Connect with us

විශේෂාංග

ජනමාධ්‍ය නෙවෙයි මේක ලිස්ට් අමාත්‍යාංශය

Published

on

ජාතික රූපවාහිනියේ මාසික දැන්වීම් ආදායම රු. මිලියන 130 කට ආසන්නය. එයින් 18% ක්, (ආසන්නව රු. මි. 23ක් කියමු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුය.

පුද්ගලික අංශයේ කෙනෙකු කෝටියක බදු පැහැර හැරීමක් සිදු කලොත් නඩුවක් නැත්තම්, හිර ගෙදරය. රූපවාහිනි සංස්ථාව නො ගෙවූ වැට් බද්ද සහ ඒ මත පැනවූ අධිභාරය රුපියල් මිලියන 1,500 කට වැඩියි. ජාතික රූපවාහිනියේ ‘මාසික වැට් බදු වංචාවට’ පහසුකම් සලසන්නේ ජනමාධ්‍ය ඇමති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා හෙවත් ලේකම්වරයාය.

රු. ලක්ෂයට අඩු ‘දුෂණ චෝදනා’වලට රාජ්‍ය සේවකයින් රහස් පොලීසිය හරහා අධිකරණයට ඉදිරිපත් කරන රාජ්‍යයක ජාතික රූපවාහිනියේ වැට් බදු වංචාව ගැන පාර්ලිමේන්තුව, කෝප් කමිටුව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු කරන ආයතන සියල්ල නිහඬය. අද විවාදයට ගැනෙන්නේ එහෙව් ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය අද මුහුණ දී ජාතික වැදගත්කමකින් යුතු අභියෝගය 18 කි.

1. ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය ලෙස ආරම්භ වූ මේ අමාත්‍යාංශය, පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන ආරම්භවීමෙන් පසුව ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ බවට පත්විය. අවාසනාවකට අද දක්වාම ‘ජනමාධ්‍ය අමාත්‍යාංශයට’ නිවැරදිව තමන්‍ගේ භුමිකාව ස්ථානගත කර ගන්නට හැකිවී නැත. ‘ප්‍රවෘත්ති නිෂ්පාදනය හා බෙදාහැරීම’ තවදුරටත් ‘ජනමාධ්‍ය ආමාත්‍යාංශයේ කාර්ය භාරය නොවේ. නමුත්, අද ජනමාධ්‍ය අමාත්‍යාංශය පවතින්නේ, ‍මෙරට පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ ධර්මසිරි සේනානායක මැතිතුමා 1994 සිටි ආරම්භක පියවරේම ය.

2. ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලේක් හවුස්, ජාතික රූපවාහිනිය, ගුවන්විදුලිය පවත්වාගෙන යයි. ආර්.ප්‍රේමදාස මැතිතුමා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමෙන් පසුව අමාත්‍යාංශයට ‘නියාමන වගකීම’ ද පැවරුණි. වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, එකවර විවාහයක දී විටෙක මනමාලයා ලෙස ද, විටෙක මනමාලිය ලෙස ද පෙනී සිටින භුමිකාවක් සිදු කරයි. නියාමනයත් කරයි. මාධ්‍ය ආයතනයත් පවත්වාගෙන යයි. මාධ්‍ය ආයතන පවත්වාගෙන යන අතර නියාමනය කිරීම වැරදි බව දැන දැනම, එයම සිදු කරමින් සිටී. 1993 විකාශන අධිකාරි පනතේ සිට අද දක්වාම මේ අවුල විසඳාගත නොහැකිවී ඇත.

3. අද ලංකාවට විදේශ ජනමාධ්‍ය, වෙබ් අඩවි, දේශීය වෙබ් අඩවි, විදේශයන් හි සිට ක්‍රියාත්මක ශ්‍රී ලාංකිකයින් මෙහෙයවන සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීමට සිදුව ඇත. අවසනාවකට ජනමාධ්‍ය විෂය පුළුල් වූ නමුත්, ජනමාධ්‍ය අමාත්‍යාංශය තවමත් පවතින්නේ ඒ.ජේ.රණසිංහ යුගයේ පැවති ‘ගල් යුගයේ’ ම ය. ඉද හිට ‘සෙරෙප්පු සුප්’ කතා හැදෙන්නේ ද ඒ නිසාමය. යුගයෙන් යුගය ජනමාධ්‍ය අන්තර්ගතය වෙනස් වී ඇත. ප්‍රවෘත්ති වලට අමතරව, විනෝදාස්වාදය සැපයීම, ඇතුළු බොහෝ අංශ මේ කේෂ්ත්‍රයට ඇතුලත් වී ඇත. මේ සියල්ල නියාමයන අමාත්‍යාංශය අතහැර දමා ඇති වගකීමකි.

4. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව – මුල් යුගයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම රජයේ ප්‍රවෘත්ති බෙදාහැරීමයි. අද එය ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයේ කොටසක් බවට පත්වී ඇත. 2015 න් පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නැවත ‘ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපෘතියට’ කර ගසා ඇත්තේ පළමුවරටය.

5. පුවත්පත් මණ්ඩලය – පුවත්පත් මණ්ඩල පනත වර්තමාන ලෝක ව්‍යවහාරයට නො ගැලපේ. ජනමාධ්‍ය නිදහස ගැන වැඩකරන සංවිධාන එය පිළිගන්නේ ද නැත. පනත සංශෝධනය කරන බවට වසර ගණනක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු දී ඇත. එහෙත්, කිසිවක් වෙනස් වී නැත.

6. පුවත්පත් පැමිණිලි කොමිසම ද, පුවත්පත් මණ්ඩලයට විකල්පයක් ලෙස කර්තෘ සංසදය විසින් ස්වයං නියාමන අධිකාරියක් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිහිටුවා ඇත. එය සමඟ සම්බන්ධීකරණය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩපිළිවෙළක් නැත. අවම වශයෙන් ලේක් හවුස් ආයතනය ‘පුවත්පත් පැමිණිලි කොමිසමට’ එන්නේ ද නැත. ට්‍රැම්ප් ගේ අරමුදල් කැපීම නිසා දෝ, දැන් ‘ෆැක්ට් චෙකර්ලා’ (Fact check) ද නැත.

7. විද්‍යුත් මාධ්‍ය – අද විද්‍යුත් මාධ්‍ය පාලනය වන නීතියක් නැත. විකාශන අධිකාරි පනත ඉදිරි පත් කර වසර 33 ක ට පසුව ද, විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් තබා ‘නීතියක්’ හදා ගන්නට පාර්ලිමේන්තුව අසමත්වී ඇත. විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ යි. ගුවන්විදුලිය, රූපවාහිනිය, අයිටීඑන්, ලේක් හවුස් පවත්වාගෙන යන්නේ ද, අමාත්‍යාංශයයි. එකම ඇමති/ලේකම් අ) බලපත්‍ර දීම (ආ) නියාමයන (ඇ) මාධ්‍ය අයතනය පවත්වා‍ගෙන යාම කිසිදු සංවරණ හා තුලන ක්‍රියාවලියකට යටත් නැත. විද්‍යත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් බිහිකිරීමට පාර්ලිමේන්තුව වහා නීති සම්පාදනය කළ යුතුය.

8. මෙරට ජනමාධ්‍ය හා දේශපාලනඥයින් අතර සෘජු සබඳතාවක් ඇත. ආණ්ඩුව මොන ලැයිස්තු දැම්මත් ජනමාධ්‍ය හිමිකාරීත්වයේ ලැයිස්තුව එළියට දාන්නේ නැත්තේ ‘වී එෆ්.එම්.’ බලපත්‍රය නිසාය.

9. වර්තමානයේ ජනප්‍රියම ඩිජිටල් මාධ්‍යයයි. ඩිජිටල් මාධ්‍යයට අවශ්‍ය පහසුකම් සැලසීම, නියාමනය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය තවම සිතා බලා හෝ නැත. ඩිජිටල් මාධ්‍යයේ නිතර පිරිසට වෘත්තීය ආරක්ෂාවක් නැත. ප්‍රමිතියක් නැත. සුබසාධයක් ද නැත.

10. ජාතික රූපවාහිනිය – අද ජාතික රූපවාහිනියට දැන්වීම් ආදායම හෝ නැත. වෙළඳ දැන්වීම්වලින් මසකට ලැබෙන රු. මිලියන 130 ක් පමණ මුදල, ද එයට අදාළ වැට් මුදල ද, (බදු ගෙවීම පැහැර හරිමින්) සේවකයින්ට පඩි සහ නඩත්තු ගෙවීම් සිදු කරයි. රුපියල් ලක්ෂ දෙකක වංචා චෝදනාවකට හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා රහස් පොලීසියට ගෙන යන යාන්ත්‍රණය මසකට රු. මිලියන 23 ක වැට් බදු වංචා කරන රූපවාහිනි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය, එයට අනුබල දෙන ඇමති, ලේකම් හා සිය වගකීම් ඉටු නොකරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.

11. සංවර්ධන ලොතරැයිය දිනුම් ඇදීම දිනපතා සිදුවෙයි. එය සැබෑ ලෙසම දිනුම් අදින බව මහජනයාට පෙන්වා විශ්වසනීයත්වය දිනා ගැනීම පිණිස එය රූපවාහිනියේ රාත්‍රී 9.00 ට ද, එම වැඩසටහන දෙමළ බසින් නේත්‍රා නාලිකාවේ ද විකාශය කෙරෙයි. ඒ සඳහා මසකට රුපියල් මිලියන හැටක් පමණ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජාතික රූපවාහිනියට ගෙවයි. මෙය මෙරට ජනප්‍රියම රූපවාහිනි නාලිකාවේ ගුවන් කාල වටිනාකම මෙන් තුන් ගුණයකි. ආණ්ඩුවට ප්‍රචාරය ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබා දෙන අල්ලසක් නැත්තම් කප්පමකි.

12. ගුවන් විදුලි සංස්ථාව – පසුගිය රජය සමයේ වන්දි ක්‍රමයක් යටතේ රූපවාහිනී හා ගුවන්විදුලි සේවකයින් විශ්‍රාම ගන්වනු ලැබීය. ගුවන් විදුලිය බිඳ වැටෙන්නේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසාය. රජරට සේවය, මහනුවර (කඳුරට) සේවය සහ රුහුණු සේවය වැනි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ගේ පැවැති එජාප ආණ්ඩුව විසිනි. ඒ කාලයේ රේඩියෝව රජයේ එ්කාධිකාරයකි. 1990 පමණ වන විට කෙටි තරංග සහ මධ්‍යම තරංග මත පදනම් වූ විකාශය වෙනුවට සරල සහ වියදම අඩු FM විකාශ ආරම්භ වීමත්, පෞද්ගලික සමාගම් විසින් විකාශන බලපත්‍ර ලබාගැනීමය. ගුවන්විදුලි සංස්ථාව යල් පැන ගොස් එය පැවතීමේ හේතුව (rationale එක) අහෝසි විය. සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන්නේ නම්, වියදම් පාලනයට ස්වාධීන තීරණ ගැනීමේ අවස්ථාව හිමිවිය යුතුය. අනවශ්‍ය කෑලි ගලවා නිදහස් වීමට අවස්ථාව තිබිය යුතුය. මේ වන විට ප්‍රාදේශීය සේවා නඩත්තු කිරීම විශාල වැය බරක් බවට පත්වී ඇත.

13. රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනම ‘ඇනලොග්’ තාක්ෂණයෙන් ක්‍රියාත්මකය. රට පුරා ඔවුන්ගේ විකාශනාගාර අති විශාල මුදලක් වැයකරමින් පවත්වාගෙන යති. ඒවා නවීකරණය කරන්නට උපකරණ පවා දැන් නැත. 2013 දී ඩිජිටල්කරණය ගැන මුල්ම අදහස ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉදිරිපත් විය. එතැන් පටන් වසර 12 ක් සෑම අයවැයකමට ඩිජිටල්කරණය ගැන කතා කර ඇති නමුත්, එය යථාර්ථයක් වූවේ නැත. ආණ්ඩුව තවමත් මේ ආයතන නූතන ලෝකයට අනුව හැඩගස්වන්නට මුදල් වෙන්කර නැත. සැලසුමක් ද නැත. චීන සංචාරයේ දී ජනමාධ්‍ය ආයතනය ගැන අත්සන් කළ ගිවිසුම් ගැන කිසිදු තොරතුරක් රටට හෙළි කර ද නැත. ආණ්ඩුව චීනය සමඟ ගුවන්විදුලිය හා රූපවාහිනිය නවීකරණය කරනවා ද? නැතිනම්, විකුණා දමනවාදැයි? කිසිවෙකු දන්නේ ද නැත.

14. මෑත කාලයේ කිසිදු රජයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැක බලාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නැත. හැමදාම ඔවුහූ රැවටීමට ලක්ව ඇත. ඔවුන්ට ජීවත්වීමට ආදායමක් නොලැබෙන බව ද අප අමතක නොකළ යුතුය.

15. චිත්‍රපට සංස්ථාවේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වෙන්වී ඇත. අද චිත්‍රපට සංස්ථාවේ භුමිකාව කුමක් ද? චිත්‍රපට ටිකක් බෙදා හැරීමට මේ සා විශාල පිරිවැයක් අවශ්‍ය වන්නේ ඇයි? චිත්‍රපට බොදාහැරීමට ‘කොමිසමක්’ පත් කිරීමට කලකට පෙර යෝජනා වූ නමුත් මේ දක්වා එය යථාර්ථයක් බවට පත් වී නැත. ජාතික අවශ්‍යථාව චිත්‍රපට බෙදාහැරීම නම්, මෙවැනි මානව හා භෞතික සම්පත් විනාශයක් එයට සිදු කළ යුතු නැත.

16. රජය සතු ව්‍යාපාර (SOE) ලෙස ස්වාධීන, ජාතික , ගුවන්විදුලි සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යාම ආණ්ඩුවේ ප්‍රතිප්තිය නම්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පූර්ණ වශයෙන් ස්වාධීන තීරණ ගැනීමට ඉඩකඩ සැලසීම රජයේ වගකීමකි. එක එක යුගවල ඇරඹි ලක්හඬ, වසන්තම්, ස්වාධීන රූපවාහිනී ගොඩනැගිල්ලේ ගාල් කර තිබීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන නැවත සිතා බැලිය යුතුය.

17. ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය රැල්ල නිසා 2024 වසරේ දී එම ආයතනය ලාභ ලැබීය. දැන් නැවත එහි අදුරු යුගය ඇරඹී ඇත. ටෙලිනාට්‍ය තේරීම සිදු කරන්නේ වෘත්තීය සමිති සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසිනි.

18. ලංකා පුවත් ආයතනය, මාධ්‍ය පුහුණු ආයතනය අද ජනතා බදු මුදල් ගිලින බෝඩ් ලෑලි දෙකකි.
එදා, විජේතුංග කැබිනට් මණ්ඩලයේ මේ අමාත්‍යාංශය හැඳින්වූවේ ‘තොරතුරු අමාත්‍යාංශය (Ministry of Information)’ ලෙසිනි. සතියකට ලිස්ට් දෙක තුනක් අතාරින මේ අමාත්‍යාංශයට අද ගැලපෙනම නම ‘ලිස්ට් අමාත්‍යාංශය’ ය යි.

– රජිත් කිර්ති තෙන්නකෝන් – 

විශේෂාංග

විදේශ විනිමය, වාහන ආනයනය හා ශ්‍රමිකාවියෝ

Published

on

By

“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”

අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්‍රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.

ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.

ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.  

ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්‍රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.

ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.

මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.

මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්‍රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්‍ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය. 

ඊළගට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද? 

ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.   

ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.

මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු  සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.

අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා   

ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

[email protected]      

Continue Reading

විශේෂාංග

ට්‍රම්ප්ගේ බදු සහනය තව මාසයයි: ලංකාවේ සැලසුම කුමක්ද?

Published

on

By

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස සිය තීරු බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ස්ථිර පදනමක් දැමිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික උපකරණ, ලුණු හා බිත්තර ගෙන්වා ගැනීමේදී ආනයන බදු ලිහිල් කර වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම ඔස්සේ නිදහස් වෙළෙඳාමකට යා යුතු බවය.

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අමෙරිකාව සම්බන්ධයෙන් වුව ආනයන බදු හා වෙළෙඳපොළ බාධක ඉවත් කළ යුතු බවත් එවිට ඔවුන් ධනාත්මක ලෙස ඒ ගැන සලකා බලනු ඇති බවත් ය.

ජාත්‍යන්තර වෙළෙඳ සංගමයේ මූලධර්ම අනුව සියලු රටවල් සඳහා පොදු වෙළෙඳපොළ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද තත්ත්වයට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම හමුවේ ඇති වූ තත්ත්වයක් බව ද  මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව, අප රටක් ලෙස දැන් හෝ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ විය යුතුය.

එසේ ගිව්සුමකට නොගියොත් වඩාත් අවාසිසහගත වෙළෙඳපොළ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදුවනු ඇති බවට මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අනතුරු ඇඟවීමක් ද දැක්වීය.

මේ අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව එම ක්ෂේත්‍රයේ පවතින ආයෝජනයන් ද රටට අහිමි වීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ආයෝජකයන් ඔවුන්ගේ ව්‍යාපාර එම රටවලට ගෙනයනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසි අවස්ථාවේදී සිදු නොවීමේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් ඇති බව ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading

පුවත්

“පත්තර මල්ලී” හෙටින් ඉවරයි

Published

on

By

අවුරුදු 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ නුවන් ලියනගේ මෙහෙය වූ පත්තර මල්ලි වැඩසටහන මැයි 30 සිට නවතා දැමීමට ඔහු තිරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ රේඩියෝ වට වසර 100 ක් පිරෙන මේ වසරේ ඉන් 4 න් එකකටත් වඩා කාලයක් මෙම වැඩසටහන විකාශනය විය.

මෙය ලංකාව තුළ තනි පුද්ගලයකු කල දීර්ඝතම රේඩියෝ වැඩසටහන ද වේ .

1998. ජූලී 01 හිරු FM තුළින් ඇරඹී මෙම වැඩසටහන 2005 සිට නෙත් FM ඔස්සේ විකාශනය විය.

නුවන් ලියනගේ නැත්නම් “පත්තර මල්ලී” හෙට කරන අන්තිම වැඩසටහන ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහත දැක්වේ.

දයාබර පත්තර මල්ලි වෙත

අපි දෙන්න ආයේ හෙටින් පස්සෙ කවදාවත් හමුවෙන්නෙ නෑ . වසර 27 තිස්සෙ මා එක්ක මේ ගමන එන එක උඹට ලේසි උනේ නෑ කියලා මම දන්නවා එත් කොහෝම කොහෝම හරි ආවා. 

ගොඩාක් වෙලාවට මට වඩා මිනිස්සු උඹව දැනන් හිටියා සමහර උන් උඹට ආදරය කරද්දි මට වෛර කලා . ඒක මට නම් මාර ආතල්. 

මේ වෙලාවෙ අනිවාර්යයෙන් මතක් කරන්නම ඕනේ කෙනෙක් ඉන්නවා එ තමයි මම උඹව බිහි කරපු අම්මා නම් උඹට තාත්තා උනේ තමාලී පීරීස් Thamalee Dhawala Peiris කියන ඒ අසහාය ගැහැනිය.


ඊළඟට මේ රටේ පත්‍තර කතුවරුන්ගේ ඉඳලා ඒ මහත්තුරු නෝනලා හැම කෙනාටම එයාලා මහන්සි වෙලා වියදම් කරලා පත්තර ගැහුවේ නැත්නම් අපි දෙන්නම සුනේ සුන්

ආ.. ඇයි ලෝකෙට රේඩියෝ එක හදලා දුන්න මාර්කෝනී මහත්තයා . ඒ කිව්වම මතක් උනේ ලංකාවට රේඩියෝ ඇවිල්ල මේ අවුරුද්දට අවුරුදු 100 ක් එකෙන් 4 න් 1 ම අපි දෙන්න මේ වැඩසටහන කරල තියනවා.


අපි දෙන්නගේ අන්තිම වැඩසටහන හෙට උදේ 7.45 ට අපි දෙන්න අවුරුදු 20 ක් ම හිටිය Neth Fm ඔස්සෙ විකාශනය වෙනවා මම ඒ වලාවට උඹට සමු දෙන්නෙ තනියම නම් නෙමෙයි ඒ මොහොතේ මාව තනි නොකරන්න මාත් එක්ක හිරු FM එකේ 1998 ජූලී එක පළමු වැඩසටහන කල Sudewa Hettiarachchi මහත්මයාත් එනවා

කොහෝම උනත් අපි දෙන්නගෙන් පස්සෙ මේ වැඩේට අත ගහපු රේඩියෝ වල ටීවි වල කට්ටියට අපි දෙන්නම එකතු වෙලා සුබ පතන ගමන් මේ ටිකත් කියමු. වෙනත් කෙනෙක් මහන්සියෙන් හොයන News එක සම්පූර්ණයෙන් උදේට ලේසියට කියන එකනම් සදාචාරාත්මක නෑ කියන එක තේරුම් යන්න ප්‍රාර්ථනය කරමු. 

හරි දැන් මගෙන් උඹේ හැව ගලවා දමන මොහෝත ඇවිත්.

ජිවිතේ එහෙම තමයි. සියල්ල අපිට ගලෝල යන්න වෙන වෙලාවක් එනවා ඒ වෙලාව හෙට (මැයි 30 ) උදේ 7.45. FM 95 / FM 94.8 ඔස්සෙ ඔනෙම කෙනෙක්ට අහන්න පුළුවන්
එහෙමනම් පත්තර මල්ලි අපි සමු ගනිමු . 

එහෙත් මාව දැක්කත් නැතැත් බෝහෝ දෙනෙක්ට උඹ ව තව කාලයක් යනකං මතක් වේවී .
ආයුබෝවන් . ඒ උඹට නෙමෙයි මට, මම උඹට ඇතුවත් බැරි නැතුවත් බැරි දැන්නම් හොඳටම ඇති. 

නුවන් ජූඩ් ලියනගේ . 

ප.ලි – මල්ලි උඹ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් ලංකාවේ සිංහල දිනපතා පත්තර බොහෝමයක කාටුන් ශිල්පීන් මට ඇදල දුන්න කාටුන් ටික පහළ .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved