Connect with us

විශේෂාංග

වික්ටර් නොහොත් ජයග්‍රාහකයා

Published

on

”ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත.

ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිඛෙන්නේ දිළිඳු තත්ත්වයක ය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම් ය. සෘජු හෝ අනියම් ලෙස අයථා ලාභ ලැබීම, සුලභ ලක්ෂණයක්ව පවතී. ජනමාධ්‍ය හිමිකරුවන් අන්තර්ගතයට ඇඟිළි ගසනවා පමණක් නොව, අන්තර්ගතය අවසාන වශයෙන් තීන්දු කරන්නන් ලෙසද ක්‍රියා කරති. සංලේඛ්‍ය නිදහස ගැන ජනමාධ්‍යවේදීන්ට බලවත් හැඟීමක් ඇත්තේම නැති තරම් ය.”
(අයාලේ යන ජනමාධ්‍ය – 1 වන පරිච්ඡේදය ඃ පිටු 10 / වික්ටර් අයිවන්)

”රාවය” පුවත් පත වික්ටර් අයිවන්ගේ පුරෝගාමී කර්තෘත්වය සමග, ඔහු ඉහතින් සඳහන් කළ සියලූ අර්ථ දැක්වීම් වලට හසු නොවුනු මාධ්‍ය භාවිතයක් තිබූ පුවත් පතක් විය. වසර 30 ක් ඇතුළත මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි ”රාවය” පුවත් පත තැබූ වෙනස්වූ මුද්‍රාව ගැන කියන්නට වන්නේ වික්ටර් අයිවන් නොමැතිව ”රාවය” පත්තරයක් නැත. ”රාවය” පත්තරය නැතිව, වික්ටර් අයිවන් කෙනෙකු නැත යැයි කියා ය.

එනිසා 2015 ජුනි මාසයේ සිට පූර්ණකාලීන මාධ්‍යවේදයෙන් ඉවත්ව, රාවය පුවත් පතේ උපදේශක කර්තෘ වශයෙන් වසරක් දෙකක් කටයුතු කරන්නට වික්ටර් තීන්දු කළ විට, ඔහුට එළෙස නිකම්ම රාවය පුවත් පතේ කර්තෘ ධූරයෙන් ඉවත්ව යාමට ඉඩ දීම, ”රාවය” හා ඉතා ලෙන්ගතු බැඳීමක් තිබූ මා වැනි කිහිප දෙනෙකුට හැඟීම් බර ප්‍රශ්නයක් විය.

එහි ප්‍රතිපලයක් වශයෙන් රාවය පුවත් පත හා දිගු කාලීන සම්බන්ධයක් තිබූ සුසිල් සිරිවර්ධන, විජයානන්ද ජයවීර, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, සුනේත්‍රා රාජකරුණානයක වැනි විද්වතුන්, වෘත්තිකයින් හා ලේඛකයින් දොළොස් දෙනෙකු විසින් ”රාවය හා වික්ටර්” සම්බන්ධ ඔවුන්ගේ කියැවීම ඇතුළත් ලිපි එකතුවක් මසක පමණ ඉතාම කෙටි කලෙකින් 2015 ජුලි මාසයේ මගේ සංස්කරණයෙන් ”වික්ටර් අයිවන් – අභියෝගාත්මක මුද්‍රාව” මැයෙන් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එළි දක්වනු ලැබුවේය.

වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භාවිතය ගැන මගේ පෞද්ගලික දැක්ම ලෙස එකී ලිපි එකතුවෙහි වන මගේ සටහනෙහි තැබූ එක් කියවීමක් වූයේ, ඔහු රාවය පුවත් පත සඳහා සකස් කර ගනු ලැබූ ආයතනික ව්‍යුහය, ලාභය වෙනුවෙන් යොමු කෙරුණක් නොවුනු අතර, කර්තෘ මණ්ඩලයේ නිදහසට හරස් වූවක්ද නොවූ, ලංකාවේ ප්‍රථම වරට සේවකයින්ටද අයිතියක් දෙනු ලැබූ මාධ්‍ය ආයතනයක් වූ බවය.

රාවය ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට එරෙහි, මානව හිමිකම් වෙනුවෙන් සහ යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුවත් පතක් ලෙස තීන්දු කෙරුණකි. එහි සංලේඛ්‍ය ප්‍රතිපත්තිය වූයේ ඒ පදනමය. එහෙයින් එහි හිමිකාරිත්වයෙහි වූ සේවක නියෝජනය එය වාණිජමය ඉලක්ක වෙනුවෙන් සකස් නොකෙරුණු පුවත් පතක් වන්නට ප්‍රධාන සාධකයක් වූවකි.

අනෙක් අතට ”රාවය” පුවත් පතේ සාර්ථකත්වය ඔවුන්ගේ පැවැත්ම තීන්දු කළ හෙයින් එය වැදගත් අලෙවියක් ඇති පුවත් පතක් වශයෙන් පවත්වා ගැනීමේ වගකීමද ඔවුන්ට තිබිණ. එනමුත් එහි වෙළඳ දැන්වීම් පළ වූයේ අතළොස්සකි. රාවය බාරගත් වෙළඳ දැන්වීම්ද පුවත් පතේ දේශපාලනය හා ගැලපිය හැකි දැන්වීම් විය.

වික්ටර්ගේ මේ අත්හදා බැලීමෙහි අඩු පාඩු නොවුනා නොවේ. ඔහු එකවර පාලකයාද, සේවකායද, කලමනාකරුද, මාධ්‍යවේදියාද වන්නට වූයෙන් එහි වික්ටර්ගේ ආධිපත්‍ය ”සංලේඛ්‍ය නිදහස” අභිබවා නොගියාද නොවේ. එහෙත් ඔහුගේ ”සංලේඛ්‍ය ආධිපත්‍ය” සම්මතයට එරෙහි, සම්මතය ප්‍රශ්න කරන්නක් වූයෙන් ”රාවය” මුද්‍රාව, විකල්ප මුද්‍රාවක් නොවුනත් විරෝධාකල්පිත හිතුවක්කාර මාධ්‍ය භාවිතයකට ඉඩ තැබූවක් විය.

වික්ටර්ගේ දැඩි මතධාරී මාධ්‍ය භාවිතය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූ එක් කාරණාවක් වූයේ, ඔහු නීතිපති සරත් එන් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අග විනිසුරු ලෙස පත් කිරීමට එරෙහි වීමය. එතැනින්ද නතර නොවුනු වික්ටර්, අගවිනිසුරු සරත් එන් ද සිල්වා ගේ වෘත්තීය පැවැත්ම දැඩි විවේචනයට ලක් කරන්නට වූයේ අධිකරණයට අපහාස කිරීම යන කාරණාවද නොතකමින්ය. ඔහුගේ තර්කය වූයේ, අධිකරණය රටේ දේශපාලනයෙන් ස්වාධීන විය යුතු වාගේම, එය පිරිසිදු වන්නටද අවශ්‍ය බවය.

ඔහුගේ දැඩි ස්ථාවරය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු ගණනාවක් පැවරුණද, ඒ කිසිවකින් වික්ටර් අයිවන් මෙල්ල කළ නොහැකි විය. මා දන්නා තරමින්, මාධ්‍යවේදියෙකු ලෙස තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඒ සඳහා වාසිදායි තීන්දුවක් ලැබූ අපේ රටේ එකම මාධ්‍යවේදියාද වික්ටර් අයිවන් ය.

මාධ්‍යයට පය ගසන්නට පෙර ඔහුගේ යෞවනයෙහි ඔහු ”පොඩි අතුල” ලෙස තෝරා ගත් සන්නද්ධ කැරළිකාර දේශපාලනය අසාර්ථක බැව් පසක් වූ පසු, ඔහු ’71 කැරැල්ලෙහි රෝහණ විජේවීරගේ නායකත්වයෙන් වෙන්වීය. එය හුදෙක් පෞද්ගලික හා සංවිධානාත්මක වෙන්වීමක් පමණක් නොවුනු හික්මුනු දේශපාලන තීරණයක් බැව් ප්‍රදර්ශනය කරන්නට වූයේ 1986 දී ”රාවය” මාසික සඟරාව ඔස්සේ මාධ්‍යයට රැගෙන ආ ඔහුගේ එම විරෝධාකල්පිත හිතුවක්කාර භාවිතයෙනි.

එහෙත් ”රාවය” මාසික සඟරාව මගින් ඔහුගේ අපේක්ෂාවන්ට ගැලපෙන ආකාරයේ විරෝධාකල්පිත හිතුවක්කාර සමාජ කතිකාවක් මුදා හැරිය නොහැකි වූයෙන්, රාවය සඟරාව සති පතා ‘ටැබ්ලොයිඩ්’ පුවත් පතක් බවට පරිවර්තනය කෙරුණි. පසුව එය දැන් සැමට මතක තිඛෙන්නාවූ ”ෆුල් ඩිමයි” පුවත් පතක් බවට පත් කෙරිණ. එහි විශේෂය වූයේ, සියල්ල සමනල වර්ණයෙන් තොරම්බල් කෙරෙන සමාජයක් බවට පරිවර්තනය වන අතර, ”රාවය” පුවත් පත කලූ-සුදු මුද්‍රණයෙන් පාඨකයා වෙත ගෙන යාමට වික්ටර් ගත් තීරණය වන්නේය. එයද වික්ටර් සතුවූ විරෝධාකල්පිත හිතුවක්කාර ප්‍රකාශනයෙහි ලක්ෂණයක් විය.

ජාතිවාදයට එරෙහි ඔහුගේ මාධ්‍ය භාවිතය ඒ වනවිට සුළු වාර්ගික පිරිස් අතර පැසසුමට ලක් වූවක් විය. ඒ සඳහාවන වැදගත්ම සාක්ෂිය වන්නේ 2002 වික්‍රමසිංහ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊය සමග ආරම්භ කළ සාම සාකච්ඡා ආවරණය සඳහා ලොව දැවැන්තම මාධ්‍ය ආයතනවල ප්‍රසිද්ධ ප්‍රවීන මාධ්‍යවේදීන් දුසිම් ගණන් පැමිණ සිටියදී ඔවුන් කිසිවෙකුට නොලැබුණු අවස්ථාවක් ඔස්ලෝ නුවර සාකච්ඡා අතර වාරයේ වික්ටර්ටත් මටත් ලැබීමය.

එම සාකච්ඡා ඉතා දැඩි ආරක්ෂක පියවර සමග සංවිධානයකර තිබූයේ නිල වශයෙන් නෝර්වේජියානු ආණ්ඩුවේ මැදිහත්වීමෙනි. එබැවින් එල්.ටී.ටී.ඊ නියෝජිතයින් කිහිප දෙන අතරින් ප්‍රධානියා වූ ආචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ කණ්ඩායම හමුවන්නට කිසිවකුට අවසර නොලැබුණි. සාකච්ඡා ආරම්භයේදී සහ අවසානයේදී නෝර්වේජියානු ඇමති එරික් සොල්හයිම් විසින් මෙහෙයවූ සහ පාලනය කළ මාධ්‍ය හමුවේදී පමණක් ඔවුන් දැක ගත හැකි විය. කිහිප දෙනෙකුට එහිදී ප්‍රශ්නයක් දෙකක් ඇසිය හැකි විය.

එවැනි මාධ්‍ය හමුවකදී වික්ටර් විසින් බාලසිංහම් වෙත යොමු කෙරුණු කුඩා තුණ්ඩු කැබැල්ලකින් ඔහුව හමුවන්නට හැකිදැයි අසා යැවූ පසු, අප කිසිදු බලාපොරොත්තුවක් නොතැබූ බාලසිංහම් සමග හමුවක් එදිනම සවස් වරුවේ ඔහුගේ හෝටලයේදී අප දෙදෙනට ලැබිණ. ඒ හමුව ඓතිහාසික හමුවීමක් විය.

බාලසිංහම් ඔහුගේ කොළඹ ජීවිතයේ තිබූ සුන්දර මතක, ඔහු හා නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ අතිජාත මිත්‍රතත්වය ගැන විස්තර බාලසිංහම් අප සමග කීවේ, නැවත එවැනි සාමකාමී සුන්දර අනාගතයක් වෙනුවෙන් ඔවුන් ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීමට තීන්දුකර ඇතැයිද කියමින්ය. එදින ඔහුගේ හමුවීමෙන් පසු අප පිටත්වන විට බාලසිංහම් අපෙන් එක ඉල්ලීමක් කළේය. ඒ සුගතපාල ද සිල්වාගේ අභාවය ගැන ඔහුගේ බලවත් සෝකය, සුගත් ගේ බිරිඳට දන්වන මෙන් කළ ඉල්ලීමය.

එවැනි වූ වික්ටර්, 2006 න් පසු ජනාධිපති රාජපක්ෂ සමයේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටියේ, එල්.ටී.ටී.ඊය ඉවත් කිරීමෙන් මිස සාකච්ඡා මගින් දෙමළ දේශපාලන ගැටළුවට විසඳුම් ලබා දිය නොහැක යන ස්ථාවරය සමගින් ය. එහෙත් ඔහු කිසි විටෙක, ඔහුගේ ස්ථාවරයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම රාවය පුවත් පතෙහි නතර නොකළේය. ඔහු එය සංවාදයක් ලෙස ගෙන යාමේ නිදහසට ඉඩ තැබුවේය. නව ලිබරල් දේශපාලනය හා විවෘත වෙළඳපල ආර්ථීකය සම්බන්ධයෙන්ද එවැනිම දිගු සංවාදයක් ඔහු රාවය පුවත් පතෙන් වරක් ආරම්භ කළේය. ඔහු විරුද්ධ මත වසා දමන කර්තෘවරයෙකු නොවන බැව්, එසේ භාවිතයෙන්ම ඔප්පු කෙරුවෙකි.  

වික්ටර්ගේ මා දකින වඩාත්ම වැදගත් හා ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඔහු වගා කරගත් සමාජ සම්බන්ධතා ජාලය වන්නේය. මා දන්නා කිසිදු පුවත් පත් කර්තෘවරයෙකු නඩත්තු නොකර ගත් ආකාරයේ සමාජ සම්බන්ධතා ජාලයක් ඔහු ගොඩ නගා ගෙන තිබිණ. එහි පූජකයින්, දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, වෘත්තිකයින්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් වැනි විවිධ චරිත විය.

එවගේම, වික්ටර් මෙන් විවිධ විෂයන් ගැන ඉතා හරවත් කරුණු සාකච්ඡා කළ කෘතීන් ලියූ අපේ රටේ වෙනත් පුවත් පත් කර්තෘවරයෙකු ගැන මා අසා නැත. ඔහුගේ අත්දැකීම් සමග ’71 කැරැල්ලේ සිට, දෙමළ අභියෝගය, 88-90 ජ.වි.පෙ ත්‍රස්තවාදයේ ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය, ප්‍රභාකරන් පරාජය කිරීම, දේශපාලනයේ කුල ඛෙදීම සහ ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය සම්බන්ධ මාතෘකා අළලා කෘතීන් 22 ට වඩා ඔහු ලියා ඇත. ඒ අතර විශේෂය වන්නේ චෙස් ක්‍රීඩාව සම්බන්ධව සිංහලෙන් ඉතා අගනා හැඳින්වීමක් සහිතව යෞවනයින් සඳහා ඔහු ලියූ කෘතිය වන්නේය.

අවසන් වශයෙන් කිව යුත්තේ වික්ටර් අපෙන් සමු ගන්නේ දැවැන්ත අභියෝග වලට මුහුණ දෙමින් තම ජීවිතයේ අභිමතාර්ථ ජය ගත්තෙකු වශයෙනි. වික්ටර් ගේ ඒ ජයග්‍රාහී ජීවිත ගමනට මේ මගේ ගෞරවාන්විත සටහන වන්නේ ය.

– කුසල් පෙරේරා –
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

ජීවිතයට යමක්

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය අද යි

Published

on

By

අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි.  (World Creativity and Innovation Day )

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය නම් කරන ලදී.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින සැමරීම සිදුවිය.

නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද සැබවින්ම වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැකිය.

ස්කොට් ඇඩම්ස් විසින් මෙසේ පවසා ඇත.
“නිර්මාණශීලිත්වය යනු ඔබ විසින්ම ඔබට වැරදි කිරීමට ඉඩ දීමයි. කලාව යනු කුමන ඒවා තබා ගත යුතු දැයි දැන ගැනීමයි.”

මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මගට නිර්මාණශීලීත්වය සහ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත.

Continue Reading

විශේෂාංග

“හයේෂිකා ද ලෙජන්ඩ්!”

Published

on

By

හයේෂිකා හම්බ කරන තරමවත්, හයේෂිකා වියදම් කරන තරමවත්, හයේෂිකා දාන සංදර්ශනවත් මට අදාලත් නෑ. මම අදාල කරගන්නෙත් නෑ. හැබැයි මෙන්න මේ සර්ටිෆිකේට් එකේ තියන හයේෂිකාගේ විස්මයජනක කොලිෆිකේශන්ස් ටික නං මට අනිවාර්යයෙන්ම අදාලයි සහ මම අනිවාර්යයෙන්ම අදාල කරගන්නවා.

මේ සර්ටිෆිකට් එකේ මට පේන හැටියට හයේෂිකාට තියනවා පහත සුදුසුකම්:

PhD in UK
PhD in USA
MA University of Kelaniya
BA University of Kelaniya

මෙන්න මේ සුදුසුකම් ලිස්ට් එක මාව ආකාර දෙකකින් පුදුමයට පත් කරනවා. මුලින්ම කියනවා නම්, අපිට තියන ඩිග්‍රියක් අපි ඔෆිෂියල් පේපර් එකක ලියනකොට ඒ ඩිග්‍රිය ලියන එක්තරා ක්‍රමයක් තියනවා. මේක ලෝකය විසින් සම්මත කරපු ස්ටෑන්ඩඩ් ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මනුස්සයෙක්ට ජීව විද්‍යාවෙන් ඩිග්‍රි තුනක් තියනවා කියලා. එතකොට ඒවා ලියවෙන්න ඕනේ මෙහෙමයි.

PhD in Biology
MSc. in Biology
BSc. in Biology

ඕනේම නම් අගට තමන් ඩිග්‍රිය ගත්තු යුනිවර්සිටිය සහ රට එකතු කරන්න පුලුවන්. හැබැයි මේ සර්ටිෆිකට් එකේ හැටියට හයේෂිකාට තියෙන්නේ UK සහ USA කියන ‘විෂයන්’ සම්බන්ධයෙන් PhDs දෙකක්!

අපි හිතමු හයේෂිකා මේ කියන්න උත්සාහ කරන්නේ එයාට එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් PhD දෙකක් තියනවා කියන එක කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් කියමු. හැබැයි එතනදිත් මම ගොඩක් පුදුම වෙනවා. බැචලර් එකක් මාස්ටර් එකක් වගේ නෙමෙයි, PhD එකක් ගත්තු මනුස්සයෙක් තමන්ගේ ටයිට්ල් එක පාවිච්චි කරන්නේ පුදුම පරිස්සමකින්. මේ ටයිටල් එක් ඉතාම නිවැරදිව පාවිච්චි කිරීමේ ලොකු වගකීමක් ආචාර්‍ය පදවියක් දරන කෙනෙක්ට තියනවා. මේ සටහන කියවන ඕනම ඩොක්ටරේට් හෝල්ඩර් කෙනෙක් මං මේ කියන කතාවට සීයට සීයක් එකඟ වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ එක PhD එකක් තියන මනුස්සයෙක්ටත් ටයිටල් එක නිවැරදිව භාවිතා කිරීමේ වගකීම බරින් දැනෙනවා නම්, හයේෂිකා වගේ PhD දෙකක් තියන මනුස්සයෙක්ට ඒ බර කොහොම දැනෙන්න ඕනද!

අන්න ඒ පලවෙනි පුදුමයත් එක්ක තමයි මට දැනෙන දෙවනි පුදුමය එන්නේ. හයේෂිකා ඔය කියලා තියන සුදුසුකම් ඇත්‍තටම හයේෂිකාට තියනවද? අවංකවම කල්පනා කරලා බැලුවොත් මිත්‍රවරුනි, බැචලර් එකයි, මාස්ටර් එකයි, පීඑච්ඩී දෙකයි උපයගන්න අවම තරමේ හයේෂිකාට අවුරුදු පහළවක්වත් යන්න ඕනේ. මම කියන්නේ නෑ ඒක වෙන්න බැරි දෙයක් කියලා. හැබැයි ඒක වෙන්න අමාරු දෙයක්. හයේෂිකා ඇත්තටම ඔය කියන ඩිග්‍රීස් ටික ඇචීව් කරගෙන තියනවා නම් ආයේ තර්කයක් නැතුවම කියතැහැකි “හයේෂිකා ද ලෙජන්ඩ්!” කියලා. හැබැයි හයේෂිකා මේ කියන හපන්කම ඇත්තටම කරලා නැති නම්…

ඊළඟට මට පේනවා හයේෂිකා හරිම ක්‍රියේටිව් ටයිටල් එකක් එයාගේ නම පිටිපස්සෙන් ඈඳාගෙන ඉන්නවා කියලා…

‘Hon Doctor Democratic Socialist Republic of Sri Lanka’

මං ලෝකේ රටවල් හතක ඇකඩමික් ෆීල්ඩ් එකේ වැඩ කරපු මනුස්සයෙක් විදිහට දිවුරලා කියන්නේ මිත්‍රවරුනි, මේ සම්මජ්ජාතියකට මං මෙහෙම ටයිටල් එකක් මගේ ඇහෙන් දැකලත් නෑ. කනෙන් අහලත් නෑ. හැබැයි ඉතින් හයේෂිකාට ඕන කරලා තියෙන්නේ තමන්ව ‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවනීය ආචාර්ය පට්ටමක් හිමි තැනැත්තියක්’ කියලා හඳුන්වන්න වෙන්න පුලුවන්. අන්න ඒක එහෙම නම් මිත්‍රවරුනි මට හයේෂිකා ගැන හේතු දෙකක් නිසා දුකයි. එක, හයේෂිකාට තියන සුලුපටු නොවෙන හීනමානය ගැන මට දුකයි. දෙක, ඕක ලියන්න ඕනේ ‘An Honarary/Honorable Doctor in Democratic Socialist Republic of Sri Lanka’ කියලා කියලදෙන්න පුලුවන් කවුරුත් හයේෂිකාට නැති එක ගැනත් දුකයි. හැබැයි හයේෂිකා මේ සර්ටිෆිකට් එකේ හීනමානෙන් හරි මොන මානෙන් හරි ලියලා තියන මේ අපබ්‍රංසේට කිසිම පදනමක් නැත්තම්… තව විදිහකට කියනවා නම්, මේ කියන විදිහේ ආචාර්‍ය පට්ටම් දෙකක් හෝ අඩුම තරමේ එකක්වත් හයේෂිකාට ඇත්තටම නැත්තම්…

… මට හයේෂිකාට මෙන්න මේ ටික ඉතාම අවධාරණයෙන් කියන්න ඕනේ.

Hayeshika Fernando

ඔයා මේ අපබ්‍රංස ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ගමින් ගමට සංගීත සංදර්ශන තියන්නවත්, ඇකඩමික් ෆෝරම්වල කතා පවත්තන්නවත්, ඡන්දෙ ඉල්ලන්නවත් නෙමෙයි. ඔයා මේ ටයිට්ල්ස් පාවිච්චි කරන්නේ ඔයාගේ ක්ලාස්වලට (හෝ බිස්නස් එකට, whatever!) පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න. තව තේරෙන සිංහලෙන් කිව්වොත්, ඔයාගේ මේ ටයිටල්ස් ටික ඩොම්බ පච නම්, ඔයා කරන්නේ මේ රටේ සමස්ත දරු පරපුරක් මහ දවල් රවට්ටන එක. හයේෂිකා ඔයා දන්නවාද දන්නෑ. හැබැයි දරුවොන්ට ලැබෙන්න ඕනේ මේ ලෝකේ හොඳම දේවල් විතරයි. හො-ඳ-ම දේ-ව-ල් වි-ත-ර-යි. මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයා ඒ බව දන්නවා ඇති කියලා සහ ඔයා ඒ බව බරින් ගන්නවා ඇති කියලා. යම් හෙයකින් ඔයා මේ කරන්නේ හොඳම දේවල් ලැබිය යුතු දරුවොන්ට හොඳම දේ ලබා දෙනවා කියලා අඟවමින් ඒගොල්ලන්ට හොඳම දේ ලබා නොදීම නම්, මං මගේ මුලු ආත්මයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හෘද සාක්ෂිය ඔයාව හැම රෑකම ඇහැරවලා තියන්න ඕනේ කියලා.

මේ ලෝකයේ ඉවසිය යුතු ගොඩක් දේවල් තියනවා. හැබැයි හයේෂිකා, දරුවොන්ට මොන ආකාරයකින් හෝ ඩැමේජ් කිරීම කියන්නේ ඒවැයින් එකක් නෙමෙයි.

✍️

  මීට,

Dr. Amavi N. Silva
(PhD in Ocean and Earth Science, University of Southampton, United Kingdom)

උපුටා ගැනීම – Dr. Amavi N. Silva ගේ මුහුණු පොතෙනි

Continue Reading

විශේෂාංග

ලොවම කම්පා කල වසරේ ඡායාරුව

Published

on

By

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අත් දෙකම අහිමි වූ ගාසා තීරයේ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇත.

කටාර් සිට ගාසා තීරයට පැමිණි ඡායාරූප ශිල්පියෙකු වන සමර් අබු එලූෆ් (Samar Abu Elouf) විසින් මෙම ඡායාරූපය ගෙන තිබේ.

මෙම ඡායාරූපයේ සිටින්නේ 9 හැවිරිදි මහමුද් අජ්ජෝර්ය.

බෝම්බ ප්‍රහාරයකින් පළමුව ඔහුගේ එක් අතක් ඉවත්කිරීමට සිදුව ඇති අතර, ඉන් මාස 3කට පසු අනෙක් අතද ඉවත්කර තිබේ.

මෙම ඡායාරූප ශිල්පියා අජ්ජෝර් සහ ඔහුගේ පවුලේ අයව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු පදිංචිව සිටින දෝහා වෙතද ගෙනගොස් ඇත.

අබු එලූෆ් තමන් මෙම ඡායාරූපය ගැනීමේ දී දෑත් දෙකම අහිමි වූ මහමුද්ගේ මව කළ කථාවක් සංවේදීව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

“මහමුද්ගේ මව මට කියපු දුක්ඛිතම කථාව තමයි තම පුතාට දෑත් දෙකම අහිමි බව දැනුම්දීම.

ඇය ඔහුට දෑත් දෙකම අහිමි බව පැවසූ විට මහමුද්ගේ පිට වූ වාක්‍යය වූණේ දැන් මම කොහොමද ඔබව වැළඳ ගන්නේ”.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved