Connect with us

විශේෂාංග

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු

Published

on

“බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි” යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා ය. මන්ද යත්, බීරි අලියෙකුට ශ්‍රවණාස්වාදයක් සැපයීම සඳහා නිරර්ථක ප්‍රයත්නයක් ගැනීමට තරම් මෝඩයෙකු වීම ගැන ය. එහෙත්, ඔහු වීණාව වයන්නේ අලියා බිහිරි බව නොදැන නම්, ඔහුට සමාවක් තිබේ. කෙසේ වෙතත්, මොන තත්වයක් යටතේවත්, අලියා වගඋත්තරකරුවෙකු කළ නොහේ. මන්ද යත්, උගේ බිහිරිකම පිළිබඳ වගවෙන්නට ඌට නොහැකි බැවිනි. එනම්, මේ උපමාවේ දැක්වෙන දෙන්නාම, කෙනෙක් කායික ආබාදයක් නිසාද, අනෙකා මානසික අනවබෝධයක් නිසාද, අහිංසක විය හැකිය.

එහෙත් මේ මොහොතේ දේශපාලනික ‘අලි’ විශේෂයක් ගම් වැදී සිටිති. ඔවුන්ගේ ලාංඡනය පවා ‘අලියා’ ය. ඒ අලින්ට කන් නෑසීමේ කිසි ආබාදයක් නැත. එහෙත්, නෑසෙන බවක් පිටට අඟවා සිටීමට හරි හපන්නු ය. නොදැනුවත්කමක් හෝ අනවබෝධයක් නිසා නොව, දේශපාලනික කුහකකමක් නිසා ය. මේ දිනවල මුහුණුපොත වැනි තැන්වල මෙවැනි අලි කුලප්පු බොහොමයකි. ඔවුන් කරන්නේ, තමන් තැන්පත් බවක් මතුපිටින් පෙන්නා, අනෙක් හැමෝම කුලප්පු කිරීමට බැලීමයි. ඒ අතින් ගත් විට, කතරගම-බුත්තල මාර්ගයේ මහ දවල්ටත් කරදරකාරී රංචු වශයෙන් ගැවසෙන අලි රංචු මොවුන්ට වඩා අහිංසක යැයි සිතෙයි.

රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල පොල් පෝලිම් දකින්ට තිබේ. පොල් ගෙඩියක් සඳහා පෝලිමක සිටින්ට වීම සැබවින්ම ප්‍රවෘත්තියක් තමයි. ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන සිල්ලර ලුහු ප්‍රවෘත්ති පවා රටට වැදගත් ය. එහෙත්, ඒ සාමාන්‍ය ප්‍රවෘත්තියෙන් පටු දේශපාලනික පාඩමක් ප්‍රක්ෂේපණය කිරීමට තැත් කෙරෙයි නම්, ඒ ගැන කෙනෙකු දෙවරක් සිතා බැලිය යුතුය. ඒ මෙසේ ය: අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්ව මේ ගතවෙන්නේ පස්වැනි සතියයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින්, ව්‍යවස්ථාදායකයක් නැත. කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ, ජනාධිපතිවරයාද ඇතුළුව, තුන්දෙනෙකුගෙන් පමණි.

ඒ, එක පැත්තකි. එතකොට අනිත් පැත්ත? පොල්වල මිල ඉහළ ගොස් තිබේ. එසේ වන්නේ, එක්කෝ, පොල් අස්වැන්නේ හිඟයක් නිසා විය හැකිය. නැත්නම්, පොල් ප්‍රවාහණයේ සහ බෙදාහැරීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. එසේත් නැත්නම්, අතරමැදි ජාවාරම්කාර ස්වභාවයක් නිසා විය හැකිය. හේතුව පළමුවැන්න නම්, ඒ ගැන මේ ආණ්ඩුවට fදාස් කීමෙන් වැඩක් නැත. මන්ද යත්, පොල් වගාව වර්ධනය කිරීම හෝ අඩාළ කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසය ඇතුළත මේ ආණ්ඩුව මගින් ගන්නා ලද කිසි පියවරක් ගැන දැනගැනීමට නැති බැවිනි. දැන් වෙළෙඳපොළට එන්නේ (හෝ නොඑන්නේ), සැප්තැම්බර් 21 වැනිදා වන විට, එනම් පසුගිය ජනාධිපතිවරණයට කලින් දවස්වල පොල්ගස්වල හටගත් පොල්ගෙඩි මිස, ඉන්පසුව ‘මාලිමාව’ විසින් අලුතෙන් ඉන්දවන ලද පොල්පැලවලින් නෙලාගත් අස්වැන්නක් නොවේ.

එහෙත්, මෙසේ පොල් මිල ඉහළ ගොස් ඇත්තේ දෙවැනුව හෝ තෙවැනුව කී කාරණය නිසා නම්, ඒ ගැන මේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ නැත. එසේම එය වහා විසඳීමද අපහසු නැත. මාසයක කාලයක් වුව ඊට ප්‍රමාණවත් වන බැවිනි. එහෙත්, අද අපට දකින්ට ලැබෙන්නේ, රතුපාට ටයිපටියක් කරේ බැඳගෙන මහපාරක පොල් විකුණන මහත්මයෙකුගේ පින්තූරයක් සහිත උපහාසාත්මක වාර්තාවන් ය. ඒවායින් ඉලිප්පීමට බලන්නේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය, අකාර්යක්ෂමතාව සහ ආධුනික භාවය වැනි කාරණා ය. ඒ කියන හැම අඩුවක්ම, අලුතෙන් බලයට පත් ආණ්ඩු පාර්ශ්වය තුළ තිබීමට බැරිකමක් නැත. එහෙත්, ඒ ගැන තීරණයක් ගැනීමට තරම්, මේ කියන කිසි කාරණයක් කොහෙත්ම ප්‍රමාණවත් නැති බව නම් පැහැදිලියි. ඒ අනුව ගත් විට, එවැනි විවේචන ව්‍යුත්පන්න වන්නේ, හුදෙක් පටු දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව පමණක්ම බව ඉඳුරා කිව හැකිය.

රුපියල් බිලියන 100 ක් අලුතෙන් අච්චු ගහලද?

වීණා වාදනය නෑසෙන සේ සිටින ලොකුම අලියා පෙනෙන්නේ, මේ රජය බලයට පත්වූ දා සිට මහබැංකුව විසින් රුපියල් බිලියන සියයකට අධික මුදලක් අලුතෙන් අච්චුගසා ඇතැයි කියන කතාව සම්බන්ධයෙනි. මේ හාහෝව පටන්ගත් දවසේ සිට එක මහත්මයෙක් සමාජ මාධ්‍ය හරහා පුහුදුන් අපේ දැනගැනීම සඳහා දෛනික වාර්තාවක් ඉදිරිපත් කරමින් අපව යාවත්කාලීන කෙළේය. ඒ, “අද මහබැංකුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය බිලියන මෙච්චරයි!!!” ආදී වශයෙනි. මේ ආන්දෝලනය මේ වන විට මොන තරම් උච්ච ස්ථානකයට නැඟ ඇත්ද යත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු උපදේශක මහත්මයෙක් අද මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ කියා ඇත:

“ලංකාවේ ඉන්නෙ, ආර්ථික විද්‍යා දැනුම තියා, හරියට වැසිකිළියකට ගිහිල්ලා එන්නවත් දැනුමක් නැති, නූගත් මෝඩ හැත්තක්. එවැනි අමු ගොබ්බ සමාජයකට රටක මුදල් පාලනය කරන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒවා තේරුම්ගන්න තරම් දියුණු මනසක් උන්ට නැහැ.”

එසේ කියා ඊට පේළි කිහිපයකට පසුව යළිත් ඔහු මෙසේ කියයි:

“මේ රටේ ඉන්නෙ නූගත්, වනචර, අහංකාර, ගොබ්බ හැත්තක්. එවැනි ජනතාවකට කවදාවත් දියුණු වෙන්න බැහැ. ගෝඨාභය ක්‍රියාත්මක කළ දේශීය ආර්ථික යාන්ත්‍රණය විතරයි මේකට විසඳුම වුණේ. නමුත් ඒ අවස්ථාව අනුරලා විසින්ම විනාශ කළා. ඊනියා අරගලය නොකරන්න, ලංකාව අද වේගයෙන් සංවර්ධනය වෙන රටක්… මාලිමාවට කතිරය ගහපු අයට මට කියන්න තියෙන්න, ධර්මය ඔබට මඟ වේවා!”

මෙවැනි ප්‍රකාශ ගැන, පරිච්ඡේද ගණන් පිළිතුරු ලියා පාඨකයන් වෙහෙසට පත්කිරීම අනවශ්‍යයි. එහෙත්, ඔහු මුලින් පවසන සියල්ලත්, ඒවා පවසන ව්‍යාකරණය සහ ශෛලියත් සමග එහි අවසාන සිල් පදය පමණක් අවධාරණය කිරීමට මා කැමතියි. එනම්, අර තරම් අසාර කතාවක් සහ අශෝභන භාෂාවක් වහරණ මහත්මයෙකු, එහි අවසානයේදී “ධර්මය ඔබට මඟ වේවා!” යැයි ප්‍රාර්ථනා කරන්නේ මොන දිවකින්ද යන්නයි.

මේ ආණ්ඩුව ගැන විවේචන නොකළ යුතු අව්‍යක්ත ආකාරයක්ම ඔහු සිය විවේචනය සඳහා යොදාගෙන ඇත්තේ, හේතුවක් ඇතිවයි. එවැනි රළු ව්‍යාකරණයකින් තොරව, ගෝඨාභයගේ වසුරු ඉතිහාසය වැසීම අසීරු බව දන්නා බැවිනි. බළලුන් මලපහ කළ පසු වැලි අහුරකින් එය වසා යනවා ඔබ දැක තිබේද? එයින් ගන්ධස්කාරය නොවැසෙන බව ඌ දන්නවාදැයි අපි නොදනිමු. එහෙත්, එය උගේ සහජ පුරුද්ද බව නම් අපි දනිමු. එය පවා, ගලක පහරපු දාට ඌට කරගැනීමට නොහැකි වෙයි!

ලංකාවේ ජනතාව ආර්ථික විද්‍යා දැනුම අතින් පමණක් නොව, වෙනත් බොහෝ අංශවලින්ද, ප්‍රශස්ත මට්ටමක නැති බව ඇත්ත. මෙපමණ කලක්, ඔහුගේ හිටපු ජනාධිපතිවරයාද ඇතුළු බහුතරයක් නායකයන්ට සහ දේශපාලනඥයන්ට ඉතා පහසුවෙන් ජනතාව රැවැට්ටවීමට හැකි වුණේ එබැවිනි. ඒ ගැන බරපතළ විවාදයක් නැති මුත්, එහි අනිත් පැත්තේ කතාවක්ද ඇති බවත් අමතක නොකළ යුතුය. ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණීම සඳහා කැලණි ගඟෙන් ප්ලාස්ටික් බෝතලයකින් නාගයෙකු වැඩැම්ම වූ පුද්ගලයාගේ ඇපත් රාජසන්තක කරවීමට ගිය වර ජනාධිපතිවරණයේදී ජනතාව වගබලාගත් බව අපි දනිමු. ඔව්, අපේ ජනතාව පාඩමක් ඉගෙනගන්නේ විශාල වියදමක් දැරීමෙන් පසුව යැයි කෙනෙකු කියන්නේ නම් සහ ඒ පාඩම යළිත් අමතක කිරීමටත් ඒ ජනතාව පෙළඹිය හැකි බවත් කියන්නේ නම්, ඒකත් ඇත්තයි. අර උපදේශකයා මෙසේ ලියන්නේ, ‘මාලිමාව’ අසාර්ථක වෙතොත්, අන්න ඒ ජනතාවගේ දුර්වලතාව (සුදුසුකම!) ස්වකීය ප්‍රයෝජනයට ගැනීමේ අනාගත අපේක්ෂාව නිසාම යැයි මම සැක කරමි.

පාලකයනට ඇන්දවිය නොහැකි වන තරමට අපි දැනුවත් වෙමු

අප කළ යුත්තේ, ජනතාවට බැණවැදීම නොව, ජනතාව හැකිතාක් දැනුවත් කිරීමට නිරතුරුව උත්සාහ කිරීමයි. සල්ලි අච්චු ගැසීම ගැන කතාව අපට එතැනින් පටන්ගත හැකිය. මේ කතාව සමාජගත කෙරුණේ සල්ලි අච්චුගැසීමක් වශයෙනි. “අච්චු ගැසීම” යන යෙදුම ආ සැණින්, පුහුදුන් සිතට එන්නේ, යම් මුද්‍රණ යන්ත්‍රයකින් අලුතෙන් අච්චුගැසෙන නෝට්ටු සහ කාසි තොගයකි. විවේචනය ඉදිරිපත් කළ පිරිසේ අධ්‍යාශය වුණේද, ඒ රසවත් අර්ථයම ජනතා සිත්සතන් තුළ කාවැද්දීමටම තමයි. විජිත හේරත් ඒ පැනයට පිළිතුරක් දුන්නේය. මේ පිළිතුර ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔහු කීවේ, වර්තමාන මුදල් ඇමතිවරයාගේ අත්සන සහිත එක මුදල් නෝට්ටුවක් හෝ හැකි නම් ඉදිරිපත් කරන ලෙසයි. ප්‍රශ්නය ඉදිරිපත් කළ චෝදකයාගේ අදිසි අරමුණ ප්‍රකාරව ගත් විට විජිත හේරත්ගේ පිළිතුරත් ඊට සහමුලින්ම ගැළපෙයි. එහෙත්, චෝදනාව සහ පිළිතුර යන දෙකම, මිනිසුන් දැනුවත් කිරීමට වඩා මෝහයේම ගිල්වා තැබීමට තුඩුදෙයි. මේ කාරණය ගැන මහබැංකුව සවිස්තරාත්ම ප්‍රකාශයක් දැනටමත් කර තිබේ. එහෙත් අලියාට ඇසෙන පාටක් නැත.

ඉතා නුදුරේදී (දැන් පවා) කිසි මුදල් නෝට්ටුවක් දෑහින් නොදැක අපේ දින චර්යාව ගතවෙන ආකාරයක් අපට දැනගත හැකි වනු ඇත. එනම්, මූල්‍ය ක්‍රමය තුළ, ස්පර්ශනීය නෝට්ටු හෝ කාසි වශයෙන් නොව, යම් අස්පර්ශනීය අගයන් සමුදායක් වශයෙන් ආර්ථිකයක් තුළ ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, ‘මුදල් අච්චුගැසීම’ යන බැවහැර ඥානයෙන් ගැනෙන්නේ,  ‘මුදල් මැවීමක්’ නමැති සංකල්පීය මූල්‍ය ක්‍රියාකාරීත්වයකි. එනම්, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන හරහා මුදල් පැටව් ගැස්සවිය හැකි බවයි. එහි ගාමක කේන්ද්‍රය වන්නේ රටක මහබැංකුවයි. උදාහරණයක් වශයෙන්, මහබැංකුව වෙනත් වාණිජ බැංකුවකට සපයන එක රුපියලකින්, මාස 18 ත් 24 ත් අතර කාලයකදී, එකී මුදල රුපියල් 9 ක් දක්වා වැඩි වන අගයක් බවට පරිවර්තනය වන බව, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. ‘අච්චු ගැසීම’ යන්නෙන් අදහස් වන්නේ අන්න ඒ කියන ‘මුදල් මැවීමයි.’

මෙය දිනපතා මහබැංකුවක් විසින් කරන කාර්යයකි. මහබැංකුවක් එසේ කරන්නේ ඇයි? යම් නිශ්චිත දිනයක බැංකු පද්ධතියට අවශ්‍ය කරන යම් මුදල් ප්‍රමාණයක් තිබේ. උදාහරණයක් වශයෙන්, එදාට යම් පුද්ගලයෙකුට ඒ බැංකුව විසින් දිය යුතු නිවාස ණයක් හෝ ඒ බැංකුව විසින් ස්ථාවර තැන්පත්කරුවෙකුට ආපසු ගෙවිය යුතු මුදලක් වැනි දෙයක් විය හැකිය. මෙය හඳුන්වන්නේ බැංකුවක ‘ද්‍රවශීලතාව’ වශයෙනි. තනි පුද්ගලයෙකු වශයෙන් ගත්තොත් අද දවසේ වියදම් සඳහා මගේ අතේ ඇති මුදල මගේ ද්‍රවශීලතාවයි. එය, හිඟ එකක් විය හැකිවා සේම, අතිරික්ත එකක්ද විය හැකිය. එනම්, අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ ඇත්තේ රුපියල් පන්සීයක් පමණක් නම්, එය හිඟ (ඌන) ද්‍රවශීලතාවකි. අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ දෙදහසක් ඇත්තේ නම් එය අධි-ද්‍රවශීලතාවකි. මුළු රටක සමස්ත බැංකු ක්‍රමය තුළ පවත්නා ද්‍රවශීලතාවත් එසේ ය.

මූල්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ද්‍රවශීලතාව හිඟ වන විටත්, අතිරික්ත වන විටත්, රටේ ආර්ථිකයට හානි පැමිණෙයි. ඒ, උද්ධමනය හෝ අවධමනය මාර්ගයෙනි. උද්ධමනය යනු, භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු, මිළ පහළ යාමේ වේගයයි. මේ දෙකම, එක්තරා මට්ටමකින් පසු, නරකයි. එසේ හෙයින් මහබැංකුවක් දිනපතාම, මුල්‍ය ක්ෂේත්‍රයේ සමතුලිතතාවක් පවත්වාගත යුතුය. ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙන පරිදි, මේ උද්ධමන වේගය සියයට 2-3 අතර අගයක පවත්වාගැනීම මැනවි. ඒ සඳහා යම් දිනෙක, (එනම් අවධමනය පවතින අවස්ථාවක) සල්ලි අලුතෙන් පොම්ප කිරීමට මහබැංකුවට සිදුවෙයි. තවත් දිනෙක (එනම්, උද්ධමනය පවතින අවස්ථාවක) සල්ලි තමන් වෙතට ඇදගැනීමට මහබැංකුවට සිදුවෙයි.

මහබැංකුවේ ප්‍රධාන කර්තව්‍යයක් වශයෙන්, රටේ උද්ධමනය මේ වසර තුළ සියයට 5 සීමාවේ රඳවාගත යුතු බවට, රනිල් වික්‍රමසිංහගේ හිටපු රජය සහ මහබැංකුව අතර නීතිමය ගිවිසුමක් ඇති කරගෙන තිබේ. එහෙත්, පසුගිය මාසයේ (සැප්තැම්බරයේ) රටේ තිබුණේ උද්ධමනයක් නොව, සෘණ 0.5 ක අවධමනයකි. ඊයේ (30) ප්‍රකාශයට පත්, සංගණන සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවට අනුව, මේ මාසයේ තිබී ඇත්තෙත් උද්ධමනයක් නොව, සෘණ 0.8 ක් වන, ඊටත් වැඩි අවධමනයකි. ඒ නිසා අලුතෙන් ආර්ථීක ක්‍රියාවලිය තුළට මුදල් පොම්ප කළ යුතු විය. බිලියන 100 ක් අලුතෙන් ‘මුදල් අච්චුගැසුවා’ යැයි කියන්නේ එකී ‘මුදල් මැවීමටයි.’ මෙය මැවීමක් වන්නේ, මහබැංකුවේ සිට වෙනත් බැංකු වෙත නෝට්ටු වශයෙන් අලුතෙන් අච්චු ගසා අරගෙන ගියේය යන අදහසකින් නොව, ගිණුම් පොත් දෙකේ වාර්තා තුළින් (එනම්, මහබැංකුවේ පොතෙන්) අනිත් බැංකු අංශයේ පොත්වලට ඉලක්කම් ප්‍රවාහණය කිරීමක් සිදු වී ඇති බව ය.

ඇත්ත. ඒ මගින්ද මුදල් සැපයුම වැඩි වන බව ඇත්ත. එනිසා, එය ආර්ථිකයට බලපෑම් ඇති නොකරතියි කිව නොහේ. ඒ කියන අලුතෙන් මැවූ මුදල් ප්‍රමාණය, ආර්ථිකයට ඔරොත්තු නොදෙයි නම්, (එනම්, සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය සමග සමපාත නොවෙයි නම්) එය ආර්ථිකයට විනාශයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂවරු, දේශපාලනික අවශ්‍යතා සමග ගැටගගැසුණු රජයේ ආර්ථික අවශ්‍යතා සඳහා මහබැංකුව ලවා මුදල් ‘අච්චු ගැසීම’ රටේ ආර්ථීකයට ප්‍රශ්නයක් වුණේ එබැවිනි. (ඔවුන් එය එදා හැඳින්නුවේ, “නූතන මූල්‍ය න්‍යාය” නමිනි.) මේ මොහොතේ මහබැංකුව මුදල් මවා ඇත්තේ, ආණ්ඩුවේ කිසි අවශ්‍යතාවක් සඳහා නොව, රටේ මූල්‍ය ආර්ථිකයේ දෛනික අවශ්‍යතාවක් සඳහා ය. අලුත් ‘මහබැංකු පනත’ අනුව, කොහොමත් ආණ්ඩුවේ අවශ්‍යතා සඳහා මහබැංකුව විසින් මුදල් මැවීම (අච්චු ගැසීම) දැන් නීතියෙන් තහනම් ය.

උද්ධමනයක් සහ අවධමනයක් මහබැංකුවක් විසින් පාලනය කරගත යුත්තේ ඇයිද යන්නත්, අධි-උද්ධමනයකදී නම් මූල්‍ය ක්ෂේත්‍රයේ මුදල් සැපයුම මහබැංකුවක් මැදිහත් වී අඩු කළ යුත්තේ සහ අවධමනයකදී නම් මුදල් සැපයුම ප්‍රසාරණය කළ යුත්තේ ඇයිද යන්නත් පැහැදිලි කිරීමට මෙහිදී අවකාශ නැත. එහෙත්, ඒ කිසිවක් ගැන කතා නොකර, අලුත් ආණ්ඩුව බිලියන සිය ගණනින් මුදල් අච්චුගසා ඇතැයි කියන විට, ජනතා සිත්සතන් තුළට කාවදින්නේ, හිටපු මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කෙරුවාවම තමයි කියා ජනතාව අතර වැරදි අදහසක් පැතිරවීමට උත්සාහ දැරීම කනගාටුදායක ය.

කෙසේ වෙතත්, අවසානයේ කිව යුතු දෙයක් තිබේ. මේ කියන ජනප්‍රිය විවේචන ක්‍රමය ඔවුන්ද, එනම් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ‘මාලිමාව’ද ඉතා හුරතලෙන් කාලයක් තිස්සේ සංරක්ෂණය කරගෙන ආ ක්‍රමයකි. ඔවුන් විපක්ෂයේ සිටින විට බොහෝ ප්‍රශ්න දෙස ඔවුන් බැලුවේද මේ ජනප්‍රිය විලාසයෙන්මයි. දැන්, ‘මාලිමා’ ආණ්ඩුවක් යටතේ අලුත් සංස්කෘතියක් බිහි වෙතැයි යන බලාපොරොත්තුවක් ජනතාවට තිබේ. ඒ සංස්කෘතිය තුළට, මේ කියන කාරණයත් පාඨග්‍රන්ථයක් වශයෙන් ඇතුළත් කරගත යුතුව ඇත. එනම්, රටක සංකීර්ණ ප්‍රශ්න, සිල්ලරට උලුප්පා පටු දේශපාලන වාසි ලබාගැනීමේ පුරුද්ද අතහැරදැමීමත්, එකී අලුත් දේශපාලන සංස්කෘතිය තුළට ඇතුළත් කරගත යුතු බවයි.

(ප.ලි. මේ සතියේ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ඉතා ව්‍යක්ත සහ නිරවුල් ලෙසින් කාංචන විජේසේකර විසින් මේ අවසාන කාරණය පෙන්වා දෙන ලදි. ඔහුගේ දේශපාලනය සහ කඳවුර ගැන මේ ලියුම්කරුට මොන තරම් ප්‍රශ්න ඇතත්, තිත්ත ඇත්තක් වුණත් තර්කානුකූලව පැහැදිලි කරදීමේ දක්ෂතාවෙන් යුත් තරුණ දේශපාලනඥයකු වන නිසා, හැකි නම් ඒ කතාවටත් සවන්දීම වැදගත් යැයි යෝජනා කරමි).

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

By

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය

Published

on

By

කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා.  හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා  නෑ ලූ.  ව්‍යාපෘතිය අසාර්ථකයි.

දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.

හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.

අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.

පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා.  හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!  

මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.  

මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු  8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි)  ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු)  ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.

ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි.   නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා.  ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.

ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා.  අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.  

ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.

ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ‍ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.

රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.  එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!

රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන‍ පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.

විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.

‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි.  ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

විදේශ විනිමය, වාහන ආනයනය හා ශ්‍රමිකාවියෝ

Published

on

By

“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”

අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්‍රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.

ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.

ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.  

ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්‍රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.

ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.

මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.

මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්‍රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්‍ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය. 

ඊළගට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද? 

ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.   

ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.

මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු  සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.

අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා   

ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

[email protected]      

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved