Connect with us

විශේෂාංග

වැලන්ටයින් කථා වස්තුව

Published

on

අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

ආදරවන්තයින්ගේ දිනය  හෙවත් වැලන්ටයින් දිනය  ලෙස කියලා අපි මේ වෙනකොට සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක්. ඒත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමකි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග ප්‍රේමයෙන් බැඳුන බව සඳහන්ය.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. 

වැලන්ටයින් සුබපැතුම්පත 1909

විශේෂාංග

පැරණිම දේශපාලන පක්ෂයක් ඝාතනය කිරීම

Published

on

By

ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය රැකගන්නට  කටයුතු කළේය. රටම දන්නා කොමියුනිස්ට්වාදීන් 43 ක් ඝාතනය විය. ඔවුන්ට උමවමනා වූවේ ‘කොමියුනිස්ට් පක්ෂය’ ඝාතනය කිරීම ම ය.

ජවිපෙට කොමියුනිස්ට් පක්ෂය සමඟ මාරාන්තික ‘ඇරියස් එකක්’ තිබුණි. ජවිපෙ මුලින්ම රටට හෙළි කළේ 1969 නොවැ. 9 කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරේ ‘තරුණයින් බිලිගන්න සී.අයි.ඒ. කෙමනක්’ ප්‍රවෘත්තියෙනි. ඒ ගින්න කිසිදා නිවුණේ නැත.

කොමියුනිස්ට් පක්ෂයේ ‘ලංකා ජාතික ශිෂ්‍ය සංගමය’ සතු වූ සරසවි ශිෂ්‍ය බලය, ජවිපෙ විසින් 1978 න් පසුව උදුරාගත්තේය. දෙවන කැරැල්ල ආරම්භයේ දී ම, ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් හය (6) දෙනකු ඝාතනය විය. දෙවිනුව බී.ජේ. අබේසේකර ඝාතනය කරනු ලැබූවේ අලවංගුවකින් පහර දී ය. මාතර වසන්ත කුමාර සේනාධීර, පුත්තලම අමිල දුල්ෂාන් ද සමඟ කොමියුනිස්ට් ශිෂ්‍ය ව්‍යාපාරය ඝාතනය විය. දීප්ති ළමාහේවා, දයා පතිරණ, ධර්මසිරි, චමිලි වර්ණකුලසූරිය, නිර්මාල් දේවසිරි, ශිරාල් ලක්තිලක, තිසරණී ගුණසේකර, උපුල් ශාන්ත සන්නස්ගල, ජගත් වැල්ලවත්ත, අනෝමා ජනාදරී වැනි දැවැන්තයින් බිහිකළ ‘ස්වාධීන ශිෂ්‍ය සංගමය’ මෙන්ම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමය ද කැරැල්ලෙන් අවසන් ගමන් ගියේය! ‘අන්තරය’ බිහිවූවේ මේ ශිෂ්‍ය සංගම් දෙකේ
ඝාතන හිඩස තුල ය.

‘එක්සත් සමාජවාදී පෙරමුණ’ හදන්නට අවශ්‍ය කාර්යාලීය හා මානව සම්පත් ලැබුණේ කොමියුනිස්ට් පක්ෂයෙනි. සෝවියට් දේශයෙන් ලැබු‍ණු මුදල්, බුද්ධිමතුන්, මුද්‍රණාලය සහ ‘ඇත්ත පත්තරය’ එයට හේතුවිය. ජවිපෙ 1987 ඔක්තෝබර් 1 සවස 6.45 ට පමණ ‘ඇත්ත’ පත්තරයට ගිණි තබා කාර්යාලය විනාශ කළේය. සේවකයින් බැඳ දමනු ලැබීය. ආණ්ඩුවේ 1988 මැයි 20 දින ලේක් හවුස් පත්තර සමඟ ‘ඇත්ත’ ද ‘මුද්‍රණය, බෙදාහැරීම හා කියවීම’ තහනම් කළේය.

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ක්‍රියාකාරීන් 87 -89 ගැන සෑම විටම පැවසූවේ, ‘ජවිපෙට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රතිචාරයක්’ ලෙසය. නමුත්, කොමියුනිස්ට්, සම සමාජ, මහජන, නසසප, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුළු පැරණි වමට ප්‍රහාර එල්ල කළේ රාජ්‍ය ත්‍රස්තවාදය
හේතුවෙන් නොවේ. ඔවුන් ඝාතනය කළේ ‘දේශප්‍රේමී සටන් පාඨයටත්, ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම’ නිසාය.

එදා මෙරට ප්‍රමුඛ ගුරු සංගමය ‘ලංකා ජාතික ගුරු සම්මේලනයේ’ සභාපති රොජ්ර් රත්නායක ඝාතනය කරන විට දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. 1988 සැප්තෑම්බර් 14 බස්රථයකින් ගමන් කරමින් සිටිය දී, ජොර්ජ් රත්නායකට ජවිපෙ දෙදෙනෙකු විසින් පිහියෙන් අනිනු ලැබීය. වයස 8 අඩු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ රත්නායකයන් මැරූ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය. ඝාතක ළමයා රෝර්ජ් යනු කවුදැයි දැන සිටි ද නැත! ජෝර්ජ් සමඟ ගුරු සංගමය ඝාතනය විය! ගුරු වෘත්තීය සමිති බලය පක්ෂයට අහිමි විය.

එල්.ඩබ්ලිව්. පණ්ඩිත (රත්ගම) – පැය 8 වැඩ දිනය, ස්ත්‍රී පුරුෂ සම වැටුප, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීමට මුලික වූ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම්වරයාය. 1988 ජුනි 26 රාත්‍රී දෙමටගොඩ දී පිහියෙන් ඇන ඔහු ඝාතනය කළේය. ජවිපෙ ට වෘත්තීය සමිති ව්‍යාපාරය ජයගැනීමට තිබූ ලොකුම බාධකය පණ්ඩිත නිසා ජවිපෙ 1986 සංවත්තරයක් දවසේ ඔහුට ශාරීරිකව පහර දුන්නේය. කැරැල්ල සිදුවන විටත් ජවිපෙ හි ‘ජාතික වෘත්තීය සමිති සම්මේලනය’ ට සමාජිකයින් නොවූ අතර වැඩවර්ජන කළේ කල්කටස් තුවක්කුවේ හයියෙනි. පණ්ඩිත සමඟ කොමියුනිස්ට් වෘත්තීය සමිතිය ද ඝාතනය විය!

ප්‍රකට ලේඛකයෙකු ද ගුරුවරයෙකු ද වූ හබරකඩ ජේ.ඊ. ගුණසේකර ලොව විශිෂ්ඨතම රැසියන් කෘතියක් වූ ‘උභය ජීවී’ පරිවර්ථනය ඇතුළු පොත් 13 ලියා ඇත. 1988 ඔක්තෝබර් 2 ඔහු මරා දමන විට වසර 72 කි.

මාතර තරුණ සමිතියේ ලේකම් ගාමිණී රණවීර 1988 අගෝස්තු 30 ඝාතනය කරන විට ඔහුගේ බිරිඳ හය මස් ගැබිණියකි.

මේ සියළු දෙනා ජීවිත කාලයට එදා පාලක එජාපයට විරුද්ධව දේශපාලන කළ ඒ නිසා දේශපාලන පළිගැනීමට ලක් වූ, ජීවිතයේ අනෙක පීඩාවන්ට ලක් වූ වාමාංශික පාලනයක් පැතූ ප්‍රතිපත්තිකරුක මිනිසුන් ය!

1983 ජවිපෙ තහනම මේ ඛෙදවාචකයේ ආරම්භය යි. 1982 මැයි 18 පැවති අතුරු මැතිවරණ කිහිපයක තරඟ කල ජවිපෙ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබීය. මහා මැතිවරණයකින් පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීමේ ඉඩ අවහිර නොවූවේ නම්, කැරැල්ල ඇති නොවන්නට ද තිබුණු බව ද කිව යුතුය. නමුත්, මේ ඝාතන ‘රාජ්‍ය ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැත.

ගාමිණී මැදගෙදර පොලොන්නරුවේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සිටිමින් කොමියුනිස්ට් පක්ෂ දිසා ලේකම් ලෙස කටයුතු කළ නීති ශිෂ්‍යයෙකි. ජවිපෙ ඝාතන රැල්ලෙන් මැරූ තුන්වැනියාය. මාතලෙන් පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයෙකු විසින් මරණ පරීක්ෂණය පවත්වා, පොලොන්නරුවේ මතක වස්ත්‍ර පූජා කොට, දේහය සීදුවේ දී මිහිදන් කරනු ලැබූවේ ජවිපෙ තුණ්ඩු කෑල්ලේ භීෂණයේ පරිමාව ගැන අදහසක් දෙමිනි. විජය කුමාරතුංග මේ මළ ගෙදර සිදු කළ කතාවෙන් දින 4 කට පසු ඝාතනය විය. විජය කුමාරතුංග කොමිෂන් සභාව මේ අවමගුල් කථාව සොයා යන විට එහි විඩියෝ කැසට් එක රූපවාහිනියෙන් ඉවත් කිරීමට තරම් සුක්ෂම වී තිබුණි.

නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වෘත්තියෙන් ඉංජිනේරුවයෙකු ද විය. සරත් මුත්තෙට්ටුගම ගේ දේශපාලන සඟයා වූ දේශප්‍රිය කොළොන්න කොමියුනිස්ට් නායකයාය. බටලන්ද ගැන කතා කරන විට නිතර කියවෙන නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැරගැනීමේ දී පොලිස් පැමිණිල්ල සිදු කළ නීතිඥයා දේශප්‍රිය යි. පුරුද්දක් ලෙස සිය පියාගේ සොහොනට මල් තබන්නට යන දේශප්‍රිය සවස 7.30ට පියාගේ සොහොන අසල දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

(ගෝඨාභය ගේ පුද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාර ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර ගේ පියා ය, දේශ‍ප්‍රිය ඝාතනය වෙනත් පක්ෂයක මැරයින් පිරිසක් සිදු කළ බවට ප්‍රබල ජනගත අදහසක් ද ඇත.)

හිටපු විදුහල්පතිවරයෙකු හා සමූපකාර ව්‍යාපාරයේ ගෞරවණීය නායකයෙකු වූ කේ.ඒ.ඩී.සද්ධාතිස්ස අංශභාග රෝගියෙකු ලෙස නිවසේ සිටිය දී 1988 ජනවාරි 5 ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එදිනම ඔහුගේ පුතා වූ කොමියුනිස්ට් තරුණ සංගමයේ දිසා නායක උපුල් සද්ධාතිස්ස තේ දළු එකතු කරන්නට ලොරියක යමින් සිටිය දී එදිනම ජවිපෙ වෙතින් ඝාතනය විය. මාගේ මාමා කෙනෙකු වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කිංස්ලි සර්, මේ පුවත අසා මහ රෑ හැඩු හැටි මට තවම මතකය. සද්ධාතිස්ස ඝාතනය බොහෝ දෙනා දුටුවේ මිලේච්ඡත්වයේ පිළිඹිබුවක් ලෙසිනි.

හෙන්රි පමුණුව 1988 ඔක්තෝබර් 1 දින මහරගම ඔහුගේ නිවෙස ඉදිරිපිට දී ඝාතනය කරන ලද්දේ රාත්‍රී 7.30ට පමණය. සිවිල් සංවිධාන රැසක ප්‍රබල චරිතයක් වූ ඔහු ට වෙඩි තැබීමෙන් පසුව සිරුරේ ස්ථාන 21 කට පිහියෙන් ඇණ තිබුණි. චතුර පමුණුව හා සරණපාල පමුණුව යනු හෙන්රි ගේ දරුවන් ය.

කොමියුනිස්ට් පක්ෂයට වඩා ලොකු පත්තරයක් ‘ඇත්ත’ නමින් පක්ෂයට තිබුණි. අසූව වර්ජකයෙකු වූ මගේ බාප්පා හැමදාම පත්තරේ ගෙදර ගෙනාවේය. අවුරුදු 10 අද දක්වාම අතට අහුවන හැම විටම ‘ඇත්ත’ පෙරළා බලන පුරුද්ද ආවේ හතරේ පහේ පන්තියේ සිටය. ජවිපෙ ‘මහජන අච්චු කන්තෝරුවේ’ සේවයකින්ට පහර දුන්නේය. පත්තර ගිණි තිබ්බේය. බෝම්බ ගැසුවේය. 87 – 89 විනාශ කළ ‘ඇත්තට’ තිබූ මාධ්‍ය බලය නැවත ගොඩනගා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට තබා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයට හැකිවූයේ නැත. (මේ ගැන දේශපාලන සන්නිවේදනය – රජුන් තැනීමේ කලාව පොතේ මම දීර්ඝව ලියා ඇත) කර්තෘ ලොකුබණ්ඩා වනිගසේකර ගේ මහනුවර පවුලේ සාමාජිකයින් ඝාතනය කෙරුණි. ලොකුබණ්ඩා ජීවිත කාලයම අවිවාහයක තම පවුලේ අනාථවූවන් සුරක්ෂා කළේය. කැරැල්ල මරා දැමූ මිනිසුන් පමණක් නොව ජීවත්වන මිනිසුන් ගේ ද ජීවිත පණ පිටින් විනාශ කළේය.
රජයේ නීති විරෝධී ඝාතන කල්ලි හෙළිකරන ‘කළු බලල් ප්‍රවෘත්තිය’ නිසා ලොකුබණ්ඩාට ප්‍රේමදාස පාලනයේ මාධ්‍ය නිදහස ගැන ඓතිහාසික නඩුවක් ද වැටුණේය.

මාතර ගාමිණී තුඩාව, හක්මන කේ.ඒ.උපුල් රංජිත්, කරුණෑගල ජිනදාස, සරත්චන්ද්‍ර අතුරලිය, ඩී.වීරසිංහ, ඩබ්ලිව්. කරුණාරත්න, වෙහෙරහේන කේ.එම්.විමලසේන ඝාතනය වූ පක්ෂ සාමාජිකයින් 43 න් පිරිසකි. විමලසේනට වෙඩි දෙකක් තබා හතර තැනකට පිහියෙන් ඇණ සාදා නිම කළ චිතකයේ අවසන් ගෞරවය දැක්වීම ද තහනම් කරන ලදී. තල්පාවිල කේ.ජී.විමලසෝම 1988 ඔක්. 26 දින ඝාතනය විය.

දිවුලපිටියේ ටී.අමරදාස ඝාතනය වූයේ 1988 මැයි 8 එක්සත් සමාජවාදී පෙරමුණේ රැස්වීමක් අමතමින් සිටිය දී ය. ඇඹිලිපිටියේ එච්.ජී. ජිනදාස තමන්ට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට පෙරළා වෙඩි තබා ඝාතනය කළේය. අනෙකාට ද වෙඩි තබා තුවාල කළ නමුත් ඔහු පෙරලා තිබූ වෙඩි පහරට ජිනදාස මිය ගියේය. බිය නිසාම කිසිවෙකුත් ජිනදාස ගේ දේහය භාරනොගත් නමුත් පොලීසිය ඔහුට උත්තමාචාර පවත්වා මිහිදන් කළේය. සූරියකන්ද, ඇඹිලිපිටිය සිසු ඝාතන ගැන ඔබ ඇති තරම් කියවා ඇති නමුත්, ‘සූරියකන්ද මිනීවලින් පිරෙන්නට’ ආසන්නතම හේතු ව ජිනදාගේ ඝාතනයට හමුදාවේ පොලීසියේ ප්‍රතිචාරය බව බොහෝ දෙනා අහන්නට අකමැති කතාවයි. ජවිපෙ රෑට රෑට මුහුණ වසාගෙන ගෙවල්වලට පැන ඝාතන සිදු කළ ක්‍රමයටම, හමුදාවේ කෝප්‍රල් ලා හයිඑස් වෑන් එකෙන් ගොස් යුද්ධ කරන්නට තීරණය වූයේ මේ සිද්ධියත් සමඟිනි.

2024 දක්වාම කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මාතර දී කොමියුනිස්ට් සමාජිකයින් මැරෑ ආකාරයට එය පැවතීම පවා පුදුම සහගතය. මාතර රෝහලේ බාහිර රෝගී අංශයේ ලෙඩුන්ට සේවය කරමින් සිටිය දී පී.ජී. ප්‍රේමලාල් 1988 නොවැ. 29 ඝාතනය කළේය. කඹුරුපිටියේ ගම්පති ටී.ධනපාල කුඹු‍රේ දී පිහියෙන් ඇණ ඝාතනය කරන විට 75 වන වියේ පසුවිය. මාතර ගම්සභාවේ සභාපති වූ පී.ඒ. ජයවර්ධන වැලිදුව දී 1988 අප්‍රේල් 22 ඝාතනය විය. හක්මන ක.ගි. දහම්සිරි, වේයන්ගොඩ සමරවර්ධන රාජපක්ෂ, ගම්පහ කේ.ඒ.ගුණසිරි, මාතර ලුවිස් ප්‍රතාපසිංහ, ජූලි වර්ජක කැලණිය අතපත්තු ධර්මදාස, දෙවිනුවර කේ.ජී. ධර්මසිරි, වාරිපපොල උප විදුහල්පති කේ.ඒ.ඩී. ජිනදාස, මාතර තැපැල් දෙපාර්තමේන්තුවේ එන්.නන්දසේන, මාතර ජී.මී.කුලතුංග, බූස්ස සුදත් ලාල් ගමගේ, එන්.ජී.ඒබ්‍රහිම්, ඩබ්ලිව්. පියසේන ඝාතන ද කැරැල්ලේ ප්‍රතිඑලය. මෙවැනි ඝාතන රැල්ලක් හමුවේ වුව ද, මාතර ඩැනී හිත්තැටිය වැනි නායකයින් පණ බේරා ගැනීමට පාපැදියේ ගිණි අවියතබාගෙන දේශපාලනය කළ පරම්පරාවේ මිනිසුන් ලෙස ඉතිහාසයට එක් වන්නේය.

කොමියුනිස් පක්ෂයේ සමාජිකයින් අතර කුරුරුම ඉරණම අත්වූයේ අනුරාධපුර රාජාංගයේ යායා 17 එකම පවුලේ සාමාජිකයින් වූ කොමියුනිස්ට් පක්ෂයේ අනුරාධපුර ප්‍රබලයින් වූ එස්.විජේරත්න, කේ.වීරරත්න හා කේ. තිලකරත්න ට ය. ඔවුන් තිදෙනාගේ දෙපා සහ අත් ලණුවකින් බැඳ කි.මි. 2 ක් දුර බිම ඇදගෙන ගොස් බස්නැවතුමක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. දේ.ජ.ව්‍යා. විසින් පක්ෂයෙන් ඉවත්වී බැනර් දමන්නට කළ නියෝගය ඔවුන් පැහැර හැර තිබුණි. මේ ඝාතන ත්‍රිත්වයත් සමඟ අනුරාධපුර හමුදා මෙහෙයුම් කුරිරු හා සහාසික වූ බව හොදින්ම  දන්නේ එදා අනුරාධපුර දිස්ත්‍රික් නායක වු ජවිපෙ ජනාධිපතිවරණ අපෙක්ෂක නන්දන ගුණතිලක ය.

එකා පිටුපස එකා ඝාතනය වන විට ආණ්ඩුව ලබාදුන් ආරක්ෂක නිලධාරීන්ගෙන් හා ආයුධ වලින් සන්නද්ධව ජීවිතය බේරාගත්තෝය. අද වසර 35 කට පසුව එදා කොමියුනිස්ට් පක්ෂය මුහුණ දුන් භීෂණයේ ප්‍රමාණය විසින් පක්ෂ සාමාජිකයින් තුල ඇති කළ හැඟීම වටහා ගැනීම පහසු නැත. නමුත්, ජයන්ත ගම්මන්පිල නමින් ‘රන් පිළිම’ නමින් කවි පොතක එදා කොමියුනිස්ට්වාදීන් ලෙස මේ පාක්ෂිකයින් මුහුණ දුන් මානුෂීය හැඟුම් කැටි කොට තිබුණි. නීතිඥ එස්.ජී.පුංචිහේවා විසින් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට පරිත්‍යාග කරන ලද පුස්තකාලයේ එහි පිටපත් තිබිය හැකිය. කැමැත්තෝ සොයාගෙන කියවත්වා! (නිර්මාල් ලඟ ද පොතක් තිබිය හැකිය)

87 – 90 භිෂණය ජේ.ආර්. සහ එජාපය පිට පටවනු ලබන්නේය. ජීවිත කාලයම වාමාංශික දේශපාලන නිසා එජාපයේ පීඩාවට ලක් වූ කොමියුනිස්ට්, සම සමාජ, නව සමසමාජ, මහජන පක්ෂ, විප්ලවකාරි කොමියුනිස්ට් පක්ෂය, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය විනාශ කිරීමට ගල්කටස් පත්තු වූවේ සන් සූ ගේ ‘ආර්ට් ඔෆ් වෝ’ සිද්ධාන්තයන්ට අනුවය.

බ්‍රිගේඩියර් ජානක පෙරේරා දෙවන කැරැල්ලේ දී ජවිපෙ සිදු කළ වැරදි දෙක ලෙස දකින්නේ හමුදා සමාජිකයින්ගේ පවුල් ඝාතනය කිරීම හා වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමය. වාමාංශිකයින් ඝාතනයෙන් කැරැල්ලේ සුජාත භාවය විනාශ වූයේය. ඝාතනය වූයේ පක්ෂ සමාජිකයින් නමුත්, ජවිපෙ දෙවන කැරැල්ලේ දී උත්සහ කළේ කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම මරා දැමීම ය. එම උත්සාහය අඩක් සාර්ථක වූ අතර, 1994 න් පසුව ධනපති පක්ෂවල ඇමති ධූර ලබා ගැනීම නිසා ඉතිරි අඩ සම්පූර්ණ විය. 

– රජිත් කීර්ති තෙන්නකෝන් – 

Continue Reading

විශේෂාංග

අද ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය යි

Published

on

By

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ.

“තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාවයි.

පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම පිළිබඳව කාලීනව අවධානයක් යොමුකරමින් මෙවර එම තේමාව යටතේ පාරිභෝගික දිනය සමරනු ලබයි.

සියලුම පාරිභෝගිකයින්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ එම අයිතිවාසිකම්වලට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට දිරිගැන්වීමට අවස්ථාවක් ලබාදීම මෙම දිනයේ ප්‍රධාන අරමුණකි.

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය ප්‍රථම වරට 1983 දී සමරනු ලැබූ අතර, 1962 මාර්තු 15 වන දින ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් කළ කතාව සිහිපත් කිරීම වෙනුවෙන් මෙම දිනය තෝරාගෙන තිබේ.

Continue Reading

විශේෂාංග

ලිංගික අපරාධ: මරණීය දණ්ඩනය අවශ්‍ය ද?

Published

on

By

ශ්‍රී ලංකාව තුළ ලිංගික අපරාධ, ලිංගික හිංසන, ළමා අපයෝජන සිද්ධි කොතෙකුත් වාර්තා වුව ද, මීට පෙර මතු නොවූ අවධානයක් ඒ පිළිබඳව යොමු වී තිබේ.

ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධියත් සමග ය.

පසුගිය සඳුදා දිනයේදී (මාර්තු 10) සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව විවිධ අදහස් පළ වී තිබිණි.

‘රෝහලක් තුළ වෛද්‍යවරියකට මෙහෙම වෙනවා නම් අන් ස්ත්‍රීන් ගැන කතා කිරීමෙන් ඵලක් නෑ’

වෛද්‍යවරියක ද වන හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ, රාජකාරියේ නිරතව සිටින අතරතුර වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක්වීම බරපතළ කරුණක් බව ය.

මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.

“රෝහල තුළ ඔන් කෝල් ඉන්න වෛද්‍යවරියකට ලිංගික හිරිහැර වෙනවා නම් සාමාන්‍ය ගැහැනු දරුවෙක් ගැන කතා කරලා වැඩක් නෑ. පාසල්වල දරුවෝ අපයෝජනයට ලක්වුණ අවස්ථා එමට යි. නීතිය හරියට ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. මේ අපයෝජකයන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. අධිකරණය තුළ ගොඩක් ප්‍රමාද වෙනවා මේ නඩු. නඩු අහනකොට සමහර පුංචි අය වැඩිවියට පත් වෙලා නිසා සාක්ෂි දෙන්න එන්නෙ නැති අවස්ථා තියෙනවා. එතකොට නඩු අහක යනවා. එතකොට චූදිතයෝ නිදැල්ලේ යනවා. සම්පූර්ණ පද්ධතිය ම සකස් කර ගන්නකම් මේවා අවම කර ගන්න බැරි වෙයි.”

‘දඬුවම් දීම කඩිනම් කළ යුතු යි’

සේවා ස්ථානය තුළ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු වීම බරපතළ සිදුවීමක් බව කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුමිකා පෙරේරා පවසයි.

ඇය පෙන්වා දුන්නේ, නීතිය ක්‍රියාත්මක වීම කඩිනම් කළ යුතු බව ය.

“දඬුවම් කිරීම අත්‍යවශ්‍ය යි. හැබැයි දඬුවම් කිරීමෙන් පමණක් මේවා නතර කරන්න බැහැ. කාන්තාවන්ට ආරක්ෂාවක් අවශ්‍ය යි. ඒ වගේ ම මෙවැනි අපරාධ නොවන සමාජයක් ගොඩ නගන්නත් අවශ්‍ය යි. ස්ත්‍රියට ගෞරවාන්විතව සලකන සමාජයක් අපට අවශ්‍ය යි.”

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ඇය සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබිණි.

‘මරණ දඬුවම දිය යුතු යි’

ලිංගික අපයෝජන ඇතුළු අපරාධ මර්දනය කිරීම සඳහා පළමුවෙන් ම ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් විය යුතු බව නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දෙයි.

ඇය පවසන්නේ, රට තුළ ප්‍රමාණවත් නීති පද්ධතියක් පැවතිය ද ඒවා ක්‍රියාත්මක වීම නිසි පරිදි සිදු නොවන බව ය.

“පළවෙනියට ම කියන්න තියෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ටික ශක්තිමත් වෙන්න ඕනෙ. නීතිය තියෙනවා. නීතිය පැහැදිලි යි. අපේ රටේ නීතියෙ කිසි ම ප්‍රශ්නයක් නෑ. නීතිය තියෙනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ටික තියෙනවා නේ. නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, අමාත්‍යංශ ඒ වෙනුවෙන් කරන කැපවීම් මොනව ද? ඒවා ක්‍රියාත්මක කරන්න මොනවා ද කරන්නේ කියන එක යි ප්‍රශ්නය. අපේ රටේ අපරාධකාරයෝ බය නැති ප්‍රධාන හේතුව තමයි, අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දූෂිත යි. ඒ නිසා අපරාධකාරයෝ ඕන ම වරදක් කරන්න බය නෑ.”

ඇය අවධාරණය කළේ, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධයෙන් ‘අනිවාර්යයෙන් ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු’ බව ය.

“මේ අපරාධ නවත්වන්න නම් පාලකයින්ට ඇත්තට ම වුවමනාවක් තියෙන්න ඕනෙ ඒකට. අපරාධයක් කරන අයට දඬුවමක් ලැබෙන්න ඕනෙ. එහෙම නැතුව අපේ රටේ ස්ත්‍රී දූෂණ නවත්වන්න බෑ. ඒ නිසා, එකක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මම කියන්නේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනී මැරීම් කරන අයට අනිවාර්යයෙන් මරණීය දණ්ඩනය දෙන්න ඕනෙ. ඒකට නීති සංශෝධනය කරන්න ඕනෙ. අනිත් එක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දූෂණය නැති කරන්න ඕනෙ.”

‘මරණීය දණ්ඩනය පිළියමක් නෙවෙයි’

මේ අතර, මරණීය දණ්ඩනය පැනවීමෙන් මෙවැනි අපරාධ මර්දනය කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්ගේ අදහස යි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ය.

උදාහරණයක් ලෙස රස පරීක්ෂණ වාර්තා ලබා දීමට ගත වන කාලය අවම කර ගැනීම වැනි පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

“නීතිමය කටයුතුවලට සම්බන්ධ ආයතන කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන. තවත් සැලකිය යුතු ප්‍රශ්නයක් තමයි, ලංකාවේ අධිකරණ සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. ලංකාවේ අපරාධ නඩුවලට සාපේක්ෂව අධිකරණ සංඛ්‍යාව මදි. ඒ වගේ ම, රස පරීක්ෂණ වාර්තා ලැබෙන්න විශාල කාලයක් ගත වෙනවා. ඒවා වෙනස් කළොත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙයි,” නීතිඥ සාලිය පීරිස් පැවසීය.

මේ අතර, මරණීය දණ්ඩනය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය (DPIC) නිකුත් කර ඇති දත්ත අනුව, ඇමෙරිකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන ජනපදවලට වඩා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ජනපදවල ඝාතන සිදුවීම් වැඩි අගයක් ගන්නා බව පෙනී යයි.

ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එම දත්ත සැලකීමේදී මරණීය දණ්ඩනය පැනවීම තුළින් අපරාධ අඩු වන බවට නිගමනය කළ නොහැකි බව ය.වත්මන් දඬුවම් මොනවා ද?

වත්මන් නීති පද්ධතිය තුළ ලිංගික අපරාධයකට මරණීය දණ්ඩනය නියම කළ නොහැකි අතර ලබා දිය හැක්කේ සිර දඬුවමක් පමණි.

ඒ, වසර 7 සිට වසර 20 දක්වා කාලයක් සඳහා ය.

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය

මෙම සිද්ධියට අදාළ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අතර, එවැනි අපරාධ සම්බන්ධයෙන් සිදුවන අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ය.

– කුමුදු ජයවර්ධන ( බීබීසී සිංහල) – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved