විශේෂාංග

MasterChef Australia: ඔස්ට්‍රේලියාවේදී හරි හරියට ලංකාවේ කෑම හැදූ මේ ‘සැව්’ කවුද?

Published

on

ඔස්ට්‍රේලියානු MasterChef Australia රියැලිටි තරගාවලිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය වී තිබෙන්නේ වරින් වර එම තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරගකරුවන් නිසා ය. 

මීට පෙර Junior Masterchef Australia තරගාවලියක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක් වූ ජොර්ජියා විසින් ය. ඇය ද එම තරගාවලියේ වට කිහිපයක දීම ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් ක්‍රම යොදාගත් අතර අවසන් මහා තරගයේ දී ඇය විසින් පිසූ ශ්‍රී ලාංකික ආහාරවේල ඇයව ජයග්‍රහණය කරා ගෙන යන ලදි.

ශ්‍රී ලංකාවේ ආහාර නීරස ද?

MasterChef Australia 16 වන අදියරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලාංකික තරුණියක් වන සවින්ද්‍රි පෙරේරා හේතුවෙන් ය.

ආසන්න මාස කිහිපයක් පුරා MasterChef Australia 16 වැනි අදියරේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ ශ්‍රී ලාංකික තරුණියක් වන සවින්ද්‍රි පෙරේරා හේතුවෙන් ය. ‘සැව්’ ලෙස MasterChef රසිකයන් අතර ජනප්‍රිය වූ ඇය මෙවර තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූවා ය. ඇය (ජුලි 16 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ළඟා වූයේ වසර කිහිපයකට පසු සිය පවුලේ සාමාජිකයන් හමුවීමේ අරමුණින් ය.

කවුද මේ ‘සැව්’?

සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ඇයට වයස අවුරුදු 18දී ය.

උපතේ සිට සිය දෙමව්පියන් සමඟින් ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ ඇයට වයස අවුරුදු 18දී ය. වර්තමානයේ ඇය ඔස්ට්‍රේලියාවේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වී සිටියි. 2017 දී සිය ජීවිතයට කම්පනයක් එක් කළ මවගේ වියෝ වීමෙන් පසු ජීවිතය නැවතත් ඉදිරියට ගෙන යාමේ අරමුණින් ඇය විවිධ උත්සහයන් ගත් බවත්, සිය මවගේ රසවත් ඉවුම් පිහුම් සිහිපත් කරමින් ඇයට ආදරය ප්‍රකාශ කිරීමට මෙම තරගයට ඇතුළත් වීමට ඇය තීරණය කළ බවත් සවින්ද්‍රි පෙරේරා සිය Instagram ගිණුමේ සඳහන් කර තිබේ.

MasterChef Australia 16 වැනි අදියර මේ වසරේ අප්‍රේල් මාසයේ සිට රූපවාහිනියේ විකාශය වූ අතර, සවින්ද්‍රි තරගය සඳහා සැකසූ ශ්‍රී ලාංකික ආභාසයක් ඇති ආහාර සඳහා සමාජ මාධ්‍ය තුළ බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණි.

සවින්ද්‍රි ආ ගමන් මග

සවින්ද්‍රි ඇගේ පළමු තරග වටයේ දී පිළියෙල කළ “කිරිබත්” ආහාරවේල සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළ ප්‍රතිචාර දිනා ගන්නා ලදි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කිරිබතට ඇය කිතුල් පැණි, සීනි සම්බෝල සහ මාළු ඇතුළු ආහාරවර්ග කිහිපයක් සමඟ පිළිගැන්වූ අතර තරගාවලිය පුරාවට ම සුන්දර ලෙස ඇය ඉදිරිපත් කළ ආහාර අලංකරණය කර තිබීම ද විශේෂත්වයකි. 

අගේ කැපී පෙනෙන පෞරුෂත්වය සම්බන්ධයෙන් ද විශාල අවධානයක් රසිකයන් වෙතින් හිමිව තිබුණි. එමෙන් ම ඇය එක් තරගවටයක දී මිනිත්තු 75ක කාලයක් තුළ බත් සහ වෑංජන හයක් පිසූ අතර, එය තරග විනිශ්චයකරුවන් මවිතයට පත් කළේ ය. ඇය අවසන් තිදෙනා සඳහා තේරී පත් වීමට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව කෙසෙල් කොළයේ ඔතා සාදන “ලම්ප්රයිස්” පිසූ අතර, එක් විනිශ්චයකාරිණියක් පැවසුවේ එම ආහාරය සවින්ද්‍රිගේ මිය ගිය මවට ලියූ ‘ආදර හසුනක්’ බව ය.

ශ්‍රී ලංකාවට ආවේණික ආහාර පමණක් ම නොව, ශ්‍රී ලංකාවේ කුළුබඩු යොදාගෙන ඇය වෙනත් රටවල ආහාර ද වෙනස් ආකාරයෙන් තරගාවලිය පුරා සකස් කළා ය. එක් අවස්ථාවක දී ඇයට තරගයෙන් ඉවත් වීමට සිදු වූ නමුත් ඇයට නැවත තරගාවලියට එක් වීමට වාසනාව හිමි වූ අතර ඇය එම තරගාවලියේ තුන්වන ස්ථානය තමා සතු කරගැනීමට සමත් වූවා ය.

ශ්‍රී ලංකාවට ආවේණික ආහාර පමණක් ම නොව, ශ්‍රී ලංකාවේ කුළුබඩු යොදාගෙන ඇය වෙනත් රටවල ආහාර ද වෙනස් ආකාරයෙන් තරගාවලිය පුරා සකස් කළා ය.

ශ්‍රී ලංකාවට පැමිණි සවින්ද්‍රිගේ ඉදිරි බලාපොරොත්තු

ජුලි 16 දින රාත්‍රියේ සවින්ද්‍රි පෙරේරා දිවයිනට පැමිණි අතර, ගුවන්තොටුපොළ කාර්යය මණ්ඩලය වෙතින් ඇයට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණි. එහි දී ඇය මාධ්‍ය වෙත ද අදහස් දැක් වූවා ය. “මේ තරගාවලියේ තුන්වන ස්ථානය හිමි කරගැනීමට ලැබීම ලොකු භාග්‍යක් කියලා මම හිතනවා. ලංකාවේ කෑම තමයි මාව ඒ තරම් දුර ගෙනගියේ,” ඇය මාධ්‍යවේදීන්ට පැවසුවා ය.

එහි දී ඇයගේ ඉදිරි බලාපොරොත්තු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා ය. “ලංකාවේ කෑම තව දුර ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ කෑම, ලංකාවේ සංස්කෘතික විදිහට හදන්න දන්නවා. නමුත් යුරෝපියන් ක්‍රමයට ‘Fine Dining’ විදිහට හදන එකට තවම ලංකාවේ ලොකු තැනක් නෑ. ඒක දුරගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා.” ඇය පැවසුවාය.

Trending

Exit mobile version