Connect with us

විශේෂාංග

ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය!

Published

on

සී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විෂ සහිත කිරි වීදුරුවක් බී සිහිසුන්වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් රැගෙන ගිය නිසාය.

ඒ වගේම අගමැතිකම බාරගන්න සජිත්, ගෝඨාභයට ඉවත්ව යන්නැයි නොකිව්වා නම් රනිල් කවදාවත් ජනාධිපති වන්නේ නැත. රනිල් අභියෝග බාරගත්තා යැයි යූ.ඇන්.පී.කාරයන් ගහන කයියට කටඋත්තර නැතිවුණේ තමා සජිත්ට අගමැතිකම බාරගන්න එන්න යැයි කී විට සජිත් අරගලයට හිස නමා ඉවත් වෙන්න යැයි ගෝඨාභය සිය පොතින් හෙළිදරව් කළ නිසාය. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මෑතකදී කීවේ සජිත් අගමැතිකම බාරගන්න ගෝඨාභය ඉවත්විය යුතු කාලසටහන ගැන තමන් එක් කාමරයක ගෝඨාගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටියදී අනෙක් කාමරයේ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙන්න සූදානමින් සිටි බවය. ඔහු කිව්වේ රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කරන්න තීරණය කොට සජිත්ව අන්නන්න බොරුවට සජිත්ට අගමැතිකම බාරගන්න කීවා කියාය.

කොහොම වෙතත් රනිල් අගමැති වුණේත් දහනායක අගමැති වුණා වගේ අහම්බෙනි. දහනායක අගමැති වී ඔහුව අගමැති කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ශ්‍රීලනිප හිටපු නායක බණ්ඩාරනායකගේ පවුලටත් පහර ගසමින් ඔහු නව දේශපාලන ගමනක් යන්න පටන් ගත්තේය.

පහත දැක්වෙන්නේ දහනායකගේ නව දේශපාලන ගමන ගැන දහනායක ආණ්ඩුවේ හිටපු බණ්ඩාරනායකවාදී ප්‍රබල ඇමැතිවරයෙක් වූ ටී.බී. ඉලංගරත්න කී කතාවය.

“අවමංගල්‍යයෙන් සති කීපයකට පසු අගමැති නිල නිවාසය වූ අරලියගහ මැඳුරේ ඇමැති මණ්ඩල රැස්වීමකදී දහනායක අගමැති අප අමතා තමා දේශපාලන පක්ෂයක් ගොඩනගන්නට තීරණය කරගත් බව කියා සිටියේය.

අප විමතියට පත්වීමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අගමැතිවරයා වෙන පක්ෂයක් ගොඩනගන්නට යෑම නිසයි. නව පක්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද්දේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම් ප්‍රතිපත්තිවලට හාත්පසින්ම පටහැනි වැඩපිළිවෙළකි.

ඇමැති මණ්ඩලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වූ අපේ තත්ත්වය කුමක්දැයි ඇසූ විට පිළිතුරු වශයෙන් ඔහු කීවේ අපටත් ඔහුගේ නව පක්ෂයට බැඳිය හැකි බවත්, එසේ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය හැකි බවත්ය.

ඔහුගේ එම ගුණමකු අගරු ප්‍රකාශයත් සමගම ඇමැති මණ්ඩල රැස්වීමද ක්ෂණයකින්ම ඊළඟ දිනයට කල්දමා විසුරුවා හැර නැගී ගියේය.

එදා රෑම 1959 දෙසැම්බර් අටවැනිදා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා ලවා අප පස්දෙනකු ඇමැති ධුරවලින් පහ කළේය. ස්වදේශභාර ඇමැති ටී.බී ඉලංගරත්න – ප්‍රවාහන හා විදුලිබල ඇමැති, මෛත්‍රීපාල සේනානායක – සෞඛ්‍ය ඇමැති, ඒ.පී. ජයසූරිය – සංස්කෘතික හ සමාජසේවා ඇමැති, පී.බී.ජී. කළුගල්ල, කම්කරු ඇමැති – ඇම්.පී. සොයිසාත්ය.
එසේම දහනායක ප්‍රිය නොකළ නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක්ද තනතුරුවලින් පහකරන ලදහ.

බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුණ වූ ප්‍රතිගාමීත්වය රජකරවීම ඒ ආකාරයෙන්ම එයින් තවත් සාර්ථක විය.

ලංකාව පුංචි එංගලන්තයක් කිරීම එකම අරමුණ කරගත් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා දහනායකගේ නියමුවාද, උපදේශකයාද, වධකයාද වූයේය.”

දහනායක පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා ඉවත් වන බව දැන්වීය. ශ්‍රීලනිපය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කළේය. ඒ තරහට ඔහු බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ඉවත් කොට පස්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඔහුගේ නව පක්ෂයේ නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග වැදුණේ එම පක්ෂයෙනි. රටම මවිතයට පත්කරමින් ඔහුත්, ඔහුගේ පක්ෂයත් මැතිරණයේදී අන්ත පරාජයකට පත්විය. ඔහුගේ පක්ෂයෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැත.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිත් සමග ඇමැති මණ්ඩලයම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය එය විය. ඔහු ඇමැති ධුරවලින් පන්නා දැමූ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ශ්‍රීලනිපයෙන් තරග කොට තේරී පත්විය.

දහනායකට වගේම ඇමැති මණ්ඩලයක් දහනායක වගේ අගමැති වී පසුව ජනාධිපති වූ රනිල්ට සිටී. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා ඇමැතිවරුන්ට පක්ෂයක් නැත. ඊළඟ මහ ඡන්දයේදී තමන් තරග කරන්නේ මොන පක්ෂයෙන්ද කියා මේ ඇමැතිවරු දන්නේත් නැත. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා සමහරක් වගේම රටේ ජනාධිපතිද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. ඔවුන් ඊළඟට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තුවක් සොයා ගන්නේ කෙසේද කියා ඔවුන්වත් දන්නේ නැත.

දිනේෂ් ගුණවර්ධනට පක්ෂයක් තිබේ. ඒ, මහජන එක්සත් පෙරමුණය. මහජන එක්සත් පෙරමුණ අවසන් වරට ඡන්දයකට තනිවම තරග කළේ 1994 මහ මැතිවරණයය. 1994 මහ මැතිවරණයට දිනේෂ්, බන්දුල රෝදය ලකුණ යටතේ තරග කළහ. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ අන්ත පරාජයකට පත්විය. දිනේෂ් සහ බන්දුලටත් ඇප නැති විය. චන්ද්‍රිකා කොටි දෙනක් කියා සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සා ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්වූ මහජන එක්සත් පෙරමුණ 2000 මහ ඡන්දයේදී යළි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සන්ධානගත වී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. අද වනවිට මහජන එක්සත් පෙරමුණ කියා පක්ෂයක් තියෙන්නේ නමටය. දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවොත් වෙන්නේ 1994 මහ ඡන්දයේදී වෙච්ච දේමය.

අනෙක් හැමෝම ඉන්නේ එල්ලෙන්න වැලක් නැතිවය. සමහරු පොහොට්ටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යැයි කියති. තවත් සමහරුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. මේ ඇමැති මණ්ඩලය ගෝඨාභය පත්කර ගත්තේ අරගලයට බයේය. ගෝඨාගේ කලින් ඇමැති මණ්ඩලයේ හිටියේ පොහොට්ටු පතාකයන්ය. අරගලයෙන් ඔවුන්ට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ වෙනකොට ගෝඨාගෙන් ඇමැති ධුරයක් ඉල්ලා එය නොලැබ කෝපයට පත් සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ ගිහින් බඩු මිල වැඩි යැයි කියා ගෝඨාව විවේචනය කළේය. විජයදාස රාජපක්ෂද ගෝඨාගෙන් ඇමැතිකමක් නොලැබී ගෝඨාගේ ආණ්ඩුවට රිදෙන්න ගැහුවේය. කංචන විජේසේකරලා හිටියේ නාමල්ලා එක්කය. ප්‍රසන්න හිටියේ බැසිල්ලා එක්කය. ගෝඨා අරගලයට බයේ පොහොට්ටු පතාකයන්ගේ කැබිනට් මණ්ඩලය අහෝසි කොට ඔහුට බැණ බැණ ගිය අයව එක්කොට ඇමැති මණ්ඩලය හැදුවේ අරගලයෙන් බේරී ජනාධිපතිකම බේරාගන්නටය. ඒ අතර නාමල්ගේ කීමට කංචනවත්, බැසිල්ගේ කීමට ප්‍රසන්නවත් ඇමැති මණ්ඩලයට ගත්තේය. ගෝඨා ඉවත් වූ විට මේ ඇමැති මණ්ඩලය හොල්මන් විය. නායකයෙක් නැති පක්ෂයක් නැති මේ අනාථ වූ අසරණ වූ ඇමැති මණ්ඩලය තියාගන්න රනිල් කැමැති වූයේ රනිල්ටත් තමාගේ පක්ෂයෙන් සිටියේ එක මන්ත්‍රීවරයෙක් වූ නිසාය. මේ ඇමැති මණ්ඩලයම පසුගිය වසර දෙකේම කළේ සිග්නල් කණු මෙන් අත් උස්සන එක විතරය. මේ ඇමැති මණ්ඩලය මුලින් හිතුවේ රනිල් මාර ගේමක් ගහලා තමන්වත් ගොඩ දමයි කියලාය. ඔවුන් හිතාගෙන හිටියේ රනිල් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලලා එජාපයට යළි පණ දුන් පසු එජාප සන්ධානයට එකතු වෙන්නටය. ඒත් දැන් දැන් රනිල් එක්ක ගිහින් තමන්ටත් යනඑන මං නැති වන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා රනිල් දිනවන්න ගිහින් රනිල් පරාජය වුවහොත් මේ හැමෝටම පාර්ලිමේන්තු යෑම හීනයකි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් පාර්ලිමේන්තු යන්න පක්ෂයක් සොයාගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරු වනු ඇත.

– උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading

විශේෂාංග

‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා

Published

on

By

“ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන…

ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.

අනේ ගොඩාක් ස්තුතියි, ඕගොල්ලො මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණාට. ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ මොනව වුණත් මට එක දෙයයි කියවෙන්නෙ. මට හැම දා ම ආදරේ ලැබුණා. ඒ වගේ ම මමත් ආදරේ දුන්නා. ඒක මං නවත්තන්නෙ නෑ. මං කොහොමහරි ඒ ආදරේ රැක ගන්නව. මම ආදරෙයි ඕගොල්ලො හැම දෙනාට ම. බොහොම ස්තුතියි.”

මේ ඇය සිනමා ක්ෂේත්‍රයේ සමකාලීනයන් සහ ප්‍රවීණයන් පිරිසක් ඉදිරියේ ඉකි ගසමින් පැවසූ වදන් කිහිපයකි.

ඇය ඉහත අදහස් දැක්වූයේ, පසුගිය අප්‍රේල් 30 වන දා සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කරන ලද කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේ පැවති ‘රැජිණියේ’ නමැතී උපන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

එසේ සමරනු ලැබුවේ, ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ ලෙස ගෞරවයට පාත්‍ර වූ මාලිනී ෆොන්සේකාගේ 78 වන උපන් දිනය යි.

78 වන උපන් දින සැමරුමෙන් 24 වන දිනයට එළඹෙද්දී ඇය දිවි රඟ මඬලට සමුදුන් පුවත අසන්නට ලැබිණි.

ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මුල් විය සහ සිනමාවට පිවිසීම

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා 1947 වසරේ අප්‍රේල් මස 30 වන දා ගිල්බර්ට් සහ සීලවතී ෆොන්සේකා යුවළට දාව කැලණිය ප්‍රදේශයේදී උපත ලැබී ය.

5 ශ්‍රේණිය තෙක් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය, ඉන්පසු කැලණිය, ගුරුකුල විද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබුවා ය.

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ, වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසිනි. 1963 වසරේදී ‘නොරත රත’ නමැති වේදිකා නාට්‍යයේ භූමිකාවක් නිරූපණය කරමින් මාලිනී ක්ෂේත්‍රයට පිවිසි බව පැවසේ.

1968 වසරේදී ජාතික නාට්‍ය උළෙලේ දක්ෂතම නිළිය ලෙසින් ඇය සම්මානට පාත්‍ර වූයේ, ‘අකල් වැස්ස’ නාට්‍යයේ රංගනය වෙනුවෙනි.

1968 වසරේදී ම තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටය තුළින් ඇය සිනමාවට පා තැබුවා ය.

ඇය සිනමාවට පිවිසි 70 දශකයේදී සිංහල සිනමාව අංශ තුනක් ඔස්සේ වර්ධනය වෙමින් පැවති බව ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකු වන අතුල සමරකෝන් පවසයි.

ඒ, කලාත්මක සිනමාව, විනෝදාත්මක සිනමාව සහ එම දෙකෙහි ම සම්මිශ්‍රණයක් වූ සමාන්තර සිනමාව වශයෙනි.

මාලිනී ෆොන්සේකා එම අංශ තුනෙන් ම සිය අනන්‍යතාව සහ ප්‍රතිභාව ප්‍රකට කළ සුවිශේෂී රංගන ශිල්පිනියක් බව අතුල සමරකෝන් පෙන්වා දෙයි.

සංධිස්ථාන

ඇය සිංහල චිත්‍රපට 140කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක විය.

නිධානය , සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා, ආවා සොයා ආදරේ ආදී සිනමා නිර්මාණ රැසක් ඇයගේ නම ඉදිරියේ පවතී.

ඒ අතරින්, නිධානය චිත්‍රපටය නොමැකෙන සංධිස්ථානයක් බව ප්‍රවීණ චිත්‍රපට විචාරක බූපති නලින් පවසයි.

“මේ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සුවිශේෂී චිත්‍රපටයක්. මේකෙ ඇයට දෙබස් තියෙන්නෙ කීපයක් විතර යි. ඒත්, ඒ චරිතයට ඇය කරපු සාධාරණය නිසා චිත්‍රපටය බලපු ඕන ම රසිකයෙකුගේ මනසේ රැඳෙන්නෙ මාලිනීගේ චරිතය. ඒ තරම් ඇය අතිදක්ෂ විදිහට ඒ චරිතය නිරූපණය කළා. රංගනය ඉගෙන ගන්න පාසලක් නැතිව තිබූ රටක ඇය කළ ඒ රංගනය අතිවිශිෂ්ට යි,” බූපති නලින් පැහැදිලි කළේ ය.

‘ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය’

බොහෝ විචාරකයින්ගේ අදහස අනුව, ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා ය.

1975 වසරේ පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය එම ගෞරවයට පාත්‍ර වූයේ, ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයක් හිමි කර ගනිමිනි.

අධ්‍යක්ෂණයට පිවිසීම

බොහෝ දෙනෙකු දැන නොසිටිය ද, මාලිනී ෆොන්සේකා චිත්‍රපට තුනක අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළා ය.

ඒ, සසර චේතනා (1984), අහිංසා (1987) සහ ස්ත්‍රී (1991) යන චිත්‍රපට තුන ය.

සිනමා විචාරක බූපති නලින් පැවසූ පරිදි, සිංහල සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ සිනමා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙමිනි.

පයිලට් ප්‍රේම්නාත්

ඒ.සී. තිරුලෝක්චන්දර් අධ්‍යක්ෂණය කළ ‘පයිලට් ප්‍රේම්නාත්’ දමිළ චිත්‍රපටය මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.

එහිදී ඇය දමිළ සිනමා තරුවක් වූ ශිවාජි ගනේෂන් සමග ඔහුගේ බිරිඳගේ චරිතය නිරූපණය කළා ය.

මෙය ඉන්දු-ශ්‍රී ලංකා පළමු ඒකාබද්ධ සිනමා නිර්මාණය ලෙස සැලකේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය

පසුකාලීනව ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රවිෂ්ට විය.

‘මැනල ද පුතේ කිරි දුන්නේ’, ‘පිටගම්කාරයෝ’, ‘කෙම්මුර’, ‘අඹු දරුවෝ’ ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය කිහිපයකි.

මාලනී ෆොන්සේකා සැනසිලි සුවඳ, නිරූපමාලා වැනි ටෙලි නාට්‍ය කිහිපයකට අධ්‍යක්ෂණයෙන් ද දායක විය.සම්මාන

ඇය ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් ද සම්මාන රැසක් හිමි කර ගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඒ අතරින් ඇය දිනා ගත් ජාත්‍යන්තර සම්මාන කිහිපයකි, මේ.

  • 1975 ගෞරව ඩිප්ලෝමා සහතිකය – 9 වැනි අන්තර් ජාතික මොස්කව් සිනමා උළෙල – චිත‍්‍රපට නිෂ්පාදකවරුන් ගේ සම්මානය – එයා දැන් ලොකු ළමයෙක්
  • 1977 ගෞරව කුසලතා සම්මාන සහතිකය – සිරිපාල සහ රන්මැණිකා – 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල
  • 1989 සාර්ථකම කාන්තාව සොන්ටා ජාත්‍යන්තර සම්මානය – සොන්ටා ජාත්‍යන්තර සංවිධානය
  • රිදී මයුර සම්මානය – 39 වන ඉන්දියා ජාත්‍යන්තර සිනමා උළෙල
  • ප්‍රංශයේ, ඩූවිල් නගරාධිපතිවරයා පිරිනැමූ ‘ඩූවිල් නගර සම්මානය’ – 2014

ඊට අමතරව, ඇය ජනාධිපති, සරසවිය, සිග්නීස් (OCIC) ඇතුළු සම්මාන රැසකට හිමි කම් කියයි.

මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද?

මාලිනී ෆොන්සේකා වසර ගණනාවක සිට සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවණීය අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.

ඇය උදෙසා පැවති අවසන් උපහාර උළෙල ද නම් කර තිබුණේ, ‘රැජිණියේ’ යනුවෙනි.

ඇය නිළි රැජිණ බවට පත්වීමට බලපෑ සාධක මොනවා ද? ඒ පිළිබඳව අපි ප්‍රවීණ සිනමා විචාරක බූපති නලින්ගෙන් කරුණු විමසුවෙමු.

ඔහු මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවිය පිළිබඳව අධ්‍යයන කළ විද්වතෙකි.

“මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,” බූපති නලින් පවසයි.

ඔහු පෙන්වා දෙන පරිදි, නිළියක හෝ නළුවෙකු තාරකාවක් බවට පත්වන්නේ, ඔවුන් සතු ‘තරු ගුණය’ (stardom) හේතුවෙනි.

“තරු ගුණය ඇති වෙන්නේ, යමෙකු තුළ සාරාර්ථයක් (substance), ඒක විස්තර කරන්න බැරි අමුතු දෙයක්. ඒ ගුණය මාලිනී තුළ තිබුණා. මගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා මාලිනී ගැන කතා කරද්දි පවුලේ කෙනෙකුට වඩා සංවේදී වෙනවා මාලිනී ගැන. ඒක තරු ගුණය නිසා ඇති වන හැඟීමක්. එයා විතරක් නෙවෙයි මාලිනී ගැන සංවේදී වෙන ලක්ෂ ගාණක් රසිකයෝ ඉන්නවා ලෝකය පුරා ම.”

“තරු ගුණය මතු වෙන්න නම් සුවිශේෂී ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙ. රංගන ශිල්පියෙකු නම් රංගනය, පෞද්ගලික ජීවිතය සහ තිර ප්‍රතිරූපය කියන සාධක තුන බලපානවා. අපේ ගොඩක් දක්ෂ නළු නිළියො ඉන්නවා. ඒ අයට තිර ප්‍රතිරූපය නෑ. ඒ නිසා ඔවුන් දක්ෂ නළු නිළියෝ වුණත්, තරු නෙවෙයි. මාලිනීට තරු ප්‍රතිරූපය ඉතා ඉහළින් තිබුණා. ඒකයි මාලිනීගේ චිත්‍රපට කියලා මිනිස්සු හැඳින්නුවේ. මිනිස්සු බලන්න ගියේ මාලිනීගේ විජයගේ චිත්‍රපටි මිසක් ඒවා අධ්‍යක්ෂණය කරපු අයගේ ප්‍රතිරූපය නිසා නෙවෙයි බොහෝ විට,” බූපති නලින් පෙන්වා දුන්නේ ය.

“අපි ඉස්සර මාලිනී ඉන්න කැලන්ඩර් ගහගෙන හිටියා කාමරවල. අවුරුද්ද ඉවර වුණා කියල ඒවා විසි කළේ නෑ. ඒවායින් පොත්වල පිට කවර දැම්මා. ඒ පොත් ඉස්කෝලෙ ගෙනිච්චා කියල ගුරුවරු බැන්නෙත් නෑ. ගුරුවරුත් මාලිනීට කැමැති යි. ඒ වගේ තරු දැන් සිංහල සිනමාවේ නැහැ. සිනමාව කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙලා තියෙනවා.”

“මාලිනී නිළි රැජිණ බවට පත්වෙන්නෙ තවත් ඒ වගේ ම තරු ගුණය තිබුණ නිළියන් දහ දෙනෙකුට වැඩි පිරිසක් අතරින් වීමත් විශේෂත්වයක්. සබීතා, ගීතා, දිල්හානි වගේ ගොඩක් නිළියන් එක්ක මාලිනීට තරගයක් තිබුණා. වර්තමානයේ එවැනි තරු ගුණය සහිත රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නැති තරම්,” බූපති නලින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මේ අතර, ‘සිංහල සිනමාවේ රුක්මණී දේවිට පසුව බිහි වූ තාරකාව මාලිනී ෆොන්සේකා’ බව සිනමා චිචාරක අතුල සමරකෝන් පවසයි.

මාලිනී ෆොන්සේකා 70 දශකයේ සිට අඛණ්ඩව සිංහල සිනමාවේ නිළි රැජිණ යන ගෞරවය රැක ගැනීමට සමත් වූයේ, ඇය සතු තාරකා ගුණයත්, රංගන විශිෂ්ටත්වයත්, යුගයට සාපේක්ෂව අනුවර්තනය වීමත් බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය – BBC

Continue Reading

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved