Connect with us

පුවත්

අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2කට මාස 2ක් හාල් දෙන්න යයි

Published

on

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්ට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වේ. මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපළ වී මිලෙහි සිදුවන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් වනු ඇති අතර, අවශ්‍යතාවක් පැනනැගුනහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි දත්තවලට අනුව 2022/2023 මහ කන්නයේ වී වගාකරන ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර් 732,201ක් පමණ වෙයි. එමගින් අපේක්ෂිත වී අස්වැන්න මෙ.ටො. මිලියන 3.3ක් ද වන අතර මෙමගින් නිපදවිය හැකි සහල් ප්‍රමාණය මෙ.ටො. මිලියන 2.2ක් පමණ වේ. මෙ.ටො. 210,000ක් පමණ වන රටේ මාසික සහල් අවශ්‍යතාව සැලකිල්ලට ගත් කළ ඉදිරි මහ කන්නයේ දී වී අතිරික්තයක් ලැබිය හැකි බව නිරීක්ෂණය වේ.

ඒ අනුව වී ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම සඳහා 2022/23 මහ කන්නයේදී යම් වී ප්‍රමාණයක් මිලදී ගැනීම කෙරෙහි රජය මැදිහත් වීම අවශ්‍ය වේ.

තවද, රටේ පවතින අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල පෝෂණ මට්ටම පවත්වාගැනීමට සහාය දෙමින් මෙම අර්බුදයේ අහිතකර බලපෑම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. සමෘද්ධිලාභීන් ද ඇතුළුව මෙම කණ්ඩායම පවුල් මිලියන 2ක් පමණ බව හඳුනාගෙන ඇත. 2023 අප්‍රේල් මාසය දක්වා එම කණ්ඩායම සඳහා රජය අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාදුන්නද, යම් කාලසීමාවක් සඳහා මෙම අඩුආදායම්ලාභීන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් පවතී.

2022/2023 මෙවර මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, හඳුනාගත් අඩු ආදායම්ලාභීන් අතර ඔවුන්ගේ ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා අමතර උපකාරයක් ලබාදීම  වෙනුවෙන් යම් වී ප්‍රමාණයක් යොදාගැනීම සුදුසු වේ. මෙම වැඩපිළිවෙළ මඟින් රටේ ගොවි ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභීන් සඳහා ප්‍රතිලාභ ලැබෙනු ඇත.

භාණ්ඩාගර ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී පැවැත්වෙන රැස්වීමේ දී යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සාකච්ඡා කිරීමට නියමිතය. මෙහිදී යෝජිත සහල් බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ගොවීන්ගේ මිලදී ගැනීමට නියමිත වී වර්ගවල නිෂ්පාදන පිරිවැය, වී මිලදී ගැනීමේ සහතික මිල, වී මෝල්හිමියන් සහභාගී කර ගැනීම, ප්‍රවාහන ක්‍රමය සහ වී කෙටුම් කුලී යන කරුණු සම්බන්ධයෙන්  ගැඹුරින් සාකච්ඡා කරනු ඇත.

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved