විශේෂාංග

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන ලංවිම නිළධාරීන්ගේ බඩගෝස්තරවාදී න්‍යාය පත්‍රය

Published

on

වර්තමානයේදී රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවී ඇති බොහෝ දුෂ්කරතාවයන්ට මධ්‍යම රජය සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති වගකිව යුතු බව නොරහසකි. 

එහෙත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී  අපව මවිතයට පත් කරන කරුණ වන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ව්‍යාපෘති ක්‍රියාත්මක  කිරීමේ අභිලාෂයෙන් මධ්‍යම රජය ද ධනාත්මක  ප්‍රතිපත්ති අනුගමනය කිරීම හා නිළධාරීවාදය සහ පෞද්ගලික වාසි කේන්ද්‍ර කරගත් විවිධ පෞද්ගලික න්‍යාය පත්‍රයන්  වැනි අදිසි හස්‍තයන් හේතුවෙන් එම ක්‍රියාවලීන් අඩපණ වී තිබීමය.’

මේ වන විට දේශීය බලශක්ති ක්ෂේත්‍රයේ මූලිකම ගැටලුව වී ඇත්තේ නිවැරැදි ආකාරයේ බලාගාර තුළ අඩු විදුලි ධාරිතාවක් තිබීම සහ වැරදි බලාගාරවල වැඩි විදුලි ධාරිතාවක් පැවතීමය.

විවිධ පෞද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් පෙනී සිටින විදුලි බල මණ්ඩලයේ ඉහළ අසුන්වල සිටින නිළධාරීන් කිහිපදෙනෙකුම රටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අකුල්හෙලීම රටේ සියලුම පුරවැසියන් පාහෙ දන්නා පොදු රහසකි. මනා උපයෝගීතාවයක් සහිත සුළං ,සූර්ය සහ බැටරි වැනි පුනර්ජනනී බලශක්ති කෙරෙහි කිසිදු මනාපයක් පළ නොකරන ඔවුහූ පුනර්ජනනීය නොවන බලශක්ති ප්‍රභවයන් පිළිබඳ පමණක් ඉමහත් උනන්දුවක් දක්වති.

පුනර්ජනනීය බලශක්තිය අපේ රටේ බහුලව පවතින බලශක්ති ප්‍රභවයන්ට සාපේක්ෂව ඉතා ලාභදායි වේ. භූගෝලීය භෞතික පිහිටීම තුළින් නිරායාසයෙන්ම උරුම වූ සූර්‍යාලෝකය සහ සුළඟ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ  තවමත් සූර්ය හා සුළං බලශක්තිය සඳහා විශාල අවස්ථාවක් තිබේ.

එහෙත් ශ්‍රී ලංකාව තුළ එවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය පවතින්නේ ඉතාමත්  මන්දගාමී මට්ටමකය. එනම් ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවහොත් අපේ රටේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය ඇත්තේ  12%ක් පමණි (Hydro හැර).   එබැවින් පුනර්ජනනීය  බලශක්තිය ඔස්සේ රටේ බලශක්ති සැපයුම් ජාලයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරමින් බලශක්ති අර්බුධය කෙරෙහි ධනාත්මක විසඳුමක් ලබාදීමට තරම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය ප්‍රමාණවත් නොවේ.

විදුලි බල මණ්ඩලය විසින් සෑම විටම පුනර්ජනනීය බලශක්තියට එරෙහි වීම සඳහා එම ශක්ති ප්‍රභවයන් සතු අවිනිශ්චිතාවය සිය හේතු පාඨය ලෙස ඉස්මතු කර දක්වයි. නමුත් එවැනි ප්‍රකාශයන් ඔස්සේ ඔවුන් සැඟවීමට උත්සාහ ගන්නා සැබෑ හේතු ප්‍රත්‍ය වන්නේ, රටේ බලශක්ති පද්ධතිය තුළ පුනර්ජනනීය බලය බහුලව භාවිතා වන විට ඔවුන් මෙතෙක් සූක්ෂම දියත් කළ කූඨ මාෆියාවන් පවත්වාගෙන යෑමෙ මග ඇහිරී යාම වේ. එබැවින් සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරමින් බලශක්ති මාෆියාවෙන් සිය මඩිය තට කර ගැනීම වෙනුවෙන් ඔවුහූ අඛණ්ඩව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි සිය විරෝධය දක්වන අතර  ආයෝජකයන් ඒකකයක් සඳහා අවම ගාස්තුවක් යටතේ  පුනර්ජනනීය  බලශක්තිය ලබාදීමට යෝජනා ඉදිරිපත් කළද එය කිසිදු තාර්කික පදනමකින් තොරව  ප්‍රතික්ෂේප කරති.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය නොවන බලශක්ති ඒකකයක් රුපියල්  45කට වඩා ඉහළ මිලක්‍ යටතේ මිලදී ගන්නා අතර මෙගාවොට් 1,500කට ආසන්න  ධාරිතාවක් උත්පාදනය කරන සූර්ය, සුළං සහ බැටරි ගබඩා කිරීම් වැනි උපයෝගීතා පරිමාණ ව්‍යාපෘති උපක්‍රමශීලීව අවහිර කරයි. මෙම ව්‍යාපෘති  මේ වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය සමඟ ඉදිකිරීමට අවස්ථාව ලැබෙන්නේ නම්,ඉදිරි වසර 1 1/2ක කාලයක් තුළ දැනට පවතින සූර්ය හා සුළං බලශක්තියට වඩා අඩු මිල ගණන් යටතේ එනම්,  කිලෝවොට් පැයකට රු.24 සිට 30දක්වා විදුලිය සැපයීමට ආයෝකයින් සිය යෝජනා සැලසුම් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව පුනර්ජනනීය නොවන විදුලිය සඳහා වැයවන පිරිවැයට වඩා ඉතාමත් අවම මිලකට තම බලශක්ති අවශ්‍යතාවයන් පූර්ණය කර ගැනීමට ලාංකීය ජනතාවට ද අවස්ථාවක් උදාවනු ඇත.

ඇතැම් ලංවිම ඉංජිනේරුවන් මෙවැනි උපයෝගිතා පරිමාණයේ ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය අඛණ්ඩව වර්ධනය වුවහොත් සිය ව්‍යාපාරයන්ට සහ  අභිමතාර්ථයන්ට තර්ජනයක් වනු ඇතැයි යනහදිසි බියෙන් සිය කැළඹී සිටියි. 

එමනිසාම පුනර්ජනනීය ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන් මුණිවත රකිමින් කුප්‍රකට ලෙස මෙම ක්‍රියාවලිය ප්‍රමාද කරනු ලබයි.එමඟින් රටේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ ආයෝජන සැලසුම් අවහිර වේ.

මෙම මෙගාවොට් 1500 පුනර්ජනනීය  ව්‍යාපෘතිවල ප්‍රමාදයත් සමඟ, ආර්ථිකමය වශයෙන්ද රටට සිදුවන අලාභය සුළුපටු නොවේ. එනම්, මේ තුළින්  වාර්ෂිකව ~3200 GWh අගයකින් යුත් ලාභදායි  බලශක්ති ධාරිතාවක් රටට අහිමි වනු ඇත. 

එහි  ප්‍රතිඵලය වන්නේ,  පුනර්ජනනීය නොවන බලශක්තිය වෙනුවෙන් දැරීමට සිදුවන අධික  පිරිවැය ලෙස වසරකට රුපියල් බිලියන 20ක් වැනි විශාල මුදලක් අමතර පිරිවැයක් ලෙස රටේ ආර්ථිකයෙන් වැය කිරීමට සිදුවීමය. හුදෙක් පෞද්ගලික අභිලාෂයන් සහ න්‍යාය පත්‍රයන් වෙනුවෙන් ලංවිම විසින් සිදු කරන මෙම බලශක්ති මාෆියාව නිසා රටේ පුරවැසියන්ට  මුහුණ දීමට සිදු වී තිබෙන  අත්දැකීම් ඉතා අමිහිරිය. එබැවින්  රටේ ආර්ථික තත්ත්වය තවදුරටත්  පරිහාණියට ලක්කරමින් සිදුකරන මෙම මාෆියාවට සහ දූෂණයට එරෙහිව නිසි ප්‍රතිපත්ති රාමුවකට පිවිසීම ඉතා වැදගත්‍ ය.

– හරේන්ද්‍ර කුරුප්පු 

Trending

Exit mobile version