Connect with us

විශේෂාංග

ඝාතකයන්ට ගැහැනු ආදරේ ඇයි?

Published

on

ඉකුත් සතිය වඩාත් වැදගත් වූයේ ඝාතන දාම රැල්ලක් මෙන් පාතාලය විසින් පුද්ගල ජීවිත කිහිපයක්ම බිල්ලට ගැනීමයි. මේ අතරින් වඩා වැදගත්ම සිදුවීම ලෙසින් සමාජය විසින් කතා බහ කරනු ලැබුවේ ගණේමුල්ල සංජීවගේ ඝාතනයයි. දින කිහිපයකට පෙර මිද්දෙණියෙදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතන සිදුවීම ද, මෙයින් යම්තාක් දුරට යටපත් විය.

කොටහේනේදී සිදුවූ පුද්ගල ඝාතනය ද යම් තරමකට කතාබහ වෙමින් පවතින්නේ අල්ලාගත් පුද්ගලයන් දෙදෙනාම පසුගිය කාලයේදී මෙන් ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය වීම නිසා ය. මේ සියල්ල සමඟින් ජන මතය ගොඩනැඟී ඇත්තේ සාක්ෂි විශාල ප්‍රමාණයක් අතුරුදන් කෙරෙන ඝාතනයන් ලෙසිනි. මෙවන් පසුබිමක යම් තරමකින් හෝ තොරතුරු අනාවරණය කර හත හැකි වන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුගෙන් පමණි. ඒ කරුණු කෙසේ වුවද අලුත්කඩේ උසාවියේදී සිදුවූ වෙඩි තැබීම බහුතරයක් දෙනා අතර කතාබහට ලක්වූයේ එය චිත්‍රපටයක සිදුවන සිදුවීම් මාලාවක් මෙන් විකාශය වීම නිසා ය.  නීතිඥයකු ලෙස උසාවිය තුළට පැමිණීම,  අපරාධ සංග්‍රහය තුළ පිටු කපා දමමින් රිවෝල්වරය සඟවාගෙන යාම, නීතිඥ හැඳුනුම්පත් සකස් කර තිබීම ආදිය බටහිර චිත්‍රපටයක මෙන් සූදානමකි. එම කරුණු ද සමඟින් බොහෝ දෙනකු නතර වූයේ ඝාතකයා අසළ ය.

ඕනෑම ඝාතනයක් සිදු වූ විට ඝාතනයට ලක්වූ තැනැත්තා පිළිබඳ බහුතරයක් දෙනා අවධානය යොමු කරනවා පමණක් නොව ඔහුගේ පෙර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද කරුණු කාරණා සොයා බැලීමට උනන්දුවක් දක්වයි.  මේ අතරම ඔහුව වීරත්වයට පත්වීම ද සිදුවෙයි. එහෙත් අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීමත් සමඟ සිදුවූයේ අනෙකකි. එනම් ඝාතකයාගේ හැසිරීම මෙන්ම ඔහුගේ තාරුණ්‍යය පිළිබඳව ද බොහෝ දෙනා මාතෘකා කරගෙන තිබීම ය. ඒ අතරින් දැකගත හැකිවූ විශේෂිතම කරුණ වූයේ කාන්තා පාර්ශ්වය ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් කිරීම ය. මෙවන් වූ කාරණා අප රට තුළ පමණක් නොව විදේශීය රට තුළද සිදුවන බව  පෙනෙන්නට තිබේ. එපමණක් නොව පසුකාලීනව මෙම ඝාතකයන් සමඟ කාන්තාවන් විවාහ  වූ බව ද සඳහන් කරන්නේ අධිකරණ වෛද්‍ය මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන කැතරින් රැම්ස්ලන්ඩ් ය. ඇය මෙවැනි ආකාරයේ සිදුවීම් පිළිබඳව කරුණු අනාවරණය කිරීමට සමත් විය. මෙවැනි ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන කාන්තාවන් සැලකිය යුතු ආකාරයේ කැපකිරීම් කිරීමට පවා සූදානම් ය. තම සන්තක සියලු දේ ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට පවා එවැන්නන් පැකිළීමක් නොදක්වයි. එමෙන්ම මේ සියලු දෙනා සිරගෙදර සිටින තම පෙම්වතා හමුවීමට යාම වෙනුවෙන්  රැකියාව සහ ඔවුන්ගේ පවුල් ජීවිත පවා අතහැර දැමීමට සූදානමින් සිටින බව රැම්ස්ලන්ඩ් පෙන්වාදෙයි.  අලුත්කඩේ උසාවියේ වෙඩික්කරු සම්බන්ධයෙන් ඇතිවූ ආකර්ෂණය තුළද සිදුවූයේ එවැන්නකි.

කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පක්ෂය තුළද මෙවැනිම ආකාරයේ ප්‍රියතාවක් ඇතිවිය හැකි අතර එය බොහෝ විට සිදුවන්නේ වීරත්වය ආරෝපණයක් ද සමඟිනි. සැඟව ඝාතනයක් සිදුකරනවාට වඩා දෙනෝදාහක් ගැවසෙන උසාවි භූමියට පැමිණ චිකාගෝ පන්නයේ වෙඩිතැබීමක් සිදුකිරීමම ඔවුනට මහා දෙයකි. මෙම සිදුවීමෙන් පසු සිදුවූ කොටහේනේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් කරුණු හුවා දැක්වුවද, එම ඝාතනයට අදාළව ඝාතකයන්ගේ  ප්‍රියමනාප බව පිළිබඳව කිසිවකුත් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් බවක් නොපෙනිණි. එය ප්‍රියමනාපභාවයේ මෙන්ම වීරත්වය පිළිබිඹු කිරීමේ මදභාවය සම්බන්ධයෙන් වූ ගැටලුවක් විය හැකිය.

මනෝ චිකිත්සකයන් සඳහන් කර සිටින්නේ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් කෙරෙහි කාන්තාවන් ආකර්ෂණය වීම සඳහා කරුණු කිහිපයක් බලපානු ලබන බවයි. ඝාතකයන් සම්බන්ධයෙන් කාන්තා ආකර්ෂණය ජනප්‍රිය සංස්කෘතිය තුළදී හඳුන්වනු ලබන්නේ “බොනී සහ ක්ලයිඩ් සින්ඩ්‍රෝමය” ලෙසිනි. එයම Hybris tophilia ලෙසින් හඳුන්වන අතර එය විවිධ ආකාරයේ අපරාධ සඳහා එළඹ සිටි පුද්ගලයන් කෙරෙහි යොමුව ඇති අවස්ථාවන් ද දැකිය හැකිය.

කෙසේවුවද ඝාතකයන් සමඟ සම්බන්ධතා පවත්වන කාන්තාවන් පිළිබඳව කැතරින් රැම්ස්ලන්ඩ් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ මෙවැනි පුද්ගලයන් කෙරෙහි ආකර්ෂණය වන කාන්තාවන් වයස අවුරුදු තිස් ගණන්වල හෝ හතළිස් ගණන්වල පසුවන්නන් බවයි. එවැනි පිරිස් සමඟ සමීප ආශ්‍රයන් පවත්වාගෙන යන කාන්තාවන් තමා ඔවුන්ගෙන් තමන් වෙත දැඩි ආරක්ෂාවක් ගෙන එනු ඇතැයි  යන හැඟීමෙන් නිරන්තරයෙන් පසුවන බවත්, ඔවුනට විරුද්ධව කවර ආකාරයේ සාක්ෂි පැවතිය ද එම කාන්තාවන් තමාට ආකර්ෂණය වූ පුද්ගලයන් සාධාරණීකරණය කරගන්නා බවත්, ඇය පෙන්වාදෙයි.

කැතරින් රැම්ස්ලන්ඩ් තම අවධාරණය කිරීම් සඳහා ඝාතකයන් සමඟ විවාහ වූ කාන්තාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. ඇය පවසන ආකාරයට අමෙරිකාවේ  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාන්තාවන් තිදෙනකු දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 10 වතාවක් වරදකරුවකු වූ ට්‍රක් රථ රියැදුරකු වන බොලින් සමඟ කාන්තාවක් විවාහ වීමට පවා කටයුතු කළාය. මරණ දඬුවම් දෙකක් මත ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කළද ඔහුට පෙම් කරන ලද කාන්තාව කියා සිටියේ ඔහුගේ තනිකම සහ හුදකලාව තමාට තදින් දැනුණු බවයි. ඇය කිසිදු විටක බොලින් නම් ට්‍රක් රථ රියැදුරා මිනීමරුවකු නොවන බව විශ්වාස කරමින් කටයුතු කළාය.

මේ අනුව බොහෝ දෙනකු ගණේමුල්ල සංජීවගේ ඝාතකයා සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කර ඇත්තේ තමා නොදැනුවත්වම හෝ යටි සිතින් මතුව ආ Hybris tophilia තත්ත්වය මත බව අපට සිතන්නට සිදුවේ. එනම් අපරාධ කරන්නවුන් සම්බන්ධයෙන් ඇතිවන මෙම ලිංගික උනන්දුව සහ ආකර්ෂණය යම් අවස්ථාවක විවිධ ආකාරයේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සම්බන්ධව වුවද ඇතිවිය හැකිය. මෙය තවදුරටත් සාක්ෂාත් කරගත හැකිවන්නේ සංජීවගේ ඝාතකයා හමුවනතුරු සමාජ මාධ්‍ය තුළ නොතිබූ ප්‍රකාශයන් ඔහු හමුවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලයට එකතුවීමෙනි. මේ මොහොත වනවිටත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා ජනප්‍රිය මට්ටමේ පුද්ගලයකු වී හමාර ය. ගණේමුල්ල සංජීව දශකයකටත් එහා කාලයක සිට කළ අපරාධවලින් ඔහුව හඳුනාගත් නමටත් වඩා ජනප්‍රියත්වයක් විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් ලබාගන්නට ඔහුව ඉලක්කකරගත් වෙඩික්කරු සමත් විය.  ඒ අන් කිසිවක් නිසා නොව, පිටස්තර සමාජය තුළ  පැවති Hybris tophilia තත්ත්වය හේතුවෙනි. ඝාතකයා ප්‍රේමවන්තයා වන්නේ එහෙයිනි.

✍

 රජිත බස්නායක

විශේෂාංග

විදේශ විනිමය, වාහන ආනයනය හා ශ්‍රමිකාවියෝ

Published

on

By

“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”

අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්‍රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.

ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.

ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.  

ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්‍රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.

ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.

මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.

මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්‍රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්‍ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය. 

ඊළගට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද? 

ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.   

ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.

මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු  සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.

අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා   

ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

[email protected]      

Continue Reading

විශේෂාංග

ට්‍රම්ප්ගේ බදු සහනය තව මාසයයි: ලංකාවේ සැලසුම කුමක්ද?

Published

on

By

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස සිය තීරු බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ස්ථිර පදනමක් දැමිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික උපකරණ, ලුණු හා බිත්තර ගෙන්වා ගැනීමේදී ආනයන බදු ලිහිල් කර වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම ඔස්සේ නිදහස් වෙළෙඳාමකට යා යුතු බවය.

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අමෙරිකාව සම්බන්ධයෙන් වුව ආනයන බදු හා වෙළෙඳපොළ බාධක ඉවත් කළ යුතු බවත් එවිට ඔවුන් ධනාත්මක ලෙස ඒ ගැන සලකා බලනු ඇති බවත් ය.

ජාත්‍යන්තර වෙළෙඳ සංගමයේ මූලධර්ම අනුව සියලු රටවල් සඳහා පොදු වෙළෙඳපොළ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද තත්ත්වයට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම හමුවේ ඇති වූ තත්ත්වයක් බව ද  මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව, අප රටක් ලෙස දැන් හෝ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ විය යුතුය.

එසේ ගිව්සුමකට නොගියොත් වඩාත් අවාසිසහගත වෙළෙඳපොළ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදුවනු ඇති බවට මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අනතුරු ඇඟවීමක් ද දැක්වීය.

මේ අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව එම ක්ෂේත්‍රයේ පවතින ආයෝජනයන් ද රටට අහිමි වීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ආයෝජකයන් ඔවුන්ගේ ව්‍යාපාර එම රටවලට ගෙනයනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසි අවස්ථාවේදී සිදු නොවීමේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් ඇති බව ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved