණයක් බවය.
එය ජයග්‍රහණයක් යැයි ධනුෂ්ක ද සිතනවා වන්නට ඇත. නිදහස ලැබීමෙන් පසු ඔහු මුහුණු පොතේ සිය ගිණුමෙහි මෙසේ සටහන් තබා ඇත්තේ එබැවින් විය යුතුය.
‘ආරම්භයේදී බොරුව ඉතා ශක්තිමත් විය හැකිය. එහෙත් එය කෙදිනක හෝ බිඳ වැටෙනු ඇත.
ජීව විද්‍යාව කියන්නේ එයටය.‘ මේ වැකිය සමඟ ඔහු ජයග්‍රාහී සිනහවකින් මුව සරසාගෙන වාර්තාකරුවන්ගේ කැමරා කාචයට මුහුණ දෙන ආකාරයේ ඡායාරූපයක් ද පළ කර තිබිණි.
නඩුවේ ස්වභාවය සහ ඔහු නිදහස් වීමට හේතුව අප දන්නා පරිදි ජීව විද්‍යාවට ඇති සම්බන්ධයක් නැත. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුව කාන්තාවට හොර රහසේ ඉවත් කිරීමය.
එය ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව කාන්තා දූෂණය යටතේ සිර දඬුවම් ලැබිය හැකි වරදකි. ඔහු නිදහස් වූයේ කාන්තාවට එය ඔප්පු කිරීමට ශක්තිමත් සාක්ෂි නොතිබීම නිසාය.
ඇතැම් විට ධනුෂ්ක නීතියේ රැහැණින් බැඳ දමා ගාණක් කඩා ගැනීමේ අදහසක් ද අදාළ කාන්තාව තුළ තිබෙන්නට ඇත.
එවැනි සිදුවීම් බොහෝ රටවල සුලබව සිදුවන්නකි. ඔය කියන කාන්තාව ගැන කිසිදු තොරතුරක් හෝ ඡායාරූපයක් මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී නැති වුවද, දෙදෙනා අතර හුවමාරු වූ ගෘංගාරාත්මක කෙටි පණිඩුව තොග පිටින් හෙළි වී තිබිණි.
බැලූ බැල්මටම ඇය ලිංගික හැසිරීමට ලොල් වූ කාන්තාවක් බව දෙදෙනා අතර හුවමාරු වූ ගෘංගාරාත්මක කෙටි පණිවුඩවලින් පැහැදිලිය.
නඩු විභාගය තමන්ගේ වාසියට තීන්දු වීම ඒ අතින් ධනුෂ්කගේ වාසනාවක් ලෙසත් සැලකිය හැකිය.
ධනුෂ්කගේ නඩු විභාගයේ කැපී පෙනෙන සිදුවීම වන්නේ මේ කිසිවක් හෝ නොව විනිසුරු සාරා හගේට් මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් දින හතරේදීම තොරතුරු අනාවරණය නොවන සුදු ජාතික තරුණියක් සමඟ අතිනත පටලාගෙන ධනුෂ්ක අධිකරණයට පැමිණීමය.
මේ පියකරු කාන්තාව කවුරුන් දැයි විදෙස් මාධ්‍ය දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ අනිතත පටලාගෙන අධිකරණයට පැමිණීම ද නඩුවට අදාළ කාරණාවක් නොවූ බැවින් ඇය ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොවීය.
කෙසේ වෙතත් කවුරුත් අනුමාන කරන්නට වූයේ ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන්නට ඇති බවය.

ඊයේ පෙරේදා ධනුෂ්කගේ නඩු විභාගයේ තීන්දුව ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වෙද්දී බ්‍රිතාන්‍ය ඩේලිමේල් පුවත් සේවය ඇගේ නම සොයා ගැනීමට සමත් වී තිබිණි. එම වාර්තාවට අනුව ඇය ධනුෂ්කගේ නව පෙම්වතිය වන ‘සෙලීන්‘ ය.
විනිසුරු සාරා හගේට් තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු මුළු නඩු විභාගය පුරාම තමා සමඟ සිටි එම තරුණිය සිප වැලඳ ගත් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
දින හතරක් පුරා පසුගිය සතියේ එක දිගට පැවැති නඩු විභාගයේ තීන්දුව ලබා දීමෙන් පසු අධිකරණ භූමියේදී මාධ්‍යවේදින් ඇමතූ ධනුෂ්ක ඉතා කෙටි ප්‍රකාශයක් සිදු කළේය. ඔහු කියා සිටියේ සත්‍යය කුමක් දැයි විනිසුරුවරියගේ තීන්දුවෙන් ඔප්පු වූ බවය.
දුෂ්කර කාලයේදී තමා සමඟ සිටි සිය පවුලේ සාමාජිකයන්ට, පෙම්වතිය සහ නීතිඥ මුරුගන් තංගරාජ් ඇතුළු සෙසු නීතිඥවරුන්ට මෙන්ම කළමනාකරුට ස්තූතිය පුද කරන බව ඔහු වැඩිදුරටත් කීවේය.
‘පසුගිය මාස 11 කාලය මට දුෂ්කර කාලයක් වුණා. දැන් මගේ ජීවිතය ආපහු සාමාන්‍ය අතට පත්වීම ගැන සතුටු වෙනවා. ලංකාවට ගිහින් ආපහු ක්‍රිකට් පටන් ගන්න කල් මට ඉවසිල්ලක් නෑ‘.
ඉන් කියැවෙන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පැමිණ කණ්ඩායමට පනවා තිබුණු නීතිරීති කඩමින් විනය විරෝධීව රාත්‍රී කාලයේ හෝටල් කාමරයෙන් පිටව ගොස් කාන්තාවක් සමඟ දුරාචාරයේ හැසිරීම ඔහුට වගේ වගක් නැති බවය.
ඔහුට වැදගත් වූයේ කෙසේ හෝ නඩුවෙන් නිදහස් වීමට පමණි. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අන්තර් සමාජ තරග බිමට පිවිසීමටත්, පසුව ජාතික කණ්ඩායමට නැවත සේන්දු වීමටත් තමාට පසුබිම නිර්මාණය වන බවක් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ මේ ක්‍රීඩකයා කල් තියාම දැන සිටියේද?
සිය නිවෙසේදී ධනුෂ්ක බලහත්කාරයෙන් ලිංගිකව හැසිරුණු බවට සහ ඔහු ප්‍රචණ්ඩ වූ බවට පැමිණිලිකාරිනිය අධිකරණයේදී ප්‍රකාශ කළ ද විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ලිංගික එක්වීමකදී උපත් පාලන කොපුව ඉවත් කිරීමට කිසිදු ඉඩක් නැති බවය.
එකදිගට ලිංගිකව හැසිරීමේදී එසේ කරන්නේ කෙසේ දැයි විනිසුරුවරියගේ අවධානයට යොමු වී තිබිණි.
පැමිණිලිකාරිනිය ඉතා බුද්ධිමත් සහ සන්සුන් ලෙස ප්‍රතිචාර දක්වන සාක්ෂිකාරිනියක බව ප්‍රකාශ කළ විනිසුරුවරිය ඇය හිතාමතා බොරු සාක්ෂි දෙන ආකාරයේ කාන්තාවක් ලෙස නොදකින බවත් අවධාරණය කළාය.
එහෙත් ඇගේ ඇතැම් සාක්ෂි විත්තිකරුට අවාසි සහගත ලෙස හැඩ ගැස්වීමේ බලවත් ආශාවකින් ඇය පසු වූ බව තමාට පැහැදිලි වූයේ යැයි ද විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඉන් කියැවෙන්නේ වරින් වර කාන්තාව විසින් ලබා දෙන ලද සාක්ෂි පරස්පර විරෝධී බවය.
උපත් පාලන කොපුව ඇඳ අසල වැටී තිබෙනු තමා දුටු බව කාන්තාව ප්‍රකාශ කළ ද ඔහු සිය ලිංගික හැසිරීම නතර කිරීමක් හෝ උපත් පාලන කොපුව බිමට වීසි කිරීමක් හෝ දුටු බවට කිසිදු සාක්ෂියක් ලබා නොදුන් බවත් විනිසුරුවරිය සාරා හගේට් ප්‍රකාශ කර තිබිණි.
එමෙන්ම පොලිසිය විසින් කාන්තාවගේ පැමිණිල්ල සම්බන්ධව ක්‍රියා කළ ආකාරය විනිසුරුවරියගේ දැඩි අවධානයට යොමු වී තිබූ අතර, ඇගේ පැමිණිල්ල සම්බන්ධව පොලිසියේ ක්‍රියා කලාපය ගැන තමා සෑහීමකට පත් නොවන බවත් කියමින් පොලිසියට ද දොස් පැවැරීය.

විනිසුරුවරිය සිය තීන්දුව ලබාදීමට සතියක්ම කල් ගත්තේ පසුගිය සතියේ අඛණ්ඩව දින හතරක් පුරා පැමිණිලි පාර්ශ්වයේ හා විත්තිකාර පාර්ශ්වයේ සාක්ෂි හා තර්ක විතර්ක ගැඹුරින් නිරීක්ෂණය කිරීමට වන්නට ඇත. දෙදෙනා පළමුවරට සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී මුණ ගැසී පසුව වෙනත් අවන්හලකින් රාත්‍රී ආහාරයට පීට්සා අනුභව කර ඇගේ නිවෙසට යෑමට බෝට්ටුවක් එනතුරු බලා සිටියදීත් දෙදෙනා අතර හාදු හුවමාරුව තදේටම සිදු වී තිබිණි.
තමාට තනිව නිවෙසට යා හැකි බව නොකියා ධනුෂ්ක තම නිවෙසට කැටුව යෑම ගැන ඔහුගේ නීතිඥ මුරුගන් තංගරාජ් විමසූ විට ඇයට කට උත්තර නැති වූවාට සැකයක් නැත. එසේ නොකළ යුතුව තිබූ බව අවසානයේ පැමිණිලිකාරිණිය පිළිගෙන තිබිණි.
ඊළඟට නිවෙසට ගොස් ධනුෂ්ක විසිත්ත කාමරයේ අසුන් ගැනීමට සලස්වා වයින් පානය කිරීමටත්, පසුව ඔහු ඉදිරියේ ගිටාරය වයමින් ගී ගැයීමටත් ඇය පෙලඹුණේ මන්දැයි යන්නත්, ඔහු කැටුව නිදන කාමරයට ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි යන්නත් ධනුෂ්කගේ නීතිඥවරයා ප්‍රශ්න කළ විටදිත් ඇය නිරුත්තර වූවාට සැකයක් නැත.
නිවෙසට යනතුරුම සහ විසිත්ත කාමරයේදි පවා ධනුෂ්කගේ විවිධ ලිංගික අඩන්තෙට්ටම් සිදු වූ බව කීවත් එසේ තිබියදිත් නිදන කාමරයට කැටුව යෑම නීතිඥ මුරුගන් තංගරාජ් අධීකරණයට පෙන්වා දීමත් තීන්දුවට බලපාන්නට ඇත.
නිදන කාමරයට යෑමෙන් පසු උපත් පාලන කොපුව පලඳින ලෙස තමා ධනුෂ්කගෙන් ඉල්ලා සිටි බවත්, උපත්පාලන කොපු භාවිතයට තමා අකමැති බව ඔහු කියා සිටි බවට පැමිණිලිකාරිණිය අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබූ අතර, තමාට ගැබ් ගැනීමට හෝ ලිංගික රෝගවලට ලක් වීමට අවශ්‍යම නැති බව ඇය ඔහුට පැවසූ මොහොතේ ගැබ් නොගන්නා බවට සහ ලිංගිකව එක්වීමෙන් සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොවැලඳෙන බවට සහතික වන බව ඔහු තමාට කීවේ යැයි ද එම කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
පසුව ධනුෂ්ක නිදි යහනින් නැඟී සිටින මොහොතේ ඔහු භාවිත කළ උපත් පාලන කොපුව යහන අසල බිම වැටී තිබෙනු තමා දුටු බවත්, ඔහු එය නොපැලඳ ලිංගිකව එක්වූ බව අවබෝධ වූ බවත් ඇය සඳහන් කර තිබිණි.
සැබැවින්ම සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරිය සාරා හගේට් සැලකිල්ලට ගත්තේ ධනුෂ්ක ගුණතිලක අදාළ කාන්තාව සමඟ ලිංගික හැසිරීමේදී උපත් පාලන කොපුව ඉවත් කළේ දැයි යන්න ගැන පමණක් ම බැවින් ඔය කියන විනය විරෝධී හැසිරීම යටපත් වූ බවක් ද පෙනේ.
මන්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට පැමිණ රාත්‍රී කාලයේ අනාචාරයේ හැසිරීම විනිසුරුවරියට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවටම අදාළ කාරණාවක් නොවන බැවිනි. තවත් අතකින් බලද්දී උපත් පාලන කොපුව ඉවත් කිරීමේ කාරණාව ශ්‍රී ලංකාවටත් අදාළ නොවේ.
අදාළ වන්නේ රට නියෝජනය කිරීමට ගිය ක්‍රීඩකයකු කණ්ඩායමට පනවා ඇති නීති රෙගුලාසි ද උල්ලංඝනය කරමින් දුරාචාරයේ යෙදීමය. නඩු වැටුණත් නැතත් එම සිදුවීම හෙළිදරව් වූයේ නම් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මෙරට ක්‍රිකට් බලධාරින්ගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි.

අවසානයේ නඩුවක් ද වැටිණි.
ධනුෂ්ක නිදහස් වූයේ දඬුවම් විඳීමේ එළිපත්තටම පැමිණ සිටියදීය. දැන් එළැඹිය යුත්තේ ඔහුට එරෙහිව විනය කඩ කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කිරිමේ අවස්ථාවය.
සිදුවීම අධිකරණය දක්වා දුරදිග ගිය බැවින් අමුතුවෙන් විමර්ශන හෝ පරීක්ෂණ පැවැත්වීමේ හේතුවක් ද නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේ ඔහු අත්අඩංගුවට ගෙන පැය විසිහතරක් ගතවීමටත් පෙරය.
ඔහු සම්බන්ධව දැඩි පියවර ගන්නා බවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ද එවකට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. රටක් නියෝජනය කරමින් වෙනත් රටක ක්‍රීඩාවේ නියැළීමට යන ඕනෑම ක්‍රීඩකයකු එක් අතකින් තානාපතිවරයකු බඳුය.
ඔහු සිය රාජකාරිය අකුරටම ඉටු කළ යුතුව ඇති අතරම, මව්බිමේ ගෞරවය හා කීර්තිය ආරක්ෂා කිරීමේ වගකීමට ද බැඳී සිටී.
උපත් පාලන කොපුවේ කතාව ශ්‍රී ලංකාවට අදාළ නොවන්නේ එබැවිනි.
ක්‍රීඩකයා මව්බිමට කළු පැල්ලමක් එක් කරමින් ඉතා බරපතළ ආකාරයෙන් විනය කඩ කිරීමට එරෙහිව පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි. ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යෑමට අපේක්ෂා කරන මෙරට සියලු ක්‍රීඩකයන්ට ආදර්ශයක් විය යුතු ආකාරයෙන් එම දඬුවම ක්‍රියාත්මක විය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.
එහෙත් දැන් දැන් ධනුෂ්කගේ නිදහස් වීම අරබයා ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ වෙනත් කතාවකි.
කෙටියෙන් කියන්නේ නම් නඩුව ජයගැනීමේ සතුටත් සමඟ ධනුෂ්ක ගුණතිලක හෙට අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.
ඊට පෙර ඔහු සිය නඩු ගාස්තු ඉල්ලා අධිකරණයට අයැදුම්පතක් යොමු කිරීමට නියමිත බවත්, සිය නීතිඥවරුන්ගේ ගාස්තු ඉල්ලා ඔක්තෝබර් මස 4 වැනිදා ඔහු නැවත අධිකරණයට පැමිණීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඒ අතරතුරදී වන්නට ඇත. ගුවන්තොටුපොළේදී ඔහුට මල්මාලා දමා පිළිගැනීමට කිසිවකු කටයුතු කරන්නේ නම් ඒ ගැන ද පුදුම වන්නට දෙයක් නැත.
(මුලාශ්‍රය – සිළුමිණ)

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.
ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.
මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .
1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.
නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.
දයාබර පත්තර මල්ලි වෙත
අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා.
ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්.
මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.
ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්.
ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.
අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා.
කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු.
හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.
ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු .
එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති.
නුවන් ජූඩ් ලියනගේ .
ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .








“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…
ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.
අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”
මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.
ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.
78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.
ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.
5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.
ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.
1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.
ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.
ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.
මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන
ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.
නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.
ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.
“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.
‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’
බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.
1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම
බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.
ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.
සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.
පයිලට් ප්‍රේම්නාත්
ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.
එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.
මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය
පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.
‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.
මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන
ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.
- 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
- 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
- 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
- රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
- ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014
ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.
ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.
ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.
“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.
“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”
“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.
“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”
“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.
මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය – BBC

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
Trending
-
පුවත්1 week ago
2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ
-
පුවත්1 week ago
දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update)
-
පුවත්1 week ago
එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්
-
පුවත්3 days ago
“පත්තර මල්ලී” හෙටින් ඉවරයි
-
පුවත්4 days ago
NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි