විශේෂාංග
මැතිවරණ ප්‍රචාරණයට ඔබේ ‘දුරකතන අංක විකුණා මිලියන ගණන් සල්ලි හොයන දත්ත ජාවාරමක්’
Published
8 months agoon
By
editor
“A දිස්ත්‍රික්කයේ ජනතාවගේ එක ම තේරීම Y…” මේ මාගේ ජංගම දුරකතනය වෙත මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලැබුණු කෙටි පණිවිඩයකි.
ඒ, මෙම කාල සීමාව තුළ මා වෙත ලැබුණු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ කෙටි පණිවිඩ 40කට අධික සංඛ්‍යාවෙන් එකකි.
මැතිවරණ නිහඬ කාල සීමාව ඇරඹී ඇති හෙයින්, අදාළ අපේක්ෂකයන්ගේ තොරතුරු හෙළි නොකරන බව සලකන්න.
නමුත් එවැනි පණිවිඩයක් ලබා ගැනීම සඳහා මා කිසිදු අවස්ථාවක, කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් කර නොමැත. එපමණක් නොව, එය මා පදිංචි දිස්ත්‍රික්කයට වඩා හාත් පසකින් ම වෙනස් දිස්ත්‍රික්කයකි.
කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය.
ඇතැම් පාර්ශව වෙත මෙම ලිපිය පළ වන මොහොත වන විටත් මෙම පණිවිඩ ලැබී තිබිණි.
මෙවැනි කෙටි පණිවිඩ මීට පෙර ද මෙම මහ මැතිවරණ සමයේ පමණක් නොව ඉකුත් ජනාධිපතිවරණ සමයේ ද අපේක්ෂකයින්ගේ නම්වලින් මා වෙත ලැබුණු හෙයින්, එය මා වෙත පමණක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව මම විමසා බැලීමි.
එහිදී අනාවරණය වූයේ, ඇතැම් පාර්ශ වෙත කෙටි පණිවිඩ පමණක් නොව විටෙක දේශපාලන පක්ෂවල ප්‍රචාරක තොරතුරු ඇතුළත් දුරකතන ඇමතුම් පවා ලැබී ඇති බව ය.
ඒ අනුව, මේ දක්වා වත්මන් පාලක පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකින් ම මේ දක්වා මා වෙත මාගේ අනුමැතියකින් තොරව කෙටි පණිවිඩ ලැබී තිබේ.
ප්‍රශ්නය මෙයයි. ඉල්ලීමක් නොකර, අපගේ අවසරයකින් ද තොරව එලෙස අප වෙත කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබෙන්නේ කෙසේ ද? යන්න ය. ඉන් අපගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් එල්ල නොවන්නේ ද? යන්න ය.
කලක් තිස්සේ සිත තුළ කැකෑරෙමින් තිබුණු මෙම ගැටලුවට පිළිතුරු සෙවීම ඇරඹුණේ එලෙසිනි.

කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය
පළමු පියවර: දුරකතන සන්නිවේදන සමාගම ඇමතීම
පළමු පියවර ලෙස මම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ දුරකතන සමාගම විසින් සපයනු ලැබ ඇති දුරකතන අංකය ඔස්සේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු ලෙස එහි නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට සමත්වීමි.
ඇය වෙත මාගේ ප්‍රශ්නය යොමු කළේ, මෙම ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් (subscribe) නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“යම් කිසි ප්‍රදේශයකින්, තෝරාගන්න ඩීටේල්ස්, ඉලෙක්ෂන් යන කට්ටියගේ ඩීටේල්ස් ගද්දි ෆෝන් නම්බර් එකත් ගන්නවා,” ඇය පැවසුවා ය.
“මට පැහැදිලි නැහැ?,” මම පෙරලා ප්‍රශ්න කළෙමි.
“ඡන්දය දාන්න ඩීටේල්ස් ගන්න එනවනේ. එතකොට සර්ගේ නම, NIC නම්බර් එක, දුරකතන අංකය, ගෙදර කී දෙනෙක් ඉන්නවා ද, ඒ ඔක්කොම ගද්දි, එතනින් ඒ ප්‍රදේශයකින් තෝරගෙන, ඒ නම්බර්ස් ටික අරගෙන තමයි සර් සර්ලට ඒ සර්විස් එක ලබා දෙන්නේ,” ඇය තරමක් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා ය.
නමුත් මා ඇය වෙත පිළිතුරු දෙමින් සඳහන් කළේ, එය සේවාවක් නොවන බව ය.
“ඔයාලගේ පැත්තෙන් [ආයතනය මගින්] එහෙම ගිහිල්ලා නැද්ද? මම නැවතත් ප්‍රශ්න කළෙමි. ඊට පෙරලා පිළිතුරු දෙමින් ඇය අවධාරණය කළේ, තම ආයතනය කිසි විටෙකත් පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු එලෙස තවත් පාර්ශවයක් වෙත නොදෙන බව ය.
එලෙස පණිවිඩ ලැබීම “කරදරයක් නම්” ඒවා ලැබීම නතර කිරීමට අවශ්‍ය උපදෙස් අනතුරුව ඇය මා වෙත ලබා දුන්නා ය.
මීට අදාළ පැමිණිල්ලක් ලඝු කර ගැනීමෙන් අනතුරුව එම දුරකතන සංවාදය අවසන් විය.

“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.
දෙවන පියවර: ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම
‘ඩේටා බ්‍රෝකර්’ යන වචනය ඇතැම් විට ඔබට එතරම් හුරුපුරුදු නැතිවා විය හැකි ය. එය පිළිබඳව මා ද යම් අවබෝධයක් ඇති කර ගත්තේ මෙම ලිපිය සඳහා අවශ්‍ය තොරතුරු ගවේෂණ කටයුත්තේ නියැලෙද්දී ය.
මා අවබෝධ කර ගත් ලෙස ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු යනු, අපගේ දුරකතන අංක ඇතුළත් ‘දත්ත පද්ධතියක්’ ඇති සහ ඒවා යම් මිලකට තවත් පාර්ශවයක් වෙත අලෙවි කරන නියෝජිතයෙකි.
එක් එක් පාර්ශවවල අවශ්‍යතාව අනුව ඔවුන්ට එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ දුරකතන අංක ලබා දීමේ හැකියාව පවතී.
ඒ අනුව, දෙවන පියවර වශයෙන් ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම ඇරඹිණි.
“හෙලෝ… [අදාළ පුද්ගලයාගේ නම]…” මම මෙරට දුරකතන සන්නිවේදන සේවා සපයන සමාගමක පුද්ගලයෙකු ඇමතීමි. ඒ, මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
“ගුඩ් ආෆ්ටර්නූන්!” ඔහු මට ආචාර කළේ ය.
“ඔයා [ආයතනයේ නම] නේද?, මම [මගේ නම] කියලා කෙනෙක් කතා කරන්නේ.” මම විමසීමි.
ඔහු එය සනාථ කරමින් මා වෙත පිළිතුරු දුන්නේ ය.
අනතුරුව මම ඍජුව ඔහුගෙන් මට අවශ්‍ය වූ කාරණය පිළිබඳව විමසීමි.
“මට දැනගන්න පුළුවන් ද Bulk SMS යවන එක කොහොම ද කෙරෙන්නේ කියලා දැනගන්න?”
ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් මාගෙන් විමසුවේ, මෙය මැතිවරණය සම්බන්ධ කටයුත්තක් බව ද යන්න ය. ඒ සඳහා පිළිතුරු දුන් පසු ඔහු මා සතුව ‘ඩේටා බේස්’ එකක් තිබේදැයි ප්‍රශ්න කළේ ය.
මම ඔහුට පැහැදිලි කළේ, මේ පිළිබඳව එතරම් අවබෝධයක් මා සතුව නොමැති බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන ලෙසත් ය.
“ඩේටා බේස් එකක් තියෙනවා නම්, ඔයාට ගේට් වේ එකක් [ආයතනයේ නම] ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න පාට්නර් කෙනෙක් එක්ක තමයි කැම්පේන් එක කරන්න වෙන්නේ. [ආයතනයේ නම] එකෙන් ටාගට් කරලා කරන්නේ නැහැ.”
අවශ්‍ය නම් එවැනි නියෝජිතවරයෙකු මා වෙත සම්බන්ධ කර දීමේ හැකියාව ඇති බව ඔහු පැවසීය. අනතුරුව මෙහි කිසියම් නෛතිකමය ගැටලුවක් ඇතිදැයි මම ඔහුගෙන් විමසීමි. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, “එහෙම ගැටලුවක් නැහැ. මේ ටිකේ යනවනේ ගොඩක් ඒවා.”
ඔහු මා වෙත නියෝජිතවරයකුගේ දුරකතන අංකයක් ලබා දුන් අතර, ඒ වන විටත් අපගේ කණ්ඩායමේ සෙසු මාධ්‍යවේදීන්ගේ ද උත්සහයෙන් මා වෙත තවත් නියෝජිතවරුන් දෙදෙනෙකුගේ දුරකතන අංක ලැබී තිබිණි.
“[ආයතනයේ නම] එකෙන් දුන්නේ කියලා ඔයා කතා කරන්නකෝ, මම නම්බර් එකක් එවන්නම්,” එම සංවාදය එලෙස අවසන් විය.
තෙවන පියවර: ‘අපි ගාව තියෙනවා මිලියන දෙකක් විතර නම්බර්ස්’
මම යළිත් මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔවුන් තිදෙනා අතරින් එක් ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු ඇමතීමි.
එහිදී ඔහු මා පිළිබඳව යම් තොරතුරු කිහිපයක් විමසා, මා ප්‍රශ්න කළ පරිදි SMS ප්‍රචාරණ කටයුත්තට අදාළ තොරතුරු පැවසීම ආරම්භ කළේ ය.
“මාස්ක් එකත් එක්ක ද යවන්න ඕනේ?,” ඔහු ප්‍රශ්න කළේ ය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අවබෝධ කර ගැනීම සඳහා මම ඔහුගෙන් “මාස්ක් එකක් කියන්නේ? කවරක් ද යනුවෙන් පෙරලා ප්‍රශ්න කළෙමි.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැහැදිලි කළේ, යම් අයෙකුට යම් නමකින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, ඔහු හෝ ඇය එම පණිවිඩය යැවීමට භාවිත කරන නම “මාස්ක්” එක බව ය.
උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.
ඔහු පෙන්වා දුන්නේ, එය සකස් කර ගැනීම සඳහා රු. 3,000ක පමණ සැකසුම් ගාස්තුවක් අය කෙරෙන බව ත්, ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ත් ය. එසේ නොමැති නම් ‘ජෙනරල් මාස්ක්’ එකක් යටතේ පණිවිඩය යැවිය හැකි ඔහු පැවසීය.
ඔහු එසේ පැවසුවා ද මා මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් සඳහන් කළේ, අදාළ ‘මාස්ක්’ එක ලබා ගත යුත්තේ, “ජංගම දුරකතන ක්‍රියාකරුවන්ගෙන්” බව ය.
“මාස්ක් එක ගන්න ඕනේ ඔපරේටර්ගෙන්. විදුලි සංදේශ සේවාවක් සැපයීම සම්බන්ධයෙන් අපි එහෙම ඍජුව සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. කිසියම් ම වූ විදුලි සංදේශන සේවාවක් අපි ඍජුව සපයන්නේ නැහැ,” මා සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියා අවධාරණයෙන් යුතුව පැවසීය.

උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.
‘ඩේටා බ්‍රෝකර්’ සමග සංවාදය තවදුරටත්…
මා සමග සංවාදයේ නිරතව සිටි ‘ඩේටා බ්‍රෝකර්’ ඔහු සතුව ඇති දුරකතන අංක පිළිබඳව පැහැදිලි කරමින් මෙසේ පැවසීය.
“අපි ගාව දිස්ත්‍රික්ක අනුව ෆිල්ටර් කරපු ලිස්ට් එකක් තියෙනවා. ගාල්ලේ ලක්ෂ 6.5ක වගේ බේස් එකක් ඉන්නවා. මාස්ක් එක වන් ටයිම්. අපිට [රුපියල්] 1.25කට වගේ යවලා දෙන්න පුළුවන් [එක පණිවිඩයක්]. ටැක්ස් හැම දෙයක් එක්ක ම.”
ඔහු පෙන්වා දුන්නේ, දුරකතන අංක මිලියන 2ක් පමණ තිබුණ ද, නිවැරදි ඒවාට පමණක් අදාළ කෙටි පණිවිඩ යවන බව ය.
“අපි ගාව තියෙනවා මිලියන් 2ක් විතර නම්බර්ස්. ඒවා ෆිල්ටර් කරලා, කරලා, ඇකියුරේට් ඒවාට විතරයි අපි යවන්නේ. මිලියන් 2ක් තිබ්බට එක ඔයාලට දෙන්නේ නැහැ. කොළඹ ලක්ෂ 7.40ක් වගේ තමයි තියෙන්නේ. අර රේට් එකට ම තමයි දෙන්නේ,” ඔහු තවදුරටත් පැවසීය.
දිවයිනේ ඕනෑ ම දිස්ත්‍රික්කයකට අදාළ දුරකතන අංක එලෙස තමන් සතුව පවතින බව ඔහු ම හා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව 2024 තුන්වන කාර්තුව වන විට මෙරට ලියාපදිංචි ජංගම දුරකතන ග්‍රාහකයින් ගණන 27,509,473කි.
සෙලියුලර් දුරකතන Voice Call සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව
(2020 – 2024 III කාර්තුව)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව • සටහන: මොබයිල් ඩේටා සඳහා ලියාපදිංචිවීම්වල දත්ත ඇතුළත් කර නැත
අදාළ දුරකතන අංකවල හිමිකරුවන් සිටින ප්‍රදේශය තහවුරු කර ගන්නේ, “ට්‍රාන්ස්පෝට් යූස් කළා ම, සුපර් මාකට් ගිහිල්ලා ඒවාට යූස් කළා ම,” බව අදාළ ‘බ්‍රෝකර්වරයා’ සඳහන් කළේ ය. එමෙන් ම අදාළ තොරතුරු, ජංගම දුරකතන ක්‍රියාකරුවන් ලබා නොදෙන බව ත් එවැනි දත්ත භාවිත කිරීමේ නෛතික ගැටලුවක් නොමැති බව ත් ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් “සමාගමක්” ලෙස මෙම කටයුතු සිදු කරන බව ය.
මීට පෙර සඳහන් කළ ‘ඩේටා බ්‍රෝකර්වරුන්’ තිදෙනා අතරින් මෙවැනි ම ආකාරයට කෙටි පණිවිඩ හරහා ප්‍රචාරණ කටයුතු කරන තවත් ‘බ්‍රෝකර්වරයෙකු” සම්බන්ධ කර ගැනීමට මට හැකි විය. ඒ තවත් මාධ්‍යවේදියෙකුගේ උපකාරයෙනි.
දුරකතනය ඔස්සේ ඔහු සමග ද කෙටි සංවාදයක නිරත වූ අතර එහිදී අනාවරණය වූයේ ඔහු සතුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දුරකතන අංක මිලියන 2ක් පමණ අඩංගු දත්ත පද්ධතියක් පවතින බව ය. අවශ්‍ය ඕනෑ ම දිස්ත්‍රික්කයක සිටින ජනතාව වෙත ඒ ඔස්සේ අපට අවශ්‍ය පණිවිඩය යැවිය හැකි බව ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, එක් කෙටි පණිවිඩයක් සඳහා සත 55ක මුදලකට ප්‍රචාරණ කටයුත්ත සිදු කර දිය හැකි බව ත් ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියනයකට අධික මුදලක් වැය වන බව ත් ය.
කෙසේ වෙතත්, අදාළ අංක ඇතුළත් දත්ත ලැයිස්තුව අප වෙත ලබා නොදෙන බව ත්, කෙටි පණිවිඩ යැවූ පසු ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන බව ත් ඔහු සඳහන් කළේ ය.
මෙම ‘බ්‍රෝකර්වරයා’ ද පැවසුවේ, නමක් සඳහන් කර කෙටි පණිවිඩයක් යැවීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ය.
නමුත් එම ප්‍රකශය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේ ය.
දුරකතන අංක එළියට යන්නේ කොහොම ද? බරපතළකම මොකක් ද?
මේ දක්වා මෙහි සංවාදයට ලක් වුණු, ‘ඩේටා බ්‍රෝකර්’ යන යෙදුම මා වෙත හඳුන්වා දෙනු ලැබුවේ, සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු මෙන් ම, ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව ද අත්දැකීම් බහුල ආචාර්ය සංජන හත්තොටුව විසිනි.
ඒ, මා ඔහු සමග මෙම ගැටලුව පිළිබඳව සිදු කළ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය. ඉකුත් ජනාධිපතිවරණය පැවති සමයේ මා ඔහු සමග සිදුකළ කතාබහකදී ද ඔහු මෙම ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ඉස්මතු කළේ ය.
ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ, පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මුල් වරට කෙටි පණිවිඩයක් ඔවුන් වෙත යවනු ලැබුවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, 2010 වසරේ නව වසරේදී බව ය.
යම් පක්ෂයකට අයත් පිරිසකට, අදාළ තොරතුරු අවශ්‍ය බව පැවසූ පිරිසකට, එවැනි පණිවිඩයක් ලබා දීම ගැටලුවක් නොවුණ ද එසේ නොවන, රටේ සියලු පුරවැසියන් වෙත එවැනි පණිවිඩයක් යැවීම ගැටලුවක් බව ඔහු අවධාරණය කළේ ය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යවන ලද කෙටි පණිවිඩ පදනම් කරගෙන ආචාර්යවරයා මේ බව පැවසීය.
ඒ පිළිබඳව ඔහු විසින් ‘ලින්ක්ඩ්ඉන්හි’ ලිපියක් ද පළ කරනු ලැබ ඇති අතර ඒ ඔස්සේ, “මේක හැමෝට ම යැවුවා ද? එහෙම නම් එක කොහොම ද යැවුවේ?” යන්න ප්‍රශ්න කළ බව ඔහු මා හා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ මෙය, මේ වන විට පුරුද්දක් බවට පත්ව ඇති බව ය.
මෙය ශ්‍රී ලංකාවේ මේ දක්වා පෞද්ගලිකත්වයට සිදුව ඇති “විශාලතම තර්ජනය” බව ත් ඒ පිළිබඳව දත්ත ආරක්ෂණ අධිකාරියට “හාවක් හූවක් නොමැති” බව ත් ආචාර්යවරයා අවධාරණය කළේ ය.
ගෝලීය වශයෙන් ද මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ත් මේ වන විට ‘ඩේටා බ්‍රෝකර් මාකට්’ නිර්මාණය වී ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
“ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් වගා කරනවා. අපි ඒකට ඉන්ග්ලිෂ්වලින් කියන්නේ ‘හාවස්ට්’ කරනවා කියලා. අපි දෙනවානේ දැන් නම්බර් එක. [ආහාර සහ වෙනත් බඩු බාහිරාදිය ගැනීමට ගිය පසු]. ඒ අයට නීතිමය රාමුවක් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ, කොහෙන් ද මේ නම්බර්ස් ලීක් වෙලා තියෙන්නේ කියලා. [දුරකතන සමගාමක නමක්] කියනවා අපි දීලා නැහැ කියලා. එතකොට මැජික්වලින් නෙමෙයි නේ මේ, ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් හොයා ගන්නේ. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් ඔය නම්බර්ස් ටික ගන්නේ අපි දුන්න තැන්වලින් කියලා.”
එලෙස ලබා ගන්නා අපගේ දුරකතන අංක “කවුද? කොහේ ද? තියෙන්නේ කියලා [අපිට] කිසි ම ඉඟියක් නැහැ. මොනවට පාවිච්චි කරනවා ද කියලවත් අපි දන්නේ නැහැ,” ආචාර්ය සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ අතිශයින් ඉහළ ගොස් ඇති බව ය. මෙලෙස විවිධ පාර්ශව වෙත අපගේ දුරකතන අංක පත්වීම සයිබර් අපරාධකරුවන්ට අතිශය වැදගත් වන බව ද සඳහන් කළේ ය.
“එතකොට අපේ නම්බර් එක අපේ ඩිජිටල් ජීවිතයට විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජීවිතයටත් බලපාලා තියෙන්නේ. නම්බර් එක ගියා කියන්නේ ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ SMS එවන එක ඉඟියක් දෙනවා, ඩේටා බ්‍රෝකර්ස්ලාට කොච්චර බලයක් තියෙනවා ද කියලා,” ඔහු පැවසීය.
මේ සම්බන්ධව මේ වන විට ක්‍රියාත්මක වන නිශ්චිත නීතිමය රාමුවක් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයින් “අසරණභාවයට” පත්ව ඇති බව ආචාර්යවරයා අවධාරණය කළේ ය.
මා විසින් ඉල්ලුම් කරනු ලැබ නැති සේවාවක් අක්‍රිය කිරීම සඳහා මා වෙත දුරකතන සමගාම් උපදෙස් ලබා දීම පිළිබඳව මම ඔහුගෙන් විමසීමි.
“අන්තර්ජාතිකව පෞද්ගලිකත්වයේ මූලධර්මයක් තමයි යම් කිසි දෙයක් ඔප්ට් ඉන් (opt in) වෙන්න ඕනේ. ඔප්ට් අවුට් (opt out) නෙවෙයි. ඔප්ට් අවුට් ප්‍රිවසි (opt out privacy) ගොඩක් රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ලංකාවේ එන ගොඩක් SMS ඔප්ට් අවුට්. සමහර වෙලාවට ඔප්ට් අවුට් (opt out) එක වැඩ කරන්නෙත් නැහැ. සෙන්ට්‍රල් ඔප්ට් අවුට් (central opt out) එකකුත් නැහැනේ, ” ඔහු පෙන්වා දුන්නේ ය.
‘[පෞද්ගලික දත්ත ආරක්ෂාව පනතේ] කෙටි පණිවිඩ ගැන කියන කොටස තාම බලාත්මක වෙලා නැහැ…’ – දත්ත ආරක්ෂණ අධිකාරිය
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික දත්තවල ආරක්ෂාව සඳහා අවශ්‍ය නීතිමය බලය ලබා දී ඇත්තේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත මගිනි.
නමුත් මේ දක්වා එහි ක්‍රියාත්මක වී ඇත්තේ, කොටස් කිහිපයක් පමණි. එහි IV කොටස හැර සෙසු කොටස් සියල්ල 2025 වසරේදී බලාත්මක වේ.
ඒ, මෙසේ ය.
2023 ජූලි මස 21 වන සිකුරාදා නිකුත් කරන ලද අංක 2341/59 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, මෙම පනතේ V වන කොටස 2023 වසරේ ජූලි 17 වන දා සිට ක්‍රියාත්මක වූ අතර එහි VI, VIII, IX සහ X යන කොටස් එම වසරේ ම දෙසැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වූයේ, 2024 ජනවාරි මස 8 වන සඳුදා නිකුත් කළ අංක 2366/08 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ය.
එම අතිවිශේෂ ගැසට් පත්‍රයට ම අනුව, එහි I, II, III සහ VII යන කොටස් 2025 මාර්තු 18 වන දා ක්‍රියාත්මක වීමට නියමිත ය.
නමුත් “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත.
ආචාර්ය සංජන හත්තොටුව සමග සිදු කළ සංවාදයේදී දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත චෝදනා එල්ල වූ බැවින් සහ මෙරට මහ ජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳව ඇති එක ම ආයතනය දත්ත ආරක්ෂණ අධිකාරිය බැවින්, මා ඊළඟ පියවර ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී මා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කෙටි පණිවිඩ සම්බන්ධයෙන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සඳහන් කොටස, එනම්, “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” යන කොටස මෙතෙක් බලාත්මක කර නොමැති බව ය.
යම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත හෙළිදරව් වීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරියේදී පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
ඒ අනුව, ආචාර්ය සංජන හත්තොටුවගේ ප්‍රකාශය සනාථ කරමින් පැහැදිලි වූයේ, තම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් යම් පුරවැසියෙකුට පැමිණිලි කිරීමට මේ දක්වා නිශ්චිත නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව ය.
කෙසේ වෙතත්, ඊට අදාළ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව දත්ත ආරක්ෂණ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල, මා හා වැඩිදුරටත් පැවසීය.

“ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රතිචාරය
පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මෙලෙස කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබීම වැළැක්වීමට පියවර ගෙන තිබේ ද? නැතහොත පියවර ගන්නේ ද? යන්න සම්බන්ධයෙන්, මේ දක්වා සොයා ගත් තොරතුරු ද ඉදිරිපත් කර මම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළෙමි.
එහිදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තියක් (Operator Self- Governance Policy for Operator Promotional Messages) මීට වසර 5කට පෙර, එනම් 2018 වසරේදී හඳුන්වා දුන් බව ය.
කෙසේ වෙතත්, මේ වනවිට එහි පවතින අඩුපාඩු හඳුනාගෙන ඇති බව ත් කොමිෂන් සභාව “විදුලි සංදේශන පනතේ අංක 43 වගන්තිය යටතේ එය නීතියක් ලෙසට ගැසට් කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව ත්” අදාළ නිලධාරියා පැවසීය.
ඒ අනුව, මම ‘ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ පරිශීලනය කර බැලුවෙමි.
බාහිර පාර්ශව විසින් ජනනය කරන ලද ප්‍රවර්ධන පණිවිඩ (Promotional Messages generated by External Parties) යටතේ දෙවන වගන්තියේ ඉංග්‍රීසි බසින් මෙලෙස සඳහන් විය.
“Each such client shall warrant to Operator that all messages transmitted would be with the consent of sub-set of subscribers registered with the said client.”
එහි දළ සිංහල අදහස නම්, ‘තමන් විසින් යවනු ලබන පණිවිඩ තමන් සමග ලියාපදිංචි වී සිටින ග්‍රාහකයින්ගෙන් අදාළ පණිවිඩය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති ග්‍රාහකයින් වෙත පමණක් යැවීමට සෑම සේවාදායකයා ම [දුරකතන] ක්‍රියාකරු වෙත සහතික විය යුතු යි’ යන්න ය.
කෙසේ වෙතත්, මේ දක්වා ගත වුණු කාලය තුළ බොහෝ පාර්ශව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කරනු ලැබ ඇති ‘ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ අනුව කටයුතු කරන බවක් නිරීක්ෂණය නොවීම කම්පනයට පත්කරවනසුලු කාරණයකි.
මා සොයා ගත් දෑ පිළිබඳව මෙලෙස ම කෙටි පණිවිඩ සහ දුරකතන පණිවිඩ ලද පාරිභෝගිකයෙකු සමග අදහස් හුවමාරු කර ගත්තේ, මෙහි ඇති බැරෑරුම්කම පිළිබඳව ඇයගේ ද අදහස් දැනගැනීමේ අදහසිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “අපේ අංක අපේ අවසරයක් නැතිව අරගෙන, ඒවා විකුණන එක ජාවාරමක් කියලා හිතෙන්නේ. මොකද අපිට මේකෙන් සල්ලි ලැබෙන්නේ නැහැනේ. අනික ඒක අපිට තර්ජනයක්,” යනුවෙනි.
(බීබීසී සිංහල)
You may like
-
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් (update)
-
පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)
-
ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)
-
අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)
-
“ට්විටර් ඝාතකයා” ට මරණ දඬුවම
-
සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.
මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.
බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.
දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.
මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.
එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.
මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)
නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන් ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය. (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.
මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන් මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.
මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.
මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය. සිදුකරන්නේ නම් එය ප්රජාතන්ත්ර විරෝධී බවය.
රජිත් කීර්ති තෙන්නකෝන්
විශේෂාංග
නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය
Published
5 days agoon
June 23, 2025By
editor
කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා. හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා නෑ ලූ. ව්‍යාපෘතිය අසාර්ථකයි.
දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.
හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.
අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.
පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා. හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!
මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.
මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු 8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි) ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු) ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.
ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි. නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා. ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.
ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා. අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.
ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.
ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.
රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!
රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.
විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.
‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි. ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!
රජිත් කීර්ති තෙන්නකෝන්


“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි කළ සියල්ලේ වාසිය එකවර නොලැබෙන බවත් තේරුම් ගත යුතු අතර, ලැබෙන වාසිය තේරුම් ගත හැක්කේ අතීතය සමග සැසඳීමෙන් බවත් දත යුතුය.”
අපේ රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයන්නේ ආර්ථික ක්ෂේත්‍ර 03 ක බහුතර ශ්‍රමිකාවියන් ය. පැරණිම ක්ෂේත්රය වන්නේ සාම්ප්‍රදායික තේ වැවිලිකරයයි. එහි අති බහුතරය, සියයට 90 ක් පමණ ශ්‍රමිකාවියන් ය. දෙවැන්න ඇඟළුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්රය ය. ඇඟළුම් කර්මාන්තයේ සෘජු සේවක සංඛ්‍යාව ලක්ෂ 03.5 කි. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව ඉන් සියයට 80 ක් කාන්තාවන් ය. තෙවැන්න මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණිකයින් ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව, සාමාන්‍යයෙන් දස ලක්ෂයකට ආසන්න පිරිසක් හැම අවුරුද්දේම මැද පෙරදිග සේවයට යති. එවගේම ඕනෑම මොහොතක දස ලක්ෂ 03.5 ක් පමණ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග සේවය කරති. ඉන් සියයට 65 ක් කාන්තාවන් ය.
ඇඟළුම් අපනයනයෙන් ලැබෙන ආදායම, අමුද්‍රව්‍ය සඳහාවන ආනයන වියදම නොසළකා එකතු කෙරෙන හෙයින් ඒ දත්ත නිවැරදි කිරීම් සමගින් 2019 න් පසු අපගේ වාර්ෂික විදේශ විනිමය ආදායමේ මුළු එකතුව දළ වශයෙන් ඩොලර් බිලියන 14 කි. ඉන් ඩොලර් බිලියන 08 ක් පමණ, සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් උපයා දෙන්නේ දුප්පත් ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ කාන්තා ශ්‍රමය මගින් ය.
ඉතිරි ඩොලර් 06 ට දායක වන පිරිමි ශ්‍රමයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද දුප්පත් ග්‍රාමීය සමාජයෙන් හවුල් වන්නවුන් ය. නාගරික දායකත්වය ඇත්තේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වැනි සේවාවන් වල ය. ඒවායේ විදේශ විනිමය ඉපැයීම දැනට ඩොලර් මිලියන 900 ක් පමණ ය.
ඒ සියල්ල එක ප්‍රශ්නයක් වෙනුවෙන් සාරාංශගත කළහොත් මේ රටේ නිදහසින් පසු තවමත් නොදියුණුව පවතින ග්‍රාමීය සමාජයේ හා වැවිලිකරයේ දුප්පතුන් විසින් වාර්ෂිකව උපයා දෙන ඩොලර් බිලියන 08 ක විදේශ විනිමය වෙනුවෙන් ඔවුන්ට ලබා දී ඇති ප්රතිලාභ මොනවාද? පවතින සැබෑව නම්, දසක ගණානවකින් කිසිදු දියුණුවක් ඔවුන්ට ලැබී නැත.
ගමේ දුප්පතුන් යැයි කියන්නේ මාසික වියදම සොයා ගැනීමට සිතිය නොහැකි තරමේ දහදුක් විඳින පවුල් වලටය. නමුත් ගමේ දුප්පත්කම පවුලේ වියදම සොයා ගැනීමට නොහැකිවීම පමණක්ම නොවේ. අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට නොහැකිවීමත් දුප්පත්කම උග්‍ර කරන්නකි. ඒ සම්බන්ධයෙන් කදිම නිදසුනක් සතියකට පමණ පෙර අසන්නට ලැබුණි. මතකය නිවැරදි නම් ඒ නැගෙනහිර පළාතට මායිම් වූ ගමක සිදුවීමකි. සැළකිය යුතු සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නා ප්‍රාථමික විද්‍යාලයකි. එහි ළමුන් සයවන වසර සිට යා යුත්තේ නගරයේ තිබෙන ලොකු පාසලකට ය. ගමට බස් සේවාවක් නොමැත. නගරයේ පාසලට කිලෝ මීටර 04 ට වැඩි දුරක් ඇත. එහෙයින් නගරයේ ඒ පාසලට බොහෝ විට ළමුන් ඇතුළු කෙරෙන්නේ ඒ ගමේ යතුරු පැදියක් හෝ ත්‍රීරෝද රථයක් ඇති පවුල් වලින් ය. එනිසා හැම වසරේම ගමේ බහුතරයක් ළමුන්ගේ අධ්‍යාපනය ඒ ගමේ පාසලේ 05 වසරින් කෙළවර වන්නේය.
මේ වසරේ ගමේ විදුහලේ විදුහල්පති ලෙස පත්වීමක් ලැබ පැමිණි විදුහල්පතිවරයා දෙමාපිය රැස්වීමකදී ඊට විසඳුමක් යෝජනා කර ඇත. ඔහුගේ යෝජනාව වී ඇත්තේ (1) පාසල සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන මහ විදුහලක් ලෙස උසස් කිරීමට බලධාරීන්ට බල කිරීමත් (2) ළමුන්ට නගරයේ පාසලට යාමටත් ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ගමනා ගමනයටත් ගමට බස් සේවාවක් ඉල්ලා සිටීමත් විය. ඒ සේවා පහසුකම් දෙකම, ඒ ගමේ වැසියන්ට තිබිය යුතු වූ සේවාවන්ය. ඒවා නොතිබීමෙන් ඔවුන් දෙවේල කෑවත් දුප්පතුන් විය.
මේ දුප්පත්කම ඒ පාසලට, ඒ ගමට සීමා වූවක් නොවේ. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජ අවශ්‍යතා සැපිරෙන්නේ වෙළඳපල ඉල්ලුම හා සැපුයම මත යැයි මතවාදයක් ඇත. එබැවින් ආණ්ඩු කටයුතු කරන්නේ රජයේ වගකීම් අවම කිරීමට ය. පොදු ප්‍රතිපලය නම්, ළමුන්ට අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකි පහසුකම් හරියාකාරව ගමට එන්නේ නැත. සාමාන්‍ය ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගත හැකි රජයේ රෝහලක් ආසන්නයේ නැත. දෛනික අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පොදු ප්‍රවාහන සේවා නැත. එනිසා ගමෙහි වෙළඳපල යනු ගමෙන් පිට වූවන් ගමට එවන මුදලින් පවතින සිල්ලර වෙළඳපලකි. එහි ලාභයද ආසන්න නගරයට කාන්දු වන්නකි. ගමේ වෙළඳපල ප්රසාරණයට එබැවින් අළුත් එකතුවීම් නැත. එනිසා ගමට ආයෝජන රැගෙන එනවුන්ද නැත. ගමේ දුප්පත්කම තීව්ර වන්නේ, ආණ්ඩු විසින් ස්ථිර විසඳුම් නොදෙන ඒ සියල්ල එකතුවන විටය.
ඊළගට ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සමස්ථ විදේශ විනිමය ආදායමෙන් වැවිලිකරයේ හා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් විසින් වාර්ෂිකව උපයා දෙන සියයට 60 ක් වන ඩොලර් බිලියන 08 ක පමණ විදේශ විනිමය ඇතුළු මුළු ඩොලර් ප්‍රමාණය වැය කෙරෙන්නේ මොනවාටද යන්නයි. ගෙවුනු දසක කිහිපයේ හැම වසරකම ලංකාවට වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ පිරිපහදු කෙරුණු ඉන්ධන හා බොර තෙල් ය. ඒ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 03.4 ක් පමණ වාර්ෂිකව වියදම් වන්නේය. එයින් ඩොලර් මිලියන 680 ක පමණ මුදලක් රටම බුක්ති විඳින විදුලිය උත්පාදනය සඳහා වැය වේ. ඉතිරි ඩොලර් බිලියන 02.7 ක පමණ ඉන්ධන හා බොර තෙල් වලින් හරියාකාර මගී ප්‍රවාහන සේවාවන්ද නැති ගමට ලැබෙන වාසිය කුමක්ද?
ආනයනය කෙරෙන බොහෝ ඉන්ධන වැය කෙරෙන්නේ නගරවල පෞද්ගලික වාහන ධාවනය වෙනුවෙන් ය. ඒ අතර වන සැළකිය යුතු සුඛෝපභෝගී වාහන ප්‍රතිශතයක් කි.මීටර 04 ක් නැතිනම් 05 ක් ධාවනයට 01 ලීටරයක් පුළුස්සන්නේ ය. වසර 05 ට පසු නැවත ආනයනය කරන වාහන අතර එවැනි වාහන කොපමණ තිබේදැයි වාර්තා තවම නැත. එහෙත් ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලයේ වරායෙන් නිදහස් කළ වාහන සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය මිලියන 200 කි. මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන 01 ක් වාහන සඳහා වැය වනු ඇතැයි ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇත. ඒ සමග මේ වසරට මෙතෙක් විදුලි උත්පාදනයට අමතරව ඉන්ධන සඳහා වැය කළ ඩොලර් බිලියන 02.7 කිසිසේත් ප්‍රමාණවත් නොවනු ඇත. නියත වශයෙන්ම ඒ වියදම ඩොලර් බිලියන 03.5 ක් වත් වනු ඇත. ඒ කිසිත් පලදායි වියදම් නොවේ.
ඉන්ධන හා බොර තෙල් වලට පසු ඉකුත් වසර වල ලංකාවේ ලොකුම ආනයනය වූයේ ඇඟළුම් නිෂ්පාදන සඳහා රබර් ආලේපිත ගෙතූ රෙදි වර්ගය. 2023 වසරේ ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 765 ක් වැයකර ඇත. අනෙක් ප්‍රධාන ආනයන ලෙස ගැණෙන්නේ අසුරන ලද fඖෂධ සහ සීනි වර්ග ය. ආහාර හා බීම වර්ග ලෙස ප්‍රධාන වශයෙන් ආනයනය කෙරෙන්නේ පලතුරු බීම, ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන, එළවළු, මත්ස්‍ය වර්ග, බේකරි හා රසකැවිලි සහ කුළු බඩු වර්ග ය. මහ බැංකුවට අනුව 2023 වසරේ මාස 11 ක් තුල ඒ වෙනුවෙන් වැය කළ මුදල ඩොලර් මිලියන 1,541 කි. මීට අවුරුදු 05 ක් වනතෙක් මේ වාර්ෂික ආනයන ලැයිස්තුවේ ඩොලර් බිලියන කිහිපයක වාහනද විය.
මේ ඇතැම්වා අත්‍යාවශ්‍ය ආනයන ය. ඇතැම්වා වැඩි ලාභ වෙනුවෙන් නාගරික සිල්ලර වෙළඳපලට ගෙන්වන භාණ්ඩ ය. සමස්ථයක් ලෙස ගතහොත් විදේශ විනිමය වැඩියෙන් වැය කෙරෙන්නේ නාගරික පරිභෝජනය සඳහා ය. දුප්පත් ග්‍රාමීය සමාජයෙන් බහුතර කාන්තා ශ්‍රමයක් යොදා ගෙන උපයන විදේශ විනිමය නොමැත්තේ නම්, නාගරික ජීවිතයේ නිවසේ සිට වාහනයටත් වාහනයේ සිට කාර්යාලයටත් වායු සමීකරණය කෙරුණු සුඛෝපභෝගි පැවැත්ම නඩත්තු නොවනු ඇත. එවගේම මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැර වෙන කිසිත් ගැන සිතන්නට නොදන්නා දේශපාලකයින්, ආර්ථික විශේෂඥයින්, වෘත්තිකයින් හා මෙය වෙනස් කිරීමට නුසූදානම් ජාවාරම්කාරයින් ගම දියුණු කළහොත් හසුවන හෙයියම්මාරුවක් ඇත. ගම දියුණු වන්නේ නම්, ඔවුන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය දුප්පත් ශ්‍රමිකයින් සොයා ගත නොහැකි වනු ඇත. ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ගමේ දුප්පත්කම පැවතිය යුතුය.
අපට, මේ රටේ පුරවැසියනට එවැනි යැපීමක් අවශ්‍ය නැත. එනිසා අප උපයන විදේශ විනිමය වඩා පලදායි ලෙස, සාධනීය අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් අපට අවශ්‍යව ඇත. රුපියල් වැය කිරීමේදීද එවැනිම අනාගතවාදී ජාතික දැක්මක් තිබිය යුතුය. වැවිලිකරයේ හා ගමේ ශ්‍රමය ඉදිරි දියුණුව වෙනුවෙන් පලදායි ලෙස යොදා ගැනීමේ ග්‍රාමීය සංවර්ධන සැළසුමක් තිබීමත් අත්‍යාවශ්‍ය වන්නකි. තව දුරටත් විදේශ ණය ගැනීම් අවශ්‍ය නොවන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහන ප්‍රතිසංස්කරණ සහ ජාතික නිවාස යෝජනා ඇතුළත් ආර්ථික සැළසුමක් සමගින් අප හෙට ගැන සිතිය යුතුය. එය ජාවාරම්කාර පැලැන්තියකට ඉඩ නොතබන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයක් සඳහා නියාමනය කෙරෙන වෙළඳපලක් සහිත නව ගමනක් විය යුතුය. එවැන්නක් ගැන සිතන්නට මහන්සි විය යුතුය. අලුත් ලෝකයක් ගැන සිතන්නට බිය නොවිය යුතුය.

කුසල් පෙරේරා
ප්‍රවීන දේශපාලන විචාරක හා මාධ්‍යවේදී

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් (update)

පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)
Trending
-
පුවත්5 days ago
පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට
-
ගොසිප්6 days ago
හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්???
-
පුවත්1 day ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්1 week ago
දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන
-
පුවත්13 hours ago
මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග