Connect with us

පුවත්

අඩුවට කරන මැණික් මිලදී ගැනුම් නිසා රජයට පාඩුයි!

Published

on

චීන, තායිලන්ත ජාතිකයින් විසින් අයථා මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. මේ නිසා රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාරය පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවද මෙහිදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයනය, අපනයනය සහ ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳ සාකච්චඡා කිරිම සඳහා පසුගියදා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයින්, මැණික් සහ ස්වර්ණාභරණ අ‍ධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්, මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම සහ පරිසර) මෙම කමිටුවට කැඳවා තිබිණි.  

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ‍විදේශ රටවල් අතර පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අපේක්ෂාව බව කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ප්‍රතිඅපනයනයට ආනයනය කිරීමේදී පනවා ඇති සමාජ ආරක්ෂණ බද්ද ඉවතට
මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති 2.5% ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන් අතර ඉදිරියේදී එම සහනය ව්‍යාපාරිකයින්ට ලබාදීමට නියමිතය. මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස 2.5% ක බදු මුදලක් ගෙවීමට සිදුවුවද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුවද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බව ද මෙහිදී අනාවරණය විය. මැණික් ව්‍යාපාරිකයින්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන 30%ක ආදායම් බද්ද පිරිවැටුම මත 2.5% වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙසද  ‍ව්‍යාපාරිකයින් ‍මෙහිදී ඉල්ලා සිටියහ.

රු.500,000/= වඩා වැඩි මුදල් ගණුදෙණු සිදු කිරීමේදී රජය විසින් අයකරනු ලබන බදු මුදල්වලින් බේරීම සඳහා බොහෝවිට ක්ෂේත්‍රයේ සිටින මැණික් ව්‍යාපාරිකයින් මෙවැනි වැඩි වටිනාකමකින් යුතු මුදල් ගණුදෙනු අත්පිට මුදලට සිදුකිරීමට පෙළඹී ඇති අතර, මේ නිසා සාධාරණ ලෙස බැංකු හරහා මුදල් ගණුදෙණු කර නිසි ලෙස බදු මුදල් රජයට ගෙවන ව්‍යාපාරිකයින්ට ක්ෂේත්‍රයෙන් ඉවත්ව යාමට සිදුව තිබේ. විදේශීය ජාතිකයින් මෙරට මැණික් කර්මාන්තය ආක්‍රමණය කිරීම නියාමනය කිරීමට දැනට ප්‍රතිපත්ති සම්පාදනය කරන බව මැණික් සහ ස්වර්ණාභරණ ‍අධිකාරියේ සභාපති කාරක සභාව හමුවේ පැවසු අතර අදාල ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

රත්‍රං ආනයනය කිරීමට අපනයනකරුවන්ගේ පෙර වසරවල අපනයන ඉපැයීම් හෝ විදේශ මුදල් ඉපැයීම්වලින් 30%ක් පදනම් කර ගෙන බලපත්‍රයක් මඟින් බදු අයකිරීමෙන් තොරව අවසර ලබාදෙන ලෙස ස්වර්ණාභාරණ ව්‍යාපාරිකයින් ඉල්ලා සිටි අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍යවන රත්‍රං අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනයට බලපත්‍රයක් ලබාගෙන ආනයනය කිරීමේ බාධාවක් දැනට නොමැති අතර කැරට් 24 රත්‍රං ආභරණ ආනයනය කිරීම පමණක් නවතා ඇති බවය.

මෙහිදී කාරක සභාවට සහභාගී වු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පවසා සිටියේ “TIEP Scheme” නම් ක්‍රමවේදය යටතේ (අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය) ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය වන රත්‍රං අමුද්‍රව්‍යයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම මඟින් බදු අයකිරීමෙන් තොරව මෙරටට ගෙන්වා ගත හැකි බවය. නමුත් මෙම ක්‍රියාවලියේ පවතින සංකීර්ණභාවය හේතුවෙන් ව්‍යාපාරිකයින් ඒ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කරන ලදී.

සිය ව්‍යාපාර කටයුතු පහසුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම හෝ චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධව මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ලද යෝජනාව කෙරෙහි ද කාරක සභාව සිය අවධානය යොමු කළේය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරියා පැවසුවේ 2018 වර්ෂයේ සිට “Bank of China” ලංකාවේ ක්‍රියාත්මක වන අතර ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම දැනට ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ අපහසු බවයි.

මෙම රැස්වීම‍ට කාරක සභා සාමාජිකයන් වන අකිල එල්ලාවල සහ වරුණ ලියනගේ යන මහත්වරුද සහභාගී වුහ.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved