Connect with us

විශේෂාංග

මට ඕන වුණේ කලාවේ ඒකාධිපතිත්වය බිඳින්න‘: අඳුරු සිපිරිගෙයක් කලාගාරයක් කළ අභිෂේකා

Published

on

“ආදරය කියන්නේ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිරගෙදරට එන්න. නිදහස් වෙන්න” මේ වැකිය අභිෂේකා විමලවීර නම් ගායන ශිල්පිනියගේ මහනුවර පැවති ‘අභී – ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක පටයකින් උපුටා ගැනුණකි.

‘නිදහස් වෙන්න හිරගෙදරට එන්න’ යන යෙදුම අතිශයින් උත්ප්‍රාසාත්මක ය. ඒ, අභිෂේකා නිදහස් වීමට පැමිණෙන ලෙස කී ස්ථානය අඳුරු අතීතයකට උරුමකම් කියන ඓතිහාසික ස්ථානයක් වීම නිසා ය.

ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මැරීමෙන් පසු ඇයගේ දේහය ගොඩ ගැසූ ස්ථානය එය යි. වරදකරුවන් 500 දෙනෙකුට අධික පිරිසක් එල්ලා මරා දමා ඇති ස්ථානය එය යි.

එවන් අඳුරු අතීතයකට උරුමකම් කියන බෝගම්බර බන්ධනාගාර භූමිය රසිකයින් පිනවන, ඔවුන්ට නිදහස සපයන කලාගාරයක් බවට පත් කිරීමට පසුගිය මාර්තු 04 වන දා ගායන ශිල්පී අභිෂේකා විමලවීරට හැකි විය.

“මම පළවෙනි කොන්සර්ට් එක කළා කොළඹ නෙළුම් පොකුණේ. ඒක ලංකාවේ හොඳ ම තැන කියලනෙ කියන්නේ. ඉතින් මගේ මහනුවර කොන්සර්ට් එක තියන්න ඊට වඩා හොඳ තැනක් ඕන වුණා. නෙළුම් පොකුණේ තාක්ෂණික තත්ත්වයට තරගයක් දිය හැකි ස්ථානයක් මට මහනුවරින් හොයා ගන්න ලැබුණේ නෑ. ඒ නිසා මට හිතුණා මේ වැඩේට ආධ්‍යාත්මික වැදගත්කමක් තියෙන තැනක් හොයා ගන්න ඕන කියලා. ඒකට සුදුසු තැනක් හොය හොය නුවර වටේ යද්දී අපි මේ ස්ථානය දැක්කා,” සිය සංගීත ප්‍රසංගය සඳහා බෝගම්බර බන්ධනාගාරය තෝරා ගැනීමට හේතු වූ කරුණු ගැන අභිෂේකා බීබීසී සිංහල සේවයට එලෙස පැහැදිලි කළා ය.

“මහනුවර මැද තියෙන නිධානයක් වගේ ඉඩමක් මේක. ඒක අවුරුදු ගණනක් තිස්සේ සම්පූර්ණයෙන් ම වහලා. ඇයි මේක නාස්ති කරන්නේ? මේක හැම දා ම මුස්පේන්තු බිමක් විදිහට තියෙන්න ඕන ද? නැත්නම් නුවරට මේකෙන් ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා ද? කියන එක බලන්න තමයි මට ඕන වුණේ. ලංකාව නිධානයක් නේ. නිධානයක් උඩ වාඩි වෙලානේ මේ අපි හිඟා කන්නේ. ඒ වගේ තැනක් තමයි බෝගම්බර බන්ධනාගාරය. ඒක වෙනස් විදිහකට සංචාරක ආකර්ෂණය වැඩි වෙන ආකාරයට වෙනස් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න පළමු පියවර විදිහට තමයි මම එතන තෝර ගත්තේ,” ඇය පැවසීය.

විදුලියවත් තිබුණේ නෑ”

“අපිට මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය කිව්වා විදුලිය ඇතුළු කිසි ම දෙයක් මෙතන නෑ කියලා. හැම දේ ම පිටින් ගන්න වෙයි කිව්වා. මං කිව්වා බන්ධනාගාරයේ පසුබිම විතරක් මට දෙන්න කියලා. ඊට පස්සේ මේ ප්‍රසංගය සංවිධානය කරන්න මාසයක් විතර කාලයක් සැලසුම් කළා,” අභිෂේකා විමලවීර පැවසීය.

ඇය පැවසුවේ, විදුලිය ඇතුළු සියලු සේවා පිටතින් සපයා ගනිමින් මෙම ප්‍රසංගය පැවැත්වූ බව ය.

මෙම ප්‍රසංගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර 2000 ම දින දෙකක් තුළදී අලෙවි වී අවසන් වූ බව ඇය පැවසුවා ය.

වෙනස් ආරම්භයක්

පසුගිය මාර්තු 04 වන දා අභී – ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය ආරම්භ කෙරුණේ, වෙනස් මුහුණුවරකිනි.

එහිදී, ප්‍රසංගය ආරම්භයට පෙර එම ස්ථානයේ එල්ලා මරා දැමූ සිරකරුවන් සහ ඇහැලේපොළ කුමාරිහාමි සිහි කිරීමක් සිදු කෙරිණි.

“ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය ගොඩ ගැසූ තැනට අඩි කිහිපයක් දුරින් තමයි මේ ප්‍රසංගය පැවැත්වුණේ. අපි ආරම්භයේදී ඇහැලේපොළ කුමාරිහාමිට ගෞරව දක්වලා සියලු දෙනා නැගිටලා ඒ භූමියෙන් අවසර ගත්තා. ඊට අමතරව එතන එල්ලා මැරීමට ලක්වූ 546 දෙනා මතක් කරලා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරලා තමයි මේ ප්‍රසංගය ආරම්භ කළේ. ඒ නිසා ඒක මහනුවර ජනතාවට ලේවලට ම දැනෙන අත්දැකීමක් වුණා.”

ලාංකික කලාවේ ඒකාධිපතිත්වය බිඳ දැමීමත් මගේ අරමුණක් වුණා”

“අපේ කලාවේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි, ඒකාධිපතිත්වය. හැම තිස්සෙ ම කලාව කියන එක හුවමාරු වෙන්නෙ අතේ ඇඟිලි ගාණට සමාන කීප දෙනෙක් මත. ඉන්ටර්වීව් එකක් ගත්තොත් හැම දා ම එක ම දහ දෙනා. හැම දා ම එක ම ලොකේෂන්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගත්තත් කීප දෙනෙකුට විතරයි අවස්ථාව දෙන්නේ. ඒ දේ වෙනස් කළොත් අපේ කලාව දියුණු වෙයි. රට ත් දියුණු වෙයි. මට ඒ ඒකාධිපතිත්වය බිඳින්න ඕන වුණා,” අභිෂේකා විමලවීර ප්‍රකාශ කළා ය.

අන්ධකාර ගුහාව ආලෝකවත් කරන්න අභිෂේකාට හැකි වුණා” – මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර

අන්ධකාර අතීතයක ගිලී තිබූ බෝගම්බර බන්ධනාගාරයට ආලෝකයක් රැගෙන ඒමට අභිෂේකා විමලවීර ගත් උත්සහයට ජනතාවගේ ප්‍රසංශාව හිමි විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

“ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතය අභියෝගයට ගැටලුවකට ලක්වෙලා තියෙන වෙලාවක්. අපේ ඉතිහාසයේ අන්ධකාර අතීතයක් ඇති බෝගම්බර බන්ධනාගාරය වගේ තැනක සංස්කෘතිකමය වශයෙන් කලා කටයුත්තක් ආස්වාදනීය දෙයක් සිද්ධ වුණා කියලා දැන ගන්නට ලැබීම සතුටක්. අභිෂේකා විමලවීර ගායන ශිල්පිනිය ලොකු උත්සහයක් දරලා තියෙනවා, මේ අන්ධකාර ගුහාව නැත්නම් අන්ධකාර ස්ථානය ආලෝකවත් කරන්නට, ප්‍රභාෂ්වර ආලෝකයක් ගෙනෙන්නට සංගීත නාදයෙන් සහ ගායනයෙන්. ඇය නිවැරදිව ශ්‍රැති, ස්වර, තාල පිහිටලා ගයන කෙනෙක්. එය මං හිතන්නේ ජනාස්වාදයට වගේ ම ජනාකර්ෂණයට වගේ ම ජනයාගේ ප්‍රසංශාවට ලක් විය යුත්තක්. දැනට ම ත් එය වෙමින් පවතිනවා. මෙතනින් එහාට දිගින් දිගට ම ඔය ස්ථානය එබඳු කටයුතුවලින් ආලෝකයෙන් සතුටින් පිරේවායි පතනවා,” මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය.

බෝගම්බර බන්ධනාගාරයේ අතීතය

බෝගම්බර බන්ධනාගාරය ඉංග්‍රීසි පාලන සමයේ එනම් 1876 වසරේදී මෙරට ප්‍රථම බන්ධනාගාර හා ‍පොලිස් කොමසාරිස්වරයා වූ එන්.ආර්. සෝන්ඩර්ස්ගේ අධීක්ෂණය යටතේ ඉදිවූ බව පැවසේ.

එක ම තනි පදනමක් මත ආසියාවේ ඉදිවූ දිග ම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වූ අතර, මෙහි සිරමැදිරි 328ක් පැවතිණි.

එක ම තනි පදනමක් මත ආසියාවේ ඉදිවූ දිග ම ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වූ අතර, මෙහි සිරමැදිරි 328ක් පැවතිණි.

ශ්‍රී ලංකාවේ පළමු වරට එල්ලුම් ගසක් ඉදිකර ඇත්තේ ද මෙම බන්ධනාගාරය තුළ ය. එහි එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි ආකාරයට ස්ථිර ලෙස ඉදිකර තිබේ.

1876 වසරේ සිට මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් 500කට අධික සංඛ්‍යාවක් (මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය පවසන පරිදි 546ක් එල්ලා මරා දමා ඇති අතර එය 524ක් ලෙස ඇතැම් වාර්තාවල දැක්වේ) එල්ලා මරා දමා ඇත.

මෙම එල්ලුම්ගසේ අවසන් වරට එල්ලා මරා ඇත්තේ, එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්. ඩී. රිචඩ් හා ටී. එම්. ජයවර්ධන යන වරදකරුවන් ය. ඒ, 1975 නොවැම්බර් 21 හා 22 යන දෙදින තුළ ය.

ඊට අමතරව, බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැ‍ලේ‍පොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා පසුව එම මළ සිරුර ගොඩ ගත් ස්ථානය ලෙස සැලකෙන්නේ ද බෝගම්බර බන්ධනාගාරය තුළ ඇති ස්ථානයකි. එසේ ම උතුවන්කන්දේ සරදියෙල් සහ මරු සිරා වැනි විශේෂ සිරකරුවන් ද මෙහි රඳවා සිට ඇත.

BBC NEWS

සිංහල

විශේෂාංග

නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය

Published

on

By

කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා.  හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා  නෑ ලූ.  ව්‍යාපෘතිය අසාර්ථකයි.

දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.

හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.

අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.

පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා.  හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!  

මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.  

මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු  8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි)  ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු)  ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.

ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි.   නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා.  ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.

ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා.  අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.  

ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.

ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ‍ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.

රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.  එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!

රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන‍ පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.

විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.

‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි.  ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

විදේශ විනිමය, වාහන ආනයනය හා ශ්‍රමිකාවියෝ

Published

on

By

“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”

අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්‍රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.

ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.

ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.  

ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්‍රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.

ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.

මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.

මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්‍රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්‍ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය. 

ඊළගට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද? 

ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.   

ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.

මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු  සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.

අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා   

ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

[email protected]      

Continue Reading

විශේෂාංග

ට්‍රම්ප්ගේ බදු සහනය තව මාසයයි: ලංකාවේ සැලසුම කුමක්ද?

Published

on

By

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය තුළ දැනට ක්‍රියාත්මක වන මාස 3ක සහන කාලය ලබන ජූලි 8 වන දායින් අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර ශ්‍රී ලංකාව රටක් ලෙස සිය තීරු බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ස්ථිර පදනමක් දැමිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, කෘෂිකාර්මික උපකරණ, ලුණු හා බිත්තර ගෙන්වා ගැනීමේදී ආනයන බදු ලිහිල් කර වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම ඔස්සේ නිදහස් වෙළෙඳාමකට යා යුතු බවය.

මේ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අමෙරිකාව සම්බන්ධයෙන් වුව ආනයන බදු හා වෙළෙඳපොළ බාධක ඉවත් කළ යුතු බවත් එවිට ඔවුන් ධනාත්මක ලෙස ඒ ගැන සලකා බලනු ඇති බවත් ය.

ජාත්‍යන්තර වෙළෙඳ සංගමයේ මූලධර්ම අනුව සියලු රටවල් සඳහා පොදු වෙළෙඳපොළ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගත යුතුය.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද තත්ත්වයට වඩා බොහෝ කාලයක් ආරක්ෂණවාදී ආර්ථික පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම හා ප්‍රමාණවත් වෙළෙඳපොළ තත්ත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීම හමුවේ ඇති වූ තත්ත්වයක් බව ද  මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව, අප රටක් ලෙස දැන් හෝ ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට අවතීර්ණ විය යුතුය.

එසේ ගිව්සුමකට නොගියොත් වඩාත් අවාසිසහගත වෙළෙඳපොළ කොන්දේසි යටතේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරග කිරීමට මෙරට ඇඟලුම් අපනයනවලට සිදුවනු ඇති බවට මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අනතුරු ඇඟවීමක් ද දැක්වීය.

මේ අනුව ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි ගෝලීය වෙළෙඳ පංගුව අහිමි වීම පමණක් නොව එම ක්ෂේත්‍රයේ පවතින ආයෝජනයන් ද රටට අහිමි වීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරටට සාපේක්ෂව වියට්නාමය සහ බංග්ලාදේශයේ නිෂ්පාදන පිරිවැයෙහි දැවැන්ත වෙනසක් පෙන්නුම් කළහොත් කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ආයෝජකයන් ඔවුන්ගේ ව්‍යාපාර එම රටවලට ගෙනයනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

මහාචාර්යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසි අවස්ථාවේදී සිදු නොවීමේ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් ඇති බව ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved