විශේෂාංග
ජනමාධ්‍ය නෙවෙයි මේක ලිස්ට් අමාත්‍යාංශය
Published
2 months agoon
By
editor
ජාතික රූපවාහිනියේ මාසික දැන්වීම් ආදායම රු. මිලියන 130 කට ආසන්නය. එයින් 18% ක්, (ආසන්නව රු. මි. 23ක් කියමු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුය.
පුද්ගලික අංශයේ කෙනෙකු කෝටියක බදු පැහැර හැරීමක් සිදු කලොත් නඩුවක් නැත්තම්, හිර ගෙදරය. රූපවාහිනි සංස්ථාව නො ගෙවූ වැට් බද්ද සහ ඒ මත පැනවූ අධිභාරය රුපියල් මිලියන 1,500 කට වැඩියි. ජාතික රූපවාහිනියේ ‘මාසික වැට් බදු වංචාවට’ පහසුකම් සලසන්නේ ජනමාධ්‍ය ඇමති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා හෙවත් ලේකම්වරයාය.
රු. ලක්ෂයට අඩු ‘දුෂණ චෝදනා’වලට රාජ්‍ය සේවකයින් රහස් පොලීසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරන රාජ්‍යයක ජාතික රූපවාහිනියේ වැට් බදු වංචාව ගැන පාර්ලිමේන්තුව, කෝප් කමිටුව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු කරන ආයතන සියල්ල නිහඬය. අද විවාදයට ගැනෙන්නේ එහෙව් ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය අද මුහුණ දී ජාතික වැදගත්කමකින් යුතු අභියෝගය 18 කි.
1. ප්රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය ලෙස ආරම්භ වූ මේ අමාත්‍යාංශය, පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන ආරම්භවීමෙන් පසුව ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ බවට පත්විය. අවාසනාවකට අද දක්වාම ‘ජනමාධ්‍ය අමාත්‍යාංශයට’ නිවැරදිව තමන්ගේ භුමිකාව ස්ථානගත කර ගන්නට හැකිවී නැත. ‘ප්රවෘත්ති නිෂ්පාදනය හා බෙදාහැරීම’ තවදුරටත් ‘ජනමාධ්‍ය ආමාත්‍යාංශයේ කාර්ය භාරය නොවේ. නමුත්, අද ජනමාධ්‍ය අමාත්‍යාංශය පවතින්නේ, මෙරට පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ ධර්මසිරි සේනානායක මැතිතුමා 1994 සිටි ආරම්භක පියවරේම ය.
2. ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලේක් හවුස්, ජාතික රූපවාහිනිය, ගුවන්විදුලිය පවත්වාගෙන යයි. ආර්.ප්‍රේමදාස මැතිතුමා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමෙන් පසුව අමාත්‍යාංශයට ‘නියාමන වගකීම’ ද පැවරුණි. වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, එකවර විවාහයක දී විටෙක මනමාලයා ලෙස ද, විටෙක මනමාලිය ලෙස ද පෙනී සිටින භුමිකාවක් සිදු කරයි. නියාමනයත් කරයි. මාධ්‍ය ආයතනයත් පවත්වාගෙන යයි. මාධ්‍ය ආයතන පවත්වාගෙන යන අතර නියාමනය කිරීම වැරදි බව දැන දැනම, එයම සිදු කරමින් සිටී. 1993 විකාශන අධිකාරි පනතේ සිට අද දක්වාම මේ අවුල විසඳාගත නොහැකිවී ඇත.
3. අද ලංකාවට විදේශ ජනමාධ්‍ය, වෙබ් අඩවි, දේශීය වෙබ් අඩවි, විදේශයන් හි සිට ක්‍රියාත්මක ශ්‍රී ලාංකිකයින් මෙහෙයවන සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීමට සිදුව ඇත. අවසනාවකට ජනමාධ්‍ය විෂය පුළුල් වූ නමුත්, ජනමාධ්‍ය අමාත්‍යාංශය තවමත් පවතින්නේ ඒ.ජේ.රණසිංහ යුගයේ පැවති ‘ගල් යුගයේ’ ම ය. ඉද හිට ‘සෙරෙප්පු සුප්’ කතා හැදෙන්නේ ද ඒ නිසාමය. යුගයෙන් යුගය ජනමාධ්‍ය අන්තර්ගතය වෙනස් වී ඇත. ප්රවෘත්ති වලට අමතරව, විනෝදාස්වාදය සැපයීම, ඇතුළු බොහෝ අංශ මේ කේෂ්ත්‍රයට ඇතුලත් වී ඇත. මේ සියල්ල නියාමයන අමාත්‍යාංශය අතහැර දමා ඇති වගකීමකි.
4. ප්රවෘත්ති දෙපාර්තමේන්තුව – මුල් යුගයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම රජයේ ප්රවෘත්ති බෙදාහැරීමයි. අද එය ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂයේ ප්රචාරක යාන්ත්‍රණයේ කොටසක් බවට පත්වී ඇත. 2015 න් පසුව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නැවත ‘ආණ්ඩු පක්ෂයේ ප්රචාරක ව්‍යාපෘතියට’ කර ගසා ඇත්තේ පළමුවරටය.
5. පුවත්පත් මණ්ඩලය – පුවත්පත් මණ්ඩල පනත වර්තමාන ලෝක ව්‍යවහාරයට නො ගැලපේ. ජනමාධ්‍ය නිදහස ගැන වැඩකරන සංවිධාන එය පිළිගන්නේ ද නැත. පනත සංශෝධනය කරන බවට වසර ගණනක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු දී ඇත. එහෙත්, කිසිවක් වෙනස් වී නැත.
6. පුවත්පත් පැමිණිලි කොමිසම ද, පුවත්පත් මණ්ඩලයට විකල්පයක් ලෙස කර්තෘ සංසදය විසින් ස්වයං නියාමන අධිකාරියක් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිහිටුවා ඇත. එය සමඟ සම්බන්ධීකරණය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩපිළිවෙළක් නැත. අවම වශයෙන් ලේක් හවුස් ආයතනය ‘පුවත්පත් පැමිණිලි කොමිසමට’ එන්නේ ද නැත. ට්‍රැම්ප් ගේ අරමුදල් කැපීම නිසා දෝ, දැන් ‘ෆැක්ට් චෙකර්ලා’ (Fact check) ද නැත.
7. විද්‍යුත් මාධ්‍ය – අද විද්‍යුත් මාධ්‍ය පාලනය වන නීතියක් නැත. විකාශන අධිකාරි පනත ඉදිරි පත් කර වසර 33 ක ට පසුව ද, විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් තබා ‘නීතියක්’ හදා ගන්නට පාර්ලිමේන්තුව අසමත්වී ඇත. විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ යි. ගුවන්විදුලිය, රූපවාහිනිය, අයිටීඑන්, ලේක් හවුස් පවත්වාගෙන යන්නේ ද, අමාත්‍යාංශයයි. එකම ඇමති/ලේකම් අ) බලපත්‍ර දීම (ආ) නියාමයන (ඇ) මාධ්‍ය අයතනය පවත්වාගෙන යාම කිසිදු සංවරණ හා තුලන ක්‍රියාවලියකට යටත් නැත. විද්‍යත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් බිහිකිරීමට පාර්ලිමේන්තුව වහා නීති සම්පාදනය කළ යුතුය.
8. මෙරට ජනමාධ්‍ය හා දේශපාලනඥයින් අතර සෘජු සබඳතාවක් ඇත. ආණ්ඩුව මොන ලැයිස්තු දැම්මත් ජනමාධ්‍ය හිමිකාරීත්වයේ ලැයිස්තුව එළියට දාන්නේ නැත්තේ ‘වී එෆ්.එම්.’ බලපත්‍රය නිසාය.
9. වර්තමානයේ ජනප්‍රියම ඩිජිටල් මාධ්‍යයයි. ඩිජිටල් මාධ්‍යයට අවශ්‍ය පහසුකම් සැලසීම, නියාමනය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය තවම සිතා බලා හෝ නැත. ඩිජිටල් මාධ්‍යයේ නිතර පිරිසට වෘත්තීය ආරක්ෂාවක් නැත. ප්‍රමිතියක් නැත. සුබසාධයක් ද නැත.
10. ජාතික රූපවාහිනිය – අද ජාතික රූපවාහිනියට දැන්වීම් ආදායම හෝ නැත. වෙළඳ දැන්වීම්වලින් මසකට ලැබෙන රු. මිලියන 130 ක් පමණ මුදල, ද එයට අදාළ වැට් මුදල ද, (බදු ගෙවීම පැහැර හරිමින්) සේවකයින්ට පඩි සහ නඩත්තු ගෙවීම් සිදු කරයි. රුපියල් ලක්ෂ දෙකක වංචා චෝදනාවකට හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා රහස් පොලීසියට ගෙන යන යාන්ත්‍රණය මසකට රු. මිලියන 23 ක වැට් බදු වංචා කරන රූපවාහිනි සභාපති හා අධ්යක්ෂ මණ්ඩලය, එයට අනුබල දෙන ඇමති, ලේකම් හා සිය වගකීම් ඉටු නොකරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.
11. සංවර්ධන ලොතරැයිය දිනුම් ඇදීම දිනපතා සිදුවෙයි. එය සැබෑ ලෙසම දිනුම් අදින බව මහජනයාට පෙන්වා විශ්වසනීයත්වය දිනා ගැනීම පිණිස එය රූපවාහිනියේ රාත්‍රී 9.00 ට ද, එම වැඩසටහන දෙමළ බසින් නේත්‍රා නාලිකාවේ ද විකාශය කෙරෙයි. ඒ සඳහා මසකට රුපියල් මිලියන හැටක් පමණ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජාතික රූපවාහිනියට ගෙවයි. මෙය මෙරට ජනප්‍රියම රූපවාහිනි නාලිකාවේ ගුවන් කාල වටිනාකම මෙන් තුන් ගුණයකි. ආණ්ඩුවට ප්‍රචාරය ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබා දෙන අල්ලසක් නැත්තම් කප්පමකි.
12. ගුවන් විදුලි සංස්ථාව – පසුගිය රජය සමයේ වන්දි ක්‍රමයක් යටතේ රූපවාහිනී හා ගුවන්විදුලි සේවකයින් විශ්‍රාම ගන්වනු ලැබීය. ගුවන් විදුලිය බිඳ වැටෙන්නේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසාය. රජරට සේවය, මහනුවර (කඳුරට) සේවය සහ රුහුණු සේවය වැනි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ගේ පැවැති එජාප ආණ්ඩුව විසිනි. ඒ කාලයේ රේඩියෝව රජයේ එ්කාධිකාරයකි. 1990 පමණ වන විට කෙටි තරංග සහ මධ්‍යම තරංග මත පදනම් වූ විකාශය වෙනුවට සරල සහ වියදම අඩු FM විකාශ ආරම්භ වීමත්, පෞද්ගලික සමාගම් විසින් විකාශන බලපත්‍ර ලබාගැනීමය. ගුවන්විදුලි සංස්ථාව යල් පැන ගොස් එය පැවතීමේ හේතුව (rationale එක) අහෝසි විය. සභාපති හා අධ්යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන්නේ නම්, වියදම් පාලනයට ස්වාධීන තීරණ ගැනීමේ අවස්ථාව හිමිවිය යුතුය. අනවශ්‍ය කෑලි ගලවා නිදහස් වීමට අවස්ථාව තිබිය යුතුය. මේ වන විට ප්‍රාදේශීය සේවා නඩත්තු කිරීම විශාල වැය බරක් බවට පත්වී ඇත.
13. රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනම ‘ඇනලොග්’ තාක්ෂණයෙන් ක්‍රියාත්මකය. රට පුරා ඔවුන්ගේ විකාශනාගාර අති විශාල මුදලක් වැයකරමින් පවත්වාගෙන යති. ඒවා නවීකරණය කරන්නට උපකරණ පවා දැන් නැත. 2013 දී ඩිජිටල්කරණය ගැන මුල්ම අදහස ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉදිරිපත් විය. එතැන් පටන් වසර 12 ක් සෑම අයවැයකමට ඩිජිටල්කරණය ගැන කතා කර ඇති නමුත්, එය යථාර්ථයක් වූවේ නැත. ආණ්ඩුව තවමත් මේ ආයතන නූතන ලෝකයට අනුව හැඩගස්වන්නට මුදල් වෙන්කර නැත. සැලසුමක් ද නැත. චීන සංචාරයේ දී ජනමාධ්‍ය ආයතනය ගැන අත්සන් කළ ගිවිසුම් ගැන කිසිදු තොරතුරක් රටට හෙළි කර ද නැත. ආණ්ඩුව චීනය සමඟ ගුවන්විදුලිය හා රූපවාහිනිය නවීකරණය කරනවා ද? නැතිනම්, විකුණා දමනවාදැයි? කිසිවෙකු දන්නේ ද නැත.
14. මෑත කාලයේ කිසිදු රජයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැක බලාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නැත. හැමදාම ඔවුහූ රැවටීමට ලක්ව ඇත. ඔවුන්ට ජීවත්වීමට ආදායමක් නොලැබෙන බව ද අප අමතක නොකළ යුතුය.
15. චිත්‍රපට සංස්ථාවේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වෙන්වී ඇත. අද චිත්‍රපට සංස්ථාවේ භුමිකාව කුමක් ද? චිත්‍රපට ටිකක් බෙදා හැරීමට මේ සා විශාල පිරිවැයක් අවශ්‍ය වන්නේ ඇයි? චිත්‍රපට බොදාහැරීමට ‘කොමිසමක්’ පත් කිරීමට කලකට පෙර යෝජනා වූ නමුත් මේ දක්වා එය යථාර්ථයක් බවට පත් වී නැත. ජාතික අවශ්‍යථාව චිත්‍රපට බෙදාහැරීම නම්, මෙවැනි මානව හා භෞතික සම්පත් විනාශයක් එයට සිදු කළ යුතු නැත.
16. රජය සතු ව්‍යාපාර (SOE) ලෙස ස්වාධීන, ජාතික , ගුවන්විදුලි සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යාම ආණ්ඩුවේ ප්‍රතිප්තිය නම්, එහි අධ්යක්ෂ මණ්ඩලයට පූර්ණ වශයෙන් ස්වාධීන තීරණ ගැනීමට ඉඩකඩ සැලසීම රජයේ වගකීමකි. එක එක යුගවල ඇරඹි ලක්හඬ, වසන්තම්, ස්වාධීන රූපවාහිනී ගොඩනැගිල්ලේ ගාල් කර තිබීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන නැවත සිතා බැලිය යුතුය.
17. ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය රැල්ල නිසා 2024 වසරේ දී එම ආයතනය ලාභ ලැබීය. දැන් නැවත එහි අදුරු යුගය ඇරඹී ඇත. ටෙලිනාට්‍ය තේරීම සිදු කරන්නේ වෘත්තීය සමිති සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසිනි.
18. ලංකා පුවත් ආයතනය, මාධ්‍ය පුහුණු ආයතනය අද ජනතා බදු මුදල් ගිලින බෝඩ් ලෑලි දෙකකි.
එදා, විජේතුංග කැබිනට් මණ්ඩලයේ මේ අමාත්‍යාංශය හැඳින්වූවේ ‘තොරතුරු අමාත්‍යාංශය (Ministry of Information)’ ලෙසිනි. සතියකට ලිස්ට් දෙක තුනක් අතාරින මේ අමාත්‍යාංශයට අද ගැලපෙනම නම ‘ලිස්ට් අමාත්‍යාංශය’ ය යි.
– රජිත් කිර්ති තෙන්නකෝන් –

ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්රමයකි. නූතන ප්රජාතන්ත්රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.
නූතන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.
ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.
පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.
පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.
නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.
පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.
එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.
රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
ඡන්දය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.
ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්රජාතන්ත්රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්රජාතන්ත්රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.
මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.
පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.
මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.
මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු
මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.
මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.
ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.
ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.
පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.
2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.
නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.
පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.
පරිපාලන හා නියාමන සේවා
මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.
මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- මහ නගර සභා අඥා පනත (1947)
- නගර සභා අඥා පනත (1939)
- ප්‍රාදේශීය සභා පනත (1987)
මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.
පුංචි ආණ්ඩුවක බලය
ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.
සමන්ති වීරසේකර
– දිවයින –

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ.
ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය.
ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.
ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්රවෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.
මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි.
RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.
ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.
නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.
ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.
පුවත්
මීඩියා IDඑක පහුගිය අවුරුද්දේ හමුදාවට හා පොලිසියටත් දීලා!
Published
3 days agoon
May 3, 2025By
editor
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.
පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.
එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.
ඇමැති කිව්වේ දේ…
“මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.
එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.
“කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.
“අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම
ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.
ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.
ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.
එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.
ඊට පිළිතුරු ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.
‘මේ ක්‍රමවේදය වැරදියි’
බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.
“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.
“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”
ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.
“දැන් මේ ප්රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.
“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”
තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”
‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’
මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.
“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.
“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”
ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.
“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.
| BBC සිංහල සේවය

පස්වරැ 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (UPDATE)

මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?

ස්ථාන මාරුවේදී වාහනෙත් මාරු කරාද?
Trending
-
පුවත්6 days ago
සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා
-
පුවත්1 week ago
ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා
-
පුවත්4 days ago
මහින්දට සැත්කමක්!
-
පුවත්6 days ago
වැඩබලන නීතිපති විරාජ් දයාරත්න
-
පුවත්5 days ago
සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක් (UPDATE)