Connect with us

විශේෂාංග

ලෝක වනජීවී දිනය අදයි

Published

on

ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට බල කිරීම සඳහා වාර්ෂිකව විවිධ දිනයන් සහ සති ප‍්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

වනජීවී සම්පත තිරසර ලෙස භාවිතයට ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු විය යුතු මෙන්ම ඒ සඳහා ක‍්‍රියාකාරීව දායක විය යුතු වේ. ගහකොළ සතා සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි.

එවන් වූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වාර්ෂිකව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් දිනයන් ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර මාර්තු 03 දිනට යෙදෙන ලෝක වනජීවී දිනය ද සුවිශේෂි වේ.

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

ලෝකයේ වනජීවි සම්පත දිනපතා ලක්ෂ ගණනින් මිනිසාගේ භාවිතය සඳහා විනාශයට පත් වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත්, රූපලාවන්‍ය, මෝස්තර, පාරිසරික සංචාරය සහ විනෝදාස්වාදය සඳහා මෙලෙස වනජීවීන් විනාශයට පත් වන අතර ජීවී විශේෂ දස දහස් ගණනින් දෛනිකව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාමට ද යොදා ගැනේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කර ඔවුන් වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම එක්සත් ජාතීන් විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.

ලෝකයේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) 1973 දි පිහිටුවන ලද ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්නා ප‍්‍රබල සම්මුතියකි. 2013 වසරේ මාර්තු මාසයේදි බැංකොක් නුවර පැවැති එම සම්මුතියෙහි 40 වන වාර්ෂික සැසියේදි ලෝකයේ වන සත්ව සහ ශාක විශේෂ නිතී විරෝධි ලෙස වෙළඳාමෙහි යෙදවීම වැළැක්වීමත් වනජීවි සංහාරය මැඬපැවැත්වීමත් අරමුණු කරගෙන ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කිරිම පිළිබඳව යෝජනාව ඉදිරිපත් විය.

එම යෝජනාව මල්ඵල ගන්වමින් 2014 මාර්තු 03 ප‍්‍රථම ලෝක වනජීවී දිනය ලෝක ජනතාව විසින් සමරන ලදි. පාර්ශ්වීය රටවල් 184 කින් සමන්විත CITES සම්මුතියට 1979 දී ශ‍්‍රී ලංකාව ද පාර්ශවීය රටක් ලෙස ගිවිසුම් ගත වූ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි අධිකාරි බලය ලත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනය වේ.

ඒ අනුව 2014 දී මාර්තු 01 දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රථම ලෝක වනජීවී දිනය සමරනු ලැබුවේ මුද්දරයක් හා මුල් දින කවරයක් ද ප‍්‍රකාශයට පත් කරමිනි. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණු පා සිටින තෙත් කඳුකර කලාපයේ ජීවත්වන ශ‍්‍රී ලංකාවට ආවේණික මැඩියකු වන කඳුකර පඳුරු මැඩියා (Taruga eques) නිරූපිත මුද්දරය වනජීවි දිනය නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ ලෝකයේ මුල්ම මුද්දර කිහිපය අතරට එක් විය. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය, නකල්ස් ලෝක උරුම වනාන්තරය සහ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතයේදී පමණක් කඳුකර පඳුරු මැඩියා හඳුනා ගැනීමට හැකි වන අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස 2012 දී කඳුකර පඳුරු මැඩියා රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ වනජීවි විශේෂ ලොවින් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන් වනාන්තර මිනිසුන් විසින් අත්පත්කර ගැනීම, ගිනි තැබීම, නීති විරෝධී ගස් කැපීම සහ වනාන්තර වගා කටයුතු වෙනුවෙන් යොදා ගැනීම, දඩයම ආදි විවිධ මානව ක‍්‍රියා හේතුවෙන් මෙලෙස ජීවී විශේෂ රාශියක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි.

ශ‍්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය (ව.කි.මී.10,000 ජිවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව) වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ. මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවීන්, උරගයින් මෙන්ම ක්ෂිරපායී සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වාංශිකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්නේ නම් තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලූන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ. උඩුවියන් ආශ‍්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ‍්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන ශීඝ‍්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇත.

ලෝකයේ වනසත්ව හා ශාක විශේෂ 8400ක් පමණ උග‍්‍රලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර තවත් ජීවි විශේෂ 30,000ක් පමණ වඳවී යෑමේ තර්ජනයට වේගයෙන් ළඟා වෙමින් පවතී. මේ අනුව ලෝකයේ මිලියනයක් පමණ ජීවි විශේෂ තර්ජනයට ලක්ව ඇති බව තහවුරු වේ.

මෙවර වනජීවී දින තේමාව “වනජීවී සංරක්ෂණය මිනිසා හා පෘථිවියේ අනාගත ආයෝජනයයි”.

ලෝක වනජීවී දිනය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන උත්සවය අද (03) විල්පත්තුව ජාතික උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved