Connect with us

පුවත්

අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ්(Update)

Published

on

විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළේය.

ජයතුංග පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. අධිකරණයට අපහාස කිරීම සහ නීතිඥ වෘත්තීය ආචාර ධර්ම කඩකිරීම යටතේ චෝදනාපත්‍ර දෙකක් ඔහුට එරෙහිව කඩිනමින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරිණි. එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානසික විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරිණි.

එසේම මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

අනතුරුව අප්‍රේල් මස 3 වැනිදා නැවත ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලදි.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියමයන් කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුපුරුදු පරිදි නඩු විභාග පවතින අතරතුර අදාළ නීතිඥවරයාගේ දේපොළ ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් ඔහුම අධිකරණය හමුවේ පෙනී සිටිමින් පෞද්ගලිකව කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බැවින් මෙම විනිසුරු මඬුල්ලට එම නඩුව විභාග කිරීමට හැකියාවක් නැති බවය.

වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවට එම නඩුව යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අදාළ ඉල්ලීම ඇතුළත් මෝසමක් අධිකරණයට ගොනු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

අනතුරුව දිගින් දිගටම ඔහු විනිසුරු මඬුල්ලට බාධා වන අයුරින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිඥවරයාගෙන් විමසා සිටියේ “මෙම විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් තමන් දක්වන ස්ථාවරය වෙනසක් තිබේද?” යන්නය.

එහිදී විත්තිකාර නීතිඥවරයා:

“මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ.

මෙම විනිසුරුතුමන්ලා ව්‍යවස්ථාපිත යුතුකම් චේතනා‍න්විතව කඩ කිරීම යටතේ මෙම විනිසුරුවරුන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවා.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

“තමන් අගවිනිසුරුතුමාටත් එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා:

“ඔව් මම අගවිනිසුරුවරයාට එරෙහිව නඩු දෙකක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළා.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ:

“ඔබ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකුටත් එරෙහිව නඩු ගොනු කර තිබෙනවා.”

විත්තිකාර නීතිඥවරයා:

“විනිසුරුවරු අට දෙනකුට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා‍ ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු නොකිරීම සම්බන්ධයෙන්.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය:

“ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගණනාවකටම නඩු ගොනු කර තියෙනවා. එසේ නම් ඔබේ නඩු විමසීමට අලුතෙන් විනිසුරුවරුන් පත් කළ යුතුයි.”

විත්තිකාර නීතිඥවරයා:

“විනිසුරුවරුන් අට දෙනෙක් තමයි ඉන්නේ. මේ නඩුව මෙන්ම වෙනත් නඩුවලදී ඔවුන් මට විරුද්ධව කටයුතු කළා.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

“තමන් උසාවියේ ඉන්න බවත් තේරුම් අරගෙනද මේ ප්‍රකාශ කරන්නේ? තමන් නීතිඥ වෘත්තීයේ යෙදෙන නීතිඥවරයෙක්ද?”

විත්තිකාර නීතිඥවරයා:

“ඔව් මම නීතිඥ වෘත්තියේ යෙදෙන නීතිඥවරයෙක්. පෞද්ගලික හේතු මත පසුගිය වසර හතරක් පමණ හරියට කටයුතු කළේ නෑ. මම වරදක් කර නෑ.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

“ඒ බව අප තීරණය කරන්නම්.”

“ඔබ අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරා තිබෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා :

289 වගන්තිය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු පවරා තිබෙනවා. ව්‍යවස්ථාපිත රාජකාරි කටයුතු චේතනාන්විතව කඩ කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය:

“ඔබ අගවිනිසුරුටත් එරෙහිව අල්ලස් කොමිසමක නඩු පවරා තිබෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා:

“ඔව්”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය:

“අගවිනිසුරුතුමාට ඔබ නඩු දාලා තියෙනවා. නව විනිසුරුවරුන් පත් කරන්න ඉතින් ඔබතුමා ද අගවිනිසුරුට නියෝග දෙන්නේ.”

විත්තිකාර නීතිඥවරයා:

“මා ඒ ගැන දැනුවත් නෑ.”

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විවෘත අධිකරණයට කැඳවූ විනිසුරු මඬුල්ල මෙම නීතිඥවරයාට එරෙහිව වෙනත් චෝදනා ලැබී තිබේදැයි විමසා සිටියේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සඳහන් කර සිටියේ ඔහුට එරෙහිව වෘත්තීය ආචාරධර්ම කඩ කිරීම් යටතේ පැමිණිලි හයක් ලැබී ඇති බවය.

ඉන් එක් පැමිණිල්ලක් පිළිබඳ කරුණු විමසා අවසන් කර ඇති අතර චෝදනා ගොනු කිරීම ඇතුළු සුදුසු පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බව ද රෙජිස්ට්‍රාර්වරයා දන්වා සිටියේය.

එහිදී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ විත්තිකාර නීතිඥවරයා:

“මේ රෙජිස්ට්‍රාර්වරයා මේ ප්‍රකාශ වගකීමෙන් කළ යුතුයි. මට එරෙහිව බොරු පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඒවා නිෂ්ප්‍රභ වුණා. එකක් මගේ බිරිය විසින් ඉදිරිපත් කළ එකක්. ඒ හැර වෙනත් පැමිණිලි නෑ.” යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විත්තිකාර නීතිඥවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දී ඇති බවය.

එහෙත් ඔහු එම අවස්ථාවන් වැරදි ලෙස භාවිත කරන බව ද විත්තිකාර නීතිඥවරයා නීතිපතිට විරුද්ධ නඩු දෙකක් ගොනුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා:

“තමන් අධිකරණයේ කියන දේවල් අධිකරණයට අපහාසයක් වන බවට සිහි තබාගත යුතුයි. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මහතා කරුණු ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳවයි. මේ කරුණු සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?”

විත්තිකාර නීතිඥවරයා:

“නීතිපති දෙපාර්තමේන්තුව මා සමඟ තරහයි. නීතිපති සංජය රාජරත්නම් මහතා මා සමඟ ඇති වෛරය නිසා මට විරුද්ධව කටයුතු කරනවා.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

“අධිකරණය පිළිබඳ තමන් අරගෙන තියෙන ස්ථාවරය හරිද?

විතිකාර නීතිඥවරයා:

“ඔව්. ලක්ෂ 700ක මගේ දේපොළ අහිමි කිරීමට මේ පිරිස කටයුතු කළා. නඩුවකදී මට විරුද්ධව කටයුතු කරා. එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනියි. මා කියා සිටින්නේ ඔබ වහන්සේලාට මේ නඩුව පිළිබඳ කරුණු විමසීමට හැකියාවක් නෑ. ඒ සම්බන්ධයෙන් මම මෝසමක් ගොනු කරා. ඔබ වහන්සේලා මෙම නඩුවෙන් ඉවත් වෙලා වෙනත් විනිසුරුවරුන්ට යොමු කරන්න. එවිට එම විනිසුරුවරුන්ට මට කියන්න තියෙන දේ කියන්නම්. අධිකරණයට අපහාස කිරීම සඳහා මම නඩු පැවරුවේ නෑ. මට වුණු අසාධාරණය සම්බන්ධයෙන් නීතියේ හස්තයේ පිළිසරණ පැතීමයි සිදු කරේ. ඒ හැර වෙන විකල්පයක් මට තිබුණේ නෑ.”

මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විත්තිකාර නීතිඥවරයා දිගින් දිගටම අධිකරණයට අපහාස කිරීමක් සිදු කරන බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසය.

එහිදී විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

“අවසන් වරට අහන්නේ. තමන්ගේ ස්ථාවරයේ වෙනසක් තියෙනවද?”

විත්තිකාර නීතිඥවරයා:

“මගේ ස්ථාවරයේ වෙනසක් නෑ.”

එහිදී අදාළ නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ අධිකරණයේ ඉදිරිපත් වූ කරුණු සහ ලේඛන පිළිබඳ විනිසුරු මඬුල්ලේ අවධානය යොමු කළ බවය.

ඒ අනුව විත්තිකාර නීතිඥවරයා අධිකරණයට අපහාස වන ආකාරයෙන් සහ අධිකරණයේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කරන බවට පෙනී යන බව විනිසුරුවරයා සඳහන් කළේය.

එසේම විත්තිකාර නීතිඥවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබීම සම්බන්ධයෙන් ද විනිසුරු මඬුල්ලේ අවධානය යොමු කෙරිණි.

අනතුරුව මෙම විත්තිකාර නීතිඥවරයා සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශ කළ විනිසුරු මඬුල්ල අධිකරණයට අපහාසාත්මක ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවර ගැනීමට තීරණය කළේය.

ඒ අනුව වෘත්තීය ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

එසේම 2024 අපහාස කිරීමේ පනතේ අංක 8(1) a යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියම කෙරිණි.

එසේම නඩුව විභාගය අවසන් වන තෙක් විත්තිකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙගුලාසි 42(3) වගන්තිය යටතේ නීතිඥවරයාගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමට නියම කෙරණි.

අදාළ චෝදනා පත්‍ර හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරිණි.

එහිදී අධිකරණය හමුවට කැඳවා සිටි බන්ධනාගාර නිලධාරීන් ඇමතූ විනිසුරු මඬුල්ල මෙම නීතිඥවරයා බන්ධනාගාර භාරයට ගන්නා ලෙස නියම කළේය.

එහිදී අධිකරණය ඇමතූ විත්තිකරු:

“මම අසනීපෙන් ඉන්නේ. මාව බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි ඉල්ලා සිටියේය.

එහිදී විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා:

“ඔබට කතා කරන්න දුන් අවස්ථාව ඉවරයි. දැන් තියෙන්නේ දඬුවම් නියම කරන අවස්ථාව. ඔබ කතා කරන්නේ අධිකරණයේ සිට බව තේරුම්ගත යුතුයි. අපටත් කතා කරන්න දේවල් තියෙනවා. එහෙත් අප එසේ කතා නොකර සීමිත දේවල් පමණයි කතා කරන්නේ.”

අසනීප ගැන බන්ධනාගාර බලධාරීන් එක්ක කතා කරගන්න.” යනුවෙන් සඳහන් කළේය.

අනතුරුව මෙම විත්තිකාර නීතිඥවරයා බන්ධනාගාරයට රැගෙන යන ලෙස නියම කළ විනිසුරු මඬුල්ල ලබන අප්‍රේල් මස තුන්වැනිදා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

(දිනමිණ)

————————————————

(පෙර පුවත: 2024 මාර්තු 20, ප.ව.9:10)

අධිකරණයට අපහාස කළ නීතිඥවරයකු රිමාන්ඩ්  

අධිකරණයට අපහාසවන අයුරින් හැසිරුණු බව කියන නීතිඥවරයකු  ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරී​මේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන්නැයි නීතිපතිවරයාට නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ජයතුංග නමැති නීතියඥවරයෙකි.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරතුංග සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

(ලංකාදීප)

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved