Connect with us

පුවත්

අධික කුලියක් ගෙවන රාජ්‍ය ආයතන ගැන තීරණයක්

Published

on

අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන රජයේ ආයතන, රජය සතු ගොඩනැගිලි තුළට ගෙනඒමට තීරණය කළ බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසික කුලිය මිලියන 5ක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා : 

“ගොඩක් අමාත්‍යාංශවල ආයතන කුලියට ඉන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මාසේ කුලිය මිලියන 5යි. වෙළෙඳ අමාත්‍යංශයේ මාසේ කුලිය ලක්ෂ 65යි. අපි තීරණය කරලා තියෙනවා ඒවා රජයේ ආයතනවලට ගන්න.

“මේ රටේ අතුරු සම්මත ගිණුමක් මුලින්ම ඉදිරිපත් කෙරුනේ 1931.09.22 දා. රුපියල් මිලියන 13.6කට.කබීර් හෂීම් ඉදිරිපත් කළා රට ආරාජික කිරීම ගැන කතාවත්. සමාජය අවුස්සන දේශපාලනයක් අපි කළා කියලා ඔබතුමා කිව්වා නේද? . එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම පක්ෂවල නම් වරද්දගන්නවා. ජේ ආර් ජයවර්ධනත් රෝහාන් විජේවීරා කියලා කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්න බැරි වුණා එයා මැරෙනකම් ම. එයා ජාතික මොකක්ද කතාවක් කිව්වේ. ඔබතුමාටත් පැටලිලා.. ඉතිහාස වැරැද්දක්. නේද ?”

“අපට නෙමෙයි දැන් වෛරය තිබෙන්නේ. ජනතාව සමග කේන්තිය තිබෙන්නේ දැන් ඔබට.ISB එක සම්බන්ධයෙන් අපි රුපියල් බිලියන 3000ක් වෙන් කරලා තියෙනවා අතුරු සම්මත ගිණුමෙන්.අපිට මේ පරණ පව් කරගහන්න සිද්ධ වෙච්ච කොටසකුත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නැත්නම් ISB එන්නේ නැහැ මෙහෙට. ඔබතුමාලා ගත්ත ණයවල පොළිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ.අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කරන සියල්ලම වියදම් කරන්නේ නැහැ. මේක වෙන් කරන්නේ අවදානමට. අයවැයෙන් වෙන් කරන මුදලත් සියල්ලම වියදම් කරනවා කියලා හිතාගෙන අපි විවාද කරන්නේ නැහැ කවදාවත්.”

“ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට අච්චර වෙන් කරලා මෙච්චර වෙන් කරලා කියලා කිව්වා. අපි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා ඉතුරුවෙන සියලු මුදල් භාණ්ඩාගාරයට එවන්න කියලා. ඒකට ජනාධිපතිතුමාව අවශ්‍ය ආදර්ශන මුලින්ම දීලා තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහට වෙන්කරපු ගාන කියලා ඔබලා සමාජයේ මතයක් හදන්න හැදුවට භාණ්ඩාගාරයේ ඇත්තටම ඉතුරු වෙලා තියෙනවා. මොකද රනිල් හරි සජිත් හරි දිවුරුම් දුන්නා නම් අද ඔය තත්ත්වය නෙමෙයි.අපේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම නිල නිවාසවලට ගියේ නැහැ. යන්න තියෙන දෙන්නෙක් මාදිවෙලට ගියේ. විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි වෙනවා.”

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved