Connect with us

පුවත්

අනවසර ඉන්දීය ධීවරයන් ගේ ගැටළුවට විසඳුම ඩග්ලස් කියයි

Published

on

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් එම කෙටුම්පත මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.  

ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බව ද එමඟින් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.    

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.  

ආර්ථික වශයෙන් කඩාවැටුණු අපේ රට යළි ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් විශිෂ්ඨ අයවැය සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධය සහ කොවිඩ් ආසාදනය වැනි විවිධ හේතු නිසා අපේ රට පසුගාමී තත්ත්වයකට පත්වුණා. 

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේ කොහොමද කියා අප සිදුකළ විදේශ සංචාරවලදී එම රටවල පිරිස් විමසා සිටියා. ඒ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම, පෞරුෂය සහ පවතින ආණ්ඩුවට සහය දෙන අය නිසා බව මම ඔවුන්ට පැහැදිලි කර සිටියා. ශ්‍රී ලංකාවේ ජනතාවත් මේ අර්බුද තේරුම් ගෙන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද මම සඳහන් කළා. 

ඒ වගේම 2024 අයවැය මඟින් ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400ක් පමණ වෙන්කර තිබෙනවා. ඉන් මිලියන 6077ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් මිලියන 2323ක් පුනරාවර්තන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. මෙම මුදල් යොදා ගනිමින් ධීවරයන්ගේ ජීවනෝපාය ඇතුළු රටේ සංවර්ධනය වඩා හොඳින් ඉදිරියට ගෙන යා හැකි ආකාරය අපි ඉදිරිපත් කළා. එය පදනම් කරගෙන අපට ඉදිරියට යා හැකියි. රජය විසින් ලබාදෙන මෙම මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අප රටේ සමුද්‍ර කර්මාන්තය දියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහයෝගය ද අපේක්ෂා කරනවා. 

ඉන්ධන පිරිවැය අඩුකරන්න බැටරි මෝටර්
ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා. විවිධ හේතූන් මත ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ ද මිල ඉහළ යාම ගැන රජයට දොස් කියන්න බැහැ. ඒ නිසා පවතින සියලු අවස්ථාවන් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනිමින් සමුද්‍රීය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අප සැලසුම් සකස් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම භාවිතා කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා. 

එමෙන්ම ධීවර කටයුතු සඳහා බෝට්ටුවල බැටරි මෝටර් යොදා ගැනීම පිළිබඳවත් අපි විධිමත් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. එමඟින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන අතර ඉන්ධන ප්‍රශ්නයටද විසඳුම් ලැබෙයි. අපි ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.

නව පනතක්

ඒ වගේම අපේ අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් සංශෝධිත නව පනතක් ගෙන ඒමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පතක් ලෙස සකස් කර තිබෙනවා වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගැනීම සඳහා ද යොමුකර තිබෙනවා.

හොඳම විසඳුම

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නියැළීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් හරහා සාකච්ඡා කොට විසඳාගත යුතු වනවා. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධීවර ප්‍රශ්නය ප්‍රාන්ත රජයේ බල සීමාවට අයත් වනවා. උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී සෘජුවම ඉන්දියාවට ගොස් පාන්ඩිචෙරි සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ඇතුළු ඉන්දීය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම හොඳම විසඳුම බව මගේ ස්ථාවරයයි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක්

Published

on

By

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය වාර්තා වන බවය.

වෛද්‍ය ගාමිණී පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, යම් අයෙකුට මිග්‍රේන් රෝගය පවතී නම් හැකි ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved