Connect with us

පුවත්

අදානිගේ අල්ලස් විස්තරේ BBCයේ වැටෙයි!

Published

on

ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකාවේදී වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු එරට මුදල් රැස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය අනාවරණය නොකළ බවට චෝදනා එල්ල වී ඇත.

බදාදා (නොවැ: 21) නිව් යෝර්ක්හිදී ගොනු කරන ලද අපරාධ චෝදනා, ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයෙකු වන 62 හැවිරිදි අදානිට එල්ල වූ නවතම ප්‍රහාරය යි. ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යය වරායන් සහ ගුවන් තොටුපළවල සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා විහිදී තිබේ.

අධිචෝදනා පත්‍රයේ, මෙම සුපිරි ධනවතාට සහ සෙසු ජ්‍යෙෂ්ඨ විධායකයින්ට ccasනීතිඥයින් චෝදනා කර ඇත්තේ, ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියානු නිලධාරීන්ට වසර 20ක් පුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවට ය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලීම් කළ ද අදානි සමාගම ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.

2023 වසරේ සිට ඇමෙරිකාවේ මෙම සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක වන අතර, ඉහළ පෙළේ සමාගමක් විසින් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබී ය. ගෞතම් අදානි ප්‍රතික්ෂේප කරන, මෙම චෝදනා කොටස් වෙළෙඳපොළේ අගය පහළ යාමට හේතු විය.

මේ අල්ලස් පරීක්‍ෂණයේ වාර්තා මාස ගණනාවක් පුරා තැන් තැන්වලට හුවමාරු වෙමින් තිබිණි. නීතිඥයින් පැවසුවේ, ඇමෙරිකාව 2022 වසරේදී සමාගම විමර්ශනය කිරීම ආරම්භ කළ අතර එම පරීක්ෂණයට බාධා එල්ල වූ බව ය.

සමාගමේ අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ මෙන් ම අල්ලස් විමර්ශනයේ වාර්තා මත විධායකයින් ඇමෙරිකානු සමාගම් ඇතුළුව ඩොලර් බිලියන 3ක ණය සහ බැඳුම්කර රැස් කළ බවට ඔවුහු චෝදනා කරති.

චෝදනා ඉදිරිපත් කරමින් “විත්තිකරුවන් ඩොලර් බිලියන ගණනක් වටිනා කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අල්ලස් දීමට යෝජනා ක්‍රමයක් සැලසුම් කළ අතර… ඔවුන් ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය රැස් කිරීමට උත්සහ කරමින් අල්ලස් යෝජනා ක්‍රමය ගැන අසත්‍ය පැවසුවා,” ඇමෙරිකානු නීතීඥ බ්‍රියොන් පීස් පැවසීය.

“මගේ කාර්යාලය ජාත්‍යන්තර වෙළඳපොළේ දූෂණය මුලිනුපුටා දැමීමට සහ අපගේ මූල්‍ය වෙළෙඳපොළවල අඛණ්ඩතාව බිඳ දමමින් ධනවත් වීමට උත්සහ කරන්නන්ගෙන් ආයෝජකයින් ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා,” ඔහු තවදුරටත් පැවසීය.

අල්ලස් යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථා කිහිපයකදී ම ගෞතම් අදානි රජයේ නිලධාරීන් පෞද්ගලිකව හමු වූ බව නිලධාරීහු පවසති.

ගෞතම් අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම සගයෙකි. ඔහුගේ දේශපාලන බැඳීම්වලින් අදානිට ප්‍රතිලාභ ලැබී ඇති බවට විපක්ෂ දේශපාලකයන්ගේ චෝදනාවලට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින අතර එම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාවේ නීතිපති තනතුරු සඳහා පත් කිරීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට තේරී පත්වීමෙන් සති කිහිපයකට පසුව මෙම නඩු ගොනු කිරීම ආරම්භ විය.

පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ, අදානි ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතූ අතර එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට පොරොන්දු විය.

අදානි ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන මොනවා ද?

අදානි සමාගම මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගත විය.

ඊට අමතරව, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග 2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ගිවිසුම් අත්සන් කළේ ය.

එමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදුකෙරුණකි.

කෙසේ වෙතත්, අදානි සමාගම සමග ඇති කර ගත් ගිවිසුම නව රජය බලයට පත්වීමෙන් පසු අත්හිටුවා ඇති අතර, එය සමාලෝචනය කරමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් අනාවරණය කළේ ය.

ගෞතම් අදානි රුපියල් 100කින් ඇරඹි ජීවිතය

ගෞතම්, ශාන්තිලාල් අදානිට දාව උපන් දරුවන් සත්දෙනාගෙන් අයෙකි. ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය සාර්ථකව සිදුවෙමින් පැවතුණ ද, ගෞතම් අදානි සතුවූයේ ඊට වඩා විශාල සිහිනයන් ය.

ඔහුගේ අභිලාෂයන්ට සහාය දීමට ඔහුගේ පියා අපොහොසත් විය. එනිසා, ඔහු තම පුත්‍රයාට සිය ආශිර්වාදයත්, රුපියල් සියයකුත්, මුම්බායිහි විසූ ඥාතීන් කිහිප දෙනෙකුගේ ලිපිනයනුත් ලබා දුන්නේ ය.

BBC News සිංහල

( BBC News සිංහල හි පල කර ඇති මේ පුවතේ, උදෘතයට කර ඇති වෙනස්කම හැරෙන්නට ශ්‍රී ලංකා මිරර් කර්තෘ මණ්ඩලය එහි අන්තර්ගතයට කිසිදු වෙනසක් සිදු කර නොමැත.)

සබැඳි පුවත්

https://sinhala.srilankamirror.com/news/විදුලි-පනතේ-අරමුණ-අපේ-විද/https://sinhala.srilankamirror.com/news/අදානි-සුළං-විදුලි-බලාගාර/

කැබිනට් තීරණ

ඌරන්ට කාර්ය සාධක බලකායක්

Published

on

By

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved