Connect with us

විශේෂාංග

ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත

Published

on

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය.  මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක සහිතය.  ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරියේ පැවැත්වෙන වෙනත් මැතිවරණයකට තරඟ කරන සියළු අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ආදායම හා වියදම පිළිබඳ ප්‍රකාශයක් මැතිවරණ කොමිසමට අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය.

 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් ඉදිරි ජනාධිපතිවරණයට/පාර්ලිමේන්තු මැතිවරණයට සිදු කරන බලපෑම දෙවනි වනු ඇත්තේ, ‘දෙවන මනාපය‘ ට ලැබෙන අගයට පමණී.

ජනාධිපතිවරණය (හෝ මහා මැතිවරණයට) සඳහා නාම යෝජනා බාර දෙන දිනයේ දී ම, පක්ෂයේ බලයලත් නියෝජිතයාට පනතේ විධිවිධාන අපේක්ෂකයින් හා පක්ෂ විසින් ලබාදිය යුතු වියදම් ප්‍රකාශනයේ ආකෘතියක් ලැබෙනු ඇත.  නාම යෝජනා බාර ගැනීමෙන් දින පහක් තුල පනතේ 3 (ඇ) වගන්තිය අනුව ලංකාවේ එක් ලියාපදිංචි ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් (දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීමෙන් පසුව) තීරණය කරනු ඇත. එය රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් (හෝ දිස්ත්‍රික්කයේ ඡන්ද සංඛ්‍යාවෙන්) ගුණ කර එක් අපේක්ෂකයෙකු/පක්ෂයක් ජනාධිපතිවරණයේ දී වියදම් කළ හැකි මුදල තීරණය කරනු ඇත.

පසුගිය පළාත් පාලන ඡන්දයේ දී එක් ඡන්දදායකයෙකුට රු. 20 ක මුදලක් වියදම් කළ හැකි බව තීරණය වූ අනුව, කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව දැරිය හැකි විදයම තීරණය කර තිබුණි.   යම් කොට්ඨාශයක ඡන්ද 2000 ක් ලියාපදිංචි වූවේ නම්, (රු. 20 බැගින්) දැරිය හැකි විදයම 2000 වරක් 20 =  රු. 40,000 ක් වූවේය.  මෙම මුදල තීරණය කළේ කුමන ගණනය කිරීමක් මත පදනම්ව ද, දේශපාලන පක්ෂ එයට එකඟවූවේ විධිමත් අධ්‍යයනයකින් පසුව ද යන්න නොදනිමි. නමුත්, එය කොපමණ අමනෝඥ ගණනය කිරීමක් ද යන්න, තේරුම් ගැනීමේ පහසුව සඳහා අගතියකින් තොරව පැහැදිලි කරමි. මගේ ගමේ, වැලිමඩ අපේක්ෂකයෙකු නාමයෝජනා බාරදීමට බදුල්ල කච්චේරියට යන්නට වාහනයකට අවම වශයෙන් රු. 20,000 ක් වැය කරයි. අපේක්ෂකයා නාමයෝජනා දෙන්නට කච්චේරියට යන්නත්, පසුව අපේක්ෂක හැඳුණුම්පත ගන්නටවත් රු. 40,000 මුදල ප්‍රමාණවත් නැති බව එදා කිසිවෙකුට අවබෝධ වූවේ නැත.  මම පදිංචි කෝට්ටේ මහ නගර සභා සීමාව තුල, ජවිපෙ හි කාර්යාල විවෘත කර සැරසීමට පමණක් ඔවුන්ට නියමිත මුදල කොඩි සඳහා පමණක් වැය වූ බව මාගේ නිරීක්ෂණය යි.  

පනතේ 3. (2) (1) වගන්තිය අනුව, උද්ධමනය, ජාතික පාරිභෝගික මිල දර්ශන සැලකිල්ලට ගෙන මෙම මිල නියම කළ යුතු බව දක්වා ඇත.  පසුගිය වසරේ පලාත් පාලනයට රු. 20 ක් වූ මුදල, ජනාධිපතිවරණයේ දී කොපමණ ලෙස වැඩි කළ යුතු දැයි පැහැදිලි නැත. නමුත්, පසුගිය වර සිදු වූ අත්වැරැද්ද මෙවර සිදු නොකිරීම මැතිවරණ කොමිසමේ ද, අපේක්ෂකයින්ගේ ද වගකීමකි.  අනෙක් අතට, යථාර්ථවාදී එක් ඡන්දදායකයෙකු සඳහා රු. 300 ක හෝ 400 ක මුදලක් සඳහා ප්‍රධාන අපේක්ෂකයින් ඉල්ලීම් කරන්නේ නම්, එවිට කුඩා පක්ෂ එයට විරුද්ධවීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුත්තකි.  

කෙසේ නමුත්, දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට පෙරම තමන්ගේ විදයම් ඇස්තමේන්තුව සකස් කර එයට සරිලන මුදලක් පනතේ 3 (ඇ) වගන්තියට අනුව අනුමත කර ගැනීමට තරම් සවිඥානික විය යුතුය.

නාම යෝජනා දිනයේ සිටම මැතිවරණ නිලධාරියෙකු මේ කටයුත්ත අධීක්ෂණයට දිස්ත්‍රික්ක මටට්ටමින් පත් කරනු ඇත. ඔවුහු වසර 5 ක් යන තුරු මෙම වියදම් ලේඛණ ගබඩා කොට සුරක්ෂා කරනු ඇත. ගබඩා පහසුකම් සැපයීමට ද, ලේඛන ආරක්ෂා කිරීමට ද, අතිරේක නිලධාරීන් හා සම්පත් යෙදවීමට සිදු වන්නේය.

පක්ෂ හා අපේක්ෂකයින්ට ලැබෙන පරිත්‍යාග, දායකත්ව, ද්‍රව්‍යමය ආධාර (ඇස්තමේන්තු වටිනාකම), ණය, අත්තිකාරම්, පරිත්‍යාගශීලීන්ගේ නම, ලිපියන, හැඳුණුම්පත් අංකය සමඟ වාර්තා කිරීමට අපේක්ෂකයින්ට සිදු වන්නේය.  
එමෙන්ම, අත්පත්‍රිකා, පෝස්ටර්, කටවුට්, වෙළඳ දැන්වීම්, ඩිජිටල් දැන්වීම්, උපකරණ කුලියට ගැනීම, ඉන්ධන, සංදර්ශන වියදම්, ප්‍රවාහණ වියදම්, වේදිකා, පිට්ටනි, ශාලා ගාස්තු, ආහාර පාන විදයම් සියල්ල ද ලේඛන ගත විය යුතුය. අපේක්ෂකයාගේ ගමන් වියදම හා සන්නිවේදන වියදම හැර අන් සියල්ලම මේ වියදම් ගණයට වැටේ.

අදාල ආදායම් වියදම් වාර්තා ගැන තෘප්තිමත් නොවන්නේ නම්, ස්වාධීන පුද්ගලයෙකුට වුව ද, අපේක්ෂකයෙකුගේ වියදම් පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පනතට අනුව ඉඩක් ඇත. උදාහරණයක් ලෙස ඡන්දදායකයෙකුට තම නිවසට ලැබෙන පෝස්ටර්, අත්පත්‍රිකා, දුරකතනයට ලැබෙන ඩිජිටල් දැන්වීම් හි වියදම පිළිබඳව පවා පැමිණිලි කිරීමට හැකියාව ඇත.  වියදම් ලේඛනයේ අදාල වියදම සටහන්ව ඇති දැයි පරීක්ෂා කිරීමට එමගින් අවස්ථාව ඇත.

පනතේ 5 (1) (2) වගන්ති අනුව ආධාර/අරමුදල් ලබාගත නොහැකි නැත් ලෙස රජයේ දෙපාර්තමේන්තු/සංස්ථා, විදේශීය රාජ්‍ය, සංවිධාන, විදේශීය ලියාපදිංචි ආයතන, 50%කට වැඩි විදේශීය කොටස් හිමි සමාගම්, අනන්‍යතාවය හෙළි නොකළ තැනැත්තන්, මගින් ආධාර පරිත්‍යාග භාර නොගත යුතුය. (වෙනත් වචනයෙන් කිවහොත් නාම යෝජනා භාරදීමෙන් පසුව රට රාජ්‍යවලින් මුදල් ගෙන්වා ගත නොහැකිය)

අද වන විට දිස්ත්‍රික් මට්ටමේ රැළියට රු. මිලියන 5 ක් පමණ ද, ආසන මට්ටමේ රැළියකට රු. මිලියන 2 ක් පමණ ද, අවශ්‍යය. ලක්ෂයකට අඩුවෙන් කණ්ඩායම් රැස්වීමක් සිදු කිරීමට පහසු නැත.   2004 මහා මැතිවරණයට ජනමාධ්‍ය දැන්වීම් සඳහා පමණක් එජාපය රු. බිලියන 4 ක් ද, එජනිස රු. බිලියන 1.9 ක් ද වැය කර තිබුණි.  අද එහි වානිජ්‍ය වටිනාකම රු. බිලියන 30 කට ආසන්න වේ. මෙවර වැඩිය වියදම ඩිජිටල් දැන්වීම්, සජීවි විකාශන සඳහා දැරීමට සිදු වනු ඇත.

මැතිවරණ කොමිසම වෙත බාර දෙනු ලබන ලේඛන, බිල්පත් පසු අවස්ථාවක දී මහජනතාවට පරීක්ෂා කර බැලීමේ අවස්ථාව හිමිවේ.  අවශ්‍ය නම්, ප්‍රධාන දේශපාලන පක්ෂවෙත යම් පරිත්‍යාගයක් කර එයට කුවිතාංසියක් ලබාගෙන ඔවුන් එය විධිමත්ව ගිණුම්ගත කරන්නේ දැයි පරීක්ෂා කිරීමට පුරවැසියන්ට හැකියාව ඇත. එසේ නොවන විට, එ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද, මැතිවරණ පෙත්සමක් සඳහා පාදක කර ගත හැකි ය.

ජනාධිපතිවරණයකටත් වඩා, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම්වල දී මැතිවරණ වියදම් පනත ඡන්ද පෙත්සම් සඳහා හේතුවක් වනු ඇත.

ජනාධිපතිවරණයක වැඩිම වියදම විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරය සඳහා වේ.  විද්‍යුත් මාධ්‍ය එකම ගුවන්කාලය විවිධි පක්ෂවලට විවිධ මිල ගණන්වලට අලෙවි කරති. (විනාඩියකට ගුවන් කාලයක් එක් පක්ෂයකට රුපියලකට ද, තවත් පක්ෂයකට රු. දහසකට ද අලෙවි වේ) මැතිවරණ කොමිසම මේ මිල ගණන් පූර්ව මැතිවරණ සමයේ දී ලිඛිත ලබාගත නොහැකි නම්, මේ පනත මැතිවරණ ක්‍රියාවලියට අදාළව ‘වංචනික වියදම් කළමනාකරණයේ‘ අත් පොතක් බවට පත් වනු ඇත.

අනෙක් අතට, ෆේස් බුක්, යූ ටියුබ්, බොටිම් ආදී, සමාජ මාධ්‍ය රජය ඉල්ලා සිටින විට දැන්වීම් වියදම් ලබා දෙන්නේ නැත.  (මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ නම්, ඔවුන් එය ලබා දෙන්නේ දැයි පරීක්ෂා කර බැලිය හැකිය.)
මේ පනතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි විධිවිධාන හතලිහකට වැඩිය සොයා ගත හැකිය. අනෙක් අතට, අපේක්ෂකයෙකු අමාරුවේ දැමීමට හැකි මාවත් ද දුසිම් දෙකකට වඩා ඇත.

මැතිවරණ වියදම් පනත සම්මත කර ගනු ලැබූවේ වත්මන් පාර්ලිමේන්තුවයි.  වසනාවකට හෝ අවසානාවකට එය පළමුවරට පරීක්ෂාවට ලක් වන්නේ ද, ඔවුන් සියලු දෙනා ක්‍රියාකාරීවන ඉදිරි මැතිවරණයේ දී ය.  

මැතිවරණ වියදම් පනත මගින් සැබවිටම සිදුවන්නේ පශ්චාත් මැතිවරණ පරීක්ෂණයකි.  එය සැලසුම් සහගතව පරීක්ෂාවට ලක්කිරීමට පුරවැසියන් සිවිල් සංවිධාන ඉදිරිපත් විය යුතුමය.  ඉදිරි ජනාධිපතිවරණය/පාර්ලිමේන්තු මැතිවරණය එයට කදිම අවස්ථාවකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

විශේෂාංග

පළාත් පාලනය – දින 227ක අස්වැන්න

Published

on

By

මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට)  ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.

මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.

2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ  මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.

අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.

යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.  

ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත.   සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව)  ජාජබ පරාජයට පත් වන්නේය.

රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත.  නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)

මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.

ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ  කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ.  විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.

ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.

දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය.  පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.

ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය.  ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇ‍ගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

✒️

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

ඔබ ඡන්දය නොදැම්මොත් මහජන මුදල් අපතේ…

Published

on

By

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.

ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.

ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.

පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.

පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.

නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.

පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.

එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.

රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.

ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.

මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.

පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්‍රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.

මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.

මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු

මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.

මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.

මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.

ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.

ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.

සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.

ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.

පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.

පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.

අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.

නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.

2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.

නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.

පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.

පරිපාලන හා නියාමන සේවා

මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.

මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.

  • මහ නගර සභා අඥා පනත (1947)
  • නගර සභා අඥා පනත (1939)
  • ප්‍රාදේශීය සභා පනත (1987)

මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.

පුංචි ආණ්ඩුවක බලය

ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.

 ✒️ සමන්ති වීරසේකර

– දිවයින – 

Continue Reading

පුවත්

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද යි

Published

on

By

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ. 

ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය. 

ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.

ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.

මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා  කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි. 

RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.

ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.

ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.

නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.

ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved