Connect with us

පුවත්

අජිත් රෝහණගේ මාරුව මාරුකරයි!

Published

on

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තීරණය කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඒකමතිකව ගෙන ඇති බවය.

එමෙන්ම ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද පැවසේ.

තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ඊයේ දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  ස්ථාන මාරුවීම් ලබාදී තිබුණි.

ඒ ලලිත් පතිනායක , අජිත් රෝහණ , ප්‍රියන්ත වීරසූරිය , සජීව මැදවත්ත , ඩබ්ලිව් කේ ජයලත් ,  රන්මල් කොඩිතුවක්කු සහ  ඩබ්ලිව් කේ සිල්වා  යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටය.

කෙසේවෙතත් අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ පිළිබඳව ලිපි මගින් පොලිස් කොමිසමට සිය කනස්සල්ල පළකර තිබුණි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ගෙන ඇති මෙම තීරණය ද්වේෂ සහගත, අනීතික සහ අහේතුක තීන්දුවක් බවය.

අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් මස 18 වැනිදා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා තමා විසින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් තමන්ට තරවටු කළ බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

එමෙන්ම පොලිස්පති තනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා පිළිබඳවත් ඔහු එහිදී තමා වෙත චෝදනාවක් එල්ල කළ බවත් එහිදී තමා වෙත ස්ථාන මාරුවක් ලබාදෙන බවට ඉඟි පළකළ බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙම හමුවෙන් අනතුරුව තමා වෙනම ඔහුගේ කාර්යාලය වෙත කැඳවා දකුණු පළාත පොලිසියේ පාලනයෙන් ගිලිහී ඇතැයි පැවසු බවත්, එය සත්‍යයක් බව සිතන්නේ නම්, ගෙවුණු කාලයේදී දකුණු සහ බස්නාහිර පළාත්වල පොලීසියට අදාළ අපරාධ දත්ත, වෙඩිතැබීමේ සිදුවීම් සහ වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරික්ෂාකර, සොයාබලා සංසන්දනය කරන ලෙසට තමා පොලිස් කොමිසමට ආරාධනා කරන බවත් ලිපියෙහි සඳහන්ව තිබේ.

අමාත්‍යවරයා මේ සියලු ද්වේශසහගත කටයුතු සිදුකරමින් තමා පීඩාවට පත් කරන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීම සඳහා බව එහි දැක්වෙයි.

එබැවින් තමාගේ ගැටලුව සලකා බලා, තමාට ස්ථාන මාරු කිරීමට ලබා දී ඇති ද්වේශසහගත නිර්දේශය අනුමත නොකරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණි.

මේ අතර දැනට මධ්‍යම පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හොබවන ප්‍රියන්ත වීරසූරිය මහතා ද පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත තමන්ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ලිපියක් යොමුකර තිබේ.

මෑතකදී මෙලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හේතු නොදක්වමින් හදිසි ස්ථාන මරු ලබාදෙන ආකාරයක් තමා නිරීක්ෂණ කර තිබෙන බවත්, මේ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර වියවුල් සහගත තත්ත්වයක් මතුව ඇති බවත් එම ලිපියේ සඳහන්ව ඇත.

සබැඳි පුවත්

පොලිස් ස්ථාන මාරු කරන්න බලය තියෙන්නෙ පොලිස් කොමිසමට – අජිත් රෝහණ

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved