Connect with us

තවත් බොහෝ දේ

ලෝක වකුගඩු දිනය අදයි

Published

on

ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත.

ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන බ්‍රස්පතින්දා දිනට යෙදී ඇත.

“දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” තේමා කරගනිමින් මෙම වර්ෂයේ ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද 10% පමණ දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක්  සහ මරණ 1626 ක් වාර්තා වී ඇති බවත්, ආසන්න වශයෙන් දිනකට මරණ 5 පමණ සිදුවී තිබෙන බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ ප්‍රමාණය 6582 ක් වන අතර 2023 – 2024 වර්ෂවල දී පරිතාන රුධිර කාන්දු කරණ  ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය 1000 ක් වේ. එමෙන් ම වකුගඩු බද්ධකල රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ වේ.

වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බව ද පොලොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්කවේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බව ද, මේ වන විට රජයේ රෝහල් 81 ක වකුගඩු රෝග සායන පවත්වන බව ද, රජයේ රෝහල් ගණන 75 කි.

වකුගඩු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුවහොත් රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම,රෝග ලක්ෂණ වලට පමනක් ප්‍රතිකාර කිරීම සිදුකල යුතු බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි..

ලෝක වකුගඩු දිනය ප්‍රථම වරට  2006 වර්ෂයේදී රටවල් 66 ක එකමුතුවෙන් සමරනු ලැබීය.

අදට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇත.

ඒ යටතේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා (11)  පැවැත්විණි.

ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, රජයක් ලෙස අප බලාපොරොත්තුව මෙරට වකුගඩු රෝග අවම කර ගැනීම මෙන්ම බෝ නොවන රෝග හදුනා ගැනීම මෙන්ම පාලනය කිරීමත්, රෝග පවතින ප්‍රදේශවල රෝගය මුලින්ම හදුනාගෙන එය පාලනය කිරීම  වැදගත් වන බව අවධාරණය කර සිටියේ ය.

එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරයන් සදහා විශාල මුදලක් වාර්ෂිකව රජය වැය කරන බව ද, මෙරට වකුගඩු රෝග වලට ගොදුරු වනුයේ වයස අවුරුදු  30 සහ 70 වයස් කාණ්ඩයේ පසුවන ජනතාව වන බවත්, ඔවුන්ගේ හැකියාව, ශ්‍රමය රටට අහිමිවීම මිලකල නොහැකි පාඩුවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

තවත් බොහෝ දේ

වම නෙවෙයි මේක. රුසියන් නව කතා පාඨක සමාජය

Published

on

By

ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු  සිතති. කියති. ලියති. තර්ක කරති. අසන-දකින-බලන අය ‘වම’ ට විසිල් ගසති. ලංකාවේ ඡන්ද සමයට අටවා ගන්නා ‘වාම කුඩාරමක් මිස’ වාම ව්‍යාපාරයක් දැන් නැත. ලංකාවේ ඇත්තේ ‘රැසියන් නවකතා පාඨක සමාජයකි’. බණ්ඩාරනායක, සිරිමා,ඇන්.එම්., පිලිප්, කේනමන්, චන්ද්‍රිකා, මහින්ද, සෝමවංශ, පමණක් නොව ජේ.ආර්.ජයවර්ධන පවා ‘වාම සංකල්පය’ මේ රැසියන් කතා පාඨක සමාජයට අලෙවි කළේය.

සෙමෙන් නමුත් ස්ථිර ලෙසම නැවතත් ආර්ථික අර්බුදයකට යමින් තිබෙන රට,  ගොඩ ගත හැක්කේ ‘වම’ ට ද? දකුණට ද? යන සංවාදය ආරම්භ වී ඇත. ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණට බැට දීමට’ වමේ හණ මිටියට කර ගහන පිරිස් බලය උදෙසාම මේ වම – දකුණ සංවාදය පාවිච්චි කරන්නේ ය. ‍ ලංකාවේ ‘වම’ සහ ‘දකුණ’ අතර ඇත්තේ පට්ටපල් දේශපාලන මිත්‍යාවකි.  ‘වම’ ප්‍රතිශිලී යැයි ද, ‘දකුණ’ සූරා කන්නේ යැයි ද මතයක් ඇත. මේ මතය ‘රැසියන් කතා පාඨක සමාජයේ’ ම නිර්මාණයකි.

1947 මහා මැතිවරණය ජයගත්තේ ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූ ‘දකුණු’ කඳවුර හෙවත් ප්‍රභූ දේශපාලනය යි.  එයට දකුණේ ද, උතුරේ ද ලංකා ජාතික සභාව නායකත්වය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය හා උතුරේ කුලවත් ප්‍රභු කණ්ඩායම් ය.

1952 දී එජාපයෙන් බලය බිඳීම සඳහා ‘වාම ලේබලය’ අලවා ගැනීමට දකු‍ණු කඳවුරේම පිරිසක් කටයුතු කළේය.   ධනවාදයේ හෙවත් ‘දකුණු’ කඳවුරේ ‘වතිකානුව’, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. ඔක්ස්ෆර්ඩ් ගිය බණ්ඩාරනායක 1956 ‘වම’ එකතු කරන මුවාවෙන් දැවැත්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹීය. රැසියන් පාඨක සමාජය ධනපති බණ්ඩාටත් වම යැයි සිතා  රැවටුණේය.  

එජාපයේ බලය බිඳින්නට පාඨක සමාජය එක් කොට ගත හැකි කොඩිය ලෙස ‘වාම ලේබලය’ අටවා ගත්තේය. චූල සම්ප්‍රදායේ දේශපාලන කඳවුරට පොදු හතුරෙකු අවශ්‍ය විය.  ඒ පොදු සතුරාගේ නාම කරනය ‘දකුණ’ ය.  

1960 මාර්තු මහා මැතිවරණයෙන් ‘දකුණ’ හෙවත් එජාප ය ජයගත්තේය.  බණ්ඩාරනායක ද, සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු ‘වම’ එක කඳවුරකට පැමිණ 1960 ජූලි මැතිවරණයෙන් ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය, එනම් එජාපය පරාජය කළේය.  රාජ්‍ය බලය ලබාගත්තා හැර සිදු කළ  ආන්ඩු වෙනසක් නැත.  ධනවාදී සූදුරු ඇටයට ‘වාමාංශික’ සීනි තැවරුණු හූණු බිජ්ජක් ‘වාම ආණ්ඩුව’ ලෙස ජනතාව සලකන්නට පටන් ගත්තේය. එවර ද, රැසියන් පාඨක සමාජය නැවත  සිරිමා – ඇන්.එම්. ගේ ‘වමට’ රැවටුණේය.

නැවත 1970 මහා මැතිවරණයේ දී බලය ලබා ගැනීම සඳහාම ‘වාමාංශික එක්සත් පෙරමුණ’ අටවා ගත්තේ ‘දකුණට කෙළවා බලය ලබාගැනීමට’ ය. ආණ්ඩුවේ කෙළිකාරයෝ වුයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනි ජේ.ආර්.ටත් වඩා මර්ධනකාරී, ධනපතියන්ය. ජවිපෙ නිර්ධය ලෙස මර්ධනය කළෝ ඔවුහුය. මේ ‘වම’ ද ඇන්.එම්. සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේය. දකුණට කතා කරන ඇමතිවරු ද, රැසියානු කඳවුරට කතා කරන ඇමතිවරු ද, එකම ආණ්ඩුවේ විය.  රැසියන් පාඨක සමාජය සිරිමා-ඇන්.එම්. ආණ්ඩුව ‘වම නොවන බව’  1971 කැරැල්ලේ දී වත් අවබෝධ කර ගත්තේ නැත. බලය ගිලිහෙන විට 1976 වමේ නායකයෝ දුම්රිය පීලි ගලවමින් ජේ.ආර්.ට හයෙන් පහක බලයක් ලබා දෙන්නට ඉදිරියට පැමිණියේය. යැංකි ඩිකී ජේ.ආර්. පවා  1975 -1977 සමයේ මේ රැසියන් පාඨක සමාජයට ‘සමාජවාදය’ ඉඟි කළේය. 1978 දී අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්’ බවට පත් කළේය.

දකුණ හෙවත් එජාපයෙන් බලය ගැනීමට නැවත 1982 ජවිපෙ ද, 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ ද, පසුව 1988 – 1990 දී ජවිපෙ ද, ‘වම’ ඉස්සරහට දැමීය.    1994 චන්ද්‍රිකා කුමාරතුංග ‘වම’ යැයි කියමින් එජාප (දකුණ) විරෝධී සියළු බලවේග එකතු කර ගත්තේය.  චන්ද්‍රිකා ආණ්ඩුවේ තිබුණු ‘වමේ ප්‍රතිපත්තියක්’ නැත. තිබුණේ බලය ලබා ගැනීමට අතුල මාවලගේ  ලියූ දැන්වීම් පාඨ පමණී.

නැවත, 2001 දී ආර්ථික අර්බුදයක් මතුවී, රට අරාජික වන විට ජනතාව දකුණ හෙවත් එජාපයට බලය දුන්නේය. ඒ බලය රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් විගසම, නැවත ‘වමේ වලිප්පුව’ ඉස්සරහට දමා චන්ද්‍රිකා සහ ජවිපෙ ‘පරිවාසය ආණ්ඩුවක්’ අටවා ගත්තේය. මහා මැතිවරණයේ වැඩිම මනාප ලබා ඇමතිකම් ගත්තේය. චන්ද්‍රිකා – සෝමවංශ එකතුවෙන් නියම වමක් ඇතිවේ යැයි පාඨක සමාජය සිතුවේය.  

සුනාමි ව්‍යාසනයෙන් පසුව ද, මහින්ද – ජවිපෙ සන්ධානය 2005 ‘වාම ලේබලයෙන්’ ජනාධිපතිවරණයට එන්නේ ‘දකුණේ බලයට’ පැරදවීමටය. රැසියන් පාඨක සමාජය චන්ද්‍රිකාගේ වමට වඩා මහින්ද එක්ක හදන ‘අල්ට්‍රා මැක්ස්’ වමට කැම්පේන් කළේය. හඳුන්නෙත්ති ,  නාමල් රාජපක්ෂට ලියාදුන් පළමු කතාවට පවා පාඨක සමාජය රැවටුණෝය.  

2010 දී ද, 2015 දී ද ජවිපෙ ප්‍රමුඛ වාම කඳවුරට, දකුණ සමඟ එක්වන්නට සිදුවන්නේ ප්‍රතිපත්ති නිසා නොව, පණ බේරාගැනීමට ය. 2015 දිනුවේ ‘වාම මෛත්‍රී හෝ දක්ෂිණ රනිල් නොව’ මරණයේ බියයි. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවයි.  එදා මරණ බිය විසින් ‘රැසියන් පාඨක සමාජය’ බටහිර තානාපති කාර්යාලය, රාජ්‍ය ‍නොවන සංවිධාන වටා ගොනු කරනු ලැබීය.

නිදහසින් පසු ලංකාවේ අසාර්ථකම පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ද, විමල්, ඩලස්, කොමියුනිස්ට්, සම සමාජ, වාසුදේව වැනි ‘වමේ සළුපිළි ආවරණයක්’ සහිතව බව බොහෝ දෙනාට  අමතකය.  රැසියන් කතා පාඨක සමාජයේ කොටසක් රනිල් ලඟ ද, තවත් පිරිසක් මහින්ද ලඟ ද, තාවකාලිකව නැවතුණේය.
ගෝඨාභය ගේ නාමික වාම ආණ්ඩුව අරගලය විසින් ධනපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවක් බවට පත් විය.  රනිල් ‘වම්මු’න්  සමඟ දකුණේ ආණ්ඩුවක් කළේය.  වම්මු, දකුණු කඳවුරට එරෙහිව වෛරයේ කඳවුර නිර්මාණය කළේ ‘225 ම එපා’ සේරම හොරු කියමිනි.

76 වසරක සාපය යැයි කිවේ ද, කාලයෙන් කාලයට රූපාන්ත්‍රණය වූ මේ ‘රැසියන් පාඨක සමාජය’ මය. තමන් වසර 76 ක් එක දිගට ‘වම’ට රැවටී ඇති බවත්, මේ සැරේ නම් නියම ම ‘වම’ හමුවී ඇතැයි ඔවුහු සිතූවෝය.  

2024 රටේ ආර්ථික ස්ථාවරත්වයේ ගමන් මඟ ද, නොතකා ‘දකුණට කෙළවීමට’ වාම ප්‍රතිප්තිය ඉදිරියට ගත්තේ ජවිපෙ යි. එයට සෝවියට් සඟරා, නවකතා කියවූ අපේ පරපුරේ අති මහත් පිරිසක් ද, රාජ්‍ය සේවකයින්ගෙන් 70% ක් ද කර ගැසුවේය.  

අද ධනපති ජේ.ආර්.,  චන්ද්‍රිකා, මහින්ද, රනිල් වලව්කාරයින්ට වඩා හොඳට ජවිපෙ දකුණේ න්‍යාය පත්‍රය ‘වමේ ආණ්ඩුව යැයි කියන ගමන්ම’ කරමින් සිටී. බදු ගැසිල්ල, අයි.එම්.එෆ්. න්‍යාය පත්‍රය, ලෝක බැංකු ව්‍යාපෘතිය පමණක් නොව බ්‍රික්ස් සමුළුවට ලැබුණු ආරාධනයවත් පිළිගන්නේ නැති ‘වාම ආණ්ඩුවක්’ අද ඇත. වත්මන් ‘වම’ ඇමරිකාව සමඟ කරන ගණුදෙනුව ජේ.ආර්. – රනිල්  වත් කළේ නැත.  ජේ.ආර්.,  මැක්නමරා ලඟ නැවුණාට වඩා, අනුර ට ක්‍රිස්ටිනා ජොර්ජියානා  ‘බ්‍රාවෝ’ ලූ ය.  මංගල සමරවීර – USAid සමන්තා පවෙල් හවසකට අඩියක් ගසා මිතුරන් ලෙස සිටි ‘දකුණකි’. අද වමේ ඇමතිලා වෙනුවට රාජ්‍ය නිලධාරි වොෂින්ටන් ගොස් අඩියක් ගසා,  ඒ න්‍යාය  පත්‍රය ගොඩිය පිටින් වැලඳ ගනී. විශ්‍රාම ගිය පසු ඒ ආයතනයේ ම රැකියාවක් ලබා ගන්නට මාවත සකසා ගනී.

දකුණට කරන්නට බැරි වූ බොහෝ ‘ධනපති වැඩ’, මාලිමා ආණ්ඩුව තිතට, හැඩට මිම්මට කරති.  බදු ගසති. දේව භාෂිතය සේ අයි.එම්.එෆ්. අදහති.  මහින්ද – රනිල් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන සමඟ සිටියේ ‘සම අසුන්වල’ ය. අද ආණ්ඩුව ඉන්නේ බංකුවේ නොව පැඳුරේ ය.

ලංකාවේ හැමදාම තිබුණේ අභිමානවත් ‘දකුණ’ කි. ඒ දකුණට කෙළවීමට කාලයෙන් කාලයට අටවා ගන්නා සන්ධානයට ලැබුණු නම ‘වම’ ය. මේ අටමගල, යථාර්ථය, සත්‍යය තේරුම් ගත නොහැකි බහුශුතයෝ ‘දකුණ’ මාර්කට් කළ නොහැකි බව කියති.  

මේ මිත්‍යාව හැදුවෝ ද ‘වම්’ මු ම ය. 1965 පිලිප් ගුණවර්ධන වාම නායකයා ඩඩ්ලි ලඟට ආවේ ය.  1977 විජේවීර ජේ.ආර්. ට හයිය දුන්නේය.  2001 රනිල් අගමැති වුනේ එස්.බී., ජී.එල්., කිරිඇල්ල, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන, රාජිත වැනි වම නිසා යැයි ඔවුහු කියති.  ප්‍රේමදාස ජනපති වූයේ ද ඔසී, සරත් කෝන්ගහගේ, රාජිත වැනි වම්මු නිසා යැයි ද කියති. මෛත්‍රී ජනපති වූයේ ‘වම’ නිසා යැයි කියති.  ඒ සියල්ලම ‘වම’ නොව, රැසියන් නවකතා පාඨක සමාජය බව  අමතක කරති.

අම්මා, පෙරළුණු නැවුම් පස, ගුරු ගීතය, සැබෑ මිනිසෙකුගේ කතාව, මගේ සරසවිය, ළමා විය ආදී වශයෙන් ද, කියවූ 60 සිට 90 දක්වා යුගවල අපි සියළු දෙනා රැසියන් නවකතා සමාජයේ පාඨකයින් ය. පොත් පිටු නැවුම් සුවඳ ආශ්වාදය විදි මිනිසුන්ය. ලංකා දේශපාලනයේ ‘වම’ බවට මේ පාඨක සමාජය අර්ථ ගැන්වීම මිත්‍යාවකි.
රනිල් 2022 දී ජනපති වූයේ ද, මේ රැසියානු පාඨක සමාජයේ ක්‍රියාකලාපය නිසාය.  ඒ සමඟම මේ වම යැයි කියාගන්නා රැසියානු කතා පාඨක සමාජය හරිනි, හර්ෂණ නානායක්කාර, උපුල් කුමරප්පෙරුම, අශෝක පීරිස්, සමඟ මාලිමාව යැයි ‘වමක්’ සාදා ගත්තේය.

ඩිලාන් හා වාසුදේව සිටින්නේ කොතැන ද? එනැත ‘වම’ යැයි අදහන පිරිසක් අදත් ලංකාවේ සිටිති. ටිල්විල් – අනුර – ලාල් – හඳුන් – වසන්ත – නලීන් කොතැන ද? එතැන ‘වම’ යැයි සිතන පිරිසක් තවත් ඉතිරිව ඇත. තව ටික දවසකින් ‘වම’ නිර්මාල් සිටින තැන ද? හරිනි සිටින තැන දැයි සිතන්නට පාඨක සමාජයට සිදුවන්නේය.  ඇත්තටම වම යනු නිර්මාල් මිස හරිනි නොවන බව මේ පිරිස තර්ක කරනු ඇත. හරිනි අවශ්‍ය වූයේ ඡන්දය දිනන්නටය.  දැන් ඡන්දය දිනා අවසන් බැවින් ‘පාඨක සමාජයට’ හරිනි තවදුරටත් වමක් විය යුතු නැත.

ලංකාවේ රාජ්‍යකරණයේ මහා සම්ප්‍රදාය ‘දක්ෂික මාවත’ යි. බලය ලබා ගැනීමට නම් මානසික අල්ලසක් වන්  වූ ‘වාම ලේබලය’ අවශ්‍යය. වාම ලේබලයෙන් විතරක් ‘ඡන්ද දිනිය නොහැකි බව’ ජවිපෙ දනී. මාලිමාවට බලයට එන්නට ධනපති  ශැන්ගිලා, කින්ස්බරී හෝටල් වල සමුළු සම්මන්ත්‍රණ අවශ්‍ය වූයේ ඒ නිසාය.

දැන්, ජේ.ආර්., රනිල්ට කළ නොහැකි ධනපති වැඩ කරන අයි.එම්.එෆ්., ලෝක බැංකුව අතේ නැටවෙන ‘වමේ ආණ්ඩුවක්’ ඇත. ඒ ආණ්ඩුවට ආශක්ත වූවෝ, ‘දකුණට’ අනාගතයක් නැතැයි කියති!

අප්‍රිකාවේ මිලිටරි රාජ්‍යයන්ට වත් ඉටු කරන්නට බැරි වූ, අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන ‘වාම රාජ්‍යයක්’ අද තිබේ. ධන බදු පමණක් නොව, දේපල බද්ධ ද, ජනතාවට ය.  18% ක ඊ කොමස් බද්දක් ගහන්නට හැකි තැනට ‘බදුකරණය දේව වාක්‍ය’ කරගත් වමේ ආණ්ඩුවකි. සජිත් – ජලනී ආණ්ඩුවක් යටතේ කිසිම දවසක කරන්නට හිතන්නේ වත් නැති ‘ධනපති වැඩ කරන’ ආණ්ඩුවකි. රත්තරං අශ්වයින් වෙනුවට දැන් පිරිසම ‘රත්තරං ප්ලග් පොයින්ට්’ අටවති.

දකුණු කඳවුරට විරුද්ධ ‘වාම ලේබලය’ අලවා බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ඉතිහාසය පුරා සිදුව ඇත්තේ මාස හතර පහකින් ‘වම – දකුණ’ මාරුවීම ය.

මැතිවරණයක දී බලය ලබා ගැනීමට ඡන්දදායකයින් අලෙවි කරන ලේබලයක් මිස ලංකාවේ අද ‘වාම දේශපාලන ව්‍යාපාරයක්’ නැත. අද ‘වම’ යැය තමා තමන්ටම ලේබල් ගසා ගන්නේ 70 -90 දශකවල රැසියන් නව කතා, කෙටි කතා, ප්‍රචාරක පොත පත කියවූ මධ්‍යම පාන්තික සමාජයකි. එය ‘රැසියන් නවකතා පාඨක සමාජයක් මිස’ වාම ව්‍යාපාරයක් නොවේ. ප්‍රමාණයෙන් විශාල මේ පාඨක සමාජයේ ඡන්ද පොකුරු සිය අපේක්ෂකයාගේ ‍ඡන්ද ගොඩට එක් කර ගැනීමට ‘වාම කඳවුර’ ලේබලය පක්ෂ නායකයින් විසින් අලවා ගනී. එයින් බලය ලැබූ මොහොතේ සිට මේ පිරිස සාද දමන්නේ ද, බාල් නටන්නේ ද, උපදෙස් ගන්නේ ද, වැඩ කරන්නේ ද, අන්ත දක්ෂිණාංශික කඳවුර සමඟය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු සමඟය.

වසර පහකට සැරයක් මේ රුසියන් නව කතා පාඨක සමාජය නින්දෙන් අවදි වී ‘වාම ලේබලය’ අලවා ගත් ඩක්කුවකට ගොඩ වන්නේය. එතැන් පටන් ‘උප්පතිය සමඟ අවසානය හෙවත් මරණය ද’ පිළිසිද ගන්නේ  මෙන් අලුත් වටයකින් රැවටුණු බව පමණක් අවබෝධ කර ගන්නට පටන් ගනනේ ය.  

රටේ ආර්ථික ප්‍රශ්නය ට උත්තර ඇත්තේ මේ රාජ්‍ය බලය ව්‍යාපෘති ලේබලය අලවාගත් ‘වමේ’ නොව, ශක්තිමත් දක්ෂිනාංශික වැඩපිළිවෙලක බව රැසියානු කතා පාඨක සමාජය දැන්වත් තේරුම් ගත යුතුව ඇත.  

✍️රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

Published

on

By

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස  සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.

ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ  මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.

ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.

2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.

සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.

YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.

Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.

සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.

කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.

නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

Continue Reading

තවත් බොහෝ දේ

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

Published

on

By

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය (International Day against Drug Abuse and Illicit Trafficking)  අද (ජූනි 26)ට යෙදී තිබේ.

මේ වනවිට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ගෝලිය ආර්ථිකයට මෙන්ම සමාජයට ද දැඩි අභියෝගයක්ව අවසන් ය.

විශේෂයෙන් තරුණ ප්‍රජාව, මත්ද්‍රව්‍ය භාවිතයට ශීඝ්‍රයෙන් ගොඳුරු වීම ප්‍රබල ගැටලුවකී.

මුල්මවරට මෙරටට ‘අබිං’ නැමැති මත්ද්‍රව්‍ය හඳුන්වාදී ඇත්තේ පෘතුගීසීන් ය.

19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී ‘අබිං’ වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්විය.

‘අබිං’ සැළකිය යුතු ලෙස ව්‍යාප්ත වෙමින් තිබියදී , 70 දශකය අග භාගයේදී ඉතා ප්‍රබල සහ භයානක මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භවී තිබේ.

නවතම වාර්තාවලට අනුව හෙරොයින් අභිබවා යමින්, මෙරට තරුණ සහ ළමා ප්‍රජාව අතර මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය, ඉහළ ගොස් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල එම ප්‍රජාවන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවය.

අද දිනයට යෙදී ඇති මෙම සුවිශේෂී දිනයට සමගාමීව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව සංවිධානය කර ඇති 2025 මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිටු දැකීමේ ජාත්‍යන්තර දින විශේෂ වැඩසටහන අද (26)  පෙ.ව. 10 ට නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී  පැවැත්වේ 

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පාගමනක්ද ඇතුළුව මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත්  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාත්, සහභාගී විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved